සසල අවතාර 04
“ආරෝ.. ආරෝ.. මොකද උනේ.. මේ දොර අරින්න..”
“අනේ සාහිල්…”
මම දුවගෙන ගොස් නාන කාමරයේ දොර හරිද්දී සාහිල් සිටගෙන සිටියේ බියපත්වූ මුහුණිනි.. මම ඉක්මණින් ඔහුට තුරුළුව, අනතුරුව ඔහුට පැවසුවේ මා දුටු දෙය පිළිබඳවයි..
“කෝ බලන්න.. අනේ බබී මේ මිරර් එකේ එහෙම කිසි දෙයක් නැහැ.. ඊයේ වෙච්ච දේවල් එක්ක ඔයා කලබල වෙලා ඉන්නෙ.. ම්ම්.. අද රෑට හැමදේම ඔයාට අමතක වෙයි.. කෝ එන්න..”
“අනේ ඒත්..”
“ෂ් ෂ්.. මෙහෙ එන්න..”
නැවත හැරී බලන්නටවත් නොදී.. ඔහු මා කැඳවගෙන පැමිණියේ අල්මාරිය අසළටයි.. ඉන් ගත් රෑ ඇඳුමක් හැඳගෙන මම සාහිල් සමඟ ම යහනට වැදුණේ ඔහු මා සිපගනිමින් හිස අතගාන විට ය.. අපේ විවාහය ලියාපදිංචි කර තිබුණ බැවින් මට සාහිල් සමඟ ඕනෑම තැනක යන්නට අවසර තිබිණ..
ඔහු මගේ සිරුර අතොරක් නැතිව සිප ගනිමින් සිටියදී, මට වෙනදා මෙන් සිත එකලස් කරගන්නට නොහැකි වූයේ කිසිවෙක් අප දෙස බලා සිටිනවා ඇතැයි මට හැඟුණු නිසා ය..
මගෙන් කිසිඳු රුකුලක් නොමැති තැන, සාහිල් හිස අත ගා නිදන්නැයි පැවසී ය.. මනසේ ඇඳෙන භයානක සිතුවිලිවල පීඩාව නිසා ම මම සාහිල්ගේ නිරුවත් පපු මත්තට වැටී නින්දට වැටුණෙමි..
එක්වර ම අඩ නින්දේ උන් මට රාත්‍රී කළුවර මැදින්.. අප නිදා උන් කාමරයේ දොර විවර වනු ඇසිණ.. ඉක්මණින් මම පොරවනය අහක දමා එදෙස බැලීමි.. දොර විවර වන හඬ ඇසුණ මුත් සාහිල් වැසූ පරිදි ම දොර වැසී ඇත.. එසේ විවර වනු ඇසෙන්නේ වෙනත් දොරක්ද…?
මම සෙමෙන් ඇඳෙන් බැස හම් සෙරප්පු දෙක පය ලා දොර අසලට ඇවිද ගියේ එය විවර කර බැලීමට ය.. කාමරයෙන් එපිට අඩි ශබ්දයක් ඇසේ…
විදුලි බුබුළු දල්වන්නට සිතුණත්, එසේ නොකර ම මම දොර විවර කළෙමි.. කොරිඩෝවට එබී බලා කළුවරේ එහි කිසිවෙක් පෙනෙන්නට නැති බව පසක් කරගත් පසු මම නැවත දොර වසන්නට යද්දී ම කිසිවෙක් පියගැටපෙළ බැස යන හඬ ඇසිණ.. උඩු මහළේ සිට පහළ බැලීමට පවා මට ඇතිවුණේ බියකි..
පපුව විනාඩියකට දහස් වාරයක් වේගයෙන් ගැහෙද්දී මම පපුවට අත තබාගෙන පියගැටපෙළ වෙතට ඇවිද ගියේ මා වටා කිසිවෙක් පෙනෙන්නට නොමැති බව තහවුරු කරගෙන ය..
පඩිපෙළේ ඉහළ සිට මම පහත මාලයට එබුණෙමි.. කිසිවක් පෙනෙන්නට එහි ආලෝකයක් නොමැත.. ජනෙල් වීදුරුවලින් එපිට හඳ එළිය නිසා මද ආලෝකයක් ගෙබිමට වැටී ඇත..
“දඩාස්…..”
මගේ සිරුර අප්‍රාණික කරවමින් එක්වර ම ප්‍රධාන දොර විවර විය.. හඳ එළිය හරහා මම දුටුවේ පෙර දිනයේ මෙන් ම ඒ අසළ වූ ලේ විලයි.. රතුම රතු පාටින් දොර පටන් ගෙබිම දෙසට ලේ ගලාගෙන ගොස් ඇත සිහි විකල්ලෙන් පෙනෙන මායාවක්දෝ සිතාගත නොහැකිව මම දෙවරක් පමණ දෑස් පිස බැලුවෙමි..
ක්ෂණයෙන් එය අතුරුදහන් ව යද්දී මා දුටුවේ සුදු රාත්‍රී ගවොමකින් සැරසී පඩිපෙළ බැස යන කිසිවෙක් ය.. ටාෂිගේ හැඩරුවට සමානකම් කී බැවින් මම පඩිපෙළ බැස ඈ පිය මනින දෙසට යන්නට තැනුවත්.. එක්වර ම..
“ආරෝ…”
“ආහ්..”
සාහිල් පිටුපසින් සිටගෙන සිටින බව මම දුටිමි..
“මෙතන මොනාද කරන්නෙ.. ඔයා හීනෙන් ඇවිදින්න ගත්තද..?”
“අනේ සාහිල් මං..”
“මෙන්න මෙහෙ එන්න ආරෝ..”
ඔහු මා අතින් ඇදගෙන ගොස් නිදාගන්නැයි පවසා මට නින්ද යනතුරු ම අවදියෙන් සිටියේ ය.. නමුත් සුව නින්දක් නම් මට උරුම නැති බව මම පසක් කරගත්තේ කිසිවෙක්ගේ සීතල අත්ලක් මගේ උරහිසේ දැවටෙනු දැනීමෙන් ය..
මම වේගයෙන් හැරී බැලුවේ සාහිල් සිටි පැත්තට අනෙක් පැත්තයි.. සුදු පැහැ ඡායාවක් මගේ ඇස් පනාපිට පෙනී නොපෙනී ගියේ ය… හදවත වේගයෙන් ගැහෙන්නට විය..
මේ කාමරයේ කුමක් හෝ මට කියාගන්නට නොතේරෙන අදෘෂ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වනු සැක නැත.. හඳ එළිය වැටීමෙන් පමණක් මලානික එළියක් කාමරයේ වේ.. සිසිලසක් දැනුණු දකුණු උරහිස මම සෙමෙන් අත ගා බැලූ විට එක්වරම මම දැක්කේ මගේ අත්ලේ තැවරී ඇති රතු පැහැ ලේ සලකුණකි….
බිහිසුණු අඳෝනා මතු ඇසෙන්නට නියමිත ය..
———————————–
හොඳට පොරවගෙන නිදාගන්න.. නැත්තං කවුරුහරි ඔයාලගෙ උරහිසෙනුත් ඔහොම අල්ලයි…
✍️නොතෙල්ලා කෙල්ල
සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.