Katha Ahura

සසල අවතාර | 12 කොටස | හොල්මන් කතා |

3.7/5 - (10 votes)

සසල අවතාර 12

“ආරෝ.. මොකද උනේ..?”

“අහ්.. සාහිල් අනේ… මගෙ බෙල්ල වටේ.. සීතල..”

“හරි දැන් ඒක ඉවරයි.. ඒක ඉවරයි.. එන්න.. මෙහෙ එන්න..”

සාහිල් මගේ හිස සිඹ නැවත ඉටිපන්දම් එළිය පසුපස ගමන් කරන්නට ගත්තේ උදැල්ලත් අතින් ගෙන ය.. මම අවට පරිසරයට විදුලි පන්දම එල්ල කළද කිසිඳු හැලහොල්මනක්p නැත.. එක්වර ම හිවලෙක් මහ හඬින් හූ හඬ, විලාප නගද්දී අප දෙදෙනා වෙව්ලුම් කා ගියේ භීතියටම ය.. කොළ සරබර ගා පොඩි වන ශබ්දය ඇරුණු කොට සීතල සුළඟත් අපේ හදවත්වල වේගවත් ලබ්-ඩබ් ශබ්දයත් පමණක් සජීවීව පැවතිණ..

“අර ගස් පේළිය දිහාවට තමයි යන්නෙ..”

නැවතුම වූයේ සිතූ සේ ම අර කී පස් ගොඩ ය.. අපි දෙදෙනා වටපිට බලා ඒ අසළට ලං වෙද්දී ඉටිපන්දම් එළියත් අදෘෂ්‍යමාන වී ගියේ ය..

“ෂිට්.. ටෝච් එක ගහන්න.. මං වළ කපන්නම්…”

හාත්පස අඳුරු ය.. නිහඬ ය.. අවතාර අප වටා සක්මන් කරනවාදෝයි හැඟෙන තරම් ඒ නිසලතාවය ම අපව කැළඹුවේ ය.. ක්ෂණයෙන් අවට අන්ධකාරය නැති වූයේ සඳ එළියෙන් ය.. දෙදෙනා ම එකවර උඩ බැලුවෙමු.. පූර්ණ චන්ද්‍රයා වසාගෙන සිටි වළාකුළ ඉවත් ව ගිය හැඩ ය.. ඒ එළිය කෙළින් ම වැටෙන්නේ ගස් අතුපතරින් බේරී කොළ ඉවත් ව පෑදුණු වියළි පොළව මතට ය…

පළමු උදළු පහරින් සාහිල් වටහාගත්තේ පසුගිය දිනවල වූ වර්ෂාව නිසා පස බුරුල් වී ඇති බවයි.. මම පසෙක උක්කුටුකයෙන් හිඳගෙන ඔහු දෙස බලා සිටියෙමි.. ඒ මුහුණ දෙකෙළවරින් දහදිය ගලා හැළෙනු මම දුටුවේ සඳ එළියට දා බිඳු දිලිසෙද්දී ය…

“අඩි හතරකට වඩා කැපුණා.. වෙලාව කීයද..?”

“දන්නෑ.. මං ලඟ ඔරලෝසුවක් නෑ…”

ඔහු තව දුරටත් උදළු පහර දහයක් පමණ ගසා එක්වර ම නතර විය..

“ආරෝ.. මෙහෙ එන්න.. මෙහෙ එන්න…”

“ඇයි…?”

“හඳ එළිය මදි.. ටෝච් දෙක ම ගහන්න වළ ඇතුළට…”

“දෙයියනේ… ඇටකටු වගයක් නේද..? ඉන්න.. අල්ලන්නෙපා.. සමහර විට ඕවා දිරලා වෙන්නත් පුළුවන්.. එහෙම උනොත් මට හොයාගන්න බෑ ඕවා.. ගෑනියෙක්ගෙද පිරිමියෙක්ගෙද කියලවත්…”

“මට තේරෙන්නෑ මේවා බලන්න.. ඔයා හිමීට පහළට එන්න..”

මම සාහිල්ගේ උදව්වෙන් ප්‍රවේශමට වල ඇතුළට බැස ගතිමි.. තැන තැන වූ අස්ථි කැබලි මම සෙමෙන් අල්ලා බලා තේරුම් ගත්තේ ඒවා ස්පර්ශ කළ පමණින් විනාශ වන්නට තරම් දිරාපත්ව නොමැති බවයි.. අනතුරුව මම එකින් එක අතට ගෙන පස් අංශු ඉවත් කරගතිමි..

