Katha Ahura

ලේ සළකුණු | සිව්වන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක

5/5 - (2 votes)

ලේ සළකුණු

සිව්වන කොටස

මාත් ආසාවෙන් ෆිල්ම් එක බලන්න ගියා අයියා එක්ක . අයියගේ රූම් එකට වෙලා අපි ෆිල්ම් එක බලන්න පටන් ගත්තා . ටික වෙලාවකින් දාඩියයි කියලා අයියා ෆෑන් එක දැම්මා .

විනාඩි පහක් හයක් ගියා විතරයි “ජ-ර–ජ-රා-ස්-” ගාලා ශබ්දයක් ඇහුණා .

“ෂික්… කසිකබල් සීලින්  ෆෑන් එකක්නේ මේ” කියලා අයියා කිව්වා .

එකපාරටම අයියා මගේ ඇස් වහලා චූටි බලන්න එපා කියලා කිව්වා . අයියගේ කටහඩේ බය ගතියක් තියෙනවා කියලා මට දැනුණා .

ඉස්සර ඉදන් මට පුරුද්දක් තිබුණ එපා කිව්වොත් ඒකම කරන්න . දැනුත් වුණේ ඒකම තමා. මං අයියගේ අත අයින් කරලා බැලුවේ අයියා බලාගෙන ඉන්න ෆෑන් එක දිහා .

අනේ දෙවියනේ මේ ලෝකේ කාටවත්ම පේන්න ඕන නැති දෙයක් මං දැක්කේ . මනුස්සයෙක් සීලින් ෆෑන් එකේ එල්ලිලා ඉන්නවා. කට ඇරිලා දිව හොදටම පහළට දික් වෙලා. එක ඇස් බෝලයක් එළියට පැනලා වැටෙන්න ඔන්න මෙන්න .

“අ-නේ– අ-නේ අයියා …” කියලා මං අයියගේ උරහිසට මූණ තියාගත්තේ තවත් ඒ දිහා බලන් ඉන්න බැරි නිසා.

“චූටි… ඉතිපිසෝ ගාථාව කියන්න මාත් එක්ක ” කියලා අයියා මාව තුරුලු කරගෙන ඉතිපිසෝ භගවා… කියලා බුදු ගුණ සිහි කරන්න පටන් ගත්තා .

මාත් ඒ එක්කම වෙව්ල වෙව්ල බුදු ගුණ සිහි කරගෙන ඉතිපිසෝ ගාථාව කියන්න ගත්තා .

ෆෑන් එක එච්චර සද්දෙන් ජරබර ගාලා තියෙන්නේ ඒ මනුස්සයගේ බරට.

“අ–නේ– ලොකු පු-තා” ඒ ඇහුණේ අම්මා කෑ ගහනවා .

“අනේ අයියේ අම්මා …” මං කිව්වේ අයියා දිහා බලාගෙන .

“චූටි ඔයා ෆෑන් එක දිහා බලන්නැතුව මගේ අත අල්ලගෙන කාමරෙන් එළියට යමු . තේරුණා නේද ?” අයියා ඇහුවේ මගෙන් .

“හ්ම්.. හා” මං කිව්වේ හෙමින් .

අපි දෙන්නා ඇදෙන් නැගිටින්න හදනකොටම ෆෑන් එක තවත් වේගයෙන් කැරකෙන්න ගත්තේ දෙන්නගෙම බය තව තවත් වැඩි කරලා. අයියත් බය වෙලා මගේ අත තවත් තද කරලා අල්ලගත්තා .

වේගයෙන් කැරකුන ෆෑන් එක දඩාන් ගාලා සද්දෙන් කඩාගෙන වැටුණේ අර මිනිහා එක්කම .

ඒ මිනිහගෙ එල්ලි එල්ලි තිබුණ ඇස් බෝලේ ගැලවිලා වැටුණේ මගේ ඔඩොක්කුවට.

“හෑ……..හෑ……” මං පුලුවන් තරම් හයියෙන් කෑ ගහලා ඇදෙන් පැන්නේ අයියවත් ඇදගෙන .

මං නැගිට්ට වේගෙන් ඇස් බෝලේ පෙරළිලා ගියේ අයියගේ මේසේ අස්සට.

“චූටි අපි යන් අම්මා බලන්න .” කියලා අයියා මාවත් අල්ලගෙන කාමරෙන් එළියට යන්න ලෑස්ති වුණා.

හරියටම අර මිනිහා වැටිලා හිටියේ කාමරේ ඇදයි දොරයි මැද . කාමරෙන් එළියට යනවා නම් අපට ඒ මනුස්සයගේ ළගින් යන්නම වෙනවා .

මාව බිත්‍තිය පැත්තට දාලා අයියා ඒ මනුස්සයා ඉන්න පැත්තට වෙලා අපි දෙන්න කාමරෙන් එළියට යන්න දොර ළගට යද්දිම අයියා

“ආව්” කියලා කෑ ගැහුවෙ .

ඒ සද්දෙට හැරිලා බලද්දී මං දැක්කේ ඒ මිනිහගේ දිවෙන් අයියගේ කකුල අල්ලගෙන ඉන්නවා කියලා.

“අනේ අයියා … ” කියලා මං කෑ ගහලා අයියව එළියට ඇද්දත් ඒ මනුස්සයා කකුල අතෑරියේ නෑ .

“ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ….” මං බුදු ගුණ ගයද්දි අයියත් සද්දෙන් ගාථා කිව්වා .

ඒත් එක්කම ඇඹරී ඇඹරී ඒ මනුස්සයා දගලන්න පටන් ගත්තේ මාලුවෙක් දියෙන් ගොඩට දාලා වගේ. ඒ වගේම අයියගේ කකුල අල්ලන් හිටපු දිවත් ටික ටික කොට වෙලා ඒ මනුස්සයගේ කට ඇතුළට ගියා.

අපි දෙන්න ඉක්මනින් කාමරෙන් එළියට පැනලා කාමරේ දොර වහලා අම්මලාගේ කාමරේට දිව්වා .

අම්මලාගේ කාමරේ දොර ළඟ අම්මා වැටිලා ඉන්නවා දැකලා අයියටයි මටයි හොදරම බය හිතුනා .

“අ-නේ අම්මා …. නැගිටින්නකෝ අම්මා ” මං කෑ ගැහුවා .

අයියා කෑම මේසේ උඩ තිබුණ වතුර වීදුරුව අරං අම්මට වතුර ටිකක් ඉස්සා.

“අම්මේ අම්මට මොකද වුණේ ?” අයියා ඇහුවේ අම්මා අමාරුවෙන් ඇස් ඇරලා බලද්දී .

“අම්මට මහන්සියි . යන්කෝ ඇදේ ටිකක් හාන්සි වෙන්න ” කියලා අයියා අම්මව නැගිට්ටෙව්වා .

“අ-නේ පුතේ … මට ඇදට යන්න බෑ. අපි සාලෙට යමු” කියලා අම්මා බයෙන් කියද්දි අයියයි මායි දෙන්නම බැලුවේ ඇද දිහා .

“අනේ දෙයියනේ ” කියලා අපි දෙන්නටම කියවුණේ අම්මලාගේ ඇද පුරා තිබුණ ලේ සළකුණු දැකලා. ඒකේ අත් කකුල් වගේම ලේ ඉරි පාරවල් ගොඩක් තිබුණ . දැක්කමත් බය හිතෙනවා .

අපි දෙන්න අම්මවත් අරං සාලෙට ගිහිං සෝෆා එකේ වාඩි වුණා .

“අම්මේ මොකක්ද වුණේ ” අච්චර ලේ කොහෙන්ද?” මං ඇහුවේ මෙච්චර වෙලා හිතට වද දුන්නු දෙයක් .

” අනේ චූටි මං ටිකක් හාන්සි වෙන්න කියලා ඇදට යද්දී මකං දැක්කේ ගෑණු කෙනෙක් අපේ ඇදේ නිදාගෙන ඉන්නවා . මං එයාට කතා කලේ දොර ළඟ ඉදන්මයි. ඒ ගෑණු කෙනා හැරිලා මා දිහා බැලුවමයි මං දැක්කේ අදුරගන්න බැරි විදියට ඒ මූණ කපලා දාලා. මූණෙන් වගේම ඇග හැම තැනින්ම ලේ ගලනවා. දැක්කම බය හිතෙනවා පුතේ ” කියලා අම්මා කිව්වේ ඉකිබිදින ගමන්.

“අනේ අම්මේ අයියගේ කාමරේ ෆෑන් එකෙත් මිනිහෙක් එල්ලිලා මැරිලා ඉන්නවා . මට නම් බෑ තවත් මෙහෙ ඉන්න ” මං කිව්වේ අඩන ගමන් .

“මෙතන අපි නොදන්න මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා ” කියලා අයියා කියද්දි

“හහ්….හහ්…” තරුෂිගේ වියරු හිනාව ඇහුණේ .

“අනේ අම්මා … එයා ආයෙත් ඇවිත් ” මං කිව්වේ අම්මට තුරුළු වෙලා.

“මේ සමරේ කොහෙ ගියාද? තාමත් නෑ. අපිට පන්සල් යන්නවත්” කියලා අම්මා කියද්දිම වහින්න පටන් ගත්තා

-නයෝමී නදීරා ධීරසිංහ –

16 thoughts on “ලේ සළකුණු | සිව්වන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක”

  1. K.K.Damayanthi

    අම්මෝ………. කතාව මරේ මරු….

    ලොකු අබිරහසක් තියෙන් කතාවක් වගේ ….. ගෙදර කට්ටියවම මරා දාලා කවුරු හරි……

    කතාව නම් කියලා වැඩක් නෑ…????????

  2. Chathu indeewaree

    ලස්සන කතාවක්. තව ටිකක් බය හිතෙන විදියට දාන්න. මීට වඩා දිග කොටස් අප්ලෝඩ් කරන්න බැරිද අනේ…?

  3. Thakshi Deepali Jayasuriya

    බුදු අම්මෝ මට දැන් නිදාගන්නත් බයයි…අපේ කාමරෙත් සීලින් ෆෑන් එකක් තියෙන්නේ..අනේ බෑ ??? කතාව නම් එලකිරි…කොච්චර රෑ වෙලා උනත් කියෝලම තමා නිදාගන්නේ….අම්මට තමා කරදරේ ??? අනේ තව ටිකක් දිග කොටස් දාන්නකෝ…සුබ පතනවා නදීරා…දිගටම කතා අහුරට ලියන්න…මං ඔයාගේ හොඳ පාඨකයෙක් දැන්..???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.