Katha Ahura

සසල අවතාර | 02කොටස | හොල්මන් කතා |

4.2/5 - (17 votes)

සසල අවතාර 02

“ඇයි ආරෝ.. ආරෝ..”

“නැහැ.. මං.. මං මොකක්හරි දැක්කා.. නෑ නෑ.. මුකුත් නෑ…”

“සාහිල්ලා ඉක්මණට එයි.. ඔයා බයවෙන්නෙපා..” ටාෂි පැවසී ය..

මම නැවත අසුනට බර වී දෑස් පියා ගතිමි.. මට මේ දැනෙන අනතුරක සේයාව.. මහත් හිසරදයක් විය.. නොදැනීම දෑස් පියවුණේ කුසගින්නත්, තෙහෙට්ටුවත් අධික නිසා ම වන්නට ඇත.. හදිසියේ තෙත ගතියක් සමඟ සීතලක් දැනුණි.. මම ක්ෂණයෙන් දෑස් හරිද්දී සාහිල් මා අසළ ය..

“මොකද උනේ.. කාවත් හම්බුණාද..?”

“නෑ වස්තු.. අපි තව ටිකක් ඉස්සරහට යමු.. බංග්ලෝ එක ලඟ ම ඇති..”

“හ්ම්…”

ඔවුන් වැස්සට තෙමී ඇති බව මම දුටුවෙන් තුවායක් රැගෙන ඔහුගේ හිස පිසදා ඒ උකුළේ ම නිදාගතිමි.. මද දුරක් ඉදිරියට ඇදුණු වෑන් රථය නැවතිණ..

“ඒයි ශෙනුක.. ආයෙ පාරක් අකුණක් ගහද්දි බලපං මට පේන දේ උඹටත් පේනවද කියලා..”

“මොකද්ද..?”

“අර පැත්ත බලපං.. නෙතුම් උඹත් බලපං..”

නැවත අකුණක් ගසන තුරු හිඳ අපො සියල්ලෝ ම එදෙස බැලුවෙමු..

“මොකක්.. බංග්ලෝ එක මං හිතන්නෙ..”

“ඔව් ඒ වගේ.. අපි ඒ පැත්තට යමු..”

හාත්පස අඳුරු වුවත් ඉදිරිය වෑන් රථයෙන් නික්මුණ එළියෙන් ආලෝකමත් විය.. මගේ මනසේ ඇඳුණු ඡායාව ගැන මම කිසිවෙක් සමඟ නොකීවේ මේ අවස්ථාවේ හැටියට ඔවුන් බියපත් කිරීම අනවශ්‍ය නිසා ය.. වෑන් රථයේ ආලෝකයෙන් මාර්ගයත්, විදුලි කොටන විට ඒ එළියෙන් බංගලාව ඇති දිසාවත් සොයාගෙන අපි ඉදිරියට ම ඇදුණෙමු..

මේ ගමන පටන් ගත් මොහොතේ සිට ම බාධා නිමක් නැත.. රිෂිත්ගේ සීයාට අයිතිව තිබූ පුරාණ බංගලාවක්,කෑම්ප්බෙල් වන රක්ෂිතය ආසන්නයේ පිහිටා තිබෙන බවක් රිෂිත් අප හා පැවසුවේ, රිෂිත් එංගලන්තයේ සිටියදී ය.. ඔහු ලංකාවට පැමිණි පසු වාර්ෂික චාරිකාව එහි යන්නට සැලසුම් කරගත්තේ එබැවිනි.. වසර පනහකින් පමණ එහි කිසිවෙක් පදිංචිව සිට නැත.. සීයාගේ මරණයත් සමඟ දරුවන් තැන් තැන්වල පදිංචියට ගොස් ඇති අතර දැන් එය ජරාවාස වී ඇති බවක් රිෂිත්ගේ තාත්තා අප සමඟ පැවසී ය..

අද පාන්දර පහට මේ ගමන ආරම්භ කරන්න යෙදුණත්, රිෂිත්ගේ දුරකථනය බැටරි බැසීම නිසා එලාම් එක නොවැදීමෙන් ඔහු අවදිව ඇත්තේ උදෑසන හතට පමණ ය.. ලක ලැහැස්ති වී අප සියල්ලන් රැගෙන ගමන පිටත් වද්දී නමයත් පසු වී තිබුණි.. අනතුරුව කොට්ටාව-කඩවත අධිවේගී මාර්ගය මැද වෑන් රථයේ රෝදයක හුළං බැස යාමෙන් අප නැවත කරදරයට පත් විය.. එය පිළිසකර කරගෙන මහනුවරට එද්දී හවස හතර, පහත් පසු වී තිබුණි.. අනතුරුව කැලෑ මාර්ගය අසාගෙන වනය තුළින් ඇදුණ මාර්ගයේ අප පැය දෙකක් පමණ කරක් ගසා තිබුණි..

