Katha Ahura

උමතු | කෙටි කතා |‎03 කොටස| කතා අහුර රචක

4.3/5 - (3 votes)

*උමතු* *( කෙටි කතාව )*
*‎03 කොටස*

” මොකක්ද දිලුනි හොයාගත්තෙ ? ”

මම ඇහුවෙ පුටුවෙන් නැගිටින ගමන්.

” අර නම්බර් සික්ස් එකේ ඉන්න පේශන්ට් ගැන..අර ඔයාට හිටු කියල පාරක් දීපු එක්කෙනා ගැන..”

” ආ..කෝ ෆයිල් එක…මේකද…ඇත්තමයි දිලුනි මං හිතුවෙ ඒ වෙලාවෙ මටත් මෙහේම වෝඩ් එකක නතරවෙන්න වෙයි කියලා..ඒ තරම් ඒ පාර සැරයි..”

මම හිනාවෙවී කියද්දි දිලුනිත් හිනාවෙවී පුටුවකින් වාඩිවුනා.මමත් එයාගෙ ඉස්සරහින් වාඩිවෙලා ෆයිල් එක දිගඇරියා.හැබයි රෝගියාගේ නම කියන තැන නම් තිබුනෙ දිග හිස්තැනක් විතරයි..

” මෙයාගෙ නම නෑනෙ දිලූ..බලන්නකො..”

” ඔව්..මෙයාව කවුරුවත් අදුරන්නෙ නෑ..මෙයාව හොයාගෙනත් තියෙන්නෙ බදුල්ලෙ ටවුන් එකේදි..එහෙන් මෙහෙට එවලා..මෙයාගෙ වයස නම් විසි නවයක් විතර වෙන්න ඕන කියල තමයි මැඩම් නම් කියන්නෙ..හැබැයි විශේෂත්වය තියෙන්නෙ මෙයාට තියෙන ලෙඩේ ගැන තමයි..”

” ඇයි දිලූ ඒ ? ”

” මැඩම් කියන විදිහට මෙයා ගෑනු අයට කැමති නෑ.තේරෙන විදිහට කිව්වොත් ගෑනු අය පේන්න බෑ..ඇයි ඩොක්ටර් එහෙම වෙන්නෙ ? ”

” එක එක අයට තියෙන මෙන්ටල් ප්‍රොබ්ලම්ස් වෙනස්නෙ දිලූ..සමහරවිට එයාට ගෑනු අය එපාවෙන්නම ඇත්තෙ තවත් ගෑනු කෙනෙක් නිසා වෙන්න පුලුවන්..කොහොම වුනත් මම කැමතියි ඒ පේශන්ට්ව බලන්න..”

” මොනවා..! ඔයාට මෙහෙම දෙයක් කරලත් ඒ කෙනාව ආයෙ බලන්න ඕන කියල කියනවද ? ”

” ඔව් දිලූ..අපි බලමුකො..කවුද ඒ පේශන්ට් භාරව ඉන්නෙ..ම්ම්..මේකෙ ඇතිනෙ..ආ..මේ තියෙන්නෙ…ඩොක්ටර් ජගත් වික්‍රමසිංහ…මොකක්…! ”

” ඇයි ඩොක්ටර් ? ”

” අමාශා කිව්වෙ මේ පේශන්ට් එයාගෙ කියලනෙ..”

” එයා එහෙම කිව්වද ඩොක්ටර් ? අනේ මන්දා එයා කොයි වගේ කෙනෙක්ද කියලා..ඒ ෆ්ලෝ එකේ ඉන්න හැම පේශන්ට් කෙනෙක්ම භාරව ඉන්නෙ ඩොක්ටර් ජගත් තමයි..”

” ඒ කියන්නෙ එදා එයා ඒක හිතලමයි කලේ..ම්ම්ම්හ්…”

මම නලල දෙපැත්ත අතින් තද කරගෙන දිලුනිට කියද්දි එයාගෙ මූනෙ තිබ්බෙ ලොකු තරහක්..

