Katha Ahura

සිතෙනවාට වඩා යමක් සිතීමේ අගය | බෞද්ධ කතා

කතාව කොහොමද?

නිවන් මඟෙහි ගමන් කරන්නාට තම ගමන සාර්ථක කර ගැනීම සඳහා මූලික වශයෙන් කරුණු හතරක් ඉතා වැදගත් වන බව බුදුදහමෙහි සඳහන් ය. ඡන්ද, චිත්ත, වීරිය, විමංසා යනු එම කරුණු හතරයි. ගිහි ජීවිතයක් සාර්ථක කර ගැනීම සඳහා ද මෙම කරුණු හතර යොදාගත හැකි ය. සමහරවිට හොඳට ඉගෙන ගෙන උසස් රැකියාවක් බලාපොරොත්තුවෙන් කටයුතු කරන්නට පුළුවන. එසේ නැත්නම් හොඳ සාර්ථක ව්‍යාපාරිකයකු වී කටයුතු කරන්නට ඔබ තුළ බලවත් හැඟීමක් තිබෙන්නට පුළුවන. කවර මඟකින් හෝ දියුණුවක් බලාපොරොත්තු වන්නාට ඉහත සඳහන් කරුණු හතර මහඟු පිටුවහලක් වනු ඇත.

ඡන්ද යනු තමන් කරන දේට ඇති කැමැත්තයි. කැමැත්තක් නැත්නම් කිසිදෙයක් කළ නොහැකි ය. කරන දේ සාර්ථකව හොඳට කිරීමට කැමැති මූලික පදනමයි.

කැමැත්තක් නැතිනම් ඉගෙනීමත් කළ නොහැකි ය. සමහර ළමයි සමහර විෂයයන් ඉගෙනීමට කැමැත්තක් නැත. එහි ප්‍රතිඵලය අකමැති විෂයයන්ගෙන් අසමත් වීමයි. තමන් කැමති ආශා කරන විෂයයන්ගෙන් සමත් වීමයි. ව්‍යාපාරික ක්ෂේත්‍රය දෙස බැලුව ද එහි සාර්ථක අසාර්ථක භාවය රඳා පවතින්නේ ඒ සඳහා බලපවත්වන කැමැත්ත මතයි.

ඉගෙනීම යනු යාවජීව ක්‍රියාවලියකි. මියයන තුරුම අප ඉගෙන ගත යුතුයි. ඡ්‍යොතිෂ ඉගෙන ගත් මිනිසෙක් සිටියේ ය. දිනක් තමන් මිය යන්නේ කවදාදැයි තමන්ම විමසා බැලුවේ ය. මියයන දිනය හා වේලාව දැන අනුන්ට කරදරයක් නොවන සේ තමන්ම වළක් කැපුවේ ය. නියමිත වේලාවට විනාඩි කිහිපයකට පෙර ඒ වළට බැස දිගා වුණේ ය. ඒ අසලින් යන තවත් මිනිසෙකි. ඔහුද ඡ්‍යොතිෂවේදියෙකි. වළට එබී බැලූ ඔහු එහි නිදාසිටින මිනිසා දුටුවේ ය. ඔබ ඔය විදියට සිටින්නේ කුමක් නිසාද? ඔහු පුදුමයෙන් මෙන් ඇසුවේ ය. එවිට වළ තුළ සිටින මිනිසා කීවේ තමන් තව විනාඩි දහයකින් මිය යන බවයි. කිසිවකුටත් කරදරයක් නොවන සේ අවසන් ගමන් යන්නට වළට බැස දිගාවී සිටින බවයි. එසේ නම් ඔබ උපන් වේලාව මට කියන්න. මිය යන බවට ඔබ කී වේලාව නිවැරදිදැයි මම බලන්නම් යනුවෙන් වළ උඩ සිටි මිනිසා කීවේ ය. උපන් වේලාව දැනගත් ඔහු තමන්ගේ දැනුමට අනුව ගණන් සාදා බැලුවේ ය. ඔහුට මියයන්නට විනාඩි දහයක් නොව තවත් විනඩි තිහක්ම ඇති බව ඔහු දුටුවේ ය.