අපට හිස්කබලක් හමුවුණේ පසුව ය.. එය පිරිමියෙකුගේ බව මම වටහාගතිමි.. නමුත් මේ සිරුර දුටු පමණින් සිදුවූයේ කුමක්දැයි මට වටහා ගත නොහැක..

“අපි ඇටකටු ටික අරං යනවද..?”

“නෑ.. අපි යමු.. මේක ආපහු වළදාන්න සාහිල්.. මේක ශාපලත් භූමියක් වගෙයි මට දැනටම පේන්නෙ…”

අපි කලබලයෙන් මෙන් වල නැවත වසා දමා විදුලි පන්දම් එළියෙන් බංගලාව දෙසට පැමිණියේ කුතුහලයෙන් දැවෙමින් හා භීතියේ කෙළවරට ම පැමිණ ය.. කුස්සියේ දොරෙන් ඇතුල් වද්දී සපත්තු ගලවා දමා පස් පිහිදා දැමූ අපි ඉක්මණින් උඩුමහළට දිව ගොස් කාමරයේ දොර වසා ගතිමු..

පහුවදා උදෑසන මම කුස්සියට වී ආහාර සකසමින් සිටියේ කිසිවක් නොවුණු සේ ය.. ඇතුළාන්තයෙන් මම මහත් පීඩාවක වෙළී සිටියද, කිසිවෙක් සමඟ මේ දේවල් කීමට මම බිය වීමි.. එක්වර ම දොර හැරගෙන ඇතුළට පැමිණියේ ටාෂි ය…

“ටාෂි.. ගුඩ්..

මම ගුඩ් මෝනින් යැයි පවසන්නට ගොස් එය ගිලගත්තේ ටාෂි කොණ්ඩය ගොතාගෙන සිටිනු දැකීමෙන් ය.. මා නුදුටුවාක් මෙන් ලතාවට පාද තබා ආ ඇය රාක්කයේ වූ පෙට්ටිය තුළින් බිත්තරයක් ගෙන එය ඉදිරි දත් දෙකේ රුවා ඇතුළත සාරය උරා බොන්නට වූයේ මට මහත් අප්පිරියාවක් දනවමිනි..

“මොනාද උඹ බලන්නෙ…?”

ඈ එසේ අසද්දී ම මම අහක බලාගත්තේ දෙකකුල් පවා ගැහෙන්නට පටන් ගත් නිසා ය.. ඇගේ ශරීරය තුළ අදෘෂ්‍යමාන ආත්මයක් සිර වී තිබෙන බවට මට නිසැක ය.. අතේ තිබූ පිහිය මගෙන් හිලිහී නොදැනීම බිම වැටුණෙන් මම බිය වී කුස්සියෙන් ඉවතට දුවන්නට යද්දී දොරෙන් ඇතුල් වූයේ රිෂිත් ය..

“සුරම්‍යා…..”

රිෂිත් ඇමතුවේ ටාෂිව ය.. ඔහුට කුමක් වී ද… රිෂිත් පැමිණ ටාෂිගේ හිස අතගා ඇගේ බඳ අසළින් දෙඅත් දමාගෙන ඈ උණුසුම්ව වැළඳගද්දී මම තවත් බිය වීමි.. මා ඉදිරියේ ම ඔවුන් දෙතොල් සිපගෙන අනඟ රැඟුම් පාන්නට ගත්තෙන්, මම භීතියට පත්ව කුස්සියේ දොර ඇරගෙන උඩු මහළට දිව ගියේ ය.. එක්වර ම මා හැපුමේ නෙතුම්ගේ ඇඟේ ය..

“කොහෙද බං මේ දුවන්නේ…?”

“කුස්සියට යන්නෙපා..”

“ඇයි…?”

“අහ්.. මම ස්පෙෂල් කෑමක් හදන ගමන් හිටියෙ.. මම අඬගහද්දි විතරක් වරෙන්.. දැන් කාමරේට යමන්..”

ඔහු මට බැණ බැණ නැවත කාමරය දෙසට යනු මම දුටුවත් එක්වර ම ඔහු අභිෂේක්ලාගේ කාමරය ලඟ නැවතී කෑ ගැසුවේ ය…

“ආරෝ.. මේ වරෙන්..”

ඔහු කාමරය ඇතුළට දුවද්දී මම අපේ කාමරයේ දොරට තඩි බා සාහිල්ටත් සංඥා කරමින් ම ඒ දෙසට දිවීමි..

