Katha Ahura

සසල අවතාර | 03 කොටස | හොල්මන් කතා |

3.9/5 - (33 votes)

සසල අවතාර 03

“සාහිල්.. සාහිල්…”

සියල්ල නැවත කළුවර වෙද්දී මම සාහිල් ඇහැරවාගෙන ඔහුගේ කනට කෙඳිරුවේ මා දුටු දසුන පිළිබඳවයි.. නමුත් ඔහු මහන්සියට හා නිදිමතට ම නැවත ෂීට් එක මත වැටී අනිත් ඇලයට හැරුණි.. නැගිට ගොස් දොර වසා එන්නට සිතුණද, තනිව එදෙසට යෑමට මට බියක් දැනුණේ විකල් සිතුවිලි පහල වූ බැවිනි.. ඇඳට යටින් හොල්මන් සිටිතැයි සිතා දෙකකුල් පොරවනයට වසාගෙන නිදාගන්නා කුඩා කාලය මට සිහි විණ..

සාහිල්ගේ පිට බදාගෙන මම නැවත දෑස් තද කොට පියාගත්තේ මේ සියල්ල මගේ මනසේ ඇඳෙන මනස්ගාත යැයි මට ම කියාගෙන ය..

පෙරදින රාත්‍රියේ කෙසේ නින්දක් ලැබුණිදැයි මම නොදනිමි.. නමුත් ඇහැරුණේ සාහිල්ගේ පපුතලය මත සුව නින්දක පසුවෙමින් සිට ය..

“සාහිල්.. නැගිටලා වරෙන්කො.. උඹ නං මේ ප්ලේස් එක දාලා යන්නැති වෙයි…”

අපි දෙදෙනාම නැගිට දෑස් අත්ලෙන් මිරිකමින් නැගිටියේ වටපිට බලමින් ය.. හදිසියේ යමක් සිහි වී, මම දොර පාමුල බැලූවත්.. පෙර රාත්‍රියේ එහි මා දුටු රුධිරය පිළිබඳ සළකුණක්වත් නැත.. අපි බංගලාවෙන් එළියට බැස වත්ත දෙසට ඇවිදගෙන ගියෙමු..

“දෙවියනේ.. මේක මාර ප්‍රපාතයක්නෙ..”

“අපි කඳු පාරක ඇවිල්ලා තියෙන්නෙ කියලාවත් හොයාගන්න බැරි උනා.. කළුවරයි වැස්සයි ඔක්කොම අස්සෙ..”

“පොඩ්ඩක් ඉඳපං මං කැම් එක අරං එන්නං..”

සාහිල් නැවත දුවගෙන ගියේ සිය කැමරාව රැගෙන ඒමටයි.. ඔහුව මේ ස්ථානයෙන් රැගෙන යාමට නම් අපට නොහැකි වන බව මට වැටහුණේ අවට පරිසරයේ අලංකාරත්වය නිසාම ය.. විනෝදාංශය ඡායාරූප ශිල්පය වූ බැවින් සාහිල් මේ මුළු මාසයම වුවත් මෙහි නවතින්නට සැරසෙන බව මම දනිමි.. ඔහු කැමරාව රැගෙන විත් ඡායාරූප කිහිපයක් ගන්නා තුරු බලා හිඳ මම නැවත නෙතුම් සමඟින් ගෙතුළට පැමිණියේ එහි උඩුමහළට යාම සඳහා යි..

“රිෂිත් අපි උඩට යනවා…”

“හරි හරී..”

උඩු මහළට යැවෙන පියගැටපෙළ තවමත් සවි ශක්තියෙන් ඉහළ බව මට පසක් වුණි.. දාරුමය ගෘහ භාණ්ඩවලට තවමත් වැඩි හානියක් සිදු වී නොමැත.. නෙතුම් මට ඉස්සර වූ පසු මම ඔහු ගිය දිසාවෙන් ප්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කළෙමි.. කෙළවරක් නොපෙනෙන දිගු කොරිඩෝවේ අන්තය කළුවර ය.. දෙපස විසල් දොරවල් සහිත කාමර දහයක් පමණ විය..

