Katha Ahura

සසල අවතාර | 05 කොටස | හොල්මන් කතා |

4.6/5 - (44 votes)

සසල අවතාර 05

“අනේ සාහිල්.. සාහිල් මේ බලන්නකෝ..”

රාත්‍රී දෙකක් ම හරිහැටි නින්දක් නැතිව උන් සාහිල් මගේ අත ගසා දමා නැවත නින්දට වැටුණි.. මම ඔහුගේ ඇඟ මතින් අතක් දමාගෙන නැවත නිදාගත්තේ උරහිස්සේ වූ ලේ පැල්ලම පොරවනයෙන් පිස දැමූ පසු ය.. බියෙන් ගල් ගැසෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී මට නින්ද යන්නට ඇත..

ඉර එළිය මුහුණට වැටී මා අවදි වෙද්දී සාහිල් තවමත් යහනේ ය.. සරම කොහිදැයි සොයන්නට නොහැකි ය.. ඔහු නිරුවතින් යහනේ පෙරළී සිටින අයුරු දැක මට සිනහ පහළ විය.. පොරවනයෙන් ඒ සිරුර වසා දමා විත් මම ජනේලයෙන් පහළට එබුණෙමි.. °° °මොකක්.. ජනේලෙ ඊයෙ වහලනෙ තිබුණෙ.. ඒක ඇරුණෙ කොහොමද..?° මනස්ගාත යැයි මට ම කියාගෙන මම මුහුණකට සෝදාගෙන පැමිණියෙමි..

ගවොමක් හැඳගෙන මුළුතැන්ගේ දෙසට ඇවිද ගිය මම එහි දොර හරින්නට යද්දී ඇසුණේ ඒ තුළින් ආ සිනහ හඬකි.. මම සෙමෙන් දොර විවර කරද්දී ටාෂිත්, අභිෂේකුත් රාත්‍රී ඇඳුම් පිටින් ම සිප ගනිමින් සිටියේ බිත්තියකට හේත්තුව ය.. එදෙස බලා සිනාසෙමින් මම නැවත දොර වසා ඊට තට්ටු කළෙමි..

“ආහ්.. එන්න..”

“ම්… දෙන්නා දොරත් වහගෙන මොකද..?”

“අපි මේ…. කෝපි දෙකක් හදාගන්න ආවෙ.. සීතලයි..”

“මං දැක්කා කෝපි හදන විදිය.. අයින් වෙනවා ඔතනින්.. මං හදන්නම් කට්ටියට කෝපි..”

“ශෙනුකයි, රිෂියයි කෝපි බොන්නෑ… උන්ට කිරි හදන්න වෙයි..”

“ම්ම්.. කෝ අපේ පිඟන් බඩු දාගෙන ආපු පෙට්ටිය..”

“මං හිතන්නෙ සාහිල් ඒක අර කබඩ් එක උඩින් තිබ්බා..”

“අනේ අභී මට ඒක අරන් දෙන්න.. උස මදි ඕයි..”

“ඇටකිච්චි එහාට වෙනවා..”

අභිෂේක් ඇඟිලි තුඩුවලින් ඉස්සී පෙට්ටිය අදින විට එහි තිබී යමක් බිමට වැටුණ බව මම දුටුමි..

“ආහ්.. කට්ටිය නැගිටලනෙ..”

එක්වරම දොරින් එබුණේ ශෙනුකයි.. අභිෂේක් ඔහුට ගුඩ් මෝනින් යැයි පවසද්දී මම බිමට වැටුණ කඩදහිය අහුලා තනපට තුළ ගසා ගත්තේ පසුව බලන්නට ය.. අනතුරු සැමට කෝපි සහ කිරි සාදා දී මම සාහිල්ගේ කිරි එකත් රැගෙන නැවත උඩට පැමිණියෙමි..

“බබා.. නැගිටින්නකෝ..”

“අහ්…ම්ම්න්..”

ඔහු කම්මැලි කරමින් ඇඳේ පෙරලෙද්දී එක්වරම මට ඇසුණේ පහතමාළයේ කිසිවෙක් යටිගිරියෙන් කෑ ගසන හඬ ය..

“ආහ්හ්හ්හ්හ්……..”

“මොකද්ද ඒ සද්දෙ..?”

“දන්නෑ සාහිල්.. ඉන්න මං බලන්නම්.. ඔයා කලිසමක් දාගෙන එන්න..”

මම පහළට දුවගොස් බලද්දී සියල්ලෝ කුස්සියෙන් එළියට විවර වූ දොර අසළ රොක් වී කිසිවක් දෙස බලා සිටියෝ ය.

“ඇයි මොකද..?”

