Katha Ahura

අදිසි මාරකය? |11. කොටස|රහස් පරීක්ෂක කතා|කතා අහුර රචක

3.2/5 - (12 votes)

අදිසි මාරකය?
(11.කොටස)
එදින රාත්‍රියේ සුරාජ් නිවසට පැමිණියේ ඉතා අවුල්සහගත වූ මුහුණකිනි.ඒ තම සහෝදර නිළධාරියාගේ මියයාම නිසාය. නිවසට ගොඩවත්ම හෂිනිට ඔහුගේ වෙනස දැනුනේය. කිසිදු වචනයක් නොපවසා සුරාජ් සෝපාවට බර විය
” අැයි සුරාජ් ”
” මුකුත් නෑ හෂී, ඔලුව රිදෙනවා ටිකක්”
සුරාජ් තම රාජකාරියට සම්බන්ධ දේවල් හෂිනිට පවසා සිටියේ නැත්තේ ඇය එයින් යම් බියකට පත්වේ යැයි සිතාය.
” මේ ඔයාට කියන්න පොඩි බඩුවක් තියෙනවා” ඇය සුරාජ්ගේ අසලින් වාඩිවෙමින් පැවසුවාය.
” මොකක්ද , අර ඊයේ ව්‍යාංජන වලට ලුණු වැඩි වුන එක ගැනද?”
” අනේ ඉතින් ඕකනෙ” සුරාජ් පුරුදු වී සිටියේ නිවසේ ගත කරන කාලය සමඟ ඇය සමඟ සතුටින් සිටීමටයි.
” හරි ඉතින් කියන්නකො ඔය පොඩි බඩුව”
” මම” යැයි පවසා ඇය තම අත දිගු කර එල්ලා තිබූ කුඩා දරුවෙකුගේ බිත්ති රූපය පෙන්නුවාය. ඒ දෙස බලා කල්පනාවට වැටුනු සුරාජ් ඇයගේ මුහුණ දෙස බැලුවේ විශාල සතුටක් පෙරදැරි කරගෙනය.
” ඔය ඇත්තමද හෂී”
” හම්”
” යේ….හේ……….” සුරාජ් හුන් තැනින් නැගිට ඇයව ඔසවාගෙන නිවසේ සාලය පුරාම දිව්වෙ තම හිතට දැනුනු විශාල සතුට නිසාය.
……………..
රාත්‍රී දහයට පමණ පො.පරීක්ෂක සංජීව හා උ.පො.පරීක්ෂක යොහාන් ඇතුලු නිළධාරීන් කණ්ඩායම වව්නියාව නගරයට පැමිණි අතර එක් හුදෙකලා ස්ථානයකදී ජීප් රථ වලින් බැස ගත් ඔවුන් දෙදෙනා යම් කතාබහක නිරත විය.
” යොහාන් එහෙනම් මම ටීම් එක අරන් යනවා, උඹ මෙහේ වැඩ ටික බලාගනින්”
” හරි සර්, සර් මොන දේටත් පරිස්සමෙන් යන්න. මේ කොටි කලබල දවස් වල අපි ඔය ඒරියා වලට අඩිය තියනවා කියන්නෙ මාරයගෙ කටට යනවා වගේ තමයි”
උ.පො පරීක්ෂකවරයාගේ කතාව තුලද ඇත්තේ සත්‍යකි. ඒ වන විට ත්‍රස්තවාදීන් විසින් උතුරේ ඇතැම් ප්‍රදේශ වල තම බලය අත්පත් කරගෙන ඇතත් පො.පරීක්ෂකවරයා ඇතුලු කණ්ඩායමට යාමට තිබුනු ප්‍රදේශ වලට හමුදා රැකවරණය ලැබී තිබුනි.
” ඔව් ඒ කතාවත් ඇත්ත තමයි. ඒත් අපිට මේ වෙලාවෙ ගන්න වෙන ඩිසිෂන් එකක් නෑ. ඔයා පුළුවන් තරම් මේ ඒරියා එක කවර් කරලා බලන්න . මට එහෙදි මොනවා හරි තොරතුරක් ලැබුනොත් මම ඔයාට කියන්නම්”
” ok, සර්” කතාබහ අවසන්වත්ම පො. පරීක්ෂකවරයා ඇගිලි සලකුණු පරීක්ෂකවරුන් හා තම නිළධාරීන් පිරිසද රැගෙන මුලතිව් නගරයට පිටත් විය.
ඒ මොහොතේම උ.පො පරීක්ෂකවරයාද තමාට පැවරී ඇති රාජකාරිය ක්‍රියාත්මක කලේය.
” මහේෂ් , මමයි ලක්ෂිතයි ඕමන්තෙයි ඉදලා කිලෝ මීටර් විස්සක එ්රියා එකක් කවර් කරනවා උඹ අපේ දෙන්නෙක් එක්ක මේ අවට චෙක් කරපන් .හොදට ඇහැ ගහගෙන හිටපන් මොකද උන් මෙහෙට එනවා යනවත් ඇති හරිද?”
” හරි සර්”
” තව දෙයක් මොනම හේතුවකටවත් කාටවත් දැනගන්න ඉඩ තියන්න එපා අපි පොලීසියේ අය කියලා . මන් හිතන්නෙ අපි සිවිල් ඉන්න හින්දා කාටවත් අපිව අදුරගන්න අමාරුයි”
” මම වැඩේ හරියට කරන්නම් සර්, එතකොට හෙට දවල් දොලහ වෙනකොට අපි සම්පූර්ණයෙන්ම වව්නියාව ටවුන් එක කවර් කලාම හරි නේද?”
