Katha Ahura

අඳුන් සිහින | දහතුන්වැනි පරිච්ඡේදය | නවකතාව |

5/5 - (1 vote)

“පොඞ්ඩක් ඔහොම හිටහන් !” රිදීමා වහා, ගං ඉවුරෙහි වූ කුඹුක් ගසකට මුවාව සිට ගත්තාය.

“ඇයි සුදුබේබි ? ” පිංචිගේ දෑසෙහිවූයේ, ප‍්‍රශ්ණාර්ථයෙකි. මුවද මඳක් විවර විය. රිදීමා තම දබරැඟිල්ල දෙතොල මත තබා, නිහඩ වන්නැයි ඇයට සංඥා කළාය. නිල්, රතු කොටු සරමක් හා සුදු කමිසයක් හැඳගත්තෙකු නිශ්ක හා කතා කරනු පිංචිටද පෙණුනේය.

රිදීමා ඇයත් ඇදගෙන අසල වූ අඩක් එළිපෙහෙළි කරනු ලැබූ හේනක් වෙත දිව ගියාය. පය පැටලූණු පිංචි කෙල්ල වැටෙන්නට ගියේ වරක් දෙවරක් නොවේ. රිදීමා පසෙක වූ වියලි තණ ගොල්ලක් මතට ඇය තල්ලූ
කළාය.

“පිංචියේ ! උඹ අද ඇත්ත කියනකල් අපි මෙතනින් හෙල්ලෙන්නේ නැහැ…..” පිංචිගේ විසල් දෑස, තවත් විශාල වූයේය.

“මොනවද බේබි ?” රිදීමා, හරිබරි ගැසී පිංචි අසලින් හිඳගත්තාය.

“උඹ සුදු මැණිකේ එක්ක නිශ්ක බලන්න ගං ඉවුරට ආවද ? නැද්ද ?”

“මම …..” පිංචි කෙල්ල කට අයා යමක් කීමට තැනුවාය.

“කෙලින් උත්තරයක් දීපන්. ආවද ? නැද්ද ?” රිදීමා ඇයට බාධා කළාය. “මම කලිනුත් කීවා. ඇත්ත කියපන් !”
“නෑ…..” පිංචිගේ හිස දෙපසට සැලිණි.

“හොඳයි…. උඹ ඔය සුදු මැණිකේ කියන්නේ මටද ?”

එවර නම්, පිංචිගේ මුවගෙහි සිනාවක් ඇඳී ගියේය. “නෑ…..”

සිය හදවත දාගන යන්නාක් මෙන් දැනුණෙන්, රිදීමා මොහොතකට දෑස් පියා ගත්තාය.

“කවුද සුදු මැණිකේ කියන්නේ ?”

“බේබි නෙවේ……”

ඇය කියන දෑ තේරුම් ගැනීමට හොඳින් සවන්දීමට සිදුවූ තරම් සිහින් හඬකින්, පිංචි කතා කළාය.

”එහෙනම් කවුද ?”

“බේබි තමයි !”

රිදීමාගේ හදවත යළිත් දා ගියේය.

“මොනවද උඹ මේ කියන අන්ඩර දෙමළ….. බේබි නෙමෙයි…. බේබි තමයි !” රිදීමාගේ හඬ උස්වූයේය.

“සුදු මැණිකේ බේබි වගේමයි. ඒත් බේබි නෙමෙයි…..”

රිදීමා පසෙක වූ ගසකට හේත්තු වූවාය. ගසේ පිපී තිබූ කුමක්දෝ නොහඳුනනා මලකින් හැමූ තද සුගන්ධය, තම හිස කරකවන්නාක් මෙන් ඇයට දැනුණේය.

“පිංචියේ මට තේරෙන්නේ නැහැ….” ඈ මඳ වේලාවකට පසු පැවසුවාය.

“මටත් තේරෙන්නේ නෑ බේබි…” පිංචිද කීවාය.

“සුදු බේබි…. සුදු බේබි….” ඒ සුබරත්න මැණිකේගේ හඬය.

“අම්මා හොයනවද දැන්නෑ. සුබේ කෑගහන්නේ ඒක වෙන්නැති.” රිදීමා වහා නැගිට්ටාය.

“උඹ මේ ගැන කාටවත් කියනවා එහෙම නෙමේ !” පිංචි කෙල්ල හිස සැලූවාය.

“අද උඹ නිදන්නේ මගේ කාමරේ තේරුණාද ?” පිංචි වහා දුවන්නට පටන් ගත්තාය.

“අපි එනෝ !”

