Katha Ahura

සිසිලැල් පවනේ ගී හඬ විසිරේ | සිනමා පටයක කතාව

කතාව කොහොමද?

1978 ඉන්දියාව තුළ රමේශ් බෙහෙල් විසින් නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ “කස්මි වාදේ” නම් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළේය. හැ⁣බැයි ඒකෙන් ගොඩ ගියේ රමේශ් බෙහෙල් නොව, යසපාලිත නානායක්කාරය. ඒක වෙනම කථාවකි. එකල හින්දි සිනමාවේ ජනප්‍රියම නළු නිළියන් වු අමිතාබ් බච්චන්, රාඛී, රන්ධීර් කපුර්, නීතු සිංග් මෙම “කස්මි වාදේ” හින්දි චිත්‍රපටයේ රඟපෑහ.

මේ ප්ලොට් එක ලාංකේය විනොදාස්වාද සිනමාවට “සුපිරි” බව යසපාලිතට වැටහුණි. අනිත් එක ඒ කාලේ විජය කුමාරණතුංගල, මාලනි ෆොන්සේකලා, සනත් ගුණතිලකලා, සබීතා පෙරේරලා හිටියේ පීක් එකේය. මේ සෙට් එක ගෙන වර්ණ කර, සරත් දසනායකගේ සංගීතය එකතු කලොත් අර අමිතාබ් බච්චන්ලා, රාඛිලා, රන්ධීර් කපූර්ලා,නීතු සිං ල නොකවුට් කරත හැකි බව යසපාලිතට තේරුණි.

අමිත්ට මධූව මුණ ගැහුනේ, බෝට්ටුවකින් එගොඩ යන්නට තැත් කරන විටය. බෝට්ටු පදවන්නා සමඟ එම බෝට්ටුවේ සිටියේ අමිත් හා මධූ පමණි. ඔවුන් බෝට්ටුව මෙගොඩට යන තෙක් එකිනෙකා දෙස හොරුහින් බැලීය.

පසු දවසක මධු ,එළිමහනක ලස්සන චිත්‍රයක් අඳීමින් සිටියාය. හදිසියේම එතැනට අමිත් පැමිණියේය. මධූ අඳීන්නේ තමාගේ රූපය බව අමිත් දුටුවේය. මධූට තමා ගැන ආදරයක් ඇති වී ඇති බවක් අමිත්ට වැටහිණි. තමාගේ සිතේද මධූ පිළිබද ආදරයක් ඇතිවී ඇති බවක් අමිත්ට දැනුණි.

” සෙනෙහස පෑවා, යළි හමුවූවා

නිම් නැති වාරේ භවය සරා

නින්දේ උන් හද සන්තානේ

පෙම් ගීතේ යළි නින්නාදේ

පෙර සසරේ, පැතුම ලෙසේ

එනු සුහදේ, ලංවී මාවෙත”

දැන් අමිත් හා මධූගේ ආදරයට අව්රුදු 5ක් පමණ ගත වී ඇත. ඔවුනට විවාහ වීමට නොහැක්කේ අමිත්ගේ මල්ලිව එකලස් කළ යුතු නිසාය. ඔහුව දඩබ්බර කමින් මුදවා,හොඳ රැකියාවකට දමා පිළිවලක් කළ පසුය, අමිත්ට නිදහස් මිනිහෙක් ලෙස තම ජීවිතය දෙස බැලිය හැක්කෙ . ඒ අමිත් තම දෙමාපියන්ට දුන් පොරොන්දුය. එතෙක් මධූ බලා සිටිය යුතුවේ. ඒවා මාර ‘කන්සෙප්ට්’ය. මාර ‘ලව්’ය. දැන් අමිත් කන්නාඩිත් දමයි. එලෙසම ඔහු දැන් විශ්ව විද්‍යාල කථිකාචාරවරයෙකි. මේ මල්ලියෙක් නිසා අමිත් හා මධුගේ වයසත් ටික ටික යයි. හැබැයි මේ මල්ලි මහේෂ් මොවුන් දෙදෙනාට දැඩිව ආදරය කරයි. ඔහු නමි කියන්නේ ඔවුන් දෙදෙනාට විවාහ වෙන ලෙසටමය. එහෙත් අමිත් යුක්ති ගරුක පුද්ගලයෙකි. දෙමාපියන්ට වූ පොරොන්දුව කඩ කරන්නට අමිත් කැමති නැත. ඒ යසපාලිතලාගේ කථාවල ප්‍රධාන චරිත වල හැටිය. ඔවුන් බෙල්ල ගහල ගියත් අම්මලට තාත්තලට පොරොන්දු වූ දේ ඉෂ්ට කරයි. එතකල් මධුල වයසට යනතෙක් හරි හිටිය යුතුය.