” මම ඩොක්ටර් ජගත්ව මීට් වෙනවා දිලූ..අදම…”

******************************************

” ඒ පේශන්ට් හරි පුදුම කෙනෙක් වීනු..එයා වෙලාවකට බොහොම නිශ්ශබ්දයි.එක දිගටම කල්පනා කර කර ඉන්නවා.හැබැයි එහෙම ඉන්නෙ ගෑනු කෙනෙක් දකිනකන් විතරයි.ගෑනු කෙනෙක් දැක්කම එයා ගොඩක් දරුණු වෙනවා.ඒ ගෑනු කෙනාට පහරදෙන්නමයි උත්සාහ කරන්නෙ..හැබැයි වැඩේ කියන්නෙ එයාට එයාගෙ අතීතය මතක නෑ.ඒත් මතක තියෙන්නෙ බොහොම සුලු සුලු දේවල් කීපයක් විතරයි..

එයා නිතරම කියන දෙයක් තමයි *වෛර කරනවා* කියන එක.ගොඩක් වෙලාවට ඒ දේ මුමුනනවා.එයාව අපිට හම්බවුනේ බදුල්ල ටවුන් එක ලගදි.එයාව මෙහේ අරන් එද්දිනම් එයා ලග පොඩි පොතක් වගේ එකක් තිබුනා.ඒත් මේ වෙනකන් ඒක කොහෙද කියලා අපි කවුරුවත් දන්නෙ නෑ.ඒක එයා දන්නවද කියල අපි දන්නෙත් නෑ.මේ වෙනකන් එයාව අදුනන කවුරුවත් අපිට හොයාගන්න බැරිවුනා.මොකද මෙයා කවදාවත් එයාගෙ රැවුලයි කොන්ඩෙයි කපන්න අපිට ඉඩදෙන්නෙ නෑ.

මෙයා බෙහෙත් බොන්න නම් කැමතිම නෑ.ඉතින් එයාට අපි බෙහෙත් ඉන්ජෙක්ට් කරනවා ගොඩක් වෙලාවට.මෙයාව කන්ට්‍රෝල් කරගන්න බැරිවුනාම මෙයාට ඉන්ජෙක්ෂන් දීලා තමයි නිදි කරවන්නෙ.මෙයාගෙ රිපෝර්ට්ස් බැලුවම මට කියන්න පුලුවන් එක දෙයයි වීනු.මෙයාට සනීපවෙන්න තියෙන්නෙ සියයට පනහක වගේ ප්‍රතිශතයක් තමයි.ඒ කියන්නෙ මෙයාට සනීප වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.ඒ ඇරෙන්න මට වෙන මුකුත්ම කියන්න බෑ..ඔයාට ඕනෙමනම් මට පුලුවන් ඔයාව එයාට මුනගස්සවන්න.ඒත් ඊටපස්සෙ මොනවගේ සිටුවේශන් එකකට මූනදෙන්න වෙයිද කියලනම් මට කියන්න බෑ…”

එදා හවස මට තිබුනු ෆ්‍රී ටයිම් එකේ මම ඩොක්ටර් ජගත්ව මුනගැහෙන්න එයාගෙ වෝඩ් එකට ගියාට පස්සෙ කියපු දේවල් මට ආයෙ ආයෙ මතක්වෙන්න පටන්ගත්තා.ඒ දේවල් එක්ක මම හෙමින් ඇවිදන් ආවෙ ක්වාටස් එක පැත්තට.ඒත් එක්කම මං ලගට ආපු නර්ස් කෙනෙක් මගේ ඉස්සරහින් හිටගනිද්දි මම එයා දිහා බැලුවා.

” ඩොක්ටර් වීනු..ඔයාව මුනගැහෙන්න කෙනෙක් ඇවිත්..කාර් පාර්ක් එකට එන්න කිව්වා ඩොක්ටර්…”

” හරි..තැන්ක් යූ..ඔයා යන්න…”

මාව මුනගැහෙන්න ආවෙ කවුද කියන සැකයත් එක්කම මම ඉක්මන්ට හොස්පිට්ල් එකෙන් එලියට ඇවිදන් ආවා.පාකින් එකේ නවත්තලා තිබුනු සුදු පාට කාර් එක අදුනගන්න මට වැඩිවෙලාවක් ගියේ නෑ.මොකද ඒ තමයි මගේ කලාතුරකින් ගමන් යන්න පුලුවන් කාර් එක.කාර් එකේ යතුරත් අරගෙන ඒකෙන් එලියට බැස්සෙ සස්රු…

” ආ…දොස්තර නෝනා..කොහොමද සැප දුක් ? ”

හිනාවෙවී මගේ ලගට ආපු සස්රු එහෙම අහද්දි මම එයාගෙ අනිත් අතේ තිබුනු පාර්සල් එක ගත්තා.

