Katha Ahura

ඔබ මට හිමි වේ නම් | 11 කොටස| නවකතාව

කතාව කොහොමද?

……………11 වෙනි කොටස …………

“මචංලා මේ.. අපි මේ යන ට්‍රැක් එකේ ගියොත් විභාගෙ ගොඩ දාගන්න එක නම් ලේසි වෙන එකක් නෑ..”

කුමාරයා ක්ලාස් ඇරිලා එන ගමන් අමුතුම කතාවක් කිව්වා. ඒ කතාවට මමත් අනිත් කොල්ලො සෙට් එකත් උගේ දිහාට ඇස් දෙක දාලා බැලුවා.

“ඇයි ඒ..?”

“ඇයි ඒ කියන්නෙ.. මම නම් දන්නෙ නෑ උඹලා ගැන.. ඒත් මට අද කියාදීපු කිසිම මල මගුලක් තේරුණේ නෑ බං..”

“එහෙම සීන් එකක් මටත් උනා නම් තමයි බං..”

බඩිත් ඕනවට එපාවට වගේ එහෙම කියලා දාද්දි මම අනිත් එවුන්ගෙ මූණු දිහාත් බැලුවෙ උන්ටත් එහෙම දෙයක් උනාද කියලා දැනගන්න.. මොකද මටත් යාන්තමට වගේ එහෙම දෙයක් උන නිසා..

“ඇත්ත ඇත්ත කුමා.. අපි මීඩ වඩා උනන්දු වෙන්න ඕන.. නැත්නම් ඉතිං විභාගෙට සොරි ඩොට්කොම් තමා.. විභාගෙ පැත්තකින් තියහංකො.. ගෙදරින් දෙන සලාක මල්ලත් ඉවරයි එහෙම උනොත්..”

“හ්ම්… මට හිතෙනවා බං අපිට ගෙවල් වලින් නිදහස දීලා වැඩියි කියලා..”

“ආ.. උඹට එහෙම හිතෙනවද..?”

ජයන්ත එහෙම නක්කලේට හිනාවෙන ගමන් ධමියගෙන් අහනකොට හැමෝටම වගේ හිනා ගියා. ජයන්ත කොහොමත් හිටපු ගමන් කොල්ලන්ට ආතල් එකක් දෙනවා. සමහර විට නැත්නම් ඌට කෑවෙ නෑ වගේ කියලා හිතට දැනෙනවා වෙන්න ඇති.

“උඹලට විහිලු..”

“උඹ මහ පොල්කිච්චෙක්නේ යකෝ.. උඹ කියන්නෙ එතකොට අපිටත් කෙල්ලොන්ට වගේ ඉස්කෝලෙ යනවා ගෙදර යනවා, ක්ලාස් යනවා ගෙදර යනවා.. ඒ ෂෙඩූල් එක යූස් කරන්න කියලද..?”

“හි.. හි.. හි.. තොපි දන්න ඉටි ගෙඩිය.. අපි තව හොදයි යකෝ… උඹලා කෙල්ලො ගැන හිතන් ඉන්න විදිය සම්පූර්ණ වැරදියි.. තූ තොපි..”

ටික වෙලාවක් කට වහගෙන හිටපු කුමාරයා ආයෙම හක හක ගාලා හිනාවක් දාලා කියවන්න ලෑස්ති උනා.. කෙල්ලො ගැන කතා කරන්න ගනිපු නිසා හැම එකාම වගේ උගේ මූණ දිහා කන්න වගේ බලන් හිටියා..

“ඇයි ඇයි.. මොකක්ද සීන් එක.. උඹ ඉතින් කෙල්ලො ගැන නොදන්න දෙයක් නැහැනේ.. කියපන්කො බලන්න..”

“හා..හා.. අහගනිං.. මෙන්න මෙහෙමයි.. උඹලා හිතන් ඉන්නෙ කෙල්ලො කියන්නෙ හරි නිවිච්ච ජාතියක් කියලා.. යකෝ උන් හරියට මැජ්ක් කාරයො වගේ.. කටුස්සො වගේ.. අම්මපා.. උන්ව තේරුම් ගන්න බැහැ බං අපිට.. අඩුම තරමෙ උන්ගෙ දෙමව්පියන්ටවත් උන්ව තේරුම් ගන්න බෑ.. කෙල්ලො හරි කපටියි.. කොල්ලො හරි ලපටියි යකෝ.. තේරුනයි..?”

