Katha Ahura

සසල අවතාර | 08 කොටස | හොල්මන් කතා |

3.3/5 - (20 votes)

සසල අවතාර 08

“රිෂිත් මං අද තෝව මරනවා…”

“එපා බං… එපා අභී.. ඌට ගහන්නෙපා බං..”

“ඒයි ඕක නවත්තපං..”

සාහිල් අභිෂේක්ගේ උරහිසින් ඇද පැත්තකට දැමුවේ රිෂිත්ගේ දෙතොල පැලී ලේ ගලන විට ය.. ටාෂි බිම වැතිර සිටියේ සිහි නැතිවයි..

“මූ මහ පාහර බල්ලෙක්.. මගෙ කෙල්ලට සිහි නැති කරවලා.. ඒකි එක්ක ඉන්න තරම් තෝ වනචරයෙක් උනාද බල්ලෝ…”

“අභිෂේක් කට වහගනින්.. අපි මේක කතා කරලා විසඳගමු..”

“ශෙනුක වතුර එකක් අරං වරෙන්..” මම ඝෝෂාව මැද වතුර එකක් ගෙන්වා ගත්තේ ටාෂිගේ මුහුණට ඉස ඇගේ සිහිය ගන්නටයි..

“මොකද්ද උනේ කියලා කියපං අභී…”

“මොනා කියන්නද නෙත්තා.. මූ මහ බල්ලෙක්.. මගෙ කෙල්ල කුස්සියට යන්න නිසා කාමරෙන් එළියට එන්න ඇති.. ඊට පස්සෙ වෙන්නැති මේ බල්ලා කෙල්ලට ක්ලෝරෆෝම් අල්ලන්න ඇත්තෙ..”

“අභී.. රිෂියා එහෙම එකෙක් නෙමෙයි.. උඹ දන්නවනෙ..”

“දන්නවනෙ.. තොපි හිතුවද මගෙ ඇස් මට බොරු කරනවා කියලා.. නැතුව මගෙ එකීට සිහි නැති වුණේ කොහොමද.. පලයං ශෙනුක අහකට… මූ දැන් ඉන්නවා ගල් ගිල්ල උගුඩුවා වගේ. කාලකණ්ණි අවලමා..”

පැත්තක වැටී සිටි රිෂිත් මේ කිසිවක් අදහාගත නොහැකිව මෙන් ඔහේ පැත්තක් බලාගෙන සිටියේ නිසොල්මන්ව ය.. මම සෙමින් ඔහු අසළට ගියේ ටාෂිට සිහිය ආ විගස අභිෂේක් ඈ ලඟට ගිය බැවිනි..

“රිෂිත්.. මොකද්ද උනේ.. ටාෂි කොහොමද ඔයාගෙ කාමරේට ආවෙ..?”

“මං දන්නෑ.. මං දන්නෑ.. කී පාරක් කියන්නද උඹලට.. මං ටාෂි දිහා වනචර විදියට බලලා නෑ කවදාවත්.. ඒකි මට මගෙම සහෝදරියක් වගේ..”

“ඒත් අපි මේක විසඳගන්න ඕන නේද..?”

“මං දන්නෑ ආරෝ.. මං දන්නෑ.. පින් සිද්ධ වෙයි මචං මාව විශ්වාස කරපං..”

“විස්වාස.. හෙටම මම මෙහෙන් යනවා කෙල්ලව එක්කං.. තෝ එක්ක මං එක විනාඩියක් ඉන්නෑ මේ ගෙදර..”

“අභී.. කූල් ඩවුන්.. ඔයාලා දෙන්නා යන්න කාමරේට..”

“ක්..ක..කවුද.. ඒ..?”

ටාෂි එක්වර ම ඇසුවේ රිෂිත්ගේ කාමරයේ දොර දෙසට අත දිගු කරමිනි.. අප සියල්ලන් එක්වර හැරී බැලුව මුත් එහි කිසිවෙක් නොවී ය..

“ඇයි ටාෂි.. කවුද හිටියෙ..?”

“ඒ මිනිහා..”

එක්වර ම ඈ භීතිය නිසාවෙන් ම නැවත සිහි විසන්ධි වූ බවක් පෙනිණ.. සියල්ලන් තෝන්තු වූයේ ඒ වචනත් සමඟයි.. අපි ටාෂිව අභිෂේක්ලාගේ කාමරයට ගෙන ගොස් ඇයගේ තත්වය මදක් හොඳ අතට හැරෙන තුරු ඈ හා ඉඳ නැවත කාමරවලට පැමිණියේ ඉන් පසුවයි..