” මොනාද මේ ? ”

” ස්ට්‍රෝබෙරි..ඔයා ආසයිනෙ..එනගමන් ගත්තෙ..”

” තෑන්ක්ස් සස්රු…මගෙ කාර් එක කොහෙන්ද හොයාගත්තෙ ? ”

” ඇයි ඔයා මට කිව්වෙ කාර් එක දාන ගරාජ් එක..මම ඉතින් එහෙට ගියා මේක අරගෙන එන්න..මම යද්දි හදලයි තිබුනෙ..”

” ඉතින් ඔයා ඒකටත් සල්ලි දුන්නා ? ”

” ඔව් ”

” මොකක්ද සස්රු…මං දැන් ඔයාට ණයයි..”

” ණයයි කියලා මට සල්ලිනම් දෙන්න හදන්න එපා හරිද ? ”

” ඒවා බලමුකෝ..”

” ඔයාට ෆ්‍රී නම් අපි මොනාහරි බොන්න එලියට යමුද ? ”

” මම මේ වැඩ ඉවරවෙලා ක්වාටස් යන්න හැදුවෙ..අපි යමු..”

******************************************

සස්රු එක්ක ජූස් බාර් එකකට ගිහින් මම මුලින්ම ආපු දවසෙ ඉදලා මේ වෙනකන්ම වුනු දේවල් මම එයාට කිව්වා.මට වුනු කරදරය ගැන කිව්වට පස්සෙනම් එයාට ගොඩක් කේන්ති ගියා.මොකද මම ඒක එයාට නොකියා හිටපු නිසා.ඒ කොහොමවුනත් එයා කිව්වෙ මට අර පේශන්ට්ව ආයෙ මුනගැහෙන්න එපා කියලා.

පැය කීපයකට පස්සෙ සස්රු යන්න ගියා.මමත් ආයෙ ක්වාටස් එකට ආවෙ දිග නින්දක් අරගන්න හිතාගෙන…

******************************************

” ඔයාට විශ්වාසයිද වීනු මේ දේ කරන්න ඕන කියලා..? ”

ඩොක්ටර් ජගත් ඇහුවෙ මගේ ඇස් දිහා කෙලින් බලාගෙන..

” ඔව් ඩොක්ටර්..මට එයාව බලන්න ඕන..”

” ඕකේ..එහෙනම් අපි යමු..”

ඩොක්ටර් ජගත් වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිටලා කියද්දි මමත් පුටුවෙන් නැගිට්ටා..

මේල් නර්ස්ලා දෙන්නෙක් එක්ක ඩොක්ටර් ජගත් මාත් එක්ක බිල්ඩින් එකට ඇතුල්වුනා.නොහිතපු සිදුවීමකට මීට ටික දවසකට කලින් මට මූනදෙන්න වුනු තුන්වෙනි තට්ටුවට මම අඩිය තියද්දි මගේ හිත මොහොතකට ගැස්සුනා.

අංක හය සටහන්වෙලා තිබුනු දොරට මේල් නර්ස් කෙනෙක් යතුර දාලා අරිද්දි ඩොක්ටර් ජගත් මාව එයාගෙ පිටිපස්සට කරගත්තා.දොර ඇරලා මේල් නර්ස්ලා ඇතුලට යද්දි ඩොක්ටර්ත් මාව එක්කගෙන ඇතුලට ගියා.

තරමක් අදුරුවෙලා තිබුනු කාමරේ එදා මම දැකපු ඇදේ වාඩිවෙලා අපිට පිටුපාලා හිටියෙ දේහධාරී සිරුරක් තිබුනු කෙනෙක්.උරහිස ලගට එනකන් තිබුනු කොන්ඩෙ නිසා මම ඒ කෙනාව දැක්කෙ වෙනස්ම රූපෙකින්.