“අනේ අපිට නම් වැඩක් නැහැ බං ඕවා.. ඔන්න අපේ සුමියට නම් වැදගත් වෙයි මම හිතන විදියට..”

මෙච්චර වෙලා මම කිසිම කතාවක් නොදා හිටපු හන්දා වෙන්න ඇති බඩී මගේ දිහා බලලා එහෙම කතාවක් කිව්වෙ. හැබැයි ඌ කියපු එකට මට ලාවට වගේ කේන්තියක් ආවා..

“හරි.. හරි.. එහෙම කෙල්ලො ඉන්න පුළුවන්.. ඒත් සංසලා එහෙම කෙනෙක් නෙමෙයි.. උඹලා හැම කෙල්ලම එක ගොඩට දාලා කතා කරන්න එපා හරිය..”

“යකෝ………. මෙන්න මූට ඩොං ගිය හැටි බලපල්ලකො..”

මට සංසලා ඒ ගොඩට දාලා කතා කරනකොට ඇත්තටම හිතට තරහක් ආවා.

“එහෙම තමයි බං… එහෙම තමයි… ලව් කරන කාලෙට ඔහොම ලෙඩක් කොල්ලොන්ට හැදෙනවා බං.. කෙල්ලට පොඩි හරි වචනයක් කියනවා නම් කොල්ලා කැමති නෑ.. දැන් ඔය සුමියට වෙලා තියෙන්නෙත් ඔහොම කේස් එකක් තමා..”

ධමියා කියවගෙන ගියා.

“හරි… හරි.. දුකක් නැහැනේ බං මූ ඒ කෙල්ලගෙන් කැමැත්ත අහනවා නම්.. මූ ඒක කරන්නෙත් නැහැනේ.. අන්තිමට මූට වෙන්නෙ බලාගත්තු අත බලාගෙන හූල්ලන්න තමා.. ඇයි බං මූණ විතරක් බලලා ආදරේ කරන්න පුළුවන්යෑ.. කැමතිද කියලා අහන්න මුගේ කටේ පිට්ටුද.. මම නම් කියන්නෙ සුමී පුළුවන් ඉක්මනට ඕක අහලා ඉවර කලා නම් හොදයි.. මොකද නැත්නම් උඹටයි පසුතැවිලි වෙන්න වෙන්නෙ.. මම කියන දේ උඹට තේරෙනවනේ..”

බඩී කියන කතාවත් ඇත්ත තමා.. ඒත් සංසලා මුණගැහෙන්න විදියක් තිබුණා නම් මම ඒක කවදාවත් නොකර ඉන්නෙ නෑ.. ක්ලාස් එකේදි එයා එක්ක කතා කරන එක එයාට හොද නෑ. කෙල්ලො නම් කීයක් ඉන්නවද. කොල්ලො නම් කීයක් ඉන්නවද. අනික ඒ වගේ සෙනඟක් ඉන්න තැනක අපිට නිවි සැනසිල්ලෙ කතා කරනන් පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නෙ නෑ. ඔය මොක උනත් බඩී කියනවා වගේ මම ඉක්මන් නොවුනොත් අන්තිමට ඒකෙන් දුක් විඳින්න වෙන්නෙත් මටම තමා.

“උඹලා කියන කතාව ඇත්ත බං.. මම දන්නවා.. ඒත් උඹලම කියපන් මම කොහොමද සංසලාව හම්බවෙන්නෙ කියලා.. යකෝ ක්ලාස් එකේදි වචනයක් කතා කරන්න පුළුවන්ද.. කෙල්ලො කොල්ලො දාස් ගාණක් හතර වටේ ඇස් දාගෙන ඉන්නකොට..”

