Katha Ahura

?උන්මන්තකයා?| 07 කොටස | හොල්මන් කතා

5/5 - (2 votes)

?උන්මත්තකයා?

07 කොටස

“ඒඩ්න්…???”

වේඩ් කටත් ඇරගෙන බලන් හිටියෙ පුදුමෙන් වගේ. කොලේජ් එකේ තමන්ටත් වඩා නිෂ්ශබ්දව, පාඩුවෙ ඉන්න කොල්ලා මොකද අද තමන්ගෙ ගෙදරටම ඇවිත් තියෙන්නෙ කියන එක ඔහුට ගැටලුවක් උනා.

“වේඩ්… වේඩ්… වේඩ්… මං යකෙක් නෙමෙයි බ්‍රෝ… බලන්නකො ආන්ට් ලීසා වේඩ් හරියට මාව කලින් දැකලා නෑ වගේනෙ බලන් ඉන්නෙ…” ඒඩ්න් කිව්වෙ සෝෆාවෙන් නැගිටලා හිනාවෙන ගමන්.

“ආහා… එතකොට මෙයාද ඒඩ්න් කියන්නෙ…? අර අලුතින් ආපු සයිලන්ට් බෝයි…?” වේඩ්ගෙ අම්මා ලීසා මහත්මිය ඇහුවෙ හිනාවෙවී.

“ඕහ් බ්‍රෝ එහෙනම් මං ගැන ගෙදරටත් කියලා නේ…?” වේඩ්ට විරිත්තන ගමන් ඒඩ්න් ඇහුවා. වේඩ්ට නිකන් පොලොව පලාගෙන යන්න හිතුනා. “මං එහෙම ඉන්නෙ අනවශ්‍ය මිනිස්සු එක්ක අනවශ්‍ය කතාබහ අවශ්‍ය නැති නිසා ආන්ට් ලීසා… වචන නාස්තිය අපේ මොලේට බලපානවා… මං හිතන්නෙ වේඩ් උනත් එහෙම තමා කොලේජ් එකේදි…”

“අයියෝ මං ඕවා දන්නෑ දරුවනේ… අපේ කාලෙ නම් සයිලන්ට් කියලා කෙනෙක් දෙන්නෙක් හිටියෙ කොලේජ් එකේ උනත් හයි ස්කූල් උනත් ෆස්ට් ඉයර් විතරයි… ඊලඟ අවුරුද්දෙ අපිටත් වඩා කියවන්නෙ එයාලා… කෝ ඔහොම ඉන්නකෝ මං ඔයාලට බොන්න මොනාහරි හදන් එන්නම්…” එහෙම කියපු වේඩ්ගෙ අම්මා එතනින් කුස්සියට යන්න හැරුණා.

“කොෆී එකක් හොඳයි ආන්ටි මට නම්… වින්ටර් එක ලඟ නිසා සීතල දැනෙන්න අරන් මටනම්…” ඒඩ්න් පිටිපස්ස බලලා කිව්වෙ අමුතුම තාලෙකට.

“ඒඩ්න් මොකද මෙහෙ කරන්නෙ..? අනික කවදාවත් නැතුව…?” වේඩ් තමන්ගෙ පළවෙනිම ප්‍රශ්නය ඉදිරිපත් කලා.

“ඕහ් කමෝන් වේඩ්… එදා සිද්ධියෙන් පස්සෙ මට උඹ ගැන අනුකම්පා හිතුණා… අනික මං දන්න විදිහට ස්වීට් ජූලී නැතුව උඹට වෙන යාලුවෙක්වත් නෑ… ඉතින්… මං කල්පනා කලේ මටත් යාලුවෙක් නැති එකේ අපි දෙන්නට හොඳම යාලුවො වෙන්න පුලුවන්නෙ…” ඒඩ්න්, වේඩ්ගෙ ලඟට එන ගමන් කිව්වෙ හිනාවෙවී.