“ආරෝ උඹත් බලලා කෑ ගහන්න ලෑස්ති වෙන්නෙපා.. මේකි දැන් මෙතන දෙවනත් කළා..”

“ඇයි නෙතුම් මොකද්ද..?”

මම එළියට එද්දීම දුටුවේ ලේ විලක් මැද මැරී වැටුණු සුනඛයෙකි.. ඉහින් කටින් ලේ පෙරී උගේ ලොම් තැනින් තැන ලෙයින් නැහැවී ඇත.. මරණය සාමාන්‍ය දෙයක් වුවත් මට ඇති වූ ප්‍රශ්නය මේ සුනඛයා මරා දැම්මේ හෝ මැරුණේ කෙසේද යන්නයි..

“මූ කොහෙන්ද මෙතනට ආවෙ..?”

“දන්නෑ ආරෝ.. ෂිට්.. උදේ පාන්දරම මහ මූසල දෙයක් දැක්කෙ..”

“රිෂිත්ට කියන්න අර වැඩ කරන මිනිහා අවොත් මූව මෙතනින් අයින් කරලා දාන්න කියලා..”

“කැලේ යන්න ලෑස්තිවෙයං බං…”

මම අප්‍රසන්න බැල්මක් එදෙසට හෙළා එතැනින් ඉවත් වීමි.. පුහුණු වෛද්‍යවරියක ලෙස මට මරණයත්, රුධිරයත් අමුතු දේ නොව.. ඇරත් වෛද්‍ය ශිෂ්‍යාවක ලෙස මෝචරිය තුළ මම තනිව ගත කර ඇති රාත්‍රීන් අනන්ත අප්‍රමාණ ය.. විද්‍යාවට එහා ඔප්පු නොකළ හැකි අදෘෂ්‍යමාන බලවේග පිළිබඳ ව මගේ සිතෙහි වූයේ නොපහන් හැඟීමක් පමණකි.. නමුත් ඒවා එහෙම් පිටින්ම ඉවත දාන තත්වයක මම නොසිටියෙමි..

කාමරයට ගොස් ඇඳුම් ගලවා කාමරයේ මුල්ලකට විසි කළ මම සැහැල්ලු කලිසමකින් සහ බැනියමකින් සැරසී යහනේ හිඳගත්තේ අසිහියෙන් මෙන් සුනඛයා ගැන අමිහිරි කල්පනාවක වැටීමෙනි.. ආ දා පටන් සිදුවන අද්භූත සිදුවීම් සියල්ල ඔළුවේ එකවර වැඩ කරන විට මට එය හිරිහැරයක් විය..

අපි කැලයේ ඇවිදින්නට යෑම සඳහා බඩු බාහිරාදිය සූදානම් කරමින් සිටියදී බංගලාව බලා ගැන්මට උන් වයසක මිනිසා පැමිණ ඇති බව මම දුටුවෙමි.. මා සිතා උන් පෙනුමට වඩා ඔහු හාත්පසින් ම වෙනස් ස්වරූපයක් ගත්තේ ය.. රිෂිත් හා කතාබහ කර ඔහු යන්නට යනතුරු ම මම ජනෙල් වීදුරුවෙන් ඔහු දෙස බලා සිටියෙමි..

කෙට්ටු, උස පුද්ගලයෙක් වූ ඔහුගේ මුහුණේ දරුණු කැපුම් තුවාලයක් විය.. නාසය පවා පැත්තට ගොස් තිබුණෙන්, ඔහුගෙන් ඉස්මතු මහා පිළිකුල් බියජනක පෙනුමකි.. ඔහු ගේට්ටුව වසාගෙන ඉවතට යන්නට පෙර තවත් වරක් බංගලාව දෙස බලා හැරී යනු මම හොඳින් ම දුටිමි…

ඉරී ගිය කුෂන් කොට්ටයක් පැත්තක තබා තිබූ කවිච්චියෙන් අසුන් ගත් මම එහි ඇන්දට හිස තබාගෙන මදක් සිටියේ මේ සියල්ල මගේ මානසික පීඩාව මදක් උත්සන්න කර තිබූ හෙයිනි.. විවේකයක් ලබන්නට ආ ගමනක් මිසක මෙවන් ප්‍රශ්න කරදර අදෘෂ්‍යමාන බලවේගයන් මැද තෝන්තු ජීවිතයක් ගත කරන්නට ආ ගමනක් නොවූ හෙයින් මම බලවත් හිසරදරයකට පාත්‍ර වුණේ නොසිතූ ලෙසින් ය..

“ආරෝ.. ඇයි මේ..”

“මගෙ ඔළුව රිදෙනවා..”

