Katha Ahura

අඳුන් සිහින | දාහතරවන පරිච්ඡේදය | නවකතාව |

5/5 - (1 vote)

යහලුවන් එන ශබ්දය, කාමරය අවුස්සමින් සිටි රිදීමාට ඇසුණේ නැත. ඈ, ඉතා පරීක්‍ෂාකාරී ලෙස කාමරයෙහි වූ සෑම අස්සක්, මුල්ලක්ම සෝදිසි කළාය. විශාල පැරණි කැටයම් සහිත අල්මාරියේ, ඇගේ ඇඳුම් පිළිවෙලකට නවා, අසුරා තිබිණි. එහි වූ සමහර ගවුම් තමා කවදා ඇන්දාදැයි ඇයට මතකයක් නොවීය.

ඇය නැවී, එහි වූ ලාච්චු විවර කළාය. යුවතියක විසින් එක් රැස් කළා යැයි සිතිය හැකි ලට්ට ලොට්ට රැසක් එහි වූයේය. විදේශ මුද්දර පොතක්, පින්තූර කපා අලවන ලද තවත් පොතක් පාට, පාට කොන්ඩා කටු, පීත්ත පටි, ඒ අතර වූ සමනලයෙකුගේ හැඩය ගත් කොන්ඩ කටුව, විවිධ මාදිලියේ කරාබු, වීදුරු වළලූ, රිදීමා සියල්ල දෙස බලා සිටියාය. මේවා, කවදා, කාගෙන් තමාට ලැබිණිද ? තමා මෙවැනි ආභරණ පි‍්‍රය කළාදැයි මතකයක් රිදීමාට නැත. ගෙජ්ජි සැලෙනා හඬක් ඇසුණෙන්, රිදීමා දෑස් පියා ගත්තාය. යුවතියගේ ලාලිත්‍යයෙන් පිරුණු ඒ දෑත් සෙලවුනේ, ඔහුගේ බෙර හඬටය. රිදීමාට දැනුණේ, රිදී රේඛාවලින් සටහන් වන සිත්තමක් තමාගේ මනසෙහි ඇඳී යන්නාක් මෙනි. ඒ යුවතියගේ සැලෙන දෑතෙහි වූයේ මේ වීදුරු වළලූ නොවේද ? වීදුරු වළලූ එකිනෙක වැදීමෙන් නික්මුණේ ‘සිලිං ! සිලිං “’ නාදයකි.

කාමරයේ දොර හඬක් නොනඟා විවර වූයේය.

“රිදීමා…… ” ඒ මහීකාගේ හඬය. රිදීමා වහා දෑස් විවිර කළාය.

“මොකෝ භාවනා කරනවද ?” අමා විමසුවාය.

“එච්චරයි දැන් අඩු……” රිදීමා ලාච්චුව වසා දැමුවේ හඬ නැංවෙන්නටය.

යෙහෙළියෝ දෙදෙන ඇඳ මත වාඩි වූහ. “අන්න අර ‘පිංචි’ බඩ්ඩ අපි එනකොට නදින් අය්යට දුවලා, දුවලා ඇවිත් කීවා උඹ ‘සුදුමැණිකේ’ ගැන ඇහුවයි කියලා….” මහීකා පැවසුවාය.

“මොනවා” රිදීමා පැවසුවේ තරහනි. “අද මම පිංචිට උගන්නන්නම්කො හොඳ පාඩමක් !” තරහා මැඩ ගැනීමට නිසරු උත්සහයක් දරමින් ඈ කීවාය.

“මම මේ කෙල්ල පොරොන්දු කරවාගත්තා කාටවත් නොකියන්න !”

“ඒකම තමා කෙල්ල ඒක කියන්න ඇත්තේ” අමා පසුපසට වී බිත්තියට වාරු වූවාය. “සමහර මිනිස්සු ඉන්නවා ‘එපා’ කීවාම ඒකම කරන. ‘එපා’ කීවාම ඒකට එනවා වැදගත් කමක්. නිකං කරන්න ඕනි කියලා හිත පොළඹවන….”

“ඕකට කියන්නේ ’සයිකලොජි’ කියලා” මහීකා ඊට බාධා කළාය. ”ඉතින් මොනවද මේවා අවුස්සලා හොයා ගත්තේ ?” රිදීමා යට ලාච්චුව හැර, එහි වූ වීදුරු වළලූ එළියට ගත්තාය. බැසයන හිරු එළියෙන් බැබලූණු, රතු, නිල්, කහපහැති වළලූ සමූහය මහීකා දෝතට ගත්තේ, කුඩා එකියක් සේ සිනාසෙමිනි.

“අනේ හරි ලස්සනයි ”

“ඒ වගේම ඉක්මණින් කැඩෙනවා” අමා සුසුමක් හෙලූවාය. “රිදීමා හිතනවද මේ වළලූ
ඔයාගේ කියලා ?”