“ඒක නම් ඇත්ත තමා බං.. හ්ම්…………………. මොකක් හරි පිළියමක් කල්පනා කරමු.. ඒත් දැන් නම් බෑ.. යකෙක් නෙමෙයි යක්කු සීයක් විතර කන්න බඩගිනියි බං මට නම්.. කකුල් වලට ගඩ අරගෙන ඇරලා යමල්ලකො ඉක්මනට.. අපි අද මැරෙන්නෙ නැහැනේ.. හෙට සෙට් වෙලා කතා කරමු..”

ජයන්තයා කියපු කතාව නම් ඇත්ත තමා.. දැන් නම් පුදුම බඩගින්නක් තියෙන්නෙ.. දවල්ට කාපු කෑමත් අල්ලලා ගියේ නෑ වගේ.. වෙලාවත් හයට කිට්ටු වගේ.. අනිත් කොල්ලො වගේම මාත් ජයන්තයගෙ කතාවට එකග උනා..

“අනිවා.. යමල්ලා…”

මම ගෙදර එනකොට හැන්දෑවෙ හයයි පහළොවට විතර ඇති. තාත්තා නම් ගෙදර ඇවිල්ලා ඇති. එයා පහයි තිහ වෙනකොට ගෙදර එනවා. මම ගෙදරට යනකොටම දැක්කෙ නංගිව. එයා මම එනකන්ද මන්දා උළුවස්ස උඩට වෙලා පාර දිහා බලාගෙන ඉන්නවා. මම එනවා දැක්කා විතරයි නංගි ගෙට දුවගෙන ගියා අම්මේ ගාගෙන.

“අම්මේ…………… අන්න අයියා එනවා..”

අද ටිකක් පරක්කු වෙච්ච නිසා ගෙදර කට්ටිය බය වෙලාවත්ද දන්නෙ නෑ..

“කොහෙද සුමී ගියේ.. අද පරක්කු මොකද..?”

නංගි අම්මේ ගාලා කතා කරාට ආවෙ අම්මා නම් නෙමෙයි. මගේ ඉස්සරහට ආවෙ තේ එකකුත් අතේ තියාගෙන අපේ තාත්තා. එයාගෙ මූණෙ බය කියන දේ හොඳටම තිබුණා. එදා සිද්ධීයෙන් පස්සෙ අපේ තාත්තා ගොඩක් මං ගැන බයෙන් ඉන්නවා ඇත්තෙ. නංගිත් ඒක නිසා වෙන්න ඇති මම එනකන් පාර බලාගෙන ඉන්න ඇත්තෙ.

“කොහෙ යන්නද තාත්තෙ.. මම මේ ක්ලාස් ගිහින් එනගමන් තමා.. අද බස් එකේ ආවෙ නැහැ.. කොල්ලො සෙට්එකත් එක්ක හන්දියට යනකන් පයින්ම ආවා කතා කරකර… දන්නෙම නැතුව ඉතිං වෙලාව ගිහින්..”

එහෙම කියනකොට තාත්තා හරිම සැහැල්ලුවෙන් සුසුමක් හෙලුවා..

“හ්ම්….. එන්න එන්න ඇතුලට.. මූණ කට සෝදගෙන මොනවා හරි කාලා ඉන්න.. අම්මා කිව්වා හරියට කෑම කාලත් ගියේ නැහැයි කියලා..”

ඇත්තටම මම ඒ වෙලාවෙ හිටියෙ නම් ගොඩක් බඩගින්නෙ තමා..

“හරි තාත්තෙ.. මම වොෂ් එකක් දාගෙන එන්නම්.. හිටියෙ නම් පට්ට බඩගින්නෙ තමයි මමත්..”

එහෙම කියලා මම කාමරේට යන්න ඒ පැත්තට හැරුණා..

“ආ සුමී….”

මම යන්න හදනකොට තාත්තා ආයෙම මට කතා කරපු නිසා මම යන්න ගියපු ගමන නැවත්තලා ඒ පැත්තට හැරුණා..

“ඇයි තාත්තා..”

“මට මේ… ඊයෙ ඔයාගෙ යාළුවො ටික මුණගැහුණනේ..”

“ඉතිං..”

“ඉතිං එච්චරයි.. ඒක කියන්න කතා කලේ..”