එය ඇසූ මිය යන්නට වළ තුළ සිටි මිනිසා වහාම ගොඩට ආවේ ය. ඔබගේ ශාස්ත්‍රය මා ඉගෙන ගත් ශාස්ත්‍රයට වඩා වෙනස් බව පෙනෙනවා. මා එය ඉගෙන ගන්නට කැමැතියි. අනේ මට ඉක්මනින් ම එය කියා දෙන්න යැයි ආයාචනා කළේ ය.

මරණය දැක දැකම ඒ මිනිසාට ඉගෙන ගන්නට තිබූ බලවත් කැමැත්ත පුදුම සහගත නොවන්නේ ද?

දෙවැන්න ‘චිත්ත’ යයි. ඉගෙන ගන්නා දේ කෙරෙහි සිත යොමු කිරීමයි. අවදානය යොමු කිරීම මින් අදහස් කරයි. අධ්‍යාපන කටයුතු කළ යුතු වන්නේ සමාධිගත සිතකිනි. වික්ෂිප්ත වූ අවුල් වූ සිත ඉගෙනීම දුර්වල කරයි. යම් දෙයක් සාර්ථක වීමට නම් අධිෂ්ඨාන පූර්වක සිතිවිල්ලක් තමා තුළ තිබිය යුතු යි.

එදා සුමේධ තවුසාණන් දීපංකර පාද මූලයේ දී මමත් කවදා හෝ මේ වාගේ බුදු කෙනෙකු වෙමියි අධිෂ්ඨාන පූර්වක සිතිවිල්ලක් ඇති කර ගත්තේ ය. ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා සමාධිගත සිතකින් ක්‍රියා කළේ ය. එයට අවශ්‍ය දසපාරමී ධර්මයන් සම්පූර්ණ කළේ ය. එහි ප්‍රතිඵලය වූයේ තම සිත තුළ වූ අධිෂ්ඨානය මල්ඵල ගැනීමයි. අපගේ එදිනෙදා කරන සියලු කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මේ අධිෂ්ඨාන පූර්වක සිතිවිල්ල ඉතා වැදගත් ය. ඉගෙනීමේ ක්‍රියාවලියට ඇති චිත්ත අධිෂ්ඨානය මෙන්ම ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් පටන් ගන්නා තැනැත්තා තුළ ද තම යටිසිත තුළ මේ අධිෂ්ඨාන පූර්වක සිතිවිල්ල රඳවා ගත යුතු යි. සෑම දිනකම ඒ අධිෂ්ඨාන සිතිවිල්ල අලුත් කරගත යුතු ය. ඒ ගමනට අවශ්‍ය දෑ සපුරා ගත යුතු ය. නොපසු බස්නා ගමනින් ඉලක්කය කරා ගමන් කිරීමට අධිෂ්ඨාන කර ගත යුතු යි.

තුන්වැනි කරුණ වීර්යයි. ඉගෙන ගන්නා අලස නොවිය යුතුයි. උත්සාහයෙන් වීර්යයෙන් තම කාර්යයන් සාධනය කර ගත යුතු යි. බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමට ගියේ මොනතරම් දුෂ්කර ගමන් ද? මට බැහැ අමාරු කියා නැවැත රජමාලිගයට යෑමට සූදානම් වූයේ නැත. කාල සටහනක් අනුව ජීවිතය සකසා ගත යුතු ය. කාලයෙන් වැඩි කොටසක් ඵලදායී ක්‍රියාවලියක නියුක්ත වීමට අදිටන් කර ගත යුතු ය.

දරුවන් වෙත මව්පිය අවධානය පෙරටත් වඩා දැන් යොමුවිය යුතු ය.

සාමාන්‍ය දින චර්යාවට අනුව උදේ පාන්දරින් නිවසින් පිටවන දරුවා ආපසු එන්නේ සන්ධ්‍යාවෙහි ය. පෞද්ගලික පන්ති නිසා විවේකී දින නැත. ගෙදර එන දරුවා විඩාපත් වී කා බී. නින්දට යයි. එසේත් නැතිනම් රූපවාහිනිය, පරිගණකය, අන්තර්ජාලය, ජංගම දුරකථනය ඇසුරෙහි කල් ගෙවයි. එවිට මව්පිය ඇසුර අඩුය. එක්වේලක් හෝ දරුවන් සමඟ ආහාර ගන්නා පරිසරයක් නිවස තුළ සාදා ගත යුතුම ය. උදේ සිට කළ කී දේ ආගිය තොරතුªරු දැන ගැනීම මෙහි දී ඉතා වැදගත් ය. දරුවාගේ හැසිරීම, වෙනස්කම් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය ය.