“නෑ අමා…. මට කිසිම මතකක් නෑ. මම මේවට කැමති කෙනෙක් නෙවි. ඒත් මේ වළලූ දමාගෙන නටපු කෙනෙක්ගේ මතක මගේ හිතේ තියනවා.” ඇය මේසය අසලවූ පුටුවක් ඇද එහි හිඳ ගත්තාය. “මම පිංචිගෙන් ඇහුවා මේ‘ සුදු මැණිකේ’ ගැන. කෙල්ල කියනවා ‘සුදු බේබි’ ‘සුදු මැණිකේ’ වගේමලූ. දෙන්නම එකලූ. ඒත් දෙන්නා එක්කෙනා නෙමේලූ….”

වළලූ සමඟ සෙල්ලම් කරමින් සිටි මහීකා හිස එසවූවාය. ”මොකක්ද ඒ කතාවේ
තේරුම ?”

අමා කල්පනාවට වැටුණාය. “ඒ කතාවේ, මේ රහස ඔක්කොම අන්තර්ගතවෙලා තියනවා කියලයි මට හිතන්නේ!”

“නදින් අය්යා මොනවද පිංචිට කීවේ ?” අමා ඇසුවේ මහීකාගෙනි.

“අප්පච්චි ගෙදර ආවාම ? කෑමෙන් පස්සේ අද මේ ගැන සාකච්ඡා කරනවා කීවේ…..” පැවසුවේ මහීකාය.

“මෙතන අපි නොදන්න යමක් තියනවා රිදීමා. ඔයාලගේ ගෙදර උදවිය නොකියන යමක් මෙතන තියනවා….”

“මටත් ඒක අනිවාර්යෙන්ම හිතනවා” මහීකාද අනුමත කළාය. “නදින් අය්යා අර ගඟේ ගහගන ගිය ළමයා ගැන කිසිදෙයක් කියන්නේ නැහැ…. ඔයාගේ අම්මා උණත් අපට මූණ දෙන්නේ නැහැ…. මෙතන මොකක් නමුත් රහසක් තියනවා….”

මිතුරියෝ එකිනෙකා දෙස බලා ගත්තෝය. රිදීමා පුටු ඇන්දට හේත්තුවී දෙකකුල් දිග හැරියාය. ඇගේ හිසට දැනුණේ වෙහෙසකි. ඇයට දැණුනේ, තමා යමක අවසානය කරා වේගයෙන් ගමන් කරන්නාක් මෙනි.

“මම නිශ්කව ගඟ ළඟදි දැක්කා !” “මොනවා ?” අමාද, මහීකාද එක්වර පැවසුවෝය. “මම ගියේ පිංචිව තනි කරලා කතා කරන්න ඕනි නිසයි. ඒත් අපි යනකොටත් නිශ්ක එතන හිටියා උස, හීන්දෑරි කෙනෙක් එක්ක…..”

මහීකා වළලූ ටික ඉහළට ඔසවා හඬක් නැංවූවාය. “නිල්, රතු කොටු සරමක් ඇඳලා……”

“හරියට හරි මහී කොහොමද දන්නේ ?”

“එයා උදේ ආවා දිනූෂලගේ ගෙදර. කාරෙක එළවන්න බාරදීලා තියෙන්නේ එයාට. නම සුමති…..”

“ඉතින් නිශ්ක ඔයාව දැක්කද ?” අමා ඇසුවාය. “නෑ…” අමා මහීකා දෙසට හැරුණාය. “එයා මොකටද දිනූෂලගේ ගෙදර ඉඳන් නිශ්කව හම්බවෙන්න දුවගෙන ආවේ…..”

“ඒක හොඳ ප‍්‍රශ්ණයක් තමයි….” මහීකා වළලූ එකිනෙක තම සුරතෙහි දමා ගත්තාය. “යොමු කරන්න ඕනි, අපේ කිසිම ඉවසිල්ලක් නැති අජයට”

“සුමති, නිශ්කගේ නෑයෙක් වෙන කතාවක් එයාලා උදේ කියනවා මම අහගන….. එහේ මොනවද කතා උණේ කියන එක නිශ්කගේ කනේ තියන්න එන්න ඇති.” අමා කීවාය.

“ඒ විතරක් නෙමේ. රිදීමා ආපුබවත් දන්වන්න ඇති !” රිදීමාගේ ගත කිළිපොළා ගියේය.

“දැන් ඇති ඔය වළලූ එක්ක දැඟලූවා. ඒ ටික ආපසු තිබුණු තැනක දාන්න.” අමා, මහීකාගේ සුරතට තට්ටු කළාය. “දැන් ඔයා හොයන දේවල් හොයලා ඉවරද ? මොනවා හරි අලුතෙන් හොයා ගත්තද ?”

අමා හැරුණේ, රිදීමා වෙතය. රිදීමා හිස වැනුවාය. ”කිසිම දෙයක් නෑ. ඒත් අපි ටිකක් බලමුද ?”