“යාලුවො වෙන්න..? අඩුමතරමෙ අපි දෙන්නා හරියට අපි ගැන දන්නෙවත් නෑනෙ ඒඩ්න්… ඉතින් කොහොමද එකපාරම අපි යාලුවො වෙන්නෙ…?”

“ඉතින් බ්‍රෝ අපි අඳුනගමු… මට හිතෙනවා අපි දෙන්නා වගේ ජීනියස් ඩබලක් හොඳම යාලුවො වෙන්න වැඩි කල් යන එකක් නෑ කියලා… මොකද කාටවත් අර ජේ.ඩී වගේ මෝඩ් රැලක් දක්කන ටීම් එකක යාලුවෙක් වෙන්න ඕනකමක් නෑනෙ…”

“අන්න ඒ දේට නම් මාත් එකඟයි ඒඩ්න්…” වේඩ් හිනාවෙමින් කිව්වා. ඒ වෙද්දිත් ඒඩ්න් ගැන පොඩි පැහැදීමක් ඔහුට ඇතිවෙලා තිබුණා. ඒ නිසාම වේඩ් ඔහුව තමන්ගෙ කාමරේට එක්කගෙන ගියේ තවදුරටත් කතා කරන්න හිතාගෙන.

“වාව්…! මේක උඹේ කාමරේද බ්‍රෝ…? පට්ට පිලිවෙලයිනෙ ආහ්… කෙල්ලො පරාදයි…” කාමරය වටේට බැල්මක් හෙලන ගමන් ඒඩ්න් කිව්වා.

“විහිලු කරන්නෙපා බං… මේ ටිකේම මගෙ ඔලුව වගේම තමා මගෙ කාමරෙත්… පේනවනෙ හැටි කුණුගොඩ වගේ…” වේඩ් කිව්වෙ ඇඳ උඩයි පුටුව උඩයි තිබ්බ රෙදි ටික බිමට හලන ගමන්.

“හ්ම්ම්… මට තේරෙනවා බ්‍රෝ… මං උනත් එකපාරටම කවුරුහරි මාව මරන්න හදලා මං බේරුණොත් කාලයක් යනකල් උඹ වගේ එලියට බහින්නැතුවම ඉඳයි… හහා…” ඒඩ්න් හයියෙන් හිනාවෙන්න ගත්තා. ඒත් වේඩ්ට නම් ඒ සිදුවීම හිනාවෙන්න තරම් සුළු එකක් නෙමෙයි.

“ඇත්තටම ඒඩ්න්… ඇයි කොලේජ් එකේදි වැඩිය කාත් එක්කවත් කතා නොකරන්නෙ…?” ව්වෙඩ් ඇහුවෙ කතාව වෙනතකට හරවන්න හිතාගෙන.

“උඹලගෙ අම්මට කියපු දේම තමා බ්‍රෝ… මට අනවශ්‍ය පුද්ගලයො එක්ක මගෙ වචන නාස්ති කරන්න මං ආස නෑ… මගෙ ජීවිතේටම මං එහෙම කතා කරලා නෑ වේඩ්…ඕනාවට වඩා මට ඇණයක් වෙන්න ආවොත් අනවශ්‍ය පුද්ගලයන්ව අයින් කරන්නෙ කොහොමද කියලා මං දන්නවා…” ඒඩ්න් ඒක කිව්වෙ ජනේලෙන් එලිය බලාගෙන අමුතුම තාලෙකට කියලා වේඩ් දැක්කා. “ඒ කොහොම උනත් බ්‍රෝ උඹ අනවශ්‍යයි කියලා මගෙ හිතේ තිබ්බ අදහස මං අතෑරියා… උඹත් මං වගේම අනවශ්‍ය දේවල් වලට පැටලෙන්නැති කොල්ලෙක්… මං අන්න ඒකට කැමතියි…” වේඩ්ගෙ පිටට තට්ටුවක් දාන ගමන් ඒඩ්න් කිව්වෙ වේඩ්ගෙ හිතේ තිබ්බ ප්‍රශ්නෙකටත් උත්තරේ දීලමයි.