මිනිසකුගේ වයස අවුරුදු 11 ත් 20 ත් අතර කාලය නව යොවුන් විය ලෙස හඳුන්වනවා. විශේෂයෙන් දරුවන්ගේ වයස අවුරුදු 11 ත් 14 ත් අතර කාලය ඉතා වැදගත්. දැරියක් නම් බොහෝ විට වැඩිවියට පත්වන්නේ මේ වයසේ දී යි. පිරිමි දරුවන් තුළත් මේ කාලය තුළ කිසියම් වර්ධනීය වෙනසක් සිදුවෙනවා. ළමයින්ගේ අවුරුදු 15 ත් 16 ත් අතර කාලය සංක්‍රාන්තික අවධිය ලෙස මනෝ විද්‍යාඥයින් හඳුන්වා දී ඇත. මේ කාලය තුළ ළමා ජීවිතවල වෙනස්කම් රාශියක් සිදුවනවා. බොහෝ වේලාවට තමන්ට සිතෙන දේ කරන්නට පෙළඹෙනවා. සමහර විට කලහකාරී හැඟීම් ඇතිවන්නට පුළුවනි.

දරුවන්ගේ මෙම වයස් වකවානුවල දී දෙමාපියන් විශේෂ අවබෝධයකින් ක්‍රියා කළ යුතු ව ඇත. තම දරුවන් හොඳ පෞරුෂයක් ඇති දරුවන් බවට පත් කළ හැක්කේ එවිට ය. අප රටේ මව්පියන් මෙම වයසේ දරුවන් අතින් සිදුවන යම් යම් සිදුවීම් පිළිබඳව ඉතා දැඩි තීරණ ගැනීමට පෙළඹෙන බව බොහෝ විට දැක ගන්නට පුළුවන. ඔවුනුත් මෙම වයස ගතකළ බව අමතක කර ඇත. දරුවන්ගේ ප්‍රශ්න මවුපියන් විසින් ඉතා බුද්ධිමත්ව සහ ඉවසීමෙන් කටයුතු කරමින් ඔවුන් සමඟ සාකච්ඡා කිරීම දරුවන්ගේ මානසික වර්ධනයට ඉතා වැදගත් වනු ඇත.

ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟා ගැනීමට යන අවස්ථාවේ දී දියණිය සිනාමුසු මුහුණින් එය මව සමඟ කීමට තරම් මව සමඟ සමීප ඇසුරක් පැවැත්විය යුතු ය. දරුවන්ට නිවැරදි මඟ කියා දෙන පරමා දර්ශී චරිත බවට මව්පියන් පත්විය යුතුව ඇත. මෙබඳු පියෙකුට තම පුතුට හරිමඟ ගමන් කරන්න යැයි කිව නොහැකි ය. අද බොහෝ මව්පියන් බොරුකීම පුරුද්දක් කරගෙන ඇත. දරුවන් එය අනුගමනය කිරීමට යෑම නිසා පෞරුෂත්වයෙන් අඩු දරුවන් පිරිසක් සමාජයට ලැබී ඇත.

පුද්ගලයකුගේ දියුණුවට අදාළ හතරවැනි කරුණ ‘විමංසා’ යන්නයි. අධ්‍යාපනයේ දී ඉගෙන ගත් දේ පිළිබඳව හොඳට විමසා බලා ඊට අදාළ හේතු සාධක සොයමින් විමර්ශනශීලී ව කටයුතු කිරීම මෙයින් අදහස් කරයි. ඉගෙනීමට පමණක් නොව ජීවිතයේ අප කරන සියලු කාර්යයන්හි දී සොයා බලමින් විමර්ශනශීලීව කටයුතු කිරීම ඒ සියලු කාර්යයන්ගේ සාර්ථකත්වයට මහත් ශක්තියක් වනු ඇත. බුදුරදුහු කාලාම සූත්‍රයෙහි දී ඉදිරිපත් කළේ මේ විමර්ශනශීලී චින්තනයයි.

පෙනෙවාට වඩා යමක් දකින්නට අපි උත්සාහ කරමු. අපට ඇසෙන දේව වඩා යමක් අහන්නට අපි උත්සාහ කරමු. සිතෙනවාට වඩා යමක් සිතන්නට අපි උත්සාහ කරමු.