මහේෂ්ට නම් තම අයියා මධූව නොබැන්දත් මධු තම අක්කාමය. අමිත්ගේ උපන් දිනයට ඔවුන් තිදෙනාම එක්වී කේක් කපමින්, සින්දු කියමින් විනෝද විය.

“සිහින අහසේ වසන්තේ

තාරකා මල් දිලිසුනා

රංචු ගැසිලා කුරුල්ලෝ

ඔහේ පියඹා ගියාවේ

තුරු ලිය ගොමුවේ මත් බිඟු සේනා

රොන් රස ඉල්ලා මල් හැඟුම්”

මහේෂ් ඉගෙන ගත්තේද අමිත් කථිකාචාරවරයෙකු ලෙස සේවය කරන විශ්ව විද්‍යාලයේමය. ජගත් යනු විශ්ව විද්‍යාලයේම සිටින නහේට අහන්නැති සිසුවෙකි. විශ්ව විද්‍යාලය ඇතුලත මැරකම ප්‍රචලිත කරනුයේ ජගත්ය. ඔහු නිතරම මහේෂ් එක්ක කොකු දා ගනියි. මහේෂ්ටද අයුක්තිය පෙන්නන්ට බැරිය. ජගත් කරන්නේම අයුක්ති සහගත වැඩය. එහෙයින් විශ්ව විද්‍යාලය ඇතුලේ දෙදෙනා නිතරම පැටලෙන්නට විය.

අව්රුදු 5ක් ගතවුනිද, අමිත් හා මධූ දැඩි ආදරයකින් පසුවෙන්නට විය.

“දේව මන්දිරේ, පෙම් ලොවේ

දීපයන් දිලේ, ආදරේ

දෑ සවන් සැණේ පෙර දිනේ

සීනයක් සැබෑ වී තියේ

මල් පිපි, මල් සර නිම්නය ජීවිතේ මගේ

සාදා දෙනු ප්‍රියේ”

දිනක් අමිත් විශ්ව විද්‍යාලය තුල දේශන පවත්වන විට ජගත් පරක්කු වී පැමිණෙයි. අමිත් ජගත්ට අවවාද කළ පසුත් ඔහු දේශන ශාලාවේදී උසුළු විසුළු කරමින්, අනෙක් අයටද ඉගැනීමට බාදාකරයි. මේ හේතුවෙන් අමිත්ට, ජගත්ව දේශන ශාලාවෙන් එළියට දැමීමට සිදුවේ. පසු දවසක විශ්වවිද්‍යාල භූමියේදී ජගත් අමිත්ව මුණ ගැසුනු පසු ජගත් අමිත්ට බැන වදී. මෙය මහේෂ් විසින් දැක එතැනට පැමිණ ජගත් සමඟ ගෝරියකට පැටලෙන්නට යන්නේ සහෝදර ප්‍රේමය උතුරා ගලා ගිය නිසාය. ජගත් එතැනදී තාවකාලිකව පසු බැස්සද, අනෙක් දවසේදී, මහේෂ්ට ⁣’ගේම්’ එක දෙන්නට ඔහු සිතින් සැලසුම් කර ගති. එලෙස සැලසුම් කර ගත් ජගත් මහේෂ්ට ඇට්ටි හැලෙන්න නෙළුවේ තවත් හතර දෙනෙක් සමඟය. එවර නම් මහේෂ්ට රෝහලේ දවස් ගනනක් රැදෙන්නම, ජගත් ‘ගේම් එක දුනි.