සාහිල් මා තුරුළු කරගෙන ඇඳට වැටුණ පසු මම මදක් කල්පනාවට වැටුණෙමි.. රිෂීත්, ටාෂිත් සිටින්නේ සිහි විකල්ලෙන් මෙන් ය.. ඔවුන් දෙදෙනාම පැහැදිලි ව කිසිවක් නොකියන්නේ ඇයිද මට සිතාගත නොහැක.. අනෙක් අතට ටාෂිගේ සිරුරට යම් අදෘෂ්‍යමාන ආත්මයක් ඇතුළුව ඇති බවට සැක නැත.. මේ සිදුවීම් තව තවත් දුරදිග යාම අපේ ජීවිතවලට හානියකි…

“ක්නොක්.. ක්නොක්…”

හදිසියේ කිසිවෙක් කාමරයේ දොරට තට්ටු කරනු ඇසිණ.. එය සාහිල්ටත් ඇසුණ බව මට වැටහිණ.. ඔහු කතා කළේ එබැවිනි..

“කවුද…?”

“සාහිල් මේ මම.. රිෂිත්..”

“ආහ් ඉඳපං…”

අපි දෙදෙනා ගොස් කාමරයේ දොර විවර කර ඔහුට ඇතුළට අඬ ගැසුවෙමු.. රිෂිත්ගේ කරට අත දමාගෙන සාහිල් ඔහු හා කතාබහ පටන් ගත්තේ රිෂිත් සුදුමැලිව භීතියට පත් වී සිටි හෙයිනි…

“ඇයි බං.. මොකද්ද මේ ප්‍රශ්නෙ..?”

“ඔය සිද්ධිය ගැන මම මුකුත් දන්නෑ සාහිල්.. මට බයයි.. මට ම නොදැනි මම කොහොම ටාෂි එක්ක එහෙම ඉන්න හැදුවෙ.. මේ ගෙදර මොකක් හරි දෙයක් තියනවා සාහිල්.. උඹලගෙ නිවාඩුව විනාශ කරන්න බැරි කමට නොකියා හිටියා මිසක්.. මට මහ අමුතු දේවල් මේ ගෙදර දැනෙනවා.. ආරෝ.. උඹ අර වයින් රූම් එකක් හොයාගත්තා නේද..?”

“ඔව්.. ඉතිං..?”

“ඒක තියෙන්නෙ මගෙ කාමරේ ලඟනෙ.. සමහර දාට මහ රෑ දොළහ පහුවෙද්දි මට ඒ කාමරෙන් හිනා සද්ද ඇහෙනවා.. කෙල්ලෙක් කෑ ගහනවා ඇහෙනවා.. මහ අමුතු දේවල්.. මට අපි ගැන බය හිතෙනවා සාහිල්..”

“ආරෝ.. ඔයත් කිව්වා නේද..?”

“මං කිව්වට ඔයා විශ්වාස කළේ නැහැනෙ.. මේ ගෙදර මොකක් හරි ලොකු දෙයක් තියනවා..”

“රිෂිත්.. උඹ දැන් බය නොවී ගිහින් නිදාගනින්.. යමං.. අපි උදේට කට්ටිය එක්ක කතා කරමු..”

“මේවා අරුන්ට කියලා උන්ව බය කරන්නෙපා සාහිල්.. අපි මේක හිමීට විසඳගමු..”

පහුවදා ටාෂිගේ සිරුර ගිනි කබලක් මෙන් රත්ව තිබුණෙන් අභිෂේක් නැවත යන ගමන අත්හැර දැමූවත් ඔහු රිෂිත්ගේ මුහුණවත් බලන්නට කැමති වූයේ නැත.. දවස පුරා ම ටාෂි ලෙඩ ඇඳේ හුන් බැවින් අපි ඇවිදින්නට යාම සඳහා වූ සැලසුම අතෑර දැමුවෙමු..

නමුත්, මේ අවට වෙනත් එකඳු නිවෙසක් හෝ නැති දැයි සැක හැර දැනගැනීම සඳහා මමත් සාහිලුත් දවල් ආහාරය ගෙන පිටත් වුණෙමු.. අපි ආ මාර්ගය දිගේ ම පයින් යද්දී මම දුටුවේ කැලෑවට වන්නට ඇති යම් කෙටි පාරකි..