අප කරන සියලු කාර්යයන්හි දී ඡන්දය, චිත්තය, වීර්යය හා විමංසාවෙන් කටයුතු කරන්නේ නම් ඔබගේ අතීතය දෙසත්, වර්තමාන ක්‍රියාවලිය දෙසත්, අනාගතය දෙසත් සතුටෙන් සැනසිල්ලෙන් බලන්නට පුළුවන.

4 thoughts on “සිතෙනවාට වඩා යමක් සිතීමේ අගය | බෞද්ධ කතා”

  1. Sandu (kandy girl)

    .. සර්.. අර සෙන් කතා ටිකත් දාන්නකො. ගොඩක් කල් මං ඒ ටික දාලා…?????

  2. Ashi nethsara

    ” පෙනෙනවාට වඩා යමක් දකින්නට අපි උත්සහ කරමු…අපිට ඇසෙන දේට වඩා යමක් අහන්නට අපි උත්සහ කරමු…සිතෙනවාට වඩා යමක් සිතන්නට අපි උත්සහ කරමු…”

    ඇත්තටම චන්දිම සර් මේ අදහස නම් මාරම වටිනවා… දැන් සමාජයේ හැමදේටම මුල් වෙන්නෙ මේ කරුණ කියලා තමයි මට හිතෙන්නේ…

    මේ ලෝකේ විවිධාකාර මිනිස්සු ඉන්නවා…එයාලගේ කතා එකිනෙකට වෙනස්…දුක්බර වෙන්න පුළුවන්..එහෙමත් නැත්නම් සතුටුදායක වෙන්න පුළුවන්…

    ඒ වගේම මිනිස්සු හරිම ආත්මාර්ථකාමියි…තමන් ගැන විතරයි හිතන්නෙ…..

    උදාහරණයක් විදිහට ගත්තොත් අපි සාමාන්‍යයෙන් ළං වෙන්නෙ සතුටින් ඉන්න මිනිස්සුන්ට , ගොඩක් සල්ලි තියෙන මිනිස්සුන්ට…එයාලට මනුස්සකම තියෙනවා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්…

    හැබැයි අපි කිසිම වෙලාවක හිතන්නෙ නෑ අපිට වඩා පාතින් ඉන්න මිනිස්සු ගැන…අපි බලන්නෙ අපිට ඉස්සරහට යන්න උදව් කරන්න පුළුවන් තත්වයක ඉන්න අයව ළඟා කරගන්න…

    පෝසතෙකුයි , මධ්‍යම පාන්තිකයෙකුයි , දුප්පතෙකුයි ගත්තොත් එයාලා සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයො තුන්දෙනෙක්….ඒක ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා මන් හිතනවා…

    ඉතින් මේ මධ්‍යම පාන්තික මනුස්සයා බලන්නෙ කොහොම හරි අර පෝසතාව ළං කරගන්න…..මොකද ඒක එයාට වාසියි…එතනින් දුප්පතාව නිකන්ම කපා හැරෙනවා…මේ සල්ලි තරාතිරම නිසා නේද…???

    හැබැයි අපිට වෙන පැත්තකින් හිතන්න පුළුවන්…මධ්‍යම පාන්තික මිනිසා දුප්පතාව හරියට තේරුම් ගත්තොත්, එකිනෙකා තේරුම් ගත්තොත් ඒ දෙන්නට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්….මොකද දෙන්නගේ අදහස් වෙනස්…..එක්කෙනෙක් යම් දෙයකට ඉතා දක්ෂ වෙන්න පුළුවන් අනිකා ඒ වගේම වෙන ක්ෂේත්‍රයකට දක්ෂ වෙන්න පුලුවන්…ඉතින් මේ දේවල් එකතු උනොත් අනිවාර්යයෙන්ම තනියම ගමන ගිහින් ලබන ජයග්‍රහණයට වඩා ගොඩක් ඉහල දෙයක් ලගාකරගන්න පුලුවන්..

    හැබැයි මේ දේට අනිවාර්යයෙන්ම එකිනෙකා අතර විශ්වාසය තිබිය යුතුයි…ඒකට එකිනෙකා තේරුම් ගන්න ඕනි…

    වර්තමාන සමාජයේ අමාරුම දේ තමයි ඒක…මොකද තමන්ගේ කාර්යය බහුලත්වයත් එක්ක වෙන කෙනෙක්ව තේරුම් ගන්නවා තියා තමන්ට තමන්වවත් තේරුම් ගන්න වෙලාවක් නෑ….

