Katha Ahura

අඳුන් සිහින | එකොලොස්වැනි පරිච්ඡේදය | නවකතාව |

5/5 - (1 vote)

අජය බීර වීදුරුව තොල ගාමින් සිටි සිය සගයා දෙස නිහඬව බලා සිටියේය. දිනූෂ මෙලෙස හැසිරෙනවා ඔහු කවදාවත් දැක තිබුණේ නැත.

“මොකද බං උඹට වෙලා තියෙන්නේ ?” අජය ඇසුවේ බලා හිඳ බැරිම තැනය. “කියන්න තියෙන දෙයක් කෙළින්ම කියපංකෝ මෙතන පිස්සු කෙළින්නේ නැතිව….” ඔහු පැවසුවේ සිතේ නැග එන තරහව මැඩගැනීමට
අසාර්ථක උත්සහයක් දරමිනි. “උඹත් රීදීමත් අතර කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැනේ. ඉතින් මොකද මේ
නහින්න හදන්නේ ? අනෙක එදා ඒකිම ඇඬුවනේ එයාට අර මොකාද එකා මතක නැහැ කියලා….”

නිශ්ක මෙනෙහිවත්ම, දිනුෂට සිතුනේ සිහිය නැතිවනතුරු බීමටය. රිදීමා අමතක කිරීමටය. එවිට තමාගේ හදෙහි තෙරපෙන, සුළි සුළඟක් බඳු මේ සිතිවිලි කන්දරාව මැකිය හැකි වෙතැයි ඔහු සිතුවේය. එහෙත් තමා අත් නොහැර සෙවණැල්ලක් මෙන් ළඟින් හුන් අජය නිසා ඔහුට එය කළ නොහැකි වූයේය.

“මේ ! උඹගෙ අම්මටයි අප්පච්චිටයි වග කියන්න ඕන මම. උඹට ඕන නම් බියර් වීදුරුවක් බීපන්…. වෙන මුකුත් හෙම කටේ තියනවා නෙමෙයි.” අවන්හලට ගොඩවැදුණු හැටියේ ඔහු පැවසුවේය. අනෙක ආපසු යනවිට කාරය එළවීම සඳහා සිහි ඇති කෙනෙක් සිටිය යුතු බැවින්, නොබී සිටීමටද තීරණය කළේය. අජය එසේ හැසිරෙනු දිනූෂ ද දැක තිබුණේ නැත. අජය තව තවත් මොනවදෝ දිගටම කියවනු දිනූෂ දුටු මුත්, ඒ මොනවාදැයි වටහා ගැනීමට ඔහු උත්සහ නොදැරුවේය. පෙනුණේ මුව සෙලවීම පමණකි. අජය විස්තර කරමින් සිටියේ , මේ හැමදේටම හොඳ විසඳුම වන්නේ ප්‍රශ්නයේ මුල සොයා ගැනීම බවය. වෛද්‍ය විද්‍යාවට අනුවද රෝගයට හොඳින් ප‍්‍රතිකාර කළ හැක්කේ එවිටය. එමෙන්ම නිසි ප‍්‍රතිකාර, නිසි වේලාවට නොලැබුණහොත් වන්නේ රෝගය උත්සන්නවීමය. හැකි ඉක්මනින් ලංකාව බලා පිටත්විය යුතු යැයි අජය කල්පනා කළේය.

“අපි දැන් යමු. දැනට ඔය ඇති….” බියර් බෝතල් තුනක් හිස් කළ දිනූෂ වෙත හැරෙමින් හේ පැවසීය.
වීදුරුව තුළ වූ යමක් දෙස ඉතා උවමනාවෙන් බලා සිටි දිනූෂ, අකමැත්තෙන් නැගී සිටියේය.

“මට උඹෙන් ප‍්‍රශ්නයක් අහන්න තියෙනවා….”

අජයගේ ඇහි බැමක් එසැවිණි.

“ඒ මොකක්ද ?”

“උඹ මහීකාට කතා කරන්නෙත් ඔය භාෂාවෙන්මද ?” අජය හඬ නගා හිනැහුණේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

මහීකාගේ උත්සාහය නිසා යාන්තම් ලංකාවට යන නඩය එකතු කරගැනීමට ඇයට හැකි වූයේය.
දිනූෂට තදින් ආදරය කළ මව, ඔහුගේ සිතේ අමාරුව තේරුම්ගත්තී, ඔහු ලංකාවට යැවීමට කැමති වූවාය. නිවාඩුවක් ලැබුණු රුචිරා කල්පනා කළේ නිවසේ නතරව අමතර රැකියාවක් කොට මුදල් ටිකක් හම්බකර ගැනීමටය. ඒ අදහසට අනෙක් අයද කැමති වූවෝය. නිවස බලා ගැනීමට යමකු සිටිනා නිසාත්, අවශ්‍ය
විටක මේ පැත්තෙන් යමක් කරගැනීමට අයෙකූ ඉන්නා නිසාත්ය. නඬේ ගුරා වූයේ අමාය. අවශ්‍ය උපදෙස් ලැබුණේ ඇයගෙනි. ටිකට්පත් මිලදී ගැනීම, යන එන දින අනෙක් අය හා සාකච්චා කොට තීරණය කිරීම වැනි දෑ සංවිධානය කළේ මහීකාය. නඩය ආරක්‍ෂා කිරීම අජය භාර ගත්තේය. දිනූෂ ඒ කිසිම දේකට ඇඟිලි නොගැසුවේය. රිදීමා නම් සිදුවන කිසිදෙයක් ගැන තැකීමක් නොකළාය. කිසිවක් තැකීමට තරම් සුදුසු මානසික
මට්ටමක ඈ නොසිටියාය.