මෙම සිදුවීමෙන් පසු මහේෂ්ව කොළඹ විශ්වවිද්‍යාලයකට දැමීමට අමිත් උත්සහ ගත්තේ යළිත් මහේෂ් ජගත් සමඟ පැටලී මහ විනාශයක් කර ගනීවී යයි බියටය. මහේෂ් කෙලෙසකවත් කොළඹ විශ්ව විද්‍යාලයකට යෑමට කැමති වෙන්නේ නැත. ඔහුට අවශ්‍ය ඉස්පිරිතාලයෙන් ගිය පසු ජගත් ව හමුවී ඌට හොම්බට දෙකක් අනින්නටය.

එහෙත් අමිත,මහේෂ් මල්ලි ළඟ දනින් වැටෙන්නට යයි. යසපාලිත ප්‍රේක්ෂකයන් හොල්මන් කෙරුවේ ඒ අයුරිනි. හයියෝ අයියා මල්ලි ලඟ දනින් වැටෙන්න යනවා කියා ⁣සංවේදි ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් උණු කඳුළු හැලුවෝය. ඒවා යසපාලිත⁣ ගෙ “ට්‍රික්ස්”ය. ප්‍රේක්ෂකයන් ඇද බැද ගැනීමේ උප්පරවැට්ටිය.

මෙයින් මහේෂ් ගේ හිත තැලුණි. එහෙයින් ඔහු තම සොහොයුරාගේ කීමට කොළඹ විශ්ව විද්‍යාලයට යාමට කැමති විය. මේ අතර ජගත් මහේෂ්ට පනිවිඩයක් එවන්නේ කෝචොක් කරමිනි. ඒ මහේෂ් මෙම විශ්වවිද්‍යාලය අත හැර කොළඹට යන්නේ ජගත්ට බයේ කියාය. එයට මල පැන්න මහේෂ් කෙළින්ම ජගත්ගේ ක්ලබ් එකට යන්නේ ජගත්ගේ මූණ රිවට් කිරීමටය. මහේෂ් එනවිට ජගත් තම පියාගේ ක්ලබ් එකේ යහළුවන් සමඟ මත් පැන් බොමින් සිටියහ. මහේෂ් විත් ජගත්ට පහරක් ගැසූ පසු ඔහුගේ යහළුවන් ජගත්වත් දමා පැන ගියහ. ඉන්පසු එළඹූයේ මහේෂ් හා ජගත්ගේ සටනය. ජගත් තමන් සිටි ශාලාවේ දොර වසා අගුල දමා කුඩා පිහියක් අතට ගෙන මහේෂ්ට අනින්නට සැරසීය. මහේෂ් එය වළක්වන ගමන් ම දෙදෙනා බදාගෙන පොර බඳීන්නට විය. සටන දරුණූ වී එන විට අමිත් පැමිණ දොරට තට්ටු කරන්නට විය. මහේෂ් හා ජගත් ගෝරිය අතරේම දොරලගට තල්ලු වී ගියෝය. මහේෂ් දොර අරිනවිටම අමිත් ඇතුළු විය. ජගත් විසින් මහේෂ්ට පිහියෙන් අනින්නට තැත් කරන විටම එය අහඹුවකින් කාමරයට ඇතුල්වෙමින් සිටි අමිත්ට වැදුනි. ජගත් පැන ගියේය. පිහි පහර කෑ අමිත් මහේෂ්ගේ අතේම මිය ගියේය.

‘මද එළි මවනා තරුකැන් ඔබවේ

තනිවූ කතර බිමේ

මා හදේ සඳුත් ඔබයි, මා හඳේ හිරුත් ඔබයි, දෙවියන් ඔබවේ පුද දෙමි සැමදා

මහද ප්‍රනාමේ.’