කොරිඩෝව එන්න එන්නම කළුවර වූයේ කාමර මිසක්, කොරිඩෝවට විවෘත වූ ජනෙල් නොමැති නිසාම ය.. මකුණු දැල් පිරුණු සිවිලිම ලීයෙන් කළ එකකි.. නිකමට මම එක් දොරක අගුලක් කරකවා බැලුවෙමි.. පුදුමයක්.. එය මල බැඳුණු සරනේරු හඬ නංවමින් විවර විය.. සිරුරෙන් භාගයක් කාමරයෙන් මෙපිට තබාගෙන මම මදක් එබී බැලුවෙමි..

වයින් බෝතල් තබන රාක්ක යැයි සිතිය හැකි සිවිලිම දක්වා උස කළු පැහැති ලී රාක්ක හතරක් කාමරය වටා තිබුණි.. බිම එළා තිබූ රත් පැහැ බුමුතුරුණ දුහුවිලිවලින් වැසී ගොස් ය.. අබලන් වූ ඉනිමගක් එක් මුල්ලක තිබුණු අතර මම ඉක්මණින් ඒ කාමරයේ දොර වසා දමා ඉදිරියට ඇදුණෙමි..

“රෝහී.. රෝහී.. ඕහී.. හී.. හී..”

අවට දෝංකාර දෙමින් නැවත නැවතත් ඇසුණේ මගේ නමයි.. නෙතුම් මගේ නම අඬ අසන ශබ්දයට මම ප්‍රතිඋත්තර දුනිමි.. එයද ප්‍රතිරාව නංවමින් කොරිඩෝවේ අනෙක් කෙළවරට ගමන් කළේ ය..

“ඇයී.. ඇයී.. ඇයී…යී.. යී…?”

“මෙහෙන් එන්න.. එන්න.. න්න.. න්න..”

මම ඉක්මණ් අඩි තබා එදෙසට ඇදුණෙමි..

“මේ බලන්න මේ කාමර..”

“වාව්.. අස් කරලා ගත්තොත් අපිට ඉන්න පුළුවන්.. එච්චර ම ජරාවාස වෙලා නෑ හලෝ..”

“ඔව් අපි පහළට යමු.. කුස්සියක් ඇති පහළ..”

“මමත් දෙයක් හොයාගත්තා.. හැබැයි කියන්නෑ..”

ඔහු සමඟින් මම පහළට එද්දී සියල්ලෝ ම සිනහ වෙමින් කතාබහක නිරත ව සිටියේ ටාෂිට සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව ය.. මම එය අතරමැද නවත්වා ඔවුන්ගෙන් ඇසුවේ ආහාරපාන ලබාගැනීමට ක්‍රමයක් ඇත්දැයි සොයා බැලිය යුතු බව ය..

“බංගලාව බලාගන්න මිනිහා ආවා.. අපි සල්ලි දීලා ඇරියා ඌට.. ඒ යකා පිස්සෙක් ආරෝ..”

“කවුද කියලා නොදැන ඔයාලා සල්ලි දුන්නෙ.. රිෂිත් අඳුරනවද මිනිහව..?”

“නෑ.. මම නං මීට කලින් දැකලා නැහැ.. ඒත් ඌ අපිව දැක්ක ගමන් ඇහුවා මුදලිසිංහ මහත්තයලෑ පුංචි බේබිගෙ යාළුවොද කියලා.. මං ඉතිං කිව්වා මම තමයි මුදලිසිංහගෙ මුණුබුරා කියලා..”

“එහෙනං හරි.. හොඳ දෙකක් කිව්වෙ නැද්ද මේක අස් කරේ නැතුවට..?”

“බැන්නා.. ඔය අහන් ඉඳලා බල්ලා වගේ ගියෙ..”

“පව් රිෂිත්..”

සියළුදෙනා එක්ව කාමර අස්පස් කොට ගත් අතර, සවස් වනතුරු ම දුහුවිලි පිස දමා බංගලාව නැවත යථා තත්වයට ගැන්මට අපට දැඩි වෙහෙසක් දරන්නට විය.. පෙර දිනයේ වූ මනස්ගාත සිතින් ඉවත ලා මම එහි ඉන්නට හිත හදාගත්තේ අවට නිස්කලංක පරිසරය සහ සුවපහසු විවේකී බව නිසාවෙන් ය..

“සාහිල්.. ඔයා වොෂ් එකක් දාගන්නකො.. මං වොෂ් එකක් දාගන්නම් ඊට පස්සෙ..”

“එහෙනං ඔයා රෙදි ටික අල්මාරියට දානවද..?”

“හරී..”