සවස හයකුත් ගණනකට වූ සිංගප්පූරුව බලා යන ගුවන් යානය ගැනීම සඳහා මෙල්බර්න් ගුවන් තොටුපළට ඔවුහු එක් සිකුරාදා සවසක එක් වූවෝය. වෙනදා මෙන් ගුවන් තොටුපොළෙහි වූයේ කලබලකාරී බවෙකි. කලෙකින් ලංකාවට පය නොගැසූ දිනූෂට පවා යම් උද්යෝගයක් ඇතිවෙමින් තිබුණේය. ඔහුගේ සිතට අමාරු වූයේ රිදීමා දෙස බැලීමය.
ඇය සිය යෙහෙළියන් දෙදෙනාට මැදිව හිඳ සිටියාය. නිදි මැරීම හා හැඬීමෙන් වෙහෙසට පත් වූවාක් මෙන් ඇගේ දෙනෙත් වටා දම් පැහැයකින් අඳුරුව තිබෙනු ඔහුට පෙනිණි. දිගු ඇස් පිහාටුවලද වූයේ වෙනදාට වඩා තද කලු පැහැයකි. රිදීමාට දැනුණේ, තමා මුලූමනින්ම ගල් ගැසුනාක් වැනිවය. එම ගල් හදවතට සිතුවිලි කිසිවක් ඇතුලූවීමට ඈ ඉඩ නුදුන්නාය. එළඹෙන මොහොතේ ජීවත්වීම පමණකි ඇය කළේ !

“පුතා ඔයාලට නුවර අපේ ගෙදර නවතින්න පුලුවෙනි. මම අප්පුහාමිට කියලා ඔක්කොම ශුද්ධ පවිත‍්‍ර කරලයි තියෙන්නේ….” දිනූෂගේ මව පැවසුවාය. “රිදීමාව ගෙදර බස්සලා ඔයාලට එහේ යන්න පුලූවන්. නැත්නම් රිදීමටත් එහෙ නතරවෙන්න පුලූවන්….” මව සිනා සෙමින් රිදීමා ළඟින් හිඳගත්තාය. “ඒකට දුවලගේ අම්මලා නම් කැමතිවෙන එකක් නෑ….”

“නැන්දම්මා හදන්නේ පුතාට කියලා එකපාරම මනමාලි කැන්දවා ගෙන ගිහින් වැඬේ අහවර කරලා දාන්න.” අජය මහීකාට පැවසුවේය. ඈ ඔහුට වැලමිටෙන් ඇන්නාය.

“මෙහෙමත් කටක් !” ඇයට සිතුණේය.

ඉතා කල්පනාකාරී, ප‍්‍රසන්න පුද්ගලයෙකු වූ දිනූෂගේ පියාද, මවද කතාව අනුමත කළේය.
“ඔයාලට අවශ්‍ය හැමදේම සිරිසේන ලෑස්ති කරලා ඇති. කාර් එකත් ගරාජ් එකේ…. ඔයාලා එලවනවට වඩා හොඳයි සුමතිපාල ගෙන්නගත්තා නම් ! සිරිසේනට කීවා නම් මිනිහා පණිවිඩයක් යවයි….” දිනූෂ හිස වැනුවේය.

“හරි අප්පච්චි බයවෙන්න දෙයක් නෑ.” ඔහුගේ හඬට රිදීමා හිස එසවූවාය. ඔවුන්ගේ දෙනෙත් මොහොතකට මුණ ගැසුණි. ඔහුගේ දෑසේ පිරී තිබූ ආදරය තමාගේ ගතට සැලූ පවන් පොදක් මෙන් ඇයට දැනුණි. එහි
උණුසුමින් ඇගේ ගල්වූන හදවතද දෙදරා යතැයි බියවූ ඇය බිම බලා ගත්තාය.

“මම මේ හැමදෙනාම හොඳින් බලාගන්න පොරොන්දු වෙනවා අංකල්…… අපි කොහොමටත්
ඩේලි රිපෝට් එකක් දෙන්නම්….” අජය පොරොන්දු වූයේය.

“ඒකට නම් බයවෙන්න දෙයක් නෑ. ආන්ටි ඔයාලට එපා වෙනකම් දවසට හත් අටවතාවක්වත් කතා කරයි….”
සියල්ලෝම සිනාවූවෝය.

