Katha Ahura

ලේ සළකුණු | පස්වන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක

4/5 - (13 votes)

ලේ සළකුණු

පස්වන කොටස

වහින පාටක්වත් ඒ වෙලාවෙ තිබ්බේ නෑ . එකපාරම අකුණක් ගැහුවෙ අපි තුන්දෙනාගෙම බය තවත් වැඩි කරලා . ගස් වැල් ඇඹරුනේ හරියට සුළි කුණාටුවක් එනවා කියන්න වගේ. එකපාරම මුලු වටපිටාවම අදුරුවෙලා ගියේ තත්පර ගානකින්.

තුන්දෙනාම ඔරලෝසුව බැලුවේ වෙලාව කීයද කියලා දැනගන්න . 5.30යි කියලා ඔරලෝසුවේ වෙලාව තිබුණට රෑ අට විතර වගේ කරුවලක් තමා තිබුණේ .

“තාත්තා ගෙදර එන්නේ කොහොමද . හොදට තෙමෙයි. අනේ ලොකු පුතේ කෝල් එකක් අරං බලන්නකෝ” අම්මා කිව්වේ බලාගෙන ඉදලා බැරිම තැන.

“ෆෝන් එක තියෙන්නේ කාමරේ අම්මා . මං ගිහිං අරං එනකල් ඔය දෙන්නා මෙතනටම වෙලා ඉන්න ” කියලා අයියා අම්මගෙයි මගෙයි ඔලුව අතගාලා කාමරේට යන්න පුටුවෙන් නැගිට්ටා.

“අනේ අයියේ යන්න එපා …” කියලා මං අයියගේ අතෙන් ඇද්දේ අර මනුස්සයා අයියගේ කකුලෙන් ඇදපු හැටි මතක් වෙලා .

එතකොට තමා කවුදෝ දොරට ගහනවා ඇහුණේ . අපි තුන්දෙනාම බය වුණත් අයියා හෙමින් හෙමින් දොර ළගට ගියේ දොර අරින්න කියලා .අයියා දොර අරිද්දිම තාත්තා ගේ ඇතුළට ආවේ බයවෙලා තිබුණ හිත් වලට සහනයක් අරං.

ඒත් තාත්තා ආවේ තෙමීගෙන. තාත්තගේ ඇදුම් පුරාම මඩ ගෑවිලා තිබ්බා .

“සමරේ කෝ බයික් එක?” අම්මා ඇහුවේ තාත්තගෙන් .

තාත්තා කතාවක් නැතුවම සෝෆා එකේ වාඩිවුණා.

“කතා කරන්නකෝ සමරේ… ” අම්මා ටිකක් සැරෙන් වගේ කිව්වේ මෙච්චර දෙයක් වෙලත් තාත්තා ගෙදර එන්න පරක්කු වුණාට තරහෙන් වෙන්න ඇති .

“බයික් එකේ පැච් එකක් ගියා එද්දී . ඒක මග දාලා ආවා.” තාත්තා කිව්වේ පොඩි ළමයෙක් වගේ.

තාත්තා මෙහෙම කතා කරනවා මං දැකලම නැති තරම්. මොකද තාත්තා පොලීසියේ නිසා ටිකක් සැරෙන් කතා කරන්නේ .

“මොකද වික්‍රමසිංහ කියන්නේ ” අම්මා ආයෙත් ඇහුවේ තාත්තගෙන් .

“හ්ම්… මිනිහා මොකුත් කියන්නේ නැ. මෙතන මිනිහා නොකියන මොකක් නමුත් තියෙනවා කියලා මට මිනිහා කතා කරපු විදියෙන් තේරුණා නන්දා ” තාත්තා කිව්වේ කනස්සල්ලෙන් .

“මොනා කියන්නද? ඔයා හොයාගෙන තියෙන ගේ තරම මදැයි . අපි ජීවත් වෙලා ඉන්න එකත් ලොකු දෙයක් . ඔය මිනිස්සු හංගන රහස තමා මේක හොල්මන් ගෙයක් . ලොකුයි චූටියි, මායි තුන්දෙනාම බය වෙලා ඉන්නේ ” අම්මා අඩ අඩම එයාගේ දුක පිට කරනවා.

“තාත්තේ ඇදුම්වල මඩ ගෑවිලා මොකද ” මං ඇහුවේ තාත්තා ගැන දුක හිතිලා.

” ආ.. මුකුත් නෑ දුව ” තාත්තා බොරු හිනාවක් මවාගෙන කිව්වේ මං බයවෙයි කියලා හිතලා වෙන්න ඇති .

“තාත්තේ අපි මේ වෙලාවේ මෙහෙ ඉන්න එක එච්චර හොද මදි. අපි මොකද කරන්නේ ? කියලා අයියා ඇහුවේ ඒ වෙලාවේ කතා බහ කරන්න ඕනිම දේ මතක් කරලා .

“ඒක නම් එහෙම තමා . ඒත් මේ නාදුනන පළාතේ අපි කොහේ යන්නද ?” තාත්තා ඇහුවේ අසරණ විදියට .