ප්‍රේක්ෂකයා ඉකිබිඳ හඩවන්නට තරමේ සංවේදී තත්වයකට ගෙනෙන්නට යසපාලිත එම ජවනිකාවෙන් උත්සහා ක⁣ර තිබුණි. යසපාලිත ප්‍රේක්ෂකයාව රඳවා තබා ගැනීමේ ‘ජිමික්ස්’ හොද හැටි හඳුනා ගත් අධ්‍යක්ෂක වරයෙකි. එය මෙම දර්ශනය ඉදිරිපත් කළ ආකාරයෙන් මොනවට පැහැදිලි වේ.

කථාව තවත් පරිචේඡදයකට හැරවුණි. ජගත් පොලිස් අත් අඩංගුවට පත් විය. මහේෂ් හා මධූ එම නිවස අත්හැර වෙන පලාතකට පදිංචියට ගියේ අමිත් නොමැතිව තවත් මෙම නිවසේ සිටීමට නොහැකි නිසාය. මහේෂ්ගේ විශ්ව විද්‍යාල ගමනත් එතැනින් නිම විය. ඔවුන් දෙදෙනා , මහේෂගේ පියාගේ යහළුවෙකුගේ නිවසක් කුලියට ගෙන පදිංචි විය.

දැං මහේෂ්ට රැකියාවක් සොයා ගත යුතුවේ. යසපාලිත එම ප්‍රශ්න වලට නම් පට් පට් ගා උත්තර සොයා දුනි. මහේෂ් ගේ පියාගේ එම නිවස ලබා දුන් යහළුවාට දුවෙක් සිටියි. ඇය රූමත්, හුරුබුහුටි, දඟකාර නීතාය. ඇයට මෝටර් රථ අලුත් වැඩියා කරන ගැරෙජ් එකක් තිබේ. එහෙත් එය දුවන්නේ පාඩුවටය. ඔහු මහේෂ්ව එම ගරාජයට අනුයුක්ත කළේ එය තම දුව නීතා සමඟ එක්වී දියුණු කර ගන්නා ලෙසය.

දැන් මහේෂ් නීතා හා ඇයගේ සේවකයන් සමඟ එක්වී ගරාජයේ වැඩය. මේ අතර හිරෙන් නිදහස් වී ආ භායනක හොරෙක් වූ විජේ, හදිසියේම මෙම ගරාජයට කඩා පනී. සේවකයෝ බියෙන් ඇලලී යයි. මහේෂ්ටද අඩම් තෙට්ටම් කිරීමට විජේ සැරසෙයි. එහෙත් මහේෂ්ට විජේට අතක් හෝ උස්සන්නට සිතට නොආවේ ⁣විජේගේ බාහිර ස්වරූපය හරියටම තම මිය ගිය සොහොයුරු අමිත්ට සමාන නිසාය.

මෙතැන් සිට චිත්‍රපටය ‘සිල්ලර’ ලෙස යන්නට විය. එක අතකට යසපාලිතට කරන්නට දෙයක්ද නැත. ‘කස්මි වාදේ’ අධ්‍යක්ෂනය කල රමේශ් බෙහෙල්ටය අප කියන දෙයක් කිව යුත්තේ.

දැන් ‘හීරෝ’ විජේය. චිත්‍රපටය තුළ ඔහු නම ගිය භයානක හොරෙක් ලෙස හැඳීන්වුවද, ඔහු අර කාර් එකක් හොරකම් කරනවා හැරෙන්නට මහා ලොකු හොර කමක් කරන්නේ නැත. ඉතින් විජේව දරුණු හොරෙක් ලෙස අපට දැනෙන්නේ නැත. මේ අතර මධු අමිත්ගේ රූප අඳීමින් තම පතිවත සුරකිමින් දුක්බරව කාලය ගත කරයි. එක්දිනක් හදිසියේම විජේට මධූව මුණ ගැසේ. විජේ තුළින් අමිත්ගේ ස්වරූපය දුටු විට, මධූ තිගැස්සේ. මධූව දුටු දින පටන් විජේට මධූ ගැන සිතක් පහළ වේ. තව පැත්තකින් ගරාජයේ අයිති කාරි වූ නීතාට මහේෂ් ගැන සිතක් පහළ වේ. ඒවා එහෙම විය යුතුය. විජය අයිති වනුයේ මාලනීටය. සනත් අයිති වනුයේ සබීතාටය. යසපාලිත ඔය සම්ප්‍රදාය දැනගෙනය ඕවාට අත ගැසුවේ.