“සාහිල් අපි අර පැත්තට ගිහින් බලමුද..?”

“හ්ම්.. පරිස්සමට යන්න ඔය කටු අතු තියනවා..”

අපි මීටර් පන්සියයක් පමණ ඇතුළට යද්දී නැවත කැලෑබද ගතිය අඩුවන්නට පටන් ගත්තේ ය.. ඊට මදක් ඔබ්බෙන් වූයේ ලා තැඹිලි පැහැ ආලේප කළ කුඩා නිවසකි..

“ගෙදර කවුද..?”

“ඕ…”

නිවාසයෙන් එළියට පැමිණියේ කුඩා දරුවෙක් වඩාගත් කෙට්ටු ගැහැනියකි..

“මේ.. අපි සෙම්බුවත්තෙ ට්‍රිප් එකක් ආපු කට්ටියක්.. මේ.. මේ හරියෙ තියනවලු නේද ලොකු බංගලාවක්.. අපිට ඒක බලන්න යන්න බැරි වෙයිද..?”

එය අසද්දී ම ගැහැනියගේ මුහුණ අඳුරුව ගොස් මූසල පාටක් ගත් අතර අමනාපෙන් මෙන් අප දෙසද බැලී ය.. අනතුරුව ඈ ඇගේ සැමියා යැයි සිතිය හැකි කිසිවෙක්ට කතා කළා ය..

“ඒයි.. මේ එනවකො චුට්ටක්..”

“මොකද.. කවුද ආවේ…”

පසුව ඈ රහසින් මුණු මුණු ගෑ වචන අපිට යන්තමින් ඇසිණ..

“මේහ්.. මුදලිසිංහ බංගලාව ගැන අහන්නෙ.. ඉක්මණට මොනවහරි කියලා යවනවා.. මේ ගස් ගල්වලටත් කන් තියනවා.. තමුසෙ දන්නවනෙ..”

“ඔය මහත්තයලට මොනාද දැනගන්න ඕන..”

“මේ හරියෙ ලොකු බංගලාවක් තියනවා කියලා දැනන් හිටියට කොහෙද කියලා හොයාගන්න බෑ.. ඒකයි…”

“ආහ්.. මහත්තයලා අර පාරෙන් ටික දුරක් ගියාම කැලෑ පාර ඉවර වෙලා ටිකක් එළිපෙහෙළි වෙච්චි ගුරු පාරකට වැටෙයි.. ඒ දිගේ වම් අත පැත්තට ගියා නං දකුණු අත පැත්තෙ බංගලාව ඇති.. මේ.. ඇයි ඔය මහත්තයලා එහෙ යන්නෙ…”

“ඇයි එහෙම ඇහුවෙ.. අපි නිකං බලලා එන්න යන්නෙ..”

ඔහු මදක් ඉදිරියට විත් අප හා කතා කළේ රහසින් මෙනි..

“මේකයි මහත්තයෝ.. කොළඹින් එන උදවිය මේවා විස්වාස කරනවද නැද්ද අපි දන්නෑ.. එහෙ ගිහිල්ලා මුකුත් අවුලක් කරගෙන, ආයෙ ඔතනින් එළියට එන්න නං නෙමෙයි ඉතිං.. බංගලා වත්ත පිටින් ඉඳලා ටිකක් බලලා ආයෙ යන්ඩ.. ඕක බලාගන්න ඉන්න නාකි සේදිරිස් ඇරෙන්න මොකෙක්වත් ඕකට යන්නෙ නෑ.. ගියපු ඈයන්ගෙන් තවම කරදරයක් නැත්තෙත් සේදිරිස්ට ම විතරයි…”

“ඇයි එහෙම කිව්වෙ..? මෙහෙ ආව ගිය අයට මුකුත් කරදර වෙලා තියනවද..?”

“මේකයි මහත්තයෝ.. මළාපු උන්ගෙ ගාණ කියන්ඩ දැනීමක් නං නෑ.. වැඩි හරියක් ගෑනු නූල් බැඳලා ආරක්සාවන් දාලා පන්සලේ ලොකු හාමුදුරුවො,ගොඩ දෑවා.. ඒකයි..”