“මෙයා ඔහොම කිව්වට හවසට ගෙදර ආපු ගමන් අහයි, අද පුතා කතා කළේ නැද්ද ? කතා කළේ නැත්නම් ඇයි ඔයා කතා කරලා බැලූවේ නැත්තේ කියලා. අන්තිමට කරදරකාරී විදියට අහුවෙන්නේ මම……” පැවසූ මව සිනහවූවාය. දිනූෂගේ මුවගද සිනහවක් ඇඳුනේය.

අමා ගමන් මලූ හරිදැයි බැලූවාය.

“දැන්නම් අපි ගියොත් හොඳයි කියලා හිතෙනවා……” ඈ රිදීමා අතින් අල්වාගෙනම නැගී සිටියාය.

සියල්ලන්ම තමන් උන් තැන්වලින් නැගී සිටියෝය. දිනූෂ පහත් වී දෙමව්පියන් වැඳ, අනතුරුව
ඔවුන් සිප වැළඳගෙන සමු ගත්තේය. සියල්ලෝම ඔහු අනුකරණය කළෝය.

“මිනිස්සු බලයි මොකද මේ කියලා…..” දිනූෂගේ මව හිනැහුණාය.

”දුව සන්තෝසෙන් ඉන්න ! ඔයා ගෙදර යනවනේ අම්මයි, අප්පච්චියි ළඟට…..” ඈ රිදීමා සිප ගත්තාය. රිදීමාට ඇගේ උණුසුමින් මිදීමට බැරි බවක් දැණුනේය.

“හොඳයි ආන්ටි !” ඈ සුසුමක් හෙලූවාය. සිය ගමන්මලූ රැගත් දරුවන් නොපෙනී යන තුරු, දිනුෂගේ මව බලා සිටියාය. “දුප්පත් කෙල්ල…..” ඔවුන් නොපෙනී ගිය පසු, ඈ තම සැමියා දෙස බලා පැවසුවාය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ගුවන්යානය තුළ, යෙහෙළියන් තිදෙනාට මැද පෙලක අසුන් තුනක් ලැබුණේය. ඔවුනට කෙළින්ම එහා පෙළේ අජයද, දිනූෂද හිඳ ගත්තෝය. එහි කොනේ වූ අසුනෙහි හිඳි අජය හා පහසුවෙන් කතා කිරීම සඳහා මහීකා
කෙළවර අසුන් ගත්තාය. රිදීමා සිරිත් පරිදි සිටියේ යෙහෙළියන් දෙදෙනාට මැදිවෙලාය. රාතී‍්‍ර ආහාරයෙන් පසු අමා හරිබරි ගැහුණේ නින්දක් නිදාගැනීමටය. ඉවර කළ යුතු වැඩ රැසක්වූ බැවින් ඇයට පිට පිට දින කිහිපයක් නිදි වැරීමට සිදුවූයේය. ඒ සියල්ල අල්ලා ගැනීම සඳහා පැය කිහිපයක් නිදා ගත යුතු යැයි ඈ කල්පනා කළාය. නින්දක් ඒවිදැයි නොදත් මුත් රිදීමාද කම්බිලිය තුල ගුලිවී, දෑස් තරයේ පියා ගත්තාය. නිදිමත එනතුරු මහීකා තැත්කළේ අලුත් චිත‍්‍රපටයක් නැරඹීමටය. දිනූෂ හා අජයද කුමක් හෝ නරඹනු ඈ දුටුවාය.

ගුවන්යානය තුළවූ එළි එකින් එක නිවී ගියේය. එකකු, දෙන්නෙකු කියවීම සඳහා පාවිච්චි කළ එළියක් පමණක් තැනින් තැන දක්නට ලැබිණි. චිත‍්‍රපට කිහිපයක් බැලීමට තැත්කළ මුත් මහීකාගේ සිත ඊට ඉඩ දුන්නේ නැත.
පියවිලෝකයේ තමා දකිනා සිනමා පටය ඊටවඩා ඊට වඩා අලංකාර යැයි ඈ තමාටම කියාගත්තාය. ඊ ළඟට තමා මෙතෙක් දල්වා සිටි එළිය නිවා දැමූ ඇය , එහාට මෙහාට හැරීම නිසා බිමවැටුණු තමාගේ කුඩා කොට්ටය අහුලා ගැනීම සඳහා නැමුණාය. ගුවන්යානයේ පසුපසට ගමන් කරමින් සිටි යමෙක් ඇයට ඉඩදීම සඳහා නතරවූයේය. කොට්ටය අතින් ගත් මහීකා, හිස එසවූයේ සමාව අයදීමටය. තමා අසල සිටගෙන උන් පුද්ගලයා දුටු ඇයට කීමට ආ දෙය සම්පූර්ණයෙන් අමතක වූයේය. අඩ සිනහවකින් ඇයට සංග‍්‍රහ කළ නිශ්ක නිහඬව එතනින් ඉවත්වනු ඈ අයාගත් මුවින් බලා සිටියාය.

අඳුන් සිහින දොළොස්වැනි කොටසින් නැවත හමුවෙමු.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.