” අනේ සමරේ. ඔයා පොලිසියේ නේද . පොලීසියට කෝල් කරලා වාහනයක් ගෙන්නගෙන පන්සලට හරි යමු. මෙහෙම වෙලාවකවත් ඔයාට පවුල වෙනුවෙන් ඒක කරන්න බැරිකමක් නෑනේ” කියලා අම්මා කිව්වේ තාත්තා අයුතු විදියට බලය පාවිච්චි කරන්න අකමැති බව දන්න නිසා.

“හ්ම් කියලා තාත්තා කෝල් එකක් අරං කතා කළා.

“හරි… තව විනාඩි විස්සකින් එයාලා එයි මෙහාට ජීෆ් එක අරං” කියලා තාත්තා කිව්වේ අපේ හිතට සහනයක් දැනෙද්දී.

වෙලාව රෑ හත හමාර වෙලා තිබුණ .

“ඇත්තටම තාත්තේ මොකද වුණේ ?” අයියා ආයෙත් ඇහුවේ මටත් දැනගන්න ඕන වෙලා තිබුණ දෙයක්.

“වික්‍රමසිංහ මුකුත්ම කිව්වේ නැති නිසා මං බයික් එකේ එද්දී අතරමගදි වහින්න ගත්තේ. කනත්ත පාස් කරලා එද්දී මං දැක්කේ මිනියක් පුච්චනවා… එතන කවුරු හරි තනියම ඉන්නවා දැකලා මං බයික් එක නතර කරලා එතනට ගියේ තනියම එතන මොකද කරන්නේ බලන්න. මං ළගට යද්දී දැක්කේ ගෑණියෙක් මිනිය පිච්චෙන ගිනිගොඩ ළග ඉදගෙන ඒ ගිනි ගොඩෙන්ම ඉරිගු කරලක් පුච්ච පුච්ච කනවා කියලා ” තාත්තා එහෙම කිව්වම මට දැනුණේ හරි අප්පිරියාවක් වගේම බයක්.

“ඉතිං ඊට පස්සේ මොකද වුණේ ?” අයියා ඇහුවේ පුදුමයෙන් .

“ඒ පිස්සු ගෑණියෙක් ද කොහෙද කියලා හිතුවෙ ඒ ගෑණි කිසිම කතාවක් නැතුව ඉරිගු කකා හිටිය නිසා. මං ආයෙත් ඇවිත් බයික් එකට නැගලා ලයිට් කණුවක දුරයි යන්න ලැබුනේ බයික් එකේ පැච් එකක් ගියා . බයික් එජ එතන දාලා එන්න ලෑස්ති වුණාමයි මං දැක්කේ ලයිට් කණුවේ අලවලා තිබුණ මරණ දැන්වීම . ඒකේ හිටියේ අර කනත්ත ළඟ වාඩිවෙලා හිටිය ගෑණු කෙනා. මං ආපස්ස හැරිලා බලද්දී දැක්කේ ඒ ගෑණි මගේ දිහා බලන් ඉන්නවා . මං දුවගෙන ඇවිත් නතර වුණේ  අපේ ගෙදර ගේට් එක ළඟ .” තාත්තා කිව්ව දේට ඒපාර නම් මට බය හිතුන .

මං අම්මගේ ඇගේ එල්ලුනේ බයටම.

“එ-එතකොට මඩ ගෑවුනේ දුවද්දී තාත්තා වැටුනද?” කියලා මං ඇහුවා .

“මං ගේට් එක ළගට එද්දී දැක්කේ මිදුලෙන් කුස්සිය පැත්තට කෙනෙක් යනවා. මං හිතුවෙ චූටි කියලා . චූටි මොකද කරන්නේ කියලා මං පස්සෙන් ගියා. ඒ ළමයා බිලිං ගග යට මොකක්ද වළලනවා මං දැක්කා . ඊට පස්සේ වත්ත පහළට ගියා. මං කතා කරත් කතා කළේ නෑ . එතකොට මට තේරුණේ ඒ චූටි නෙවෙයි කියලා . ඒ ළමයා වැලලුවේ මොකක්ද කියලා බලලා මං ගෙට ආවා. කියලා තාත්තා කියද්දිම එයාට කෝල් එකක් ආවා.

“ජීප් එක එන්න ටිකක් වෙලා යයිලු . එන මග ගහක් කඩා වැටිලා ” කියලා තාත්තා කිව්වා .

-නයෝමී නදීරා ධීරසිංහ –

14 thoughts on “ලේ සළකුණු | පස්වන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක”

  1. Thakshi Deepali Jayasuriya

    මොකක්ද වැලලුවේ ?????
    වෙනද වගේම අදත් කතාව නියමයි…

  2. K.K.Damayanthi

    අනේ පවු ඒ කට්ටිය… ජීප් එක එනකොට ඔය මිනිස්සු ඉතුරු වෙයි නේද…. ?
    ගහක් වැටුනෙත් හොල්මන් වල වැඩක් හින්දා වෙන්නැති………..
    ලොකු අබිරහසක්…….

  3. Ayesh imalka

    ??? අම්මෝ………. පිස්සුනේ……… මාරම බය ඉතෙනවා……….. කතාව සුපිරි……., ???? මාත් කතාවක් ලියනවෝ……… ආත්ම බන්දනය කියලා………. ???☺️☺️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.