තාත්තා මහ හයියෙන් හිනාවෙනකොට තමා මට තේරුනේ අපේ තාත්තා තමා කියලා අර කේලම කියන්න ඇත්තෙ කියලා.. කලින් ඉඳන්ම මම හිතාගෙන හිටියත් දැන් තමා ඒක හරියටම තාත්තා කිව්වා කියලා මට හිතාගන්න පුළුවන් උනේ..

“තාත්තා නේද උන්ට සංසලා ගැන කිව්වෙ..”

“ආ.. මේ…. ඔව් ඔව්.. මම කතා කරන්න දෙයක් තිබ්බෙ නැති නිසා ඔහේ කියලා දැම්මා..”

“පට්ට..”

“මොකක්..?”

“නෑ තාත්තා මුකුත් නෑ..”

“හ්ම්..”

එහෙම කියන ගමන් මම අඩියට දෙකට නාන කාමරේට රිංගලා ආතල් එකේ හොඳට නෑවා.

“පුතේ සුමී…… පුතේ…. ඔයා නිදිද..?”

අම්මගෙ කරච්චලේට දවාලෙ හොඳට නින්දක් දාගෙන හිටපු මට ඇහැරුනා.. නිදාගන්නකොට ඇහැරවන එක නම් මට පේන්න බැරි වැඩක්. ඒත් අම්මනේ මොනවා කරන්නද..

“ඇයි අම්මෙ……….? මොකෝ සීන් එක..?”

“මුකුත් සීන් එකක් නෑ.. අද ඔයාට පංති නැහැ නේද..?”

“නෑ…. නෑ.. ඇයි මොකද වෙන්න ඕන..?”

ඒපාර මොකක්ද යකෝ කඩාගෙන වැටෙන්න යන පරාලෙ.. මම මගෙන්ම අහගත්තා..

“ආ.. එහෙනම් පොඩ්ඩක් එළියට එන්නකො..”

මම ඇඳෙන් බැහැලා ෂර්ට් එකත් දාගෙන කාමරෙන් එළියට බැස්සෙ අම්මා මේතරම් හදිසියෙන් කතා කරන්නෙ මොකටද කියලා බලන්න..

“ඇයි අම්මෙ..?”

“පුතේ කඩේට ගිහින් එන්නකො.. බඩු ගොඩක් ගේන්න තියෙනවා.. බයික් එකෙන් යන්න.. මම පෙට්‍රල් ගහන්න සල්ලි දෙන්නම්..”

“මම හිතුවෙ මේ සුනාමියක්වත් ඇවිල්ලා කියලා මහ හයියෙන් බෙරිහන් දෙනකොට.. ඕක කියන්නද මේ මට කතා කලේ..”

“ඔව් දරුවො..”

“පෙට්‍රල් කොහොමත් බයික් එකේ ටිකයි ඇත්තෙ.. දෙන්න දෙන්න ඒකටත් එක්ක සල්ලි.. ආ.. අම්මෙ කෝ නංගි..?”

“නංගි පාඩම් කරනවා.. ආ මෙන්න සල්ලි.. ලියලා තියෙන බඩු ඔක්කොම ගේන්න දරුවො..”

“හා.. හා..”

මම අම්මා දීපු සල්ලියි මහා මල්ලයි අරගෙන කඩේට යන්න කලින් නංගිගෙ කාමරේ පැත්තට ගියේ පොඩි විහිලුවක් කරලා එන්න..

“ආ නංගි.. තමුසෙ දොරත් වහගෙන මල් කඩනවා නේද.. හොඳයි.. හොඳයි..”

“අනේ යනවා යන්න..”

“අපෝ… අපි යනවා තමයි.. අපිට ඕන නෑ ඔය අනුන්ගෙ ලව් වලට බාදා කරන්න..”

“අනේ සුමී අයියෙ මේ.. මම තරහා වෙනවා හොඳද..”

“ඉතින් තරහා වෙනවා.. මේ අම්මා මට කඩේ යන්න කිව්වා.. තමුසෙට මොනවා හරි ඕන නම් කියනවා..”

නංගි ඒ වෙලාවෙ දොර ඇරලා ගොඩක් ආදරෙන් මගේ දිහා බලලා හිනා උනා..