කාමරයට ගොස් හැඳ සිටි උඩු කමිසය ගලවා දැමූ මම කළු ස්කිනිය පිටින් ම රෙදි ටික අස්පස් කර දමන්නට පටන් ගතිමි.. නිවස පිළිසකර කිරීමේ කටයුතු කෙළවරක් වන විට සවස හතත් පසුව තිබූ බැවින් සීතල වතුරින් ඇඟ සෝදාගැනීමට අපිට සිදුව තිබුණි.. මම රෙදි ටික අල්මාරියට දමා දොර වසන විට දඩාස් හඬින් කාමරයේ ජනේලයක් වැසී නැවත විවර වූවේ ය…

මම සෙමෙන් අඩි තබා එදෙසට ගොස් ජනේලය වසා දමන්නට එළියට අත දිගු කළෙමි.. අත දිගු කරද්දී ම මම දුටුවේ පහළ කෙටි තාප්පය අසළ වූ විශාල ගස ලඟ සිටගෙන සිටින යමෙක්ව ය.. ඇය පෙර දිනයේ දුටුවාක් මෙන් සුදු පැහැ ඡායාවක් ම විය.. මම ඉක්මණින් ජනේලය අසළින් මෙහාට වූවේ බියපත්ව ය.. නැවත පපුව අතින් අල්ලාගෙන මම ජනෙල් කණ්ඩිය අසළට ගොස් පහළ බැලුවෙමි… තවමත් ඒ ඡායාව එතැන ය..

“ආරෝ…”

“ආහ්.. ආහ්.. මොකද…?”

“ආරෝ.. මොකද මේ..? යන්න ගිහින් වොෂ් එකක් දාගන්න.. තවත් රෑ වෙයි..”

ඔහු තුවාය මා අතට දී ගොස් ජනේලය වසා දැමුවේ ය.. මම සුසුමක් හෙළා නාන කාමරය වෙත ඇඳුණේ හොල්මනක් ලෙසිනි.. එහි මලානික එළියක් සහිත විදුලි බල්බයක් දැල්වුණු අතර ඇඟපත සෝදාගැනීම සඳහා මා වතුර කරාමය අසළට ගොස් එහි වූ ෂවරය විවර කළේ ය.. වතුර කරාම අසළම පසෙකින් වූයේ යකඩ ලීවරයකි.. මම ලීවරය දෙපසට ඇද බැලුවේ ඉන් කුමක් සිදු වේදැයි දැනගැනීමේ කුතුහලයට ය… එය වම් අතට හරවද්දී ම යකඩ ෂවරයෙන් ඇද හැලෙන වතුර එක්වරම මද උණුසුමක් ගත්තේ මට සහනයක් දනවමිනි..

උණුසුම් වතුර නිසාවෙන් ඉන් නැගෙන හුමාලය වැනි මිහිදුම් ගතිය නාන කාමරයේ බිත්තිවල අල්ලා තිබූ අළු පැහැති පිඟන් ගඩොල් මත සටහන් වුණේ රථයක ඉදිරි වීදුරුවේ මීදුම බැඳෙන්නාක් මෙන් ය.. මම ඇඟපත සෝදාගෙන විත් තුවාය පපු මත්තේ ගැට ගසාගෙන කණ්ණාඩියෙන් මුහුණ බලද්දී, එය හුමාලයෙන් වැසී ගොසිනි..

එක් වරම හුමාලය බැඳුණු කණ්ණාඩිය මත පතිත වූයේ අත්ලක සටහනකි.. මම භීතියට පත්ව ගැහෙද්දී එක්වර ම ඇඟිලි තුඩුවලින් ඒ ලකුණ පහළට ඇදගෙන යන්නට විය.. එය අදෘෂ්‍යමාන හස්තයකින් වීදුරුව මත තැබූවක් මෙන් පෙනෙද්දී ම හැකි තරම් උස් හඬින් මා කෑ ගැසුවේ දෙඅතින් හිස බදාගෙන ය…

බිහිසුණු අඳෝනා මතු ඇසෙන්නට නියමිත ය..

——————————–
ඔයාලත් රෑට හොට් වෝටර් ෂවර් එකෙන් නාන්නෙ පරිස්සමට හොඳද.. ඔයාලගෙ බාත්රූම් එකේ කණ්ණාඩිය ගැනත් සැළකිල්ලෙන් ඉන්න..

අනේ දිග කමෙන්ට් එකක් දාගෙන යම්න හාද..

✍️නොතෙල්ලා කෙල්ල

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.