“අනේ මන්දා ඒඩ්න් උඹව තේරුම් ගන්න නම් ආශ්‍රය කරන්නම වෙනවා… ඒක නෙමෙයි….”

එතැනින් පටන්ගත් ඔවුන්ගේ කතා බහ පැය දෙකක් පමණ ඇදී ගියේ දෙදෙනාව තවත් සමීප මිතුරන් කරමින්. වේඩ්ට, අලුත් මිතුරා ඒඩ්න්ව හිතට අල්ලා තිබුණා. දෙදෙනා අතර කතා බහෙන් තේරුණේ වේඩ් මෙන්ම ඒඩ්න්ද ජේ.ඩීලාට වෛර කරන බවයි. එය වේඩ්ගේ සතුටට හේතුවක් වුනේ තමන් දැන් තනිවම ඔවුන්ට මුහුණ දෙන්නට උවමනාවක් නැති නිසා.

“ඒයි මචෝ උඹ ගේම්ස් ප්ලේ කරනවද..?” එක්වරම ඒඩ්න් ඇහුවෙ වේඩ්ගෙ ප්ලේස්ටේශන් වර්ගයේ වීඩියෝ ගේම් එක පෙන්වමින්.

“ඔව් බං උඹ එද්දිත් මං එකක් ප්ලේ කර කර හිටියෙ…”

“මාත් මෙහෙම හිටියට වීඩියෝ ගේම්ස් චැම්පියන් කෙනෙක් තමයි… ගහමුද එකක්…?” ඒඩ්න්ගෙ ඇස් දෙක ආසාවෙන් දිලිසුණා. වේඩ්ට ඒ බැල්මෙ අමුත්තක් දැනුණත් ඒ ගැන නොතකා වීඩියෝ ගේම්ස් සෙල්ලම් කිරීමට සැරසුණා.

ඇත්තෙන්ම ඒඩ්න් වීඩියෝ ගේම් වලට දක්ශයෙකි. වේඩ්ද ඔහුට නොදෙවනි වුවද ඔහු කීප වතාක්වක්ම වේඩ්ව පරාද කලේ ඉතාම පහසුවෙන්. වේඩ් තබා තිබූ වාර්තා සියල්ලක්ම ඒඩ්න් විසින් බිඳ දැමුවේ වේඩ්ව මහත් පුදුමයට පත් කරමින්.

“ඕකව ඔහොම මරලා බෑ වේඩ්… මෙන්න මං කියන විදිහට යමං… කිසිම සද්දයක් නැතුව යන්නෙ මෙන්න මෙහෙම… ගේම් එකක් කියලා සෙල්ලම් කරන්නෙපා උඹ ඒකෙ ජීවත් වෙයන්… උඹ තමා ඒ චරිතෙ, උඹ තමා එතන වෙන දේවල් වලට මුහුණ දෙන්නෙ… අන්න එතකොට තමා අපේ මොලේට එන්නෙ නියම අදහස්, සැලැසුම් හැම දෙයක්ම…” ඒඩ්න්ගේ කතා බහ වේඩ්ට අමුත්තක් ගෙන ආවා. ඒඩ්න් කතා කරන්නේ සැබෑ මිනිමරුවෙක් වගේ සිතමින්. ඔහු ගේම් එක සෙල්ලම් කලේද ඉතාම සූක්ශමව, ඉවසීමෙනි. මේ සියල්ල දෙස වේඩ් බලා සිටියේ තරමක සැකයකින්.

“ඒක නෙමෙයි ඒඩ්න් උඹ මොනාද හිතන්නෙ මේ කළු කබාකාරයා ගැන…?” වේඩ් එක්වරම ඇහුවෙ හිතට දැනුනු දෙයක් නිසා. ඔහුගේ උකුසු ඇස් තිබුනේ ඒඩ්න්ගේ මුහුණේ හැඟීම් මත.