” දරුවෝ…දැන් ඔයාට කොහොමද ? ”

ඩොක්ටර් ජගත් එහෙම අහද්දි ඒ කෙනා පොඩ්ඩක්වත් හෙලවෙන්නෙ නැතුව හිටපු විදිහටම හිටියා.ටිකවෙලාවක් යනකන් ඒ විදිහටම හිටපු එයා එකපාරටම අපේ පැත්තට හැරුනා.ඒ වෙලාවෙ මම දැක්කා දිගට වවාගෙන හිටපු ඒ කෙනාගෙ රැවුල.ඒ කෙනාගෙ දිග රැවුලයි කොන්ඩෙයි නිසා ගොඩක් බය හිතෙන පෙනුමක් ඇවිත් තිබුනා.

ඇස් හීනි කරලා ඩොක්ටර් දිහා බලපු එයා එකපාරටම දැක්කෙ මාව.වේගෙන් ඇදෙන් නැගිටලා අපේ පැත්තට එන ඒ කෙනාව මේල් නර්ස්ලා දෙන්නා දෙපැත්තෙන් අල්ලගනිද්දි එයා මගේ පැත්තට අත දික්කරගෙන කෑගහන්න වුනා.දේහධාරී සිරුරෙ තිබුනු ශක්තිය නිසා එයාව අල්ලගෙන හිටපු දෙන්නටත් එයාව පාලනය කරගන්න බැරිවුනා.

ඒ දෙන්නා ගසලා දාලා මගේ පැත්තට අතමිට මොලවගෙන වේගෙන් ඇවිදන් එන කෙනාගෙ දිහා මම හෙලවෙන්නෙ නැතුව බලාගෙන හිටියෙ දුවගන්න බැරුව මගේ කකුල් පොලවට තියලා ඇණ ගහලා වගේ තිබුනු නිසා.

මගේ ඉස්සරහින් පියවරක දුරින් නැවතුනු ඒ කෙනා මට පහරදෙන්න උස්සපු අත ඒ විදිහටම තියාගෙන ගල්වෙලා වගේ බලාගෙන හිටියෙ මගේ නිකට දිහා කියලා මට තේරුනා.මුලු ඇගම දාඩියෙන් තෙත්වෙලා ගල්වෙලා බලාගෙන ඉන්න මගේ නිකටට එයාගෙ අත හෙමින් ලංකරද්දිම ඒ කෙනා ආයෙත් ඒ අත අරගෙන ඔලුව බදාගෙන බිම වැටිලා එකපාරටම සිහි නැතිවුනා.

ආපු කම්පනය දරාගන්න බැරුව මම එහෙමම බිත්තියකට වාරුදෙද්දි ඩොක්ටර් ජගත් මං ලගට දුවගෙන ආවා.

” ඔයා හොදින් නේද වීනු ? ”

නලලින් බේරුනු දාඩිය ටික මම පිහදාගෙන ඩොක්ටර් දිහා බලාගෙන ඔලුව වැනුවා..

******************************************

” මේකනම් ඇත්තටම පුදුමයක් වීනු..එයා ඔයාට විතරක් පහරදෙන්න උත්සාහ කලේ නෑ..එයා ගොඩක්වෙලා ඔයා දිහා බලාගෙන හිටියා..”

එදා වුනු සිදුවීමෙන් පස්සෙ ඩොක්ටර් එක්ක මම කොරිඩෝවෙ ඇවිදන් යන ගමන් එයා කිව්වා.ඇත්තටම මටත් ඒ දේ ලොකු පුදුමයක් වුනා.

” ඔව් ඩොක්ටර්..මටත් පුදුමයි..ඒත් ඇයි මම ගිහිපු ඉස්සෙල්ලම දවසෙ එයා මට ගැහුවෙ ? ”

” මං හිතන්නෙ එයා ඒ වෙලාවෙ ඔයාගෙ මූන දැක්කෙ නෑ.එයා ඔයාගෙ පිටිපස්සෙන් ඇවිත්නෙ ඔයාට ගැහුවෙ.අද එයා ඔයාගෙ මූන දැක්කා.ඒකයි ඔයාට ගැහුවෙ නැත්තෙ.”