    __________________________________________

    අපිට මේ දේට හොදම වැදගත්ම දෙයක් තියෙනවා….?

    දවසකට පැය 24 තියෙනවා …..විනාඩි 1440 ක්…..තත්පර 86400 …?

    අපි අරන් තියෙන වටිනාම තීරණයක් තමයි මේ වගේ ඇප් එකක් භාවිතා කරන එක….මොකද අර මන් කලින් කිව්වා වගේ වෙනකෙනෙක්ව තේරුම් ගන්න සංවේදී හදවතක් ඕනි….අපිට ඒ දේ ලබා දෙන්නේ මේ ආදරණීය ඇප් එක….දවසින් පොඩි වෙලාවක් මේ වෙනුවෙන් වෙන්කරන එක ගොඩක්ම සතුටුදායක කාරණාවක්….

    මේ ඇප් එක අපි භාවිත කරන්නෙ කතා කියවන්න එහෙමත් නැත්තන් අපේ සිතිවිලි අකුරු කරන්න…මේ දෙකම කරන්න පුළුවන් වෙන්නෙ සාහිත්‍යට ඇලුම් කරන කෙනෙකුට විතරයි….ඉතින් එහෙම අයගේ හදවත් හරිම සංවේදී යි…එයාලගේ විතරක් නෙමෙයි හැමෝගෙම හදවත් එහෙම තමයි…නමුත් ඒ හදවත් වල සංවේදීභාවය දවසින් දවස අඩු වෙනවා…අපි ඇප් එකට ඇවිත් කතාවක් කියවනවා කියන්නෙ ඒ අඩුවෙන සංවේදීභාවය අපි රැකගන්න උත්සහ කරනවා…

    මේ කතාවල චරිත වගේ ඇත්ත ජීවිතයෙත් මිනිස්සු ඉන්නවා…අපිට නොපෙනෙන්න…

    ඒත් අපි පේන දේ නැතුව බලන්න උත්සහ කරොත් අපිට අනිවාර්යයෙන්ම එයාලව හොයාගන්න පුලුවන්….එයාලගෙ කතාවෙ ඇහෙන දේ නැතුව අපි ඒ කතාව අහගෙන හිටියොත් අපිට එයාලව තේරුම් ගන්න පුළුවන්….අපිට එයාලා ගැන හිතෙන දේ නැතුව අපි එයාලා ගැන හිතුවොත් අපිට එයාලට උදව් කරන්න පුළුවන්…

    ” කෙටියෙන්ම කිව්වොත් මේ *කතාඅහුර* කියන්නේ සංවේදී අවංකයෙකු බිහිකරන යතුර….”

    ඒත් අපිට තනියම මේ දේ කරන්න බෑ….එකතු උනොත් විතරයි මේ දේ සිද්ධ වෙන්නෙ..

    ඉතින් පොඩිතැනකින් පටන් ගන්න….මොකද මහ මුහුද උනත් හැදිලා තියෙන්නේ වතුර බිඳුව බැගින් එකතු වෙලානේ…

    හැබැයි තේරුම් නොගන්න අයට තේරුම් නොකර නිහඩ වෙන්න…තව මිනිස්සු ඉන්නවනේ…හැමෝම එක වගේ නෑ නේ…කවද හරි එයාලත් තේරුම්ගන්නවා…මොකද එයාලටත් කවදහරි හැඟීම් දැනෙනවනේ…එයාලටත් හදවත් තියෙනවනේ….එදාට එයාලත් එකතු වෙයි….?

    මගේ හිතට ආපු අදහස් පුලුවන් විදිහට අකුරු කරා…මේ මගේ හිතට ආපු අදහස්නේ ඉතින්…මට ඔයාලා වගේ හිතන්න බෑ නේ…අපි එකිනෙකා වෙනස්නේ….හොදම විසදුම තේරුම් ගැනීම….

    මට විශේෂයෙන් ඕනි උනේ චන්දිම සර්ට තුති පුදන්න….සර් මේ කරන්නේ ලොකු සේවයක්…ඉතින් සර්ගේ මේ උත්සහයට සුභ පතන ගමන්ම තවත් මෙවැනි යහපත් දේවල්කරන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා….

    ගොඩක් ස්තූතිති සර් ?????

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.