“මුකුත් එපා අයියෙ.. පරිස්සමින් ගිහින් එන්නකො..”

“හ්ම්…… සොරි ඔය දෙන්නගෙ ලව් එකට බාදා කරා නම්.. මම ගිහින් එන්නම්..”

ආයෙම මම නංගිට හිච්චං ජෝක් එකක් කරලා කඩේට යන්න කියලා හැරුනා..

“අනේ අයියෙ මම පාඩම් කරකර හිටියෙ.. මට එහෙම කෙනෙක් නෑ.. ඔයාට වගේ..”

“මම විහිලුවට කිව්වෙ.. නංගි පාඩම් කරන්න.. මම ගිහින් එන්නම්..”

“පරිස්සමින්..”

මම මගේ හුටු හුටු යන්තරේට නැගලා කෙල මෝලෙන් ටවුන් එක පැත්තට පැඳගෙන ගියා. ලයිසනුත් නැති එකේ පොලිස් මාමා කෙනෙකුට අහු උනොත් තමා බඩු පැකට් වෙන්නෙ. මගේ වාසනාව කියන්නෙ මම මෙච්චර කාලෙට එක පොලිස් මාමා කෙනෙකුට අහුවෙලා නැති එකනේ. මම ටවුන් එකට ලංවෙනවත් එක්කම මම දැක්කෙ මගේ ඇස් දෙකට අදහගන්නවත් බැරි සුන්දර දසුනක්.

“සංසලා….. ඔයා.. ඔයා මොකද මෙහෙ කරන්නෙ..?”

මම මටම කියාගත්තා.. සංසලත් එක්ක නිදහසේ කතා කරන්න ලැබෙන එකම දවස අද වෙන්නත් පුළුවන්. අනේ මන්දා මේක මට දෙයියො දීපු චාන්ස් එකක්ද කියලා. දෙනකොට දෙයියොත් දෙන්නෙ ගෙඩිය පිටින්මනේ.. ඔව් ඔව් එහෙම එකක් තමයි.. ඒත් මම කොහොමද එයා එක්ක කතා කරන්නෙ.. එයා මාත් එක්ක කතා කරයිද.. එයා එදා මාත් එක්ක හිනාවෙලා ගියාට මාත් එක්ක කතා කරයිද.. මගේ හිතට ප්‍රශ්න කෝටියක් ආවා.. ඒත් මම මේ චාන්ස් එක මිස් කරගත්තොත් මම සමහර විට ගොඩක් ප්‍රමාද වෙන්නත් පුළුවන්.. සමහර විට සංසලා මට නැති වෙන්නත් පුළුවන්.. අද නම් කතා කරනවාමයි.. නැත්නම් මට වෙන්නෙ අපේ කොල්ලො කියනවා වගේ හූල්ල හූල්ල ඉන්න.. ලයිෆ් එකම අනාගන්න.. බෑ.. බෑ.. එහෙම වෙන්න දෙන්න බෑ.. මම අද කොහොම හරි එයා එක්ක කතා කරනවා..

“මේ ඕයි… තමුසෙගෙ අම්මගෙ අප්පගෙ බූදලේද ඕයි මේක..”

එහෙම කියනකොටයි මම ගැස්සිලා පිටිපස්ස බැලුවෙ..

“වාහනේ ගනිං මිනිහො අහකට.. උඹ කුඩු ගහලද..?”

එතකොටයි මට මතක් උනේ මම බයික් එක නවත්තගෙන හිටියෙ පාර මැද නේද කියලා.. මගේ පිටිපස්සෙ හිටපු ත්‍රීවිල් කාරයෙක් මහ හයියෙන් කෑගහනවා මට ඇහුණා.. ඒත් යකෝ මූට යන්න මේ පාරෙ ඉඩ ඇත්තෙම නැද්ද..

“මම කුඩු ගහලා නැහැ හලෝ.. තමුසෙට ත්‍රීවිල් එක පොඩ්ඩක් එහායින් ගන්න බැරිද.. මම ඉන්නෙ බයික් එකක මිසක් බස් එකක නෙමෙයිනේ.. මේ පාරෙ ඕන තරම් ඉඩ තියෙන්නෙ..”

