Katha Ahura

සසල අවතාර | 11 කොටස | හොල්මන් කතා |

3.5/5 - (12 votes)

සසල අවතාර 11

“අනේ.. අනේ එපා.. මං කියන්නෑ.. අපි යන්නෑ.. අනේ එපා…”

ගොත ගැහෙන වචන එකට අමුණගෙන මම උගුරෙන් කතා කළේ ටිකෙන් ටික බෙල්ල හිරවෙනවිට ය… එක්වරම ඇය ගෙල ලිහිල් කොට, රක්ත වර්ණ රුදුරු දෙනෙත් මා වෙත යොමු කරමින් මා අසළින් පසෙකට විය.. කෙමෙන් කෙමෙන් මගෙන් පසුපසට ගොස් ඈ කණ්ණාඩිය දෙස බලා වියරුවෙන් කෑ ගැසුවා ය…

“රවී……”

ක්ෂණයෙන් ටාෂි බිම ඇදගෙන වැටුණේ සුදු පැහැ මීදුමක් ජනේලයෙන් ඉවතට ඇදී යන විටයි.. මා නාන කාමරයෙන් වතුර ටිකක් ගෙන ඇගේ මුහුණට ඉස ඇයව ප්‍රාණවත් කළ පසු ඇයව වත්තම් කරගෙන ආවේ ඇඳටයි..

“ටාෂි..”

“ආහ්…”

“ඔයා හොඳින් නේද..?”

“ඔ..ඔව්.. අනේ ආරෝ.. මට බයයි ආරෝ.. අපි මෙහෙන් යමු.. මට මහ අමුත්තක් දැනෙනවා ආරෝ…”

ඈ ඒ වචන ටික පවසද්දී ම මට නොදැනුවත්ව කෙල ගිළුණේ මෙහෙන් යන්නට ක්‍රමයක් නොමැති බැවිනි.. මම ඇගේ අවධානය වෙනතක යොමු කරවන්නට උත්සහ දරමින් හිඳ අවසානයේ දෙදෙනාම තෙහෙට්ටුව පිට නින්දට වැටී තිබුණි…

“හරි ඊයෙ මං අභී එක්කත් කතා කළා.. මේ වැරදි වැටහීම් ඔක්කොම අමතක කරලා.. ෆන් එකේ ඉමු… තේරුණාද.. ඒක නෙමේ රිෂී.. මේ බංගලාව පිටිපස්සෙ වත්ත බලන්න යමුකො.. අපිට හරියට ඇවිදින්නවත් හම්බුණේ නැහැනෙ..”

“හරි මචං ඇඳුමක් දාගෙන වරෙල්ලා.. පුළුවන් නං බූට්ස් දාන් වරෙන්, පිටිපස්සෙ හොඳට ම කැලේ වැවිලා.. එහෙන් ගඟක් ලඟට වැටෙන්න පාරක් තියනවලු.. බලමු ගිහින්..”

පිටවන්නට උත්සහ දැරීමට පවා මමත්, සාහිලුත් බිය වීමු.. එබැවින් ඔවුන්ගේ අවධානය මේ මානසිකත්වයන්ගෙන් පිටට ගෙන අපි දෙදෙනා සෑම වෙනස්වීමක් ගැනම හොඳ නිරීක්ෂණයකින් යුතුව සිටියේ මේ කාරණාවේ සැඟවුණු යම් අභිරහසක් ඇති බව වටහාගෙන ය..

“අපිට අර මුරකාරයා. කවුද උගෙ නම කිව්වෙ..?”

“සේදිරිස්ද කොහෙද..”

“අන්න ඔව්.. ඌ තමා.. ඌව හම්බුණා නං විස්තර ටිකක් දැනගන්න තිබුණා.. රවී කියන්නෙ කවුද කියලා උගෙන් අහගන්න පුළුවන්…”

“හ්ම්… කට්ටිය සෑහෙන දුර ගිහින් වගේ.. නෙතුම්ව නම් පේනවා.. එන්න අපි ඉක්මණට යං ආරෝ..”

අපි දෙදෙනා විශාල උස ගස් සහ කටු පඳුරු මගහැරගෙන කෙසේ හෝ ඔවුන් අසළට ගියෙමු.. අපේ පියවර නිසා වේළුණු කොළ පොඩිවන ශබ්දය මිසක වෙනත් කිසිඳු ශබ්දයක් මෙහි නොමැත.. ගස් අතරින් පතර යම් යම් තැන්වලට හිරු එළියක් වැටුණද එය මුළුමනින් ම අන්ධකාර වන පෙදෙසකි..

සැවොම සිනහසෙමින් ඉදිරියට ගියද, මගේ දෙකකුල් වෙව්ලන්නට පටන් ගත් නිසා සාහිලුත් මමත්, සෙමින් ඇවිද ආවෙමු.. සාහිල් තැන තැන නැවතෙමින් ඡායාරූප ගත් නිසා එය මටත් පහසුවක් විය..