” එයා ඇයි ඩොක්ටර් එහෙම හැසිරුනේ ? ”

” වීනු..ඔයා නිසා එයාට අද එයාගෙ අතීතයෙ මොනම දෙයක් හරි මතක්වුනා කියලයි මට හිතෙන්නෙ.එයා ටිකවෙලාවකින් ෆේන්ට් වුනානෙ.තව ටිකකට පස්සෙ එයා නෝමල් වෙයි..මම හිතන්නෙ ඔයාටයි එයාට සනීපවෙන්න උදව් කරන්න පුලුවන්..”

” මට ? ”

” ඔව් වීනු…දැන් අපි දන්නවනෙ එයා ඔයාට කරදරයක් කරන්නෙ නෑ කියලා.ඔයාට පුලුවන් එයාට එයාගෙ අතීතය මතක් කරවන්න..එයා ගොඩක් දුරට ඔයා නිසා සනීපවෙයි වීනු..ඒක ඔයාට ලොකු පිනක් වෙයි..”

” කෙනෙක්ව සනීප කරනවා තරම් මට වෙන සතුටක් තවත් නෑ ඩොක්ටර්..”

” ඔයාට පුලුවන්නම් හෙටත් මාත් එක්ක එයාව බලන්න එන්න පුලුවන්ද ? ”

” මම එන්නම් ඩොක්ටර්..”

” හරි වීනු..දැන් ඔයා යන්න..”

ඩොක්ටර් ජගත්ට සමුදීලා මම මගේ වෝඩ් එක පැත්තට යන්න හැරුනෙ ටික වෙලාවකට කලින් වුනු සිදුවීම් ටික ආයෙත් මතක්වෙද්දි…

******************************************

” හරි පුදුමයිනෙ ඩොක්ටර්..හිතාගන්න බෑ..සමහරවිට ඩොක්ටර් ජගත් කිව්ව විදිහට ඔයාට එයාව සනීප කරන්න පුලුවන් වෙයි..”

වෝඩ් එකේ අන්තිම පේශන්ට්ගෙ රිපෝර්ට් එක බලන ගමන් දිලුනි කියද්දි මම කන්වල තිබුනු නලාව ගලවලා කරට දාගත්තා.

” ඒත් ඇයි ඩොක්ටර් දිහා එයා එහෙම බලන් හිටියෙ ? ”

නලල රැලිකරගෙන දිලුනි අහද්දි මම එයා අතේ තිබුනු රිපෝර්ට් එක සයින් කරලා මේසෙ උඩින් තියලා එතනින් වාඩිවුනා.

” මං හිතන්නෙ මං වගේ කෙනෙක් ගැන එයාට ලාවට හරි මතකයක් එන්න ඇති කියලා..එයා කෙලින්ම බලන් හිටියෙ මගේ නිකට දිහා..මට තියෙන ප්‍රශ්නෙත් ඇයි නිකට දිහා එහෙම බලන් හිටියෙ කියලා..”

මම එහෙම කියද්දි දිලුනිත් මගේ නිකට දිහා බලන් ඉදලා එකපාරටම මේසෙ උඩ තිබුනු එයාගෙ ෆෝන් එක අතට අරගෙන ෆ්‍රොන්ට් කැම් එක ඔන් කලා.

” මං හිතන්නෙ මං දන්නවා ඇයි එයා එහෙම බලන් හිටියෙ කියලා..මේ බලන්න ඩොක්ටර්..”

දිලුනි එහෙම කියලා ෆෝන් එක මගේ ඉස්සරහට ඇල්ලුවෙ කන්නාඩියක් මගේ ඉස්සරහට ඇල්ලුවා වගේ.ෆෝන් එකෙන් පේන රූපය දිහා මම එකදිගටම බලන් හිටියා.එතකොට මම දැක්කෙ තොල්වලට පහලින් වම් පැත්තට බරවෙන්න නිකටෙ තිබුනු ලොකු උපන් ලපය..

” එතකොට එයා බලන් හිටියෙ මේ බර්ත් මාර්ක් එක දිහාද දිලූ..? ”

” වෙන්න ඕන ඩොක්ටර්..එයාට කවුරුහරි මතක්වෙන්න ඇති..”