මම එහෙම කියනකොට බුවා වීල් එකෙන් එළියට බැස්සා.. යකෝ මූට කොයිල්ද..? දරුණු බැල්මට් එකක් මගේ දිහාට දැම්ම නිසා මට බයකුත් දැනුනා.. ඒත් ඉතින් ගැහුවොත් ගහනවා අම්මටසිරි වෙන්න.. ආයෙ දෙකක් නෑ..

“තෝ කියන්න ඕන නෑ යකෝ මට වාහනේ එහාට කරලා ගන්න… ඇටයා.. තරමට ඉඳිමියන්.. නැත්නම් ගහනවා ගෙම්බා ගැහුවා වගේ පොළේ..”

“ආහ්.. උඹට පුළුවන් නම් ගහපන්කො..”

මාත් බයික් එකෙන් බැස්සෙ මේකෙ දෙනෙක් එකක් විසඳගන්න හිතාගෙන.. සංසලා අදත් මට මිස් වෙයි වගේ.. මට ලොකු වේදනාවක් එක්කම ලොකු තරහක් හිතට දැනුණා.. මේක මගේම වැරැද්ද තමා.. ඒ වගේම මගේම කරුමෙ..

“ඇයි මල්ලි නැගිටලා ආවෙ ගහන්නද..?”

එහෙම කියන ගමන්ම ත්‍රීවිල් කාරයා මගේ කොලර් එකෙන් අල්ලගත්තා.. මම බෑග් එකත් විසික් කරලා දාලා උගේ පැත්තට හැරුදෙ දෙකතුනක් අනින්න.. අපේ සද්දෙට වටේ පිටේ ඉන්න මිනිස්සුත් පිරුනා..

“ගැහුවොත් ගහනවා තමා යකෝ.. අතෑරපං ෂර්ට් එක..”

“ආ.. අතෑරියෙ නැත්නම්..”

“එහෙම නම් මෙන්න මෙහෙමයි..”

එහෙම කියලා මම විසික් වෙලා යන්න පයින් පාරක් ගැහුවා.. පොර ආයෙම නැගිටලා ඇවිත් මගේ ඇඟේ එල්ලෙනවත් එක්කම………………………

“අනේ අයියෙ……. එයාට ගහන්න එපා.. එයා මගේ අයියා……”

මගේ ඇස් මටම අදහගන්න බැරි උනා.. මගේ ඇස් ඉස්සරහ හිටියෙ සංසලා.. එයාගෙ ඇස් දෙකේ කඳුළු පිරිලා තිබුණ එක දැකලා මගේ හිතට ලොකු වේදනාවක් දැනුණා.. සංසලා එහෙම කියනකොට අර මිනිහා මගේන් ඈතට ගියා.. ගිහින් කෙලින්ම සංසලා දිහා බැලුවා..

“ආ.. තමුන්ගෙ අයියද..? තමුසෙලට මොලයක් නැද්ද මේ වගේ පිස්සො පාරෙ එවන්න.. මුලින්ම තමුසෙගෙ අයියා පොඩ්ඩ ගිහින් හොඳ දොස්තර කෙනෙකුට පෙන්නනවා.. නැත්නම් අංගොඩ එක්ක යනවා.. වැරැද්දක් කරලා ඉවර වෙලා තව සද්දෙ දාන්නත් එනවා..”

“කාටද යකෝ පිස්සු..”

මට ආයෙත් තරහක් ආවා.. මූ කියවනවා වැඩියි.. අනික මූ සංසලාට තමුසෙ තමුසෙ කියලත් කතා කරපු නිසා මගේ තරහා තවත් වැඩි උනා..

“අනේ අයියේ……………..”

සංසලා ඒක හරිම හෙමින් කිව්වෙ.. මම සංසලාගෙ මූණටම එබිලා බැලුවා.. ඒ මූණ තිබුණෙ ලොකු බයකින් පිරිලා.. ලස්සන මූණ රතුම රතු වෙලා..

“හරි හරි.. මල්ලි දැන් යන්න.. බොරුවට කෑගහන්න ඕන නෑ..”