“මොනා හිතන්නද බ්‍රෝ මිනිහට තියෙන්නෙ මොකක් හරි ලෙඩක්… මං නම් කියන්නෙ මිනිහා මානසික ර්‍රොගියෙක්…” ඒඩ්න් කීවේ රූපවාහිනී තිරය දෙසම බලාගෙනය. තවම ඔහු වීඩියෝ ගේම් එකේය.

“හිතෙන්නෙ නැද්ද මිනිහා පලිගන්න හදනවා කියලා කාගෙන් හරි…? වෙච්ච මිනීමැරුම් එක්ක මිනිහගෙ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද…?” වේඩ්ගේ ප්‍රශ්නය හමුවේ ඒඩ්න් මදක් ගේම් එක නතර කලා.

“සම්බන්ධයක්…? උඹ කියන්නෙ ජේ.ඩීලගෙන් පලිගන්න එකද…? එහෙම බැලුවොත් ජේ.ඩීලට ඉන්න ලොකුම හතුරා උඹනෙ බ්‍රෝ… එතකොට කෙලින්ම සැකේ එන්නෙ උඹයි මිනිමරුවා කියලා…” ඒඩ්න් කියාගෙන ගියේ සැහැල්ලුවෙනි. වේඩ්ගේ මුහුණ වෙනස් වීමට ගියේ තත්පරයකි.

“ම්..මේ..මං…? මං මොකටද උන්ගෙන් පලිගන්නෙ…? මිනිහෙක් මරන්න තියා මට උන් එක්ක රණ්ඩු කරන්නවත් බෑනෙ…”

“ඕකේ බ්‍රෝ කාම් ඩවුන්… මොකෝ මේ බයවෙලා හරියට මං උඹමයි ඒ මිනිමරුවා කිව්වෙ නෑනෙ… අනික තමා කවුද කිව්වෙ උඹට ජේ.ඩී වගේ දෙකයි පණහෙ පඟරයෙක් එක්ක ගහගන්න ශක්තියක් නෑ කියලා…? එතකොට උඹ කොහොමද අර වගේ මිනිමරුවෙක් එක්ක පොරබදලා ජූලියානව බේරගත්තෙ…?” ඒඩ්න්ගේ කතාවට වේඩ් නිරුත්තර උනා. එවෙලේ තමාට ශක්තිය ආවේ තමන් ආදරය කරන ජූලියානාව ආරක්ශා කරගැනීමටය.

“මාව විශ්වාස කරපං වේඩ්… මං හිතන්නෙ මිනීමරුවා උඹව දන්නම එකෙක්… අපේ කොලේජ් එකේ ඉගෙනගන්න එකෙක්… ඌ තරහා ජේ.ඩීලා එක්ක… එක්කො ජූලියානා උන් එක්ක ඉන්නවා දකින්න ඇති… ඒකයි උන් ජූලියානටත් ඇටෑක් කලේ… ඒකෙන් ජේ.ඩීට රිදෙයි කියලා ඌට හිතෙන්න ඇති… උඹව මේකට පැටළුනේ අහම්බෙන්… ඒත් මිනිමරුවා හිතන්න නැතුව ඇති උඹට ඌත් එක්ක හැප්පෙන්න තරම් ශක්තියක් ඇති කියලා… උඹට වඩා ඇඟපත තියෙන බොඩිබිල්ඩර් කෙනෙක් වගේ හිටපු ශෙරීෆ්ව මරලා තියෙන්නෙ හොඳටම ගහලා වගේම කපලා… මට ආරංචි න හැටියට එච්චර මස්ල්ස් තියෙන ශෙරීෆ්ගෙ ඉල ඇට වලට ගහපු පාරවල් වල සැරකමට ඉල ඇට කුඩුවෙලා එක අස්ථියක් හදවතට ඇනිලා… ඒකෙන් තමා මැරිලා තියෙන්නෙ මිනිහා… ඉතින් එච්චර ශක්තියක් තියෙන එකෙක්… මං හිතන්නෙ ඌ ආයෙ උඹට ඇටෑක් කරන එකක් නෑ… ඒත් කෝකටත් පරිස්සමින් හිටපං…”

“ඇයි උඹ එහෙම කියන්නෙ…? නෑ කිව්වට ඌ ආයෙ අපිව මරන්න එයි කියලද හිතන්නෙ…?” වේඩ් ඇහුවෙ බයෙන් වගේ. එදා ඒ මිනිමරුවගෙ ශක්තිය වගේම උමතුව ආයෙඅ සැරයක් මතක් උන නිසා වේඩ්ව වෙව්ලලා ගියා.