මේ සියල්ල අපව කලකිරීමටත්, වෙහෙසටත් පත් කළේ මේ ගමන නොයන්නැයි පවසන්නට මෙනි..

“සාහිල්..”

“හ්ම්…”

“ඔයාට අමුත්තක් දැනෙන්නෙ නැද්ද..?”

“ෂ්..ෂ්.. බංග්ලෝ එකට ගියාට පස්සෙ මං දෙයක් කියන්නම්.. එතකං මෙතන අයව කලබල කරන්න එපා.. ඔයා කියන්න යන දේ මං හිතන්නෙ මම දන්නවා…”

මම සාහිල් දෙස බැලුවේ පුදුමයෙනි.. ඔහු දෙතොල් මත ඇඟිල්ල තබා මට නිශ්ශබ්ද වෙන්නයි පවසමින් නිහඬ විය..

“ඕහ්.. ඔන්න අපි ආවා..”

“මොකක්.. උඹට පිස්සුද.. යකෝ මේකද උඹේ සීයගෙ බංගලාව..?” ශෙනුක කෑ ගසනු ඇසී අපිත් එබී බැලුවෙමු..

“හරි ඉතිං ටිකක් ජරා වෙලා තමයි.. උඹලා ආවෙ අස් කරගමු කියලනෙ..”

“උඹට පිස්සුද රිෂියා.. ශෙනුක බලපංකො මේක නිකං භූත බංගලාවක් වගේනෙ..” නෙතුම් බියෙන් සලිතව පැවසී ය..

“අනේ ඔව් අභී.. මට නං බෑ මෙහෙ ඉන්න..”

“අයියෝ ටාෂි බබී.. ඔයා ඉන්නෙ මාත් එක්කනෙ මොකට බය වෙන්නද..?”

“සාහිල්.. මට බය හිතෙනවා.. ඒත්..”

“ෂ්.. එන්නකො.. අපි ඇතුළට ගිහින් බලමු.. තත්වෙ බලලා ඉන්න බෑ වගේ නම් ආයෙත් වෑන් එකට එමු..”

“හ්ම්…”

අනතුරුව වෑන් රථය එහි පෝටිපෝවට දමා, අපි ගමන් මළු සහ සියළු බඩු බාහිරාදිය ඇතුළට ගෙන ගියේ කළුවරේම ය..

“රිෂිත්.. මේක ලයිට් නැද්ද..?”

“නැති වෙන්න විදියක් නැහැ ආරෝ.. ඉන්න මං බලන්නම්..”

ඔහු විදුලි පන්දමක් බිත්තිවලට එල්ල කරමින් ස්විච් බෝඩයක් සොයද්දී මමත් ඔහුට සහය වීමි..

“රිෂී.. මෙන්න තියනවා..”

“මගෙ දෙයියනේ.. මේකෙ තියන ස්විච් ගොඩ.. මකුණුදැල් බැඳිලා ගන්න දෙයක් නෑනෙ..”

“එකින් එක දාලා බලමු..”

අනෙක් අය ගමන්මළු රැගෙන විත් ඇතුළෙන් තියද්දී මමත්, රිෂීත් එහි සියළු ස්විචයන් දමමින් ආලෝකය ගන්නට උත්සහ කළෙමු..

“ෂිහ්.. මේක වැඩ කරන්නෑනෙ..”

“ආහ්.. මගෙ ටෝච් එක.. වැඩ කරන්නැතුව ගියානෙ…”

මගේ විදුලි පන්දම එක්වරම ක්‍රියා විරහිත විය.. වරක් දෙවරක් එය අත්ලට ගසා දල්වාගන්නට බැලුවත් ඉන් ආලෝකයක් නම් නැවත පිට නොවිණ.. රිෂිත් දිගටම උත්සහ කරද්දී මම අනෙක් අය අසළට පැමිණ බැලුවේ වටපිටාව කෙසේද යන්නයි.. අභිෂේක් විදුලි ආලෝකය එල්ල කළේ ප්‍රධාන දොරටුව කෙලින් ම ඉහළට විහිදුණු විශාල පියගැටපෙළකට ය.. එය මදක් උඩට ගොස් දෙපැත්තකට බෙදිණ..

නෙතුම් නිවැරදි යැයි හැඟුණේ මෙය සැබවින් ම භූත බංගලාවක පෙනුම ගත් නිසා ය..

“අනේ අභී..ඉක්මණට උදේ වෙයි නේද..?”

“පිස්සුද ටාෂි.. තාම දොළහටත් නැහැ..”

ශෙනුක පැවසුවේ ඔරලෝසුවට විදුලි පන්දම එල්ල කරමින් ය…

“සාහිල්.. මට නං තේරෙන්නෑ බං මේකෙ ලයිට් ගැන.. උඹ බලපං පොඩ්ඩක්..”