හැල හැප්පීම් කීපයක් සිදුවිය. ඒවා මේ යථර්ථවාදී ලෝකයන් තුළ සිදුවන දේවල් නොවුවද, යසපාලිත ඒවා, හරි අපූරු ‘ෆැන්ටැසියක්’ සේ අපට පෙන්වීය. අපද ඒ ඇස් බැන්දුමට අහු විය. කොහොමත් යසපාලිත පෙන්වන ඒ චමත්කාර මැජික් වලට අපේ යටි හිත කැමතිය. අපේ දෑස් පිනා යන්නට විය. හැබැයි ඇතුළ නම් ‘හිස්’ය.

දැන් මේ නම ගිය හොරෙක් යැයි හංවඩු ගැහූණු හොරා, මහේෂ් හා නීතාගේ ගරාජයේ වැඩය. මේවා කලහැක්කේ යසපාලිතලටම පමණි. මුලින්ම මහේෂ් හැර ගරාජයේ අනිත් අය විජේගේ පැමිණීමට දැඩි අකමැති වූවද, විජේ සල්ලි බෑගයක් ගෙනවිත් දී මෙය ගරාජය දියුණු කර ගැන්මට යොදා ගන්නා ලෙස කී පසු සියල්ලෝම කැමති විය.

“එකමුතු කම ගජ මුතු මෙන්

හිතන්නේ, පතන්නේ, රකින්නේ

හිම ජීවන නිල්ලේ, මල් රුප්පාවේ

නිසංසලේ පියා සලන්නෙ

එකමුතු කම ගජ මුතු මෙන්

හිතන්නේ, පතන්නේ, රකින්නේ”

විජේ අවස්ථා කීපයකදීම මධුට, තම සිතේ ඇය ගැන තියෙන ඇල්ම පැවසීමට උත්සහා කළද, මධු නොවෙි ඒ කිසිම දෙයකට කැමති වූයේ. ඇය මිය ගිය අමිත් වෙනුවෙන්ම තම ජීවිතය පරිත්‍යාග කරන්නට ඇප කැපවී සිටියාය.

මෙය මහේෂ්ගේ දෝෂාරෝපණයට ලක් විය. ඔහු කීවේ අමිත් වුවද ඉන්න ලෝකයක සිට බලාපොරොත්තු වෙන්නේ මධූගේ සතුට බවයි. එහෙයින් මහේෂ් මධු විසින් අමිත්ගේ රූපය සිතුවම් කෙරු හැම සිතුවමක්ම පුලුස්සා දැමීය.

⁣කිසියම් මැර කල්ලියක් විජේ පස්සේ කැරකුනේ මේ අවස්ථාවේදීය. ඒ රත්තරන් පිරවූ කාර් රථයක් කොල්ල කෑමේ කොන්ත්‍රාත්තුවක් බාර දීමටය. එහෙත් විජේ කීවේ, දැන් එවන් වැඩ ඔහු නොකරන බවත්, ඔහුට අවශ්‍ය සාධාරණව ජීවත් වීමට බවය. මැර කල්ලියට ඒවා බයිලා විය. ඔවුන් මධුව කිඩ්නැප් කර කන්දක බැද තබා එය පින්තූර ගත කර එය විජේට පෙන්වා කීවේ, විජේ ඒ මංකොල්ලය සිදු නොකළහොත්,මධුව මරා දමන බවය. මධූව බේරාගැනීමට අවශ්‍ය නිසා විජේ මංකොල්ලයට කැමති විය. ඒවා යසපාලිතගේ ‘ත්‍රිල්ස්’ය.