” ඔව් . මම යනවා” උ.පො පරීක්ෂකවරයා , සැරයන් මහේෂ් හට ඔහුගේ වගකීම භාර දී එම ස්ථානයෙන් නික්ම ගියේය.
…………..
උ.පො පරීක්ෂකවරයා පැවසූ පරිදි සැරයන් මහේෂ් හා හර්ෂ ඇතුලු කොස්තාපල් ගයාන් යන තිදෙනා වව්නියාව නගරය අවට සෝදිසියට ලක් කිරීමට පටන් ගත්තේය
” ගයාන් මල්ලි දැන් වෙලාව කීයද බන්”
” එකොලහට දහයයි සර්” සැරයන් මහේෂ් ඇසූ ප්‍රශ්නයට කොස්තාපල් ගයාන් පිලිතුරු දිය.
” මචං , මුන් සාමාන්‍යයෙන් රොබරි එකකට එන්නෙ කීයට විතර වගේ වෙන්නැතිද” සැරයන් හර්ෂ අනෙක් නිළධාරීන් දෙදෙනා දෙස බලා ඇසීය.
” හරියටම කියන්න අමාරුයි හර්ෂයා. හැබැයි මට හිතෙන විදිහට රෑ දහයෙන් පස්සෙ වගේ වෙන්නැති. ඇයි උඹ එකපාරටම එහෙම ඇහුවේ” සැරයන් මහේෂ් ඇසුවේ මාර්ගයෙන් අනෙක් පස ඇති නයිට් කඩය දෙස බලා සිටින හර්ෂ දෙස බලාය.
” මට පොඩි අදහසක් ආවා. වරෙන් යන්න මාත් එක්ක පොඩි ගමනක්” බස් නැවතුම්පලේ වාඩි වී සිටි හර්ෂ හුන් තැනින් නැගිට අනෙක් දෙදෙනා සමඟ ගමන් කලේ නයිට් කඩය තුලටයි. ඒ වෙලාවේ කඩය තුල ඔවුන් හැර වෙන කිසිවෙකු නොසිටි නිසා හර්ෂ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තේය .
” අන්කල් අපිට කන්න මොනවා හරි ගේනවද?”
හර්ෂ කෑමට යමක් ඇනවුම් කල අතර අනෙක් දෙදෙනා කිසිවක් නොපවසා බලා සිටියේ ඔහු කරන්නේ කුමක්දැයි සිතාගත නොහැකිවය.
“මෙන්න සර්, සර්ලට බොන්න මොනවද ඕන”
” අපිට ටී තුනක් දෙන්න.අන්කල් හැමදාම මේ වෙලාවට කඩේ ඇරලද?”
” ඔව් සර් ”
“එතකොට වහන්නෙ කීයටද?” මහේෂ් ඇසුවේය.
” පාන්දර තුනට විතර වගේ”
” අන්කල් මේ වෙලාවට සාමාන්‍යයෙන් කඩේට කට්ටිය එන්නෙ නැද්ද?”
” ඉදලා හිටලා වාහනයක් දෙකක් එනවා . කොහොමත් එකොලහෙන් පස්සෙ අඩුයි.”
හර්ෂ දිගින් දිගටම ඔහුගෙන් ප්‍රශ්න කල අතර ඔහු ඒවාට පිළිතුරු දුන්නේය.
” එතකොට අන්කල් ඊයේ රෑ එහෙම වාහන ආවේ නැත්ද?”
” එහෙම මතකයක් නෑ සර්. වාහන දහයක් විතර ආවා.”
කඩහිමියා දුන් පිළිතුරු හර්ෂට ප්‍රමාණවත් නොවුනු අතර ඔවුන් තිදෙනා පැමිණියේ කුමක් සදහාදැයි ඔහුට කියා සිටීමට සිදුවිට
” එතකොට සර්ලා පොලීසියෙන්ද ”
” ඔව්, අපිට අන්කල් කියනවද ඊයේ රෑ දහයෙන් පස්සෙ වගේ කඩේට වාහන කීයක් විතර ආවද කියලා”
” දහයෙන් පස්සෙ” ඔහු කල්පනාවකට බර වූ අතර පොලිස් නිළධාරීන් තිදෙනාද ඔහුට ඒ සඳහා අවස්ථාව ලබා දිය.
” සර් , එකොලහට විතර බයික් දෙකක් ආවා. තව පැයකට විතර පස්සෙ ත්‍රී වීල් එකකින් කට්ටියක් ඇවිල්ලා තේ බීලා ගියා”
” එච්චරද අන්කල් තව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න” කොස්තාපල් ගයාන් ඔහුට පැවසුවේය. එවර ඔහු කල්පනාවට වැටී වැඩි වෙලාවක් ගත වූයේ නැත
” ආ සර්, තව පාන්දර දෙකට විතර වාහනයක් ආවා”

( කතාව දිග වැඩියි කියලා හිතෙනවද? ගහෙන් ගෙඩි එන්න වගේ දාලා වැඩක් නෑනේ)
Randy …

9 thoughts on “අදිසි මාරකය? |11. කොටස|රහස් පරීක්ෂක කතා|කතා අහුර රචක”

  1. මම මේ කතාව කියවපු පලවෙනි වතාව. ඒත් ලියලා තියෙන විදිහට මම කැමතියි . කතා කරන භාෂාවෙන් ලියනවට වඩා ලියන භාෂාවෙන් ලියද්දී ලස්සනයි .

    3

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.