අපි ඔහුගෙන් කරුණු පිරික්සා තවත් තොරතුරු අසාගන්නට තැනුවත්, ඔහු ඊට අකමැතිව ඉක්මණින් අප මග හැරිය බැවින් අප දෙදෙනා නැවත බංගලාවට පැමිණියේ කිළිපොළා යන භීතියක් සිත් අභ්‍යන්තරයේ තිබියදී එය මහත් වෑයමක් දරා පිටට නොපෙන්වාගෙන ය..

එදින මම ටාෂිගේ රාත්‍රී ආහාරය ඇයට කාමරයට ම ගෙනගොස් ලබා දී අනතුරුව අන් අයට කෑම පිළියෙළ කළෙමි.. එවේලේ පවා කිසිවෙක් වැඩි කතාබහක් නොවුණේ රිෂිත් සහ අභිෂේක් අතර වූ අමනාපය අප සියල්ලන්ට ම තදින් බලපෑ නිසාවෙනි..

ආහාර ගත් පසු රිෂිත් අත සෝදාගෙන යන්නට ගියේ ය.. අනතුරුව සාහිල් සහ මම අභිෂේක්ගේ සිත සාදවා ඔවුන් අතර සුහදත්වය වර්ධනය කරන්නට උත්සහ ගත්තේ ය…

“අභී.. අපි මේක හීමිට විසඳගමු..”

ශෙනුක නැගිට යන්නට ගිය අතර එක්වර ම හාත්පස අඳුර මකමින් විදුලියක් කෙටුවේ ය.. සීතල සුළඟක් අප වෙළා ගනිමින් හමා යනවාත් සමඟ ම මහ වර්ෂාවක් ඇද හැළිණ.. නෙතුම් සහ සාහිල් එක්ව අභිෂේක්ගේ හිත හදද්දී මම පිඟන් ටික සෝදා දමන්නට ගතිමි.. ඒත් එක්වර ම අපට ශෙනුකගේ මරලතෝනි හඬ ඇසුණේ ඉහළ මාලයෙනි..

යටිගිරියෙන් දුන් මරලතෝනි විලාප හඬ මුළු බංගලාවේ ම පැතිරුණි.. කිසිවෙක් ඔහුගේ බෙල්ල මිරිකන්නට උත්සහ කරද්දී මෙන් අවසානයේ හඬ නෑසී ම යන්නට ගියේ ය.. ඔහු බේරගන්න යැයි පවසමින් මහත් හඬින් දුන් මරලතෝනි විලාපය මගේ දෙකන්වල දෝංකාර දුණි…

අප සිව්දෙනා බියෙන් උඩට දුවද්දී මා දුටු දෙයින් එක්වර ම මම භීතියට පත්ව දෙකන් රත් වුණි.. ශෙනුකගේ ගෙල අසළින් කිසියම් නොපෙනන හස්තයක් ක්‍රියාත්මක වූ අතර ඔහුගේ මුහුණ පුරා වේගවත් සූරාකෑමක් සනිටුහන් විය.. ඉන් අවට විහිදුණේ රුධිර පැල්ලමකි… ඔහුගේ දෙකකුල් පියවි පොළවට උඩින් පාවෙන සෙයක් මට පෙනුණේ ය..

මේ කුමක් දකිනවාදැයි වටහා ගත නොහැකිව මට ක්ලාන්තයට මෙන් පැමිණියේ ය.. කුණු මාළු කෑල්ලක් වීසි කර දමන අයුරින් දොහ්ඃ ගා ඔහුගේ සිරුර රිෂිත්ගේ කාමරයේ දොර අසළට වැටිණ.. රුධිරය ගලා ගියේ රිෂිත්ගේ කාමරයේ දොර අසළිනි.. ඒ දෙස බලා ඉන්නට තරම් මම ප්‍රාණවත් නොවුණි.. ශෙනුකගේ සිරුරේ මෙච්චරක් යැයි ගණන් නොකළ හැකි තරමට සූරා දැමුණු තුවාල ය.. සීරුම් පාරවල් වලින් ඒ මුහුණ විකෘති වී ඇත..

“අ..අනේ..”

ක්ෂණයෙන් සියල්ල අන්ධකාර වී යනු මට දැනිණ..

බිහිසුණු අඳෝනා මතු ඇසෙන්නට නියමිත ය..
—————————————–
හොඳට පොරවගෙන නිදාගන්න ඔයාලා..
හොල්මනක්, අවතාරයක් ඇවිල්ලා ඔයාලව අල්ලගත්තොත්…

✍️නොතෙල්ලා කෙල්ල

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.