රිදීමාද, ඇය පසුපස ඉගිල්ලූණාය. ඇය මෙම දර්ශණය, කීවතාවක් සිහිනෙන් දකින්නට ඇත්ද ?

“මේ කෙල්ල සුදු බේබිව අර කැලේ මොන එහෙකට ඇදගෙන ගියාද ?” සුබරත්න මැණිකේ පිංචිට සැර වූවාය.
“බේබිගේ මූණත් එක්ක රතු වෙලා. යන්න ගිහින් මූණ කට හෝදගෙන එන්ට……”

රිදීමා මූණ සෝදාගෙන එන විටත් අම්මා පෙනෙන්නට නොසිටියාය.

“ලොකු මැණිකේ ගියා පොඞ්ඩක් ඇලවෙන්ට ! මේ දවස්වල ටිකක් සනීප මදි නෙව….”

සුබරත්න මැණිකේ ඔසවාගෙන පැමිණි තේ බන්දේසිය, කෑම මේසය මත තැබුවාය. රිදීමා, අටපට්ටමක හැඩයට කපා තිබූ අළුවා කැබැල්ලක් අතට ගත්තාය. හීන් රන් වළලූ දැමූ අතකින් අලූවා කැබැල්ලක් ඩැහැ ගන්නවා ඇගේ මනසෙහි ඇඳී, නොපෙනී ගියේය.

“ඇයි සුදු බේබි !”

“නෑ…. මගේ අතේ තිබුණු රත්තරන් වළලූ දෙක කෝ කියලා කල්පනා කළා…” මල් වැටුණු කෝප්පයකට තේ වත් කරමින් සිටි සුබරත්න මැණිකේ අතින් තේ ඩිංගිත්තක්, මේසය මතට හැලූණේය.

“මොන රත්තරන් වළලූද ?”

“ඇයි අර හීනි රන් වළලූ දෙක ?”

සුබරත්න මැණිකේ කතා නොකොට පුවාලූ ගෙඩියක් කඩා, රිදීමාගේ පිඟානෙහි තැබුවාය. ”අර එන සෙනඟට ? කෑම තනන්නත් තියනවනේ. මං යඤ්ඤං උයනගේ පැත්තට….”

රිදීමා අළුවා කැබැල්ලෙහි රස වින්දාය. රන්වළලූ කී හැටියේ සුබරත්න මැණිකේ තිගැස්සුණාවත්ද ?
තදට ගෙතූ රැලි වැටුණු කොන්ඩා කරල් දෙකත්, ඒ ගීතවත් සිනා හ`ඩත්, රන් වළලූ ගැටනා හඬත් ඇයට ඇසී, යළි නෑසී ගියේය.

“කවුද මේ සුදු මැණිකේ ?” ඈ තමන්ගෙන්ම අසා ගත්තාය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

“අපි මේ අහන්නේ මේ ගමේ ගෑනු ලමයෙක්, ගෙඟ් ගහගෙන ගිහින් මළාද කියනෙක විතරයි.” අජය, කුඩා කඩයේ එල්ලෙමින් තිබූ, කෙහෙල් කැනෙන් ගෙඩියක් කඩා ගත්තේය. අනතුරුව එය කටට දෙකට ගිල දැමුවේය. මහීකා, අමා සහ නදින් උන්නේ වාහනය තුලය. අජය කඩයට ගොඩවැදුණේ දිනූෂ සමගිනි. කඩ හිමියා බැගෑපත් ලෙස දිනූෂ දෙසත්, අජය දෙසත් මාරුවෙන් මාරුවට බැලූවේය.

“මම දන්නේ නැහැ ආයිබොවං ! මම මේ ගමට පිටින් ආව ඇත්තෙක් ”

අජය තවත් කෙසෙල් ගෙඩියක් කඩා ගත්තේය.

“උඹ හරියට වඳුරෙක් වගේ නේ බං !” දිනූෂ අජයට පැවසීය. “ඕක ටිකක් හෙමින් කාහන්…… අර
අසරණයා උඹට බයවෙලා ඉන්නේ”

“අපි මේ රහස විසඳන්නේ කොහොමද, ගමේ කිසිම කෙනෙකුගේ සහයෝගයක් නැතිව ?” අජය, කෙසෙල් ලෙල්ල අසල වූ හිස් බක්කියකට විසි කළේය.

“කීයද මුදලාලි……”

අසරණයා හිස කැසීය. අජය රුපියල් සීයේ නෝට්ටු දෙකක් මේසය මතට දැමුවේය.

“මාරු ඕනේ නැහැ. තමුන් තියා ගන්නවා…..”