” අනේ මන්දා දිලූ..මම කොහොමද මේකෙ අගක් මුලක් හොයාගන්නෙ…? ”

තවමත් ෆෝන් එකෙන් පේන මගේ රූපෙ දිහා බලාගෙන මම කියද්දි දිලුනි එයාගෙ උරහිස් හැකිලුවෙ එයාටත් ඒකට උත්තරයක් හිතාගන්න බැරුව වගේ…

******************************************

*අතුරුදහන් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ සොහොයුරා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට…*

*දැනට සති දෙකකට පමණ ඉහතදී අතුරුදහන් වූ කෝටිපති ව්‍යාපාරික ශරුද් විජේමාන්න මහතාගේ සොහොයුරු නිරුද් විජේමාන්න ඊයේ (31) රාත්‍රියේ සිදුවූ හදිසි අනතුරකින් මියගොස් තිබේ.වාහනයේ ඇතිවූ දෝෂයක් මත මෙම මරණය සිදු වී ඇති බවට පොලීසිය සැකපළ කරයි.*

*රට පුරා සුප්‍රසිද්ධව පැවති විජේමාන්න පවුලට මේ සිදුවූ සියලු විපත් හේතුවෙන් ඔවුන් සතුව පැවති සියලු ව්‍යාපාර බංකොලොත් වෙයිද යන සැකය අද වන විට බොහෝ ව්‍යාපාරිකයන් අතර කතාවෙන කරුණකි.සියලු වත්කම්වලට හිමිකරු වූ නිරුද් විජේමාන්නගේ හදිසි වියෝව නිසා නැවතත් වත්කම්වල හිමිකාරීත්වය අතුරුදහන් වූ ශරුද් විජේමාන්නහට හිමිවන බව සියල්ලන්ගේම මතයයි…*

පත්තරය කියව කියව හිටපු මම ඒක නවලා ආයෙත් මේසය උඩින් තිබ්බෙ ඈතින් එන ඩොක්ටර් ජගත්ව දැකපු නිසා.

” වීනු..අපි යමු එහෙනම්…”

” හරි ඩොක්ටර්…”

මේල් නර්ස්ලා දෙන්නෙක් එක්ක ඩොක්ටර් මාවත් එක්කගෙන ආයෙමත් අර කෙනාව බලන්න ගියා.කාමරේ දොර ලගට ගිහින් ඩොක්ටර් මට කතාකලේ මගේ අතට සිරින්ජර් එකක් දෙනගමන්..

” නර්ස්ලා දෙන්නව මම මෙතනින් තියනවා වීනු..ඔයාට හදිස්සියක් වුනොත් එයාලා ඒවි.ඔයා මේ සිරින්ජර් එකත් තියාගන්න.එයා කලබල වුනොත් මේක ඉන්ජෙක්ට් කරන්න..තේරුනාද ? ”

” හරි ඩොක්ටර්…”

” මතක තියාගන්න වීනු..එයාව සනීප කරන්න පුලුවන් ඔයාට විතරයි..ගුඩ් ලක්..”

ඩොක්ටර් එහෙම කියලා යද්දි නර්ස්ලා දොර ලගට ඇවිත් දොර ඇරියා.ලොකූ හුස්මක් අරගෙන එක අතකට සිරින්ජර් එකත් අරගෙන මම කාමරේට ඇතුල්වුනා..

යකඩ ග්‍රිල් එකක් ගහලා තිබුනු පොඩි ජනේලයක් ලගට වෙලා ඒ කෙනා එහාපැත්ත බලාගෙන හිටියත් ඒ හෙමින් මුමුනපු දේ මට පැහැදිලිව ඇහුනා.

” වෛර කරනවා…වෛර…කරනවා….”

කියන්න ඕන දේ හිතාගන්න බැරුව මම ගල්වෙලා ඉන්නකොට එකපාරටම මට ඇහුනෙ ඒ කෙනා වේදනාවෙන් කෑගහන හඩ.මම සිරින්ජර් එක ඇද උඩින් තියලා ඉක්මන්ට එතෙන්ට දුවගෙන ගියේ ඒ ඇයි කියලා බලන්න.මම යද්දි දැක්කෙ එයාගෙ අත ජනේලෙට අහුවෙලා තියෙන විදිහ..