එතන හිටපු අයියා කෙනෙක් ඇවිත් ත්‍රීවිල් කාරයව වාහනේට දාලා ආයෙම යැව්වා..

“මල්ලි… තමුසෙ මැරෙන්නද හදන්නෙ.. ඔය හන්දියෙ වීල් පාක් එකේ සෙට් එකෙන් එකෙක්.. තමුසෙව කෑලි කරයි උන් එක්ක වලියට ගිහින්.. පරිස්සමින් වැඩ කරනවා.. ඔයා කරපු වැරැද්ද මම දැක්කත් එක්ක.. ඔයා තමා බයික් එක පාර මැද නවත්තගෙන හිටියෙ..”

“හරි අයියෙ.. මගේ අතින් වැරැද්දක් වුණා තමයි.. ඒත් එයාට මෙච්චර පාරෙ ඉඩ තියෙද්දිනේ මගේ ඇගට ගොඩවෙන්න ආවෙ.. අනිත් වාහන එහායින් ගියා නම් ඇයි එයාට යන්න බැරි උනේ..”

“මල්ලි… තමුන්ලා තාම පොඩිවැඩියි දෙයක් තේරුම් ගන්න.. ඔය යක්කු දවස පුරාම ජරාව කටේ වක්කරගෙන ඉන්නෙ.. උන් බලන්නෙ මොකෙක්ගෙ හරි ඇගේ එල්ලෙන්න.. බලනවා මල්ලිගෙන් ඔය යකා වාඩුව ගන්නවා සුවර් එකටම..”

“අනේ……………”

සංසලාගෙන් දුක්බර හඩක් පිටවෙනවත් එක්කම මම එයාගෙ මූණ දිහා බැලුවා.. ඒ කම්මුල් දෙක දිගේ කඳුළු වැල් කඩන් වැටෙනවා මම දැක්කා..

“මල්ලි ඕක ෂේප් කරගන්න.. පුළුවන් ඉක්මනට.. ඕකුන් නාහෙට අහන්නෙ නැති එවුන්.. මේ ඔයාගෙ නංගිද..?”

“ඔ….. ඔව් අයියේ..”

මම ඒක කිව්වෙ ටිකක් බයෙන් වගේ..

“ඔයාගෙ නංගි හොඳටම බයවෙලා ඉන්නෙ.. බලන්න ඔයා කරන වැඩ නිසානේ.. හරි හරි.. දැන් යන්න ආපු ගමන යන්නකො..”

“හරි.. අයියෙ.. බොහොම ස්තුතියි..”

මම එහෙම කියලා බයික් එකත් තල්ලු කරගෙන සුපිරි වෙළඳසැල් සංකීරණය පැත්තට ගියා.. සංසලා පාර ගාව නැවතිලා මගේ දිහාම බලාගෙන හිටියා.. මම බයික් එක අයිනෙන් නවත්තලා එයා ගාවට ගියේ මගෙන් වරදක් උනා නම් සමාව ගන්නත්.. එයා එක්ක ටික වෙලාවක් කතා කරන්නත් හිතාගෙන.. මේ චාන්ස් එක දෙයියො දීපු චාන්ස් එකක්ම තමා.. දැන් නම් එයා එක්ක කතා කරන්න හිතේ බයකුත් නැහැ වගේ.. ඒත් මම මේ කරන දේවල් එක්ක එයා මං ගැන මොන විදියට හිතයිද..? අනේ මන්දා.. දෙවියන් විතරයි මගේ උදව්වට ඉන්නෙ..
……………මතු සම්බන්දයි ………..

7 thoughts on “ඔබ මට හිමි වේ නම් | 11 කොටස| නවකතාව”

  1. Hashini Navanjana.

    ඔන්න අයියේ දවස් තුනකට පස්සෙ තමයි මං මේ පැත්තට ආවෙ කතා කියවන්න. ඊයෙ ඇවිත් කතාව දාලද කියලා බැලුවා. ඒත් කියවන්න ? උනේ නෑ.. අද තමයී කොටස් තුනම එක හුස්මට කියවන් ගියේ.. හරිම ලස්සනයී අයියෙ කතාව. ඒ වගේම ලැබුවා වූ අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටු වන සුභ ම සුභ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.