ඔහුගේ බැගෑපත් සිනහවත්, දෙකට නැමුණු කොන්දත් දුටු අජයට සිතුණේ හොඳවැයින් දෙකක් අනින්නටය. ගම්වල මිනිසුන් මෙතරම් නෝංජල්ද ? ඔවුන්ට කොන්දක් ඇත්තේම නැද්ද ? ගඟේ ගසාගෙන ගියා යැයි කියන ගැහැනු ලමයා ගැන කිසිදු තොරතුරක්, මොවුන්ගෙන් ගත නොහැක්කේ ඇයි ?….”

“හවසට පොලිසිය පැත්තේ ගිහින් බලන්න ඕනෑ……” අජය සිතුවේය.

වාහනයට නගිනවිට ගෑනු ළමුන් සිටියේ බාගෙට නින්දේ වගේ ය. නදින් අය්යා පුවත්පතක් කියවමින් උන්නේය. “මේ තවත් ආඳෙක්. කටින් වචනයක් ගන්නවට වඩා ලේසියි, ගලකින් පට්ටයක් ගන්න එක….”

“මොකද උණේ !” නිදි ගැට හැර වටපිට බැලූ මහීකා ඇසුවාය.

“මොනවා වෙන්නද ? මහා හොරු ගොඩක් ඉන්න ගමක් !” අජය මහීකා අසලින් හිඳගන්නා ගමන්
පැවසුවේය. “එකෙක් හොල්ලන්නේ නැහැ කට ! කවුරු හරි අපිත් එක්ක කතා කරන්න එපා කියලා නීතියක්
දාලාද කොහෙද ?”

නදින් පුවත්පත නමා, පසෙකට දැමුවේය. “අජය ඔය හින්ට් පාස් කරන්නේ අපටත් එක්කද ?”

“තොප්පිය හරි නම් ඉතින්…….”

ඔහු කියන්නට ආ දෙයට, මහීකා බාධා කළාය. “නදින් අය්යා, අපට උදව්වක් කරන්නකෝ මේක විසඳගන්න…”

“මම, මට පුලූවන් හැම උදව්වම කරනවා කියලා ඔයාලට පේන්නේ නැද්ද ?”

අමා සුසුමක් හෙලූවාය.

“ඇත්තටම කීවොත් නදින්, එහෙම දෙයක් මට නම් පේන්නේ නැහැ…”

දිනූෂ වාහනය පණගැන්වීය. කඩමාළු සරම් බාගවලින් සැරසුණු කුඩා කොල්ලෝ කුරුට්ටෝ
කිහිපදෙනක් වාහනය වටා රොක් වෙමින් උන්නෝය. නදින් සුසුමක් හෙලීය.

“එහාට දුවපල්ලා……..” ඔහු කොලූවන්ට පැවසුවේ තර්ජනාත්මක ස්වරූපයෙනි. ”යටවෙලා මැරෙන්නද හදන්නේ ? “

අජය, මහීකාගේ මුහුණ දෙස බලා, තම දෑස් විසල් කලේය.

“ගඟේ ගිහින් මැරෙනවට වඩා හොඳයි මයෙ හිතේ…..”

වාහනය තුල පැතිර ගියේ නිහඬතාවයකි. අජයගේ චෝදනාව කෙතරම් බරපතලදැයි, පැතිර ගිය
නිහඬතාව තුලින් මහීකා තේරුම් ගත්තාය.

“අජය ! අපි කතා කරන්නේ මගේ නංගි ගැන. ඔයාලා හැමෝටම වඩා මම මගේ නංගිට ආදරෙයි….”
අජය හිස ඔසවා දිනූෂ දෙස බැලූවේය. ඉදිරිපසට යොමු කරගත් ඒ මුහුණෙහි සිනාවක් නොවීය. කිසිවෙක් කතා නොකළෝය.

“අද අපි මේක අප්පච්චි එක්ක කතා කරලා බේරුමක් කරගනිමු….. නදින් පැවසුවේය. ඇතුලට ඇදගත් හුස්ම, මහීකා යාන්තම් පිටකළාය. වාහනය ගසින් වැසුණු පටු පාර ඔස්සේ පැදවූ දිනූෂ, රිදීමාගේ ගෙහි මිදුලෙහිවූ විසාල අඹ ගසක් යට එය නතර කළේය.

පිංචි කෙල්ල මිදුලට දිව ආවාය.

“හරි වැඬේ !” ඈ නදින්ට පැවසුවාය.

“සුදු බේබි ඇහුවා සුදු මැණිකේ ගැන……”

යහළුවෝ එකිනෙකාගේ මුහුණ බලා ගත්තෝය.

අඳුන් සිහින දහ හතරවැනි කොටසින් නැවත හමුවෙමු.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.