” අනේ…ඔයා හොදින්ද ? ”

මම ඉක්මන්ට ඒ අත ඇදලා අරගෙන අහද්දි මගේ කටහඩට කලබල වුනු එයා තරහින් බැලුවෙ මගේ මූන දිහා.ඒත් එක්කම එයාගෙ ඇස් ගියේ එදා වගේම මගේ නිකටට.සෑහෙන්න වෙලාවක් එහෙම බලන් හිටපු එයාට එයාගෙ අත තුවාලවෙලා කියලවත් මතක්වුනේ නෑ..

දොර ලග හිටපු නර්ස් කෙනෙක්ට මම කෑගහද්දි ඒ අය දුවන් ආවෙ මට කරදරයක් කියලා හිතලා.එයාලව මම යැව්වෙ ප්‍රථමාධාර පෙට්ටියක් අරගෙන එන්න කියලා..

මම එයාව ඇදෙන් වාඩිකරලා තුවාලවෙලා තිබුනු ඇගිල්ල බලද්දි එයාගෙ ඇස් ඒ වෙද්දිත් තිබුනෙ මගේ නිකටෙ.නර්ස්ලා ගෙනාපු බොක්ස් එකෙන් මම බෙහෙත් අරගෙන ඒ තුවාලෙට දැම්මා.නලලෙනුත් පහලට වැටිලා තිබුනු කොන්ඩෙ අතරින් මම ලාවට වගේ එයාගෙ ඇස් දැක්කා..

කලාතුරකින් කෙනෙක්ට පිහිටන තද නිල්පාට ඇස් දැකලා මට ගොඩක් පුදුම හිතුනා.ඒත් ඒ ඇස් පිරිලා තිබුනේ කියාගන්න බැරි දේකින් වගේ කියලා මට මොහොතකට හිතුනා.මගේ නිකට දිහාම බලාගෙන ඉන්න එයා ටිකවෙලාවකට පස්සෙ ආයෙත් ජනේලෙ ලගට ගියේ මුමුන මුමුන..

” වෛර කරනවා…වෛර කරනවා….”

ඒත් එක්කම දොර ලග හිටපු නර්ස් කෙනෙක් මගේ ලගට ආවෙ ෆෝන් එකක් අතේ තියාගෙන..

” ඩොක්ටර්…ජගත් ඩොක්ටර්ගෙන් කෝල් එකක්..”

” හෙලෝ…”

” ආහ්..වීනු..මුකුත් ප්‍රශ්නයක් වුනේ නෑ නේද..? ”

” නෑ ඩොක්ටර්…”

” කොහොමද පේශන්ට් ? ”

” ජනේලෙට අත අහුකරගෙන..මම බෙහෙත් දැම්මා..”

” මම මේ කතාකලේ දෙයක් කියන්න වීනු..තව විනාඩි දහයකින් පේශන්ට්ට බෙහෙත් දෙන්න තියෙනවා.ප්ලීස් ඔයාට පුලුවන්නම් එයාගෙ බීපී එහෙම චෙක් කරලා ඒ බෙහෙත් ටික දෙනවද…මට ඉමජන්සි එකක් වීනු..ඒකයි..”

” හරි ඩොක්ටර්…”

” තෑන්ක්ස් වීනු…”

ෆෝන් එක මම ආයෙත් නර්ස්ට දීලා පේශන්ට්ගෙ බෙහෙත් ටික අරගෙන එන්න නියම කලා.දැනට විසි වතාවකට වඩා වෛර කරනවා කියලා කිය කිය ඉන්න එයාගෙ ලගට මම හෙමින් ඇවිදගෙන ගියා..

” දැන් අත රිදෙනවද…? ”

මම අහද්දි එයා මුකුත් නොකියම ජනේලෙන් එහා බලන් හිටියා.

” මේ අහන්නකො..මාව ඔයාගෙ යාලුවෙක් කරගන්නවද..”

මම අහද්දි එයා යකඩ ග්‍රිල් එකට අතින් ගහ ගහ මගේ පැත්තට හැරුනා.

