Katha Ahura

ලේ සළකුණු | තෙවන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක

4.5/5 - (18 votes)

ලේ සළකුණු

තෙවන කොටස

බාත් රූම් එක තියෙන්නේ කුස්සියට ළගම .
මං ඇතුළට ගිහිං දොරේ ලොක් එක නොදැම්මෙත් බයටමයි. මං ෂවර් එක ඇරලා මූණට වතුර වැටෙන්න අල්ලගෙනම මං කල්පනා කරේ උදේ මොකක්ද වුණේ කියලා . එකපාරටම දොර ලොක් වෙනවා වගේ ශබ්දයක් ඇහුණ නිසා මං හැරිලා බැලුවා .

ඇත්තටම දොර ලොක් වෙලා තිබ්බා . මං ටක් ගාලා දොර අරින්න දොර ළගට දුවලා යද්දී මට ඇහුණේ තරුෂිගේ වියරු හිනාව.

මං කණ්ණාඩියෙන් දැක්කේ පුදුම විදියට බය හිතෙන තරුෂි කෙනෙක් . ඇදගෙන හිටිය ගවුමෙ හැමතැනම වගේ ලේ. ඇස් වලින් නහයෙන් කටෙන් පණුවො එනවා දහස් ගානකින්.

මං පිටිපස්ස හැරිලා බැලුවත් එයා පේන්න හිටියේ නෑ . ආයෙත් කණ්ණාඩියෙන් බලද්දී නපුරු විදියට තරුෂි මගේ දිහා බලාගෙන ඉන්නවා .

“අම්මී…  අනේ අම්මා මේ දොර අරින්න ” මං පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවෙ බයෙන් වෙව්ලද්දී. දොර අරින්න කොච්චර ට්‍රයි කරත් මට දොර ඇරගන්න බැරිවුණා .

“හහ්….. හහ්….” තරුෂිගේ හිනාව මගේ බය තවත් වැඩි කරා. මං කණ්ණාඩිය දිහා බලද්දී දැක්කේ කණ්ණාඩියේ අත් සළකුණු ලේ වලින් තියලා තියෙනවා . ඒත් එක්කම කණ්ණාඩියෙ අකුරු වගයක් ලියවුණේ වේගයෙන් .

” ම-ර-න-වා ” කියලා ලියවුණේ .

මං බුදු ගුණ සිහි කරගෙන මට කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරා. මං ආයෙමත් දොරට ගහ ගහ පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවා .

“චූටි මොකද වුණේ පුතේ . දොර අරින්නකෝ…” අම්මා එළියෙන් ඉදලා අඩ අඩ දොරට ගහන්න පටන් ගත්තා .

“අනේ අම්මේ ලොක් එක ඇ-රෙ-න්නේ– නෑ. ඇතුළෙ අර ගෑණු ළමයා ඉන්නවා . ඈ…. ඈහෑ..” මං අඩ අඩම කිව්වා.

ඒ වෙලාවෙදි තමා මගේ බෙල්ල තද වෙන ගතියක් දැනුණේ . අයියයි තාත්තයි ඇවිත් දොර කඩන්න උත්සාහ කරන බවකුත් මට තේරුණා .

“ඇයි මට මෙහෙම කරන්නේ ? මං ඔයාට මොකක්ද කරපු වරද ?” කියලා මං ඇහුවේ බේරෙන්න අසාර්ථක උත්සහයක් අරං .

“හහ්… හහ්… වැරැද්ද…. වැරැද්ද තමා මටයි තාත්තටයි අපේ ගෙදර සතුටින් ඉන්න නොදී උඹයි උඹේ තාත්තයි මගේ ගෙදර සතුටින් ඉන්න එක…. හහ් ….. හා…” බාත් රූම් එක දෙවනත් වෙන්න කෑ ගහපු තරුෂි මගේ බෙල්ල තවත් තද කරද්දි “සලාස්” ගාලා බාත් රූම් එකේ කණ්ණාඩිය බිදිලා ගියේ වීදුරු කෑලි හැම තැනකම විසුරුවලා…

“අනේ චූටි පුතේ මොකද වෙන්නේ?” කියලා අම්මා කෑ ගහන සද්දේ මට ඇහුණා . කැඩුණු වීදුරු කෑලි අත් කකුල් වල වැදිලා හීරිලා ලේ එන්න පටන් ගත්තේ දරුණු වේදනාවක් එක්ක.  අතේ ලේ ගොඩක් එන ගැඹුරු  තුවාලයක් හැදිලා තිබුණ කියලා මට පෙනුණේ ඒකෙන් ලේ ගොඩක් බිමට වැටුණු නිසා.

“ම්…ම්—- ලේ රහ….” තරුෂිගේ කටහඩින් මම බැලුවේ බිම. මගේ අතේ තුවාලෙන් බිමට වැටෙන ලේ බල්ලෙක් වගේ දිව දික් කරලා ලෙව කෑවේ අප්‍රසන්න විදියට .