“මං මිනිමරුවා උනා නම් ආයෙම ඇවිත් උඹව මරණවා වේඩ්… මොකද කොහෙහරි තැනක අපි ආයෙ හම්බවෙන්න පුලුවන්… එතකොට ශක්තිවන්තයො දෙන්නෙක්ගෙන් කවුරු දිනයිද දන්නෑ… ඒ නිසා කලින්ම උඹව ඉවරයක් කලා නම් මට ප්‍රශ්න නෑ මගෙ පලිගැනීම සම්පූර්ණ කරගන්න…” ඒඩ්න් ඒ ටික කියද්දි ඔහූගේ මුහුණේ තිබුණු වියරු පෙනුම වේඩ්ගේ සිත තුලට සැකයක් මෙන්ම බියක්ද ඇතුල් කිරීමට සමත් උනා. හරියට මිනීමරුවා තමන් ඉස්සරහ ඉඳන් කතා කරනවා වගේ ඔහුට දැනුනෙ.

“හම්මෝ උඹ හරියට කතා කරන්නෙ උඹ මිනීමරුවා වගේනෙ… මට වෙලාවකට හිතෙනවා ගේම් එකේ උඹ අරුන්ව මරණ විදිහට ඇත්තටම උඹ මිනිමරුවෙක් උනා නම් උඹත් පට්ට දක්ශ වැඩකාරයෙක් වෙයි කියලා…” වේඩ් කීවේ සිනාසෙමින්.

“හහා… ගේම් කියන්නෙ අපේ මොලේ විකෘති කරන දෙයක් වගේම මොලේ වැඩි දියුණු කරන දෙයක් යාලුවා… ගේම් වලින් අපිට තර්කානුකූලව, සැලැස්මකට අනුව හිතන්න උගන්වනවා… ඒකයි උඹයි මමයි කොලේජ් එකේ වැඩ්ඩො දෙන්නෙක් වෙලා ඉන්නෙ…” ඇසක් ඉඟිමරමින් පැවසූ ඒඩ්න් නැඟිට්ටා.

“උඹ යන්නද හදන්නෙ…?”

“ඔව් බ්‍රෝ… සයිලන්ස් උනත් මට එක තැනක වැඩි වෙලාවක් ඉන්න බෑ… හහා… මම යන්න ඕනෙ දැන් අඳුර වැටෙන්නත් ලඟයි වේඩ්… සීත කාලෙ පටන් ගන්න නිසා ඉක්මණින් රෑ වෙනවනෙ මෙහෙට… මං ගිහින් එන්නම්… වැස්සොත් එහෙම ඉවරයි…” ඒඩ්න් පැවසුවේ ජනේලෙන් එලිය බලලා. ඔහු තමන්ගේ කලු පැහැති ජැකට්ටුව පැලඳ ගත්තා. “එහෙනම් මං ගිහින් එන්නම් බ්‍රෝ… කොලේජ් එකේදි අපි ආයෙ හම්බවෙමු… ඒ වෙද්දි ජේ.ඩීලගෙ බලය නැති වෙලාම තියෙයි… අපි දෙන්නා රජ කරමු ඊටපස්සෙ හහා…”