” එතකොට අපිට පුලුවන් චිත්‍ර අදින්න..සිංදු කියන්න..තව…”

” චිත්‍ර….චි..ත්‍ර…..චි….”

” ඔව්…චිත්‍ර අදින්න…ඔයා කැමතිද ? ”

ආයෙත් තරහින් ජනේලෙ පැත්තට හැරුනු එයා කලින් දේම මුමුනන්න ගත්තා.

” වෛර කරනවා…වෛර…කරනවා…..”

” හරි…එහෙනම් ඔන්නෑ…දැන් ඔයාගෙ බෙහෙත් බොන වෙලාව…”

නර්ස් අරගෙන ආපු බෙහෙත් ටික මම එයාගෙ ඇද ලග තිබුනු පොඩි ටේබල් එකෙන් තියද්දි අනිත් නර්ස් ඇවිත් එයාව ජනේලෙ ලගින් ඈත් කරන්න හදද්දි එයා යකඩ ග්‍රිල් එකේ එල්ලුනේ අකමැත්තෙන් වගේ..

” නෑ ..එයාට බල කරන්න එපා…”

මම එහෙම කියලා එයා ලගට ගිහින් එයාගෙ එක අතක් හෙමින් අල්ලගත්තා.

” දැන් අපි බෙහෙත් බොමු…එන්න…”

එයා හයියෙන් අල්ලගෙන ඉදපු ග්‍රිල් එක එයා බුරුල් කරලා මම අල්ලගෙන ඉන්න අත දිහා එකදිගටම බලන් හිටියා.

” නර්ස්..බෙහෙත් ටික දෙන්න…”

බෙහෙත් ටික අතට ගත්තු මම එයාට ඒ ටික පොවනකන්ම එයා බලන් හිටියෙ මගේ අත දිහාමයි.එයාට නියම කරලා තිබුනු බෙහෙත් වලින් වර්ග කීපයක්ම නිද්‍රාකාරක බෙහෙත් නිසා එයාට ටිකවෙලාවකින් නින්ද ගියා.ඇහැරිලා ඉන්නකොට තිබුනු රලු පෙනුම එයා නිදියද්දි සම්පූර්ණයෙන්ම නැතිවෙලා එයා නිදියගෙන හිටියෙ පොඩි දරුවෙක් වගේ..

ඇද උඩ තිබුනු නලාව මම කරට දාගෙන එලියට යන්න හැරෙද්දිම මට පෑගුනේ ලොකු කොළ ගුලියක්.මම බිමට නැමිලා ඒක අරගෙන හෙමින් දිගඇරියා.දැකපු දෙයින් ගල්ගැහුනු මම ඒ කොළය දිහාම බලාගෙන හිටියෙ වෙව්ලන ඇගිලි තුඩුවලින් ඒ කොළය අමාරුවෙන් අල්ලගෙන…

16 thoughts on “උමතු | කෙටි කතා |‎03 කොටස| කතා අහුර රචක”

  1. නයෝ මධූ

    මේකනම් මාරම කතාවක්. හරිම වෙනස්. සමහරවිට ඒ කොල්ලට වීනු නිසා සනීප වෙයි. චිත්‍රෙ ඇත්තේ වීනුගේ රූපයද?

  2. අම්මෝ ඒ කතාව නම් මාරයි.දැන්නම් මටත් පිස්සු වගේ.මට නම් හිතෙන්නෙම මේ ඉන්නේ ශරුද් විජේමාන්න තමා.මේ ඇයි දන්නේ නෑනේද අරයා නිකට දිහා බලන් ඉන්නේ.දැවෙන ප්‍රශ්න අප්පා මෙව්වා .????????

    කතාව ඉතින් එකෙන්ම ලස්සනයි .පට්ටෙටම ලියලා තියනවා.එලම තමා.මේ කතාවෙන් පස්සෙ තව එකක් ලියමු හොදේ.??

    සුබ පතනවා හදවතින්ම කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා
    ජේසු පිහිටයි !!!!!?

  3. අමුතු කතාවක් හැබැයි හරිම ලස්සනයි.. සුභ පතනවා අක්කියෝ ඔයාට.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න..දළදා සමිදු පිහිටයි..බුදුසරණයි..!!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.