“දෙයියනේ… අභී…”

ජනේලය අසළ බිම වැටී සිටි අභිෂේක්ගේ උඩුකය නිරුවත් ය.. සිරුර සුදුමැලිව ඇත.. බැලූ බැල්මට ඔහු සිහිසුන් බැවින් ශෙනුකවත් ඇඳවාගෙන තිදෙනා එක් වී ඔහුව යහන මතින් තැබූ පසු, මම නාඩි පරීක්ෂා කොට හෘද ස්පන්දනය සාමාන්‍ය තත්වයේ දැයි නිරීක්ෂණය කළෙමි..

“මොකද්ද මූට වෙලා තියෙන්නෙ..?”

“කෝ ටාෂි..? ශෙනුක බලපං ඒකි කෝ කියලා..”

නෙතුම් පවසද්දී මම ශෙනුකව නවතා මා පහළට යන්නම් යැයි පැවසීමි..

“ඒත් උඹ මෙතන ඉඳලා ටිකක් අභීව බලපං.. මං බලලා එන්නං…”

“ඔව් ආරෝ.. අභීට මොකද කරන්නෙ.. ඔයාට විතරනෙ මේවා තේරෙන්නෙ…”

සාහිලුත් එසේ පැවසූ පසු මම හිර වීමි.. අභී පරීක්ෂා කර අවසන් වෙද්දී අපට පහළින් ඇසුණේ රණ්ඩුවක හඬකි..

“ශෙනුකයා නේද..?”

“නෙතුම් වරෙන්..”

අභීවත් දමා මමත් ඔවුන් පසුපස දිවීමි.. ශෙනුක රිෂිත්ගේ බෙල්ලෙන් අල්ලාගෙන සිටියේ ඔහු අතහරින්නැයි කෑ ගසද්දී ය.. ටාෂි සිය හවුස්කෝටය පමණක් සිරුර වටා දවටගෙන සිට මා දුටු විගස මා අසළට පැමිණ මා බදාගත්තා ය..

“මොකද්ද උනේ…. ශෙනුක ඌව අතෑරපං..”

“අතාරින්න.. අතාරින්න නෙමේ මූව මරන්න වටින්නෙ..”

“ශෙනුක මාව අතෑරපං…”

“අභියා දැක්කා නං.. තෝ නං මහ බල්ලෙක් රිෂිත් තෝ නං අමුම අමු බල්ලෙක්… වනචරයා..”

සිදු වූ දෙය මට වටහාගත හැක.. ටාෂි බියෙන් මා බදාගත්ත ද මට ඈ බදාගන්නට වූයේ අපුලකි..

“මොකද උනේ..?”

මම ටාෂිගෙන් අසද්දී ඈ රුදුරු නෙත්වලින් මා දෙස බලනු මම දිටීමි.. මේ ක්‍රියා කරන්නේ ටාෂි නොවන බව මට වැටහිණ.. ඇගේ සිරුර දහදියෙන් වැකී ඇත.. අපුලින් යුතු වුවද මම ඈ පසෙකට කරන්නට බිය වීමි.. “සුරම්‍යා” යනුවෙන් රිෂී, ටාෂිව ඇමතුවේ මන්දැයි මම නොදත් මුත් මෙහි සැඟවුණු අභිරහස පසුපස, ඒ නම මුල් වන කාරණයක් ඇති බව පමණක් මට වැටහේ..

“ශෙනුක ඌව අතෑරපං.. මේ මුකුත් අභීට කියන්නෑ.. තේරුණාද..?”

“තෝ එක්ක මින් මත්තට මගෙ කිසිම කතාවක් නෑ..”

ශෙනුක, රිෂිත්ගේ ගෙල අතෑර ඔහු පසුපසට විසි වන්නම තල්ලු කර දමා කේන්තියෙන් කාමරයෙන් පිටවෙද්දී, අපි එහෙමම පුටු ඇදගෙන මේසය වටා ඉඳගත්තේ කුමක් කරන්නදැයි වටහා ගත නොහැකිව ය.. එක්වට ම අපට ඇසුණේ බයිසිකල් සීනුවක හඬකි.. සේදිරිස් බව වටහාගෙන නෙතුම්ට කලින් මමත්, සාහිලුත් ඉදිරිපස ගේට්ටුව දෙසට දිව ගියේ එකවර ය..

අපි යද්දී ඔහු ගෙබිම ඉදිරිපිටින් පස් අහුරක් ගෙන මල්ලක ඔබා ගනිමින් සිටිනු අප දෙදෙනා හොඳට ම දිටිමු..