අවසානය දකින්නටත් පෙර අවසානය කුමක්දැයි, ප්‍රේක්ෂකයා දනියි. යසපාලිතලාගේ හැම චිත්‍රපටයකම අවසානය හරි ‘කොමන්’ය. විජේ කාර් එක මංකොල්ලකා මැරයෝ ලඟට පැම්ණ මධුව ඉල්ලයි. මැරයෝ රත්තරන් පිරවූ කාරය රැගෙන පලා යන්නට තැත් කරද්දි විජේ ඔවුන්ට ගුටි ඇන මධූවත් බේරා ගනියි. මහේෂ් හා නීතා පොලිසියත් රැගෙන පැමිණේ. විජේ අම්බානෙකට නෙලු මැරයන් ටික හා රත්තරන් පිරවූ කාරය පොලීසියට භාර කරයි. විජේ විසින් ‘රම්බෝ’ මෙන් තනි සටනක් දී මධූව බේරා ගත් නිසා ,මධු විජේ ගැන පැහැදී තම කැමැත්ත විජේට ප්‍රකාශ කරයි. අවසානයේ විජේ සහ මධු, මහේෂ් හා නීතා යන හතර දෙනාම අත්වැල් බැඳගෙන සතුටින් යයි. තිරයේ ‘නැවත හමුවෙමු’ කියා වැටෙයි.

විජය කුමාරණතුංග අමිත් හා විජේ ලෙස ද්විත්ව චරිතයක් රඟපෑ අතර, මාලනී ෆොන්සේකා මධූට පණ පෙවීය. සනත් ගුණතිලක මහේෂ්ටද, සබීතා පෙරේරා නීතාටද, ජිවන් කුමරණතුංග ජගත්ටද රඟපෑවෝය. සරත් දසනායකගේ මධුර මනෝහර සංගීතය චිත්‍රපටයට විශාල ආලෝකයක් ලබා දුනි. එයිනුත් ඔහු නිර්මාණය කළ “සිහින අහසේ වසන්තේ” ගීතය අදටත් එක ලෙසම ජනප්‍රියය. මෙහි නිෂ්පාදක මෙන්ම කැමරා අධ්‍යක්ෂ වූයේ ජේ.ජේ. යෝගරාජාය.

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

5 thoughts on “සිසිලැල් පවනේ ගී හඬ විසිරේ | සිනමා පටයක කතාව”

  1. ..Sandashen..

    Mama nam me film aka baluwa…me film ake thiyena sihina ahase wasanthe kuyana sinduwata man nam mara asai…a film ake sanath gunathilaka happy birthday song aka mauth ogan aken aken lassanata play karanawa…akata thamai man asamaaa…. ??????????

  2. සෙනෙහස පෑවා යලි හමු වූවා
    නිම්නැති වාරේ භවය සරා
    නින්දේ උන් හද සංසානේ
    පෙම් ගීතේ යලි ලියුනාවේ
    පෙර සසරේ පැතුම ලෙසේ
    එනු සුහදේ ලංවී මා වෙත

    දේව මංදිරේ පෙම් ලොවේ
    දීපයන්විලේ ආදරේ
    දෑසවන් සෙනේ පෙර දිනේ
    හීනයක් සැබෑවී තියේ
    මල්පෙති මල්සර නිම්නය
    ජීවිතේ මගේ…..සාදා දෙනු ප්‍රියේ………

    ගීපද :දයාසේන ගුනසිංහ
    සංගීතය : සරත් දසනායක

    නැවත හමුවෙමු චිත්‍රපටියේ තවත් සිංදුවක් ඔන්න.

    චිත්‍රපටියක් කියවද්දිත් මරු නේද.ශෝයි හොදේ .ලස්සන වැඩක්.

    .

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.