Katha Ahura

සසල අවතාර | 01 කොටස | හොල්මන් කතා |

3.1/5 - (21 votes)

සසල අවතාර 01

පසළොස්වක සඳ එළිය නොවන්නට අපි භීතියට ම මියෙනු නොඅනුමාන ය.. මහනුවරින් වත්තේගම හරහා ඇල්කඩුවට පැමිණි අපි සියල්ලෝ යන එන මං සොයාගත නොහැකිව අතරමං වූයේ සෙම්බුවත්ත වැව පාර පසු කර බොහෝ දුරක් වනාන්තරය තුළට පැමිණි පසු ය…

රථයෙන් නොබැස සියල්ලෝ ම එකිනෙකාට දොස් පවරාගනිමින් සිටියේ කේන්තියෙනි..

“රිෂී.. මං උඹට කිව්වා.. පාන්දර වෙලා යමු කියලා..”

“අනේ ඔව් රිෂී.. අපි කිව්වනෙ.. දැන් බලන්න.. රෑ වෙලා…”

ටාෂි පැවසුවේ අභිෂේක්ගේ උරහිසින් හිස තබාගෙන ය.. අභිෂේක් සිය පෙම්වතියගේ හිස අතගානු මම දුටුවත්, මම ටාෂි මෙන් බියට පත් වී සාහිල්ගේ අතක නොඑල්ලුණෙමි.. මන්ද පිරිමි ළමුන් පස් දෙනා අපිව හුරතල් කරමින් සිටිනවාට වඩා දැන් කුමක් කළ යුතු දැයි එකඟතාවයකට පැමිණීමට අවශ්‍ය ය..

“බය වෙන්නෙපා බබී.. රිෂී.. අපි වෑන් එකේ ඉමු පාන්දර වෙනකං.. මෙලෝ මගුලක් පේන්නැතුව යන එකත් භයානකයිනෙ..”

“කෙල්ලො දෙන්නෙකුත් ඉන්නවනෙ බං.. ඒ හින්දා ඉමු.. කමක් නෑ..”

“අඩෝ ෆෝන්වලට සිග්නල් එන පාටක් නෑ බං..”

“ඒකනෙ.. ලොකේෂන් ඔන් කරගන්නවත් විදියක් නෑ..”

සාහිල් කේන්තියෙන් දුරකථනය පැත්තකට දමා වීදුරුවකට හිස තබා ගද්දී සත්තකින් ම මම මදක් සසල වීමි..

“තව ඉස්සරහට යන එක නං๬ මෝඩ වැඩක් රිෂී.. අපි එක්කෝ වෑන් එක හරවගෙන යමු…”

මමත් සාහිලුත් හිඳගෙන සිටියේ පසුපස ආසනයේ ය.. ඊට පෙර ආසනයේ ටාෂිත්, අභිෂේකුත් හිඳගෙන සිටියේ ය.. ඊටත් පෙර අසුනේ නෙතුම් තනිවම රජ කළ අතර රිෂී කේ.ඩී.එච් රථය පැදවූයේ අනෙක් පසින් ශෙනුක අසුන් ගෙන සිටියදී ය..

“තූ නොදකින් තොපේ බංගලාව..”

“ශෙනුක කට වහගනින්.. මේක බංග්ලෝ එකේ වැරැද්ද නෙමෙයිනෙ..”

රිෂිත් සහ ශෙනුක මරාගනු ඇසුණද මම ඊට සවන් නොදී පිටුපස වීදුරුවට අත්දෙක තබා මුහුණ වීදුරුවට ම ලං කොට ඈත බැලීමි.. බලන බලන අත කෑලි කැපිය හැකි ඝනඳුර හැරෙන්නට අන් කිසිවක් නොමැත.. මම ඉහළට ගත් හුස්ම අපහසුවෙන් පහළට හෙළීමි.. මද වේලාවක් බලා සිටියදී මම දුටුවේ අපේ වෑන් රථයට පසුපස ඈතින් පෙනෙන යම් ආලෝකයකි.. බැලූ බැල්මට එය ලාම්පු එළියකි.. උස් පහත් වෙමින් එය ඇදෙනු පෙණුනද මිනිස් රුවක් නම් පැහැදිලිව නොපෙණුණි..

“සාහිල්.. සාහිල්.. අර බලන්න.. එළියක් පේනවා නේද..?”

“කෝ.. කොහෙද..?”

ඒ හඬ ඇසී සැවොම පිටුපස ජනේලය අසළට රොක් විය.. නමුත් එළිය මැකී ගියේ ක්ෂණයෙනි..

“මේකිට අන්දභූත.. කෝ.. මොන එළියක්වත් නෑනෙ..”

“නෙතුම් කට වහගනින්.. මමත් දැක්කා එළිය..”

“ඔව් සාහිල්.. ඇත්ත තමයි.. මමත් දැක්කා.. අභී ඔයත් දැක්කද..?”

“ඔයාලට හිතෙන්නෙ නැද්ද අපි බැහැලා ගිහින් බැලුවොත් හොඳයි කියලා..?”