යෙහෙළියෝ නැගිට ගත්තෝය. “තව කොහෙද අපට බලන්න තියෙන්නේ ?”

“ඇඳ යට බැලූවේ නෑ…..” රිදීමා නැමී, ඇඳ යටට එබුණාය.

“කිව්වත් වගේ පෙට්ටියක් තියෙන්නේ !”මහීකාද නැඹුරුව බැලූවාය. ”අපේ ආත්තලාගේ කාලේ පෙට්ටියක්”

පෙට්ටිය බර එකක් වූ බැවින් ඔවුනට එය එළියට ගැනීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. අජය හෝ දිනූෂට කතා කිරීමට තැනුවද, රිදීමා එයට අකමැති වූවාය. “ඇතුලෙ තියෙන්නේ මොනවද කියලා දන්නේ නැතිව එයාලා මෙතෙනට ගෙන්නන්න ඕන නැහැ….”

පෙට්ටියට ඉබ්බෙක් දමා තිබිණි. රිදීමා ඉබ්බා ඇද්දාය.

“ ඉතින් යතුරු කෝ ?”

“ ඕකට යතුරක් ඕන නෑ. පොඞ්ඩක් ඉන්න…..” මහීකා කුඩා පෑන පිහියක් තම අත්බෑගයෙන් එළියට ගත්තාය. ඉබ්බා කැඞීමට ඇයට ගතවූයේ සුලු මොහොතකි.

“මෙයා හොඳයි හොරකමේ අරින්න” අමා මහීකාට පහරක් එල්ල කළාය.

“විභාගේ ෆේල් උණොත් ඒක තමා කරන්න හිතාගෙන ඉන්නේ !”
යෙහෙළියෝ පෙට්ටිය වටා හිඳගත්තාහ.

“ඔය හැටි හිතන්න දෙයක් නෑ. අරිනවා….” මහීකා පැවසුවාය.

රිදීමා මොහොතකට දෑස් පියා ගත්තාය. අනතුරුව සෙමෙන් දෑස් විවර කොට පෙට්ටියෙහ පියන ඇරියාය. එතුලින් ආවේ සැවැන්දරා මුල් සුවඳක් හා මිශ‍්‍ර වුණු කපුරු සුවඳකි. කුමක් දෝ කිව නොහැකි හැඟීමකින් ළය පිරී යනු රිදීමාට දැනුණේය. ඈ උඩින්ම වූ තුනී සාලුව මෑත් කළාය.

“මේ මොකක්ද ?” ඇගේ උරිස්සට උඩින් එබී උන් මහීකා ඇසුවේ විමතියෙනි.

“ගෙජ්ජි වැලක්…..” අමා පැවසුවාය.

රිදීමාගේ දෙසවන් යම් හඬකින් දෝංකාර වන්නාක් මෙන් ඇයට දැනී ගියේය. දෑත් සලමින් නටන පියකරු යුවතිය නිතරම මේ ගෙජ්ජි කුට්ටම පැළඳ සිටිනු රිදීමාට මතකය. ඔහුගේ ශක්තිමත් දෑතින් බෙරය වැයෙද්දී, ඇය තාලයට නැටුවේ, මේ ගිගිරි බැඳි පාද සොලවමිනි.

“මේ බලන්න…..” මහීකා සුදු යුනිෆෝමයක් පෙන්වූවාය. අමා එය සෙමින් පසෙකට කළාය. පෙට්ටිය තුළ වූයේ යුවතියක, පාසල් සමයෙහි පාවිච්චි කරනා ලද රෙදි පිළි හා පොත්පත්ය.

“මේකෙන් අපට කිසි දෙයක් තේරුම්ගන්න බෑ….. මේවා ඔයාගේ වෙන්න පුලූවන්. ආයම පාවිච්චි නොකරන හන්දා අම්මා මේවා අයින් කළා වෙන්න පුලූවන් !” රිදීමා කතා නොකොට, රෙදි ඉවත් කළාය.

තදට ගෙතුණු රැළි කෙස්, ලස්සණට රැළි තබා මදින ලද සුදු ගවොම, වරලෙහි බැඳුණු පීත්ත පටි, සුදු මේස්, ලේස් ගැට ගැසූ සුදු සපත්තු…….. ඇය එතුල වූ බඩු එකින් එක අයින් කළාය. එහි යටින්ම වූයේ ආභරණ දමනා කුඩා පෙට්ටියකි.

තමා දැවී යනු රිදීමාට දැනුණේය. “මේ තියෙන්නේ ඒ වළලූ දෙක….”

අමා හා මහීකා එකිනෙකාගේ මුහුණු බලා ගත්තෝය.

පෙට්ටිය විවර කළ රිදීමා හීන් රන් වළලූ දෙක එළියට ගත්තාය. “මම මේක හැමතැනම හෙව්වා…..” ඈ සෙමින් ඔවුනට පැවසුවාය.

~~~

අඳුන් සිහින පහළොස්වැනි කොටසින් නැවත හමුවෙමු.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.