මගේ බය තවත් වැඩි කරල මගේ තුවාලෙටම දිව දික් කරපු තරුෂි ලේ බොන්න පටන් ගත්තේ මගේ මුලු ඇගේම ලේ ටික ඇදලා ගන්නවා වගේ මට දැනෙද්දී.

“අනේ එ-පා–” මං හයියෙන් කෑ ගහද්දිමයි තාත්තයි අයියයි දොර කඩාගෙන ඇතුළට ආවේ.

“අනේ චූටි … මයේ පුතේ මොකක්ද මේ වුණේ ” අම්මා මාව බදාගෙන අඩන්න පටන් ගත්තා .

බයවෙලා හිටිය නිසයි බාගෙට නාපු නිසයි උණ ගැනිලා වගේ මාව වෙව්ලද්දී මකං අම්මා බදාගෙන අඩන්න පටන් ගත්තේ .

“නන්දා… දුවව කාමරේට එක්ක යන්න ” කියලා තාත්තා කිව්වා .

අම්මා මාව කාමරේට එක්ක ගිහිං ඔලුව පිහදාලා ඇදුම් මාරු කෙරෙව්වේ පොඩි කාලේ කළා වගේ.

අයියා තේ එකක් හදාගෙන ඇවිත් “චූටි බොන්න” කියලා මට දුන්නේ දුකෙන් මගේ දිහා බලලා.

ඒ පාර නම් අයියා විහිලු කරේ නෑ කියන්නේ අයියා මං කිව්ව දේ විශ්වාස කරන නිසා කියලා මට තේරුණා . මොනා වුණත් අයියා මට හරි ආදරෙයි .

“මොක්කද සමරේ මේ වෙන්නේ?” අම්මා ඇහුවේ තාත්තගෙන් .

“මටත් හිතාගන්න බෑ නන්දා . මාත් කල්පනා කරේ මොකක්ද මේ වෙන්නෙ කියලා ” තාත්තා කිව්වේ බැරෑරුම් විදියට .

“මං කිව්වා ගෙයක් ගද්දි හොදට හොයලා බලලා ගන්න කියලා . මදැයි වෙලා තියෙන දේ. මගේ දරුවෝ දෙන්නට කරදරයක් වෙනවා මට බලන් ඉන්න බෑ..” අම්මා කිව්වේ හිමින් අඩන ගමන් .

“ඒ මගෙත් දරුවෝ දෙන්නා නන්දා . මං එයාල දෙන්නටවත් ඔයාටවත් කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නෑ .” තාත්තා කිව්වේ ස්ථිර හඩකින්.

“යමු හැමෝම කාලා ඉමු. තව උදේටවත් කෑවේ නෑනේ. දොළහට දහයයි වෙලාව ” තාත්තා කිව්වේ ඔරලෝසුව දිහා බලාගෙන .

හතර දෙනාම කෑම කාලා ඉවර වුණාම තාත්තා ගියේ වික්‍රමසිංහ අංකල් මීට් වෙලා එන්නම් කියලා . වික්‍රමසිංහ අංකල් තමා මේ ගෙදර අයිතිකාරයා . එයා ප්‍රාදේශීය සභාවේ මංත්‍රී කෙනෙක් .

අම්මා රේඩියෝ එකේ පිරිත් දැම්මේ මේ වෙලාවේ. පිරිත් ඇහෙද්දි මගේ හිතට සහනයක් දැනුණා . ඒත් ඇගට පණ මදි ගතියක් දැනුණා .

“චූටි එනවා ෆිල්ම් එකක් බලන්න ” අයියා කතා කරේ ආදරෙන් .

“හා මොකක්ද ෆිල්ම් එක?” මං ඇහුවේ වෙච්ච දේවල් අමතක කරන්න ෆිල්ම් එකක්වත් බලන්න තියෙන එක හොදයි කියලා හිතලා.

” ඔයා කැමති එකක් බලමු. ” අයියා කිව්වා .

“පද්මාවත් හොදයි ” මං කිව්වේ අයියා දිහා හොරෙන් බලද්දී .

මං ඔය ෆිල්ම් එක බලන්න ඉල්ලුවේ රිලීස් වුණ දවස්වලම. ඒත් අයියා පාඩම් කරන්න කියලා මට ඒක බලන්න දුන්නේ නෑ.

– නයෝමී නදීරා ධීරසිංහ –

14 thoughts on “ලේ සළකුණු | තෙවන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක”

  1. K.K.Damayanthi

    අම්මෝ….. ඒක………
    පවු චූටි…………………..

    කතාව ලස්සනයි……….ඒ වගේම බය
    ??????????
    ???????

  2. ඒක ලස්සනයි අක්කියෝ……………..ටිටක් අප්පිරියයි හැබැයි පනුවෝ ඉන්න හැටි මට මැවිලා පේනවා????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.