මා ඇසුවේ ඉවසාගත නොහැකි තැන ම ය.. දැන් පැයකට ආසන්න කාලයක් අපි මෙසේ සිර වී සිටිමු.. දුරකථන විසන්ධි වුවහොත් හෙට දිනයේවත් කිසිවක් කර ගත නොහැක.. බැටරිය හැට හතක් පෙන්වද්දී මම එය මුළුමනින් ම විසන්ධි කර දැමුවේ එයින් ද පලක් නොමැති නිසා ය..

“රිෂී, නෙත්තා වරෙන් යමු.. ශෙනුක උඹත් වරෙන්.. කෙල්ලො දෙන්නයි, අභියයි වෑන් එකේ ඉඳියි” සාහිල් පැවසී ය.

“මමත් එන්නද..?”

“පිස්සුද ඔයාට.. ඔයා ඉන්න වස්තු.. අපි කාවහරි හොයාගෙන එන්නම්..”

සාහිල් මගේ නළලත සිප වෑන් රථයෙන් බැස ගත්තේ රිෂිත් සහ ශෙනුක සමඟිනි.. බලෙන් ම ඔහුගේ ජැකට් එකත් ඔහුට දී මා ඔහු යැව්වේ දෙගිඩියාවෙනි.. ගෑනු සිතට ඉව ඇතැයි කියන්නේ කට කසනවාට ම නොව.. යම් අනතුරක සේයාවක් සිත දැවටුණත් අප මේ කරදරයෙන් මිදීම අත්‍යවශ්‍ය බැව් මම නැවත නැවතත් සිතීමි..

ඔවුන් තිදෙනා රථයෙන් බැස දොරවල් වසන විට දඩාස් හඬින් පරිසරයේ නිහඬ බව බිඳිණ.. අනතුරුව අඩි ශබ්දයක්වත් නෑසිණ.. සියල්ල නැවතත් පෙර පරිඳිම අඳුරු ය ; නිහඬ ය.. මම හිස අසුනේ ගසාගෙන දෙනෙත් තද කර ගතිමි..

“අභී.. වහිනවා නේද..?”

ටාෂිගේ හඬට මම ඉස්සී බැලුවෙමි.. වහිනවා නම් පමණක් හොඳ ය.. නමුත් එක්වර ම පළාත ම දෙදරවා අකුණක් ගැසුවේ මගේ සිත සසල කරවමිනි..

“දෙයියනේ.. කොල්ලො ටික..” මම ඇසීමි..

“ඒකනේ.. අපි දැන් මොකද කරන්නෙ අභී..?”

ටාෂිත් හොඳට ම බියට පත් වී ඇත.. කිසිවෙක් නැවත එන පාටකුත් නැත.. අඳුරු වටපිටාව මූසල ලෙස වර්ෂාවෙන් තෙතබරිත විය.. අතරින් පතර මහත් හඬින් අකුණු ගසන්නට වූ අතර ඉන් අවට වටපිටාව එළිය වත්දී මම ජනෙල් වීදුරුවට හිස තබාගෙන අවට බැලීමි.. බලන බලන අත ගන කැලෑ මූකලාන පමණක් ය..

එක්වර ම අඳුර මැදින් කෙටූ අකුණින් හාත්පස නිල් පැහැ වෙද්දී මගේ දෑස් ඉදිරියේ සුදු පැහැ ඡායාවක් පෙනී නොපෙනී ගියේ ය..

“ආහ්.. කවුද… ක්..කවුද ඒ..?”

මම අසුනේ පසෙකට විසි වූයේ අකුණු සැරයේ ආලෝකයත් සමඟ මගේ ඇස් පනාපිට පෙනී නොපෙනී ගිය ඡායාව කුමක්දැයි වටහාගත නොහැකිව ය..

බිහිසුණු අඳෝනා මතු ඇසෙන්නට නියමිත ය..
—————————————

“සසල අවතාර” ලස්සනද..? මේ ශෛලිය, ගලායෑම පැහැදිලි ද..? භීතියක් දැනෙන්නෙ නැත්තං කියන්න.. මටත් තවම මේක නුහුරුයි..

අනේ දිග කමෙන්ට් එකක් දාලා යන්න.. මට ලියන්නවත් ආස හිතෙයිනෙ.. අඩුපාඩු තියනවා නම් කියන්න… මොකද මම වැඩිය හොල්මන් කතා කියවලා නෑ.. කොටින්ම දීසෙ ගිය එක හොල්මන් කතාවක්වත් කියවලා නැහැ.. ෆිල්ම් ටිකක් බලලා තියනවා.. එච්චරයි.. මේ ෆීල්ඩ් එකට තවම ආධුනිකයිනෙ.. ඉතිං… ඔයාලගෙ උදව් ඕනෙ..

යාළුවන්ව මෙන්ෂන් කරන්න.. ප්ලීස්..
ස්තූතියි හැමෝටම…

” සසල අවතාර ” හොල්මන් බිහිසුණු කතාව නොතෙල්ලා කෙල්ල හෙවත් හිරූ ඩයස් යෙහෙලියගේ නිර්මානයක්… මේ කතාවේ සම්පූර්ණ අයිතිය ඇයගේයී.

හොල්මන් කතා කියවීමේ පිපාසෙන් පෙලෙන අය වෙනුවෙන් මෙසේ පලකල බව කරුනාවෙන් සලකන්න…..

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.