“සේදිරිස්..”

“ආහ්.. අහ්.. පුංචි නෝනා…”

“අනේ.. පුංචි නෝනා කියන්නෙපා.. ආරෝහි කියන්න..”

ඔහු කතාවට අල්ලාගැනීම සඳහා කාරණාවක් නැති තැන බිමින් ගත් පස් කුමටදැයි මම විමසීමි.. ඔහු හරිහමං පිළිතුරක් නොදී කතාව මග හරින බව අපට වැටහිණ..

“සේදිරිස්.. හංගන්න දෙයක් මෙතන නෑ.. මං හිතන්නෙ රවී ගැන අපි දන්නවා…”

“අහ්.. ආහ්.. ම්..මො..මොකක්.. කිව්වා..”

“රවීලා ගැන අපි දන්නවා කියලයි කිව්වෙ සේදිරිස්.. මං මේ කිව්වෙ සුරම්‍යා ගැන එහෙමත්..”

මා එසේ කියා අඟවන්නට තැනුවේ මෙහි අපි සියල්ලම දන්නා බවයි… එවිට ඔහු පස් කුමටදැයි හෙළි කළේ ඔළුව පහත් කරගෙන ය..

“ආයෙම ගමේ එකෙක් සුරම්‍යා නෝනගෙ අවතාරෙ දැකලා..”

“කවදා…?”

“ගමේ ඉස්කෝලෙ ලොකු සෑර්ගෙ පුතණ්ඩියා.. පෙරේදා දවාලෙ ටවුමට ගෙහුං මේ පුට් සයිකලේ.. එද්දි හවස් වෙනවනෙ.. මූ දැන දැනත් මේ පාරෙන් ඇවිල්ලනෙ.. ඕකුන් දැන් දැන වැඩ වරද්දගන්න්‍ර්.. දැන් කී දෙනෙක්ට නූල් බැඳලා තොවිල් නැටුවද අපෙ නෝනෙ..”

“මොනවද ඒ කොල්ලා දැකල තියෙන්නෙ..?”

“ආයෙ මොනවදෑ ඉතිං.. අයාලෙ යන බලු නකුටෙක් ගේට්ටුව ලඟ ඉව කර කර බුරනවා දැකලා.. මූ නැවතිලා බලලා..නාඹර මදන විසේනෙ.. කොච්චරවත් බංගලාව පැත්ත පළාතක රිංගන්ඩෙපාය කිව්වට.. ගේට්ටුව මහ සද්දෙන් ඇරිලා.. සුරම්‍යා නෝනගෙ අවතාරෙ එළියට එනවා කොල්ලා දැකලලු.. බෙල්ල පැත්තට ඇලවෙලා සුරම්‍යා නෝනා බිම වැටීගෙන ඇවිත් බල්ලගෙ බෙල්ල කඩාගෙන ලේ බීවා කියලා තමා කොල්ලා ආවේසෙන් කියවන්නෙ..”

“බල්ලෙක්ගෙ…?”

“මේ මේ.. කොල්ලා කියවන්නෙ එහෙම තමා.. ඔය අවතාරෙ දැකපු අනිත් එව්වොත් අනේකවිධ දේවල් දැකලා තියනවා… මේ පාරෙ ගෙහුං මොකාද යහතින් හිටියෙ.. පිරිමි පරාණෙකට පාරෙ යන්න බැරි තැනනෙ මේවා කැලෑවට ගියෙ අපෙ නෝනෙ.. දවසක් දෙන්නෙක් පස්සෙන් සුරම්‍යා නෝනගෙ අවතාරෙ පන්නලා තියනවා.. දත්වලින් ලේ පෙරාගෙන.. අන්තිමේ එකෙක් ගහමුලක තියලා බෙල්ල කඩලා මරා දාලා.. අනිකා බේරිලා ආවා..”

“මොකටද සේදිරිස් මේ පස්..”

“තොයිලෙට ගේන්නයි කියලා කට්ටඩිරාළ කිව්වා…”

“සේදිරිස්ට මුකුත් කරදරයක් නැද්ද මෙහෙ ආවා ගියාට…”

ඒ පැනයත් සමඟ සේදිරිස් නිහඬ විය.. ඔළුව සොළවා නැහැයි පවසා ඔහු කතාව වෙනතක හැරවී ය..

බිහිසුණු අඳෝනා මතු ඇසෙන්නට නියමිත ය..
——————————–

කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි ගොඩක්..

✍️නොතෙල්ලා කෙල්ල

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.