“ආහ්…”

රූස්ස ගස් පේළියක් දෙසට කැමරාව එල්ල කරගෙන සිටි සාහිල් එක්වරම කැමරාව ඇසින් ඉවතට ගෙන නැවත පියවි දෙනෙතින් ගස් පේළිය දෙස බැලී ය…

“ඇයි.. මොකද උනේ..?”

මට පිළිතුරු නොදුන් ඔහු නැවත එදෙසට සිය කැමරාව එල්ල කර කැමරා කාචයෙන් එදෙස බැලී ය..

“ආරෝ මෙහෙ එන්න.. ඔයාටත් පේනවද බලන්න..?”

“ඇයි.. මොකද්ද..?”

“ඔය ගස් පේළිය දිහා කැම් එකෙන් බලන්න.. අර තුන්වෙනි ගහ… බලන්න හොඳට..”

පියවි දෙනෙතින් බලන විට නම් එහි කිසිඳු අමුත්තක් නොතිබිණ.. මම එදෙසට දෑස් යොමා කැමරාව අතට ගෙන එහි කාචය ඔස්සේ එදෙස බැලීමි.. ඔහු නිවැරදි ය.. ඒ ගසේ වූයේ ලෙයින් සටහන් කළ පැල්ලමකි.. මම නැවත කාචය විශාලනය කර එදෙස බැලීමි.. එය ඊතලයක් සේ ලෙයින් ඇඳි සටහනක් බව මට වැටහිණ…

“අපි ගිහින් බලමු..”

“හ්ම්..”

ගහ ලඟට ගොස් බැලූවද මට කිසිත් නොපෙනුණි.. සාහිල් කැමරාව නෙත් අග තබා අවට පරිසරය විමසිලෙන් නිරීක්ෂණය කළේ ය..

“අතන තව එකක්..”

අපි දෙදෙනා නැවත කැමරාවෙන් දෙවරක් පමණ එදෙස බැලීමු.. මීටර් පනහක් පමණ දුරින් වූ ගසක කඳේ සටහන් ඒ සලකුණ අසළට ගොස් අවට බලද්දී කැමරාව ඔස්සේ අපි තව එකක් දුටිමු.. එය අපට යම් ඉඟියක් මෙන් විය..

සටහන් හතකට පසු සංඥා නතර විය.. මේ වෙද්දී අපි කණ්ඩායමෙන් සම්පූර්ණයෙන් මගහැරී සිටි බවක්වත් අපට නිනව් නොවූයේ මේ ගැටළුව පිළිබඳ වූ කුතුහලය නිසාම ය.. මගේ දෙකකුල් අමාරුව කොහෙන් ගියාදැයි මම නොදනිමි..

“මොකද්ද මේකෙ තේරුම..? මෙතන මුකුත් නැහැනෙ..”

“නෑ සාහිල්.. මෙතන මොනාහරි දෙයක් ඇති.. මහ මූසල ගතියක් ඔයාට දැනෙන්නැද්ද..?”

“ඔක්කොට ම වඩා මේ අන්ධකාර ගතිය..”

එක්වර ම අපට පිටුපසින් කිසිවෙක් ඇවිදින හඬක් අපට ඇසිණ.. වේළුණු කොළ චරබරස් ගා සද්ද විය.. එක්වර ම සාහිල් මගේ අතකින් අල්ලාගත්තෙත්, අපි වටපිට බැලුවෙත් එක විට ය.. සියල්ල නිහඬ ව නිසසල ව ගියේ අපි දෙදෙනාව තවත් භීතියට පත් කරමිනි..

මගේ හදවත ගැහෙන ලබ්-ඩබ් ශබ්දය මට ම ඇසෙන සෙයක් දැනිණ.. එක්වර ම අප අසළින් නැවත අඩි ශබ්දයක් ඇසිණ.. කොළ සරබර ගා හඬ නැඟෙන්නට පටන් ගත්තේ ය.. ක්ෂණයෙන් අප සිටි භූමිය සෙළවෙන්නට මෙන් ගත්තෙන් බිය වී කෑ ගැසුවෙමි… යටිගිරියෙන් මා කෑ ගසනවාත් සමඟ ම වියළි කොළ ,ටොනේඩෝවක් සේ කැරකෙන්නට විය..

“අනේ… මට බෑ.. සාහිල් අපි යමූ.. අනේ..”

කුණාටුවක් පැමිණෙන්නට මෙන් පරිසරය සසල විය.. හුළං ඒ මේ අත හමා යන්නට වුයේ හදවත් පවා චංචල කරවමිනි.. ගැස්මෙන් යුතුව අප බිය වී එකම තැන දණ ගසා ගත්තේ දෝංකාර දෙමින් අඳෝනා ඇසෙන්නට වෙද්දී ය…

එක්වර ම දුහුවිලි අවුස්සමින් කොළ ගොඩ විසිර ගොස් එක් තැනක පස්ගොඩ පමණක් ඉතිරි විය.. පෙර මෙන් පරිසරය නිසලව යද්දී නිහඬතාවය බින්ඳේ මා විසිනි..