“ඒයි ආරෝ.. අනේ යන්න යන වෙලාවෙම ඔයා ඔළුව රිද්ද ගත්තද..?”

“අනේ නෑ ටාෂි.. රෑ ටිකක් නින්ද ගියෙත් නෑ.. මෙහෙ නුහුරු නිසා වෙන්නැති.. මන්දා.. ඒකටද කොහෙද ඔළුව රිදෙනවා…”

“ඉඳපං මං පැනඩෝල් දෙකක් අරං සිං ගාලා එන්නං..”

නෙතුම් උඩට ගොස් පැමිණියේ පැනඩෝල් දෙකක් අතැතිව ය.. සාහිල් ගෙනා වතුර වීදුරුවත් සමඟ මම එය එක උගුරට බී නැවත සාහිල්ගේ දෑතට වාරු උනෙමි..

“තෝ ඊයෙ මේ කෙල්ලට නිදාගන්න දුන්නෙ නෑ නේද..?” රිෂිත් ඇසුවේ වල්පාටක් මුවඟට ගෙන ය..

“අනේ පලයං ගෙම්බො.. ඒකි හොඳට නිදාගත්තා.. කොහෙද මට අල්ලන්නවත් දුන්නෙ නෑ..”

“අනේ යන්න සාහිල්..”

මම බොරු තරහක් මවාගෙන එතැනින් නැගිට ගත්තේ කාමරයට යන්නට ය..

“ආරෝ හින්දා උඹලා ගමන පාඩු කරගන්නෙපා.. උඹලා යමල්ලා.. මං කෙල්ලව ටිකක් නිදි කරවලා ඒකි එක්ක ඉන්නම්…”

“හරි බං එහෙනං පරිස්සමින් ඉඳපං.. අපි යනවා..”

මම කාමරයට පැමිණ බ්ලව්සය ගලවා දමා නාන කාමරයට වැදුණේ මුහුණකට සෝදාගෙන නින්දට වැටෙන්නට ය.. සුව නින්දක් සඳහා විශේෂයෙන් දෙකකුල් තෙත ගතියේ තිබීම මට අත්‍යවශ්‍ය කාරණාවක් විය.. මුහුණ සෝදාගනිමින් සිටි මම එක්වර ම දුටුවේ සින්ක් එක තුළ වූ රුධිරයයි.. වතුර සමඟ රුධිරය මුසුව ගලා යන්නේ කෙසේදැයි මට වටහා ගත නොහැකි විය..

මම රුධිරය සෝදා හැර නැවත මුහුණට වතුර පාරක් දමා ගතිමි.. දෙවියනේ.. නැවතත් වතුර හා මුසුව රත් පැහැ ලේ ගලා යනු මට පෙනුණි.. බියට පත් මම සින්ක් එක අසළින් පසුපසට වෙද්දී එක්වර ම කණ්ණාඩිය මත පිළිඹිඹු වූයේ මගේ ම රූපයේ විකෘති පැතිකඩකි..

මගේ ම රූපය මොහොතින් මොහොත සැණින් වෙනස් වන්නට පටන් ගත්තේ ය..දෑස් වටා කළු වී කළුරුව නොපෙනී ගොස් එහි සුදු පැහැ දෑසක් පමණක් ඉතිරි විය.. කෑ ගසා ගන්නටවත් පණක් නොමැතිව මම බිත්තිය අල්ලාගත්තේ ක්ලාන්ත වන්නට තරම් භීතියට පත්ව සිටිද්දී ය..

මගේ ම දෑස්වලින් ලේ ගලා එනු මට පෙනිණ.. ඉක්මණින් පියවි දෙනෙත් පිසදා බැලුවද ප්‍රකෘති ආරෝහි තවමත් කරදරයක් නැතිව සිටින්නී ය.. එහි මගේ ප්‍රතිබිම්බය ; ඒ ඡායාව මදින් මද වෙනස් වන්නට පටන් ගත්තේ ය.. ඒ හස්තය එක්වර ම කණ්ණාඩිය බිඳ ස්ලාං හඬින් මා ඉදිරියට පැමිණෙද්දී මට ක්ලාන්ත වී මම බිම වැටුණි..

බිහිසුණු අඳෝනා මතු ඇසෙන්නට නියමිත ය..
—————————————————–
දැන් ඉක්මණට ගිහින් නිදාගන්න.. බාත්රූම් එහෙම යනවා නෙමෙයි..
මහ රෑ කුස්සියෙ දොර ඇරලා එළිය බලන්න ගිහින් අමාරුවෙ වැටෙනවා නෙමෙයි ඔන්න..

දිග කමෙන්ට් එකක් දාලා යන්න හොඳද..

✍️නොතෙල්ලා කෙල්ල

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.