“කෝ…”

සාහිල් එහි අහුමුළු අතපත ගාමින් හිඳ මල බැඳුණු ලීවරයක් එක්වර ම පහතට ඇද්දේ දත් හිරිවැටෙන ක්‍රීක්ස් හඬක් නැගෙද්දී ය.. අප සියළුදෙනා පුදුමයට පත් කරමින් හාත්පස ආලෝකමත් වූයේ ඒ සමඟිනි..

“දෙයියනේ.. රිෂී.. අපිට මේක අමුතුවෙන් ක්ලීන් කරන්න වෙයි වගේ..”

“ඔව් බං.. ෂිට්.. මේක බලාගන්න එකෙක් දාලලු බං තියෙන්නෙ.. බලපං ඉතිං.. මුං පඩි ගන්නවා විතරයි..”

“අපි නිදාගන්නෙ කොහෙද..?”

“දැනට මේ හරිය පොඩ්ඩක් අස් කරගෙන ෂීට් ටික දාගමු.. හෙට උඩට ගිහිල්ලා බලමු..”

ගෙබිම අස්පස් කර දමා ගමන්මළුත් ළඟින් තබාගෙන නිදාගැන්මට සැරසුණා මිසක අපි කාමරයකටවත් හිස පොවා නොබැලුවෙමු.. හැඳ උන් ඇඳුම් පිටින් ම ෂීට් මතට වැටුණු අපි දෑස් පියාගත්තේ බියෙනි..

සාහිල් මා තදින් තුරුළු කර ගත්තද මගේ සිතේ වූ චකිතයේ නම් අඩුවක් නොමැත..

“සාහිල්.. මං.. මං අතන කැලේදි..”

“ෂ්.. මේ අහන්න බබා.. ඔයා මොනවහරි අමුතු දෙයක් දැක්කද..?”

“ඔව් සාහිල්.. මට බයයි…”

“අපි තුන්දෙනා හුඟක් දුර ඇවිද්දා.. ඒත් කාවත් හම්බුණේ නෑ.. ලාම්පු එළියක් තියා කවුරුත් ඇවිදපු අඩි පාරක්වත් තිබුණෙ නෑ.. එකපාර ම වහින්න ගත්තනෙ.. අපි ගහක් යටට දුවගෙන ගියා.. අකුණක් ගහද්දි ම…”

එක්වර ම මුළු පළාත ම දෙදරවා විදුලියක් කෙටුවේ අපේ කන අසළින් ම මෙන් ය.. බංගලාවේ ජනෙල් වීදුරු දෙදරවා ගොස් සෙළවන්නට පටන් ගත්තෙන් අපි තවත් බිය වීමු.. පවසන්නට ගිය දේත් ඒ සමඟින් ම ගිලගත් සාහිල් නැවත නිහඬ වූයේ මගේ හිතේ කුතුහලයක් ඉතිරි කර ය.. සියල්ලෝ ම එකිනෙකා අසළට ම වී නිදාගත්තත් මට කෙසේවත් නින්දක් නොවිණ.. යන්තම් දෑස් පියවුණත් මා දුටු දසුන සිතේ හොල්මන් කරන්නට විය..

නෙතුම් ගොරවන හඬ ඇසෙද්දී මම තේරුම් ගත්තේ පැයක් පමණ ගතවූ බවයි.. සැවොම නින්දට වැටී ඇත.. හදිසියේ ම ප්‍රධාන දොරටුව අසළින් මල බැඳුණු සරනේරුවක ක්‍රීක්ස් හඬක් ඇසිණ… මම ඉස්සී බැලුවේ දොර දෙස ය.. නමුත් කිසිවෙක් පෙනෙන්නට නැත.. සෙමෙන් සෙමෙන් දොර විවර වුණි.. කට්ට කළුවරේ කිසිවක් නොපෙනෙද්දී, මේ දොර අරින්නේ කවුදැයි මට සිතාගත නොහැක.. මේ හඬ ඇසෙන්නේ මට පමණක් ද..

මම පොරවාගෙන සිටි රෙද්ද මදක් ඉවත ලා තව ටිකක් ඉස්සී බැලුවෙමි.. දොර සම්පූර්ණයෙන් ම දෙපසට විවර විය.. එක්වරම ගැසූ අකුණින් හාත්පස ම නිල්, සුදු ආලෝකයකින් ඒකාලෝක වී යද්දී මම දුටුවේ දොර පාමුල රතු පැහැ විලක් මෙන් ලේ ගොඩකි….

බිහිසුණු අඳෝනා මතු ඇසෙන්නට නියමිත ය..
————————————–
පරිස්සමින් නිදාගන්න.. ඔයාලගෙ කාමරවලත් රෑට ඔහොම දොරවල් ඇරෙන්න පුළුවන්.. අමුතු සද්ද බද්ද ඇහෙන්න පුළුවන්… ලේ විලක් උනත් ඉතිං……….

✍️නොතෙල්ලා කෙල්ල

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.