“එතන මොකද්ද තියෙන්නෙ..?”

“දන්නෑ.. බලමු..”

සාහිල් ඒ අසළට ගොස් පස් අත ගා බලා මා අසළට දුව ආවේ කලබලයෙනි..

“අපි යමු.. බංග්ලෝ එකට ගිහිල්ලා.. පස්සෙ වෙලාවක ඇවිත් බලමු.. සවලක් අරං ඇවිත් හාරන්න ඕන.. මෙතන මොකද්ද උනේ කියලා හොයාගන්න ඕන ආරෝ.. යමු තවත් මෙතන ඉන්නෙපා..”

අපි දෙදෙනා නැවත හතිලමින් බංග්ලෝවට පැමිණ යහනේ වැටී කල්පනා කරමින් සිටියෙමු… අන් පිරිස පැමිණියේ ඉන් පැය දෙකකට පමණ පසු ය.. මගේ කකුලේ අපහසුව නිසා අපි නැවත හැරී යන්නට ඇතැයි ඔවුන් නිගමනය කර ඇති බැවින් අපි දුටු දේවල් හා සිත් කළඹන භයානක දේවල් ගැන කිසිවක් ඔවුන් හා නොපැවසුවෙමු..

එදින රාත්‍රියේ අපි දෙදෙනාට ම නින්දක් නොවිණ.. ජනෙල් දොරවල් වසා දමා අපි දෙදෙනා ඇඳ මත ඉඳගෙන මේ සිද්ධිය එකිනෙකට ගලපමින් සිටියෙමු.. එක්වර ම දොරට එපිටින් අඩි ශබ්දයක් ඇසුණෙන් සාහිල් ගොස් දොර විවර කර බැලුවේ මෙහි අපට අනතුරක් නැතැයි සිතීමට තරම් අප මෝඩයන් වූ නිසා ය…

“බබා.. පහළ ඉටිපන්දම් එළියක් පේනවා.. කලිසමක් දාගෙන එන්න..”

සාහිලුත් මමත්, ක්ෂණයෙන් පහසු ඇඳුමක් හැඳගෙන විදුලි පන්දම් දෙකත් අතින් ගෙන පහළට පැමිණියේ කුස්සියට ඇතුල් වන දොර අසළින් පැමිණෙන එළිය කුමක්දැයි බැලීමට ය.. අප ඒ අසළට යනවත් සමඟ ම කුස්සියේ දොර ස්වයංක්‍රීයව විවර වූයේ අද්භූත හඬක් නංවමිනි.. හාත්පස අඳුරු ය.. ඉටිපන්දම් එළිය අපෙන් දුරස් වෙමින් කෙමෙන් කෙමෙන් ඇදුණේ ගන වනාන්තරය දෙසටයි..

“සාහිල් මේ වෙලාවෙ…”

“ආරෝ.. බය වෙන්නෙපා.. අපිට කරදරයක් වෙන එකක් නෑ.. මෙතන මොකක්හරි තියනවා.. කවුරුහරි අපිට මොනහරි කියන්න හදනවා.. මේ එළිය යන්නෙ අපි දවල් ගිය තැනට වෙන්න පුළුවන්.. ඉන්න මම උදැල්ලක්වත් අරං එන්නම්..”

සාහිල් උදැල්ලක් රැගෙන එන්නම් කියා ගබඩා කාමරය දෙසට දිව යද්දී මා වටා සුළං බදන හඬක් සමඟ දුක්බර අඳෝනාවක් ඇසුණේ මා වෙව්ලා යද්දී ය… ක්‍රමයෙන් ඒ අඳෝනාව යටිගිරියෙන් කෑ ගසන හඬක් බවට පත්වෙද්දී මම දෙඅතින් කන් දෙක වසාගෙන බිම හිඳ ගත්තෙමි..

ඒ විලාපය මගේ කන් බෙර පුපුරන තරමට දැඩි වද්දී එක්වර ම සීතල දෑතක් මගේ ගෙල වටා දැවටිණ..

“ආහ්…………”

බිහිසුණු අඳෝනා මතු ඇසෙන්නට නියමිත ය..
—————————————-
අනේ කතාව ගැන කියලා යන්න.. මම අමාරුවෙන් ටයිප් කරගත්තෙ.. අඩුපාඩු තියනවා නම් කියන්න..

ඔයාලා යාළුවන්ව මෙන්ෂන් කරන්න.. ප්ලීස්…

ස්තූතියි ඔයාලා හැමෝටම.. ආදරෙයි මං..

✍️නොතෙල්ලා කෙල්ල

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.