ඒඩ්න්ට සමුදුන් වේඩ් කල්පනා කලේ ඔහු පැවසූ සියලුම වදන් ගැනයි. ඔහුට ඒඩ්න් ගැන දැනී තිබුණු සැකය තවත් වැඩිවුනේ අන්තිමට ඔහු කියූ කතාව නිසාය. ‘ජේ.ඩීලගෙ බලය නැතිවෙලාම තියෙයි…’ ඔව් සමහරවිට තමාට වඩා කුමක් හෝ වෛරයක් ජේ.ඩී සමඟ ඒඩ්න්ට තිබෙන්නට පුලුවන. තමාට වඩා ඒඩ්න් ශක්තිමත් තරුණයෙකි. ඔහුගේ බුද්ධි මට්ටමද ඉතාම ඉහළය. එසේනම් ඔහුද කළු කබාකරු….?
***************************************************************************

පාළුවට ගිය මාවතේ වේගයෙන් දිව යන තරුණයකි. හැඳ සිටි ඇඳුමේ හැටියට ඔහු කාත් සමඟ හෝ පොර බදා ඇත. හැඳ සිටි ටී ශර්ටය ඉරී ඇත. මුහුණේ කැපුම් තුවාලයකින් තවමත් ලේ ගලමින් තිබුණු අතර පිටෙහිද වූයේ දිගු කැපුමකි. දිව යන ගමන් ඔහු කාට හෝ දුරකථන ඇමතුමක් ගන්නට විය. නමුත් මධ්‍යම රාත්‍රියද එලඹ තිබුනෙන් එහා පසින් ඇමතුමට සම්බන්ධ වෙන්නට කෙනෙක් නැතිවා වගේය. තරුණයා උත්සාහය අතහැරියේ නැත. නැවත නැවත එම අංකයට ඇමතුම් ගන්නට විය. අවසානයේදී ඔහුගේ වාසනාවට එය සම්බන්ධ විය.

“හෙලෝ…” අනෙක් පසින් සම්බන්ධ විය.

“හෙ…හහ්.. හහ්.. හෙහ්…ලෝ…. ජේ…හ්…ඩී…. ම…හ්…ම… ආ…හ්….!” හති දමමින් කතා කරන්නට හැදුවද අවාසනාවකි තරුණයා බිම ඇඳ වැටුණි. ජංගම දුරකථනය තරමක් දුරකට විසිවී ගියේය. අමාරුවෙන් කෙඳිරි ගාමින් නැගිටින්නට හැදුවා පමණි කවුරුන් හෝ පිටුපසින් තද යමකින් ඔහුගේ හිසට පහර දුනි. පහරේ සැරකමට ඔහුගේ හිසට අකුණු දහසක් කෙටුවාක් මෙන් වේදනාවක් දැනුනු අතර නැවතත් බිම ඇද වැටුණි.

“හෙලෝ… හෙලෝ…. ශෝන්… ශෝන්….? කතා කරපං බං… හෙලෝ…”

විසිවුන දුරකථනයෙන් එහා පසින් කවුරුන් හෝ කතා කලත් තරුණයාට කතා කිරීමට තබා කෙඳිරි ගෑමටවත් බැරි තරම් ඔහුගේ හඩ අතුරුදන්ව තිබුණි. නමුත් බොඳවී යමින් තිබුනු දෑස් ඉදිරියට ආවේ කළු බූට් සපත්තු දෙකකි. කලු අත්වැසුම් පැලඳ සිටි අතකින් ජංගම දුරකථනය අතට ගත් පුද්ගලයෙක් එයට උත්තර දුන්නේය.

“ශෝන් මැරිලා…” ගොරෝසු කටහඬකි එපමණය ඇමතුම විසන්ධි විය.

නැවතත් එම කළු බූට් දෙක තරුණයා අසළට ආ අතර වේගවත් බේස්බෝල් පිත්තකින් ඔහුගේ මුහුණ මැදටම පහරක් වැදුණේ බොඳවී යමින් තිබුණු දෑස් අන්ධකාරයෙන් වැසී යද්දිය.
**************************************************************************

තමා වටා මුළු ලොවම වේගයෙන් කැරකෙන්නාක් මෙන් දැනෙද්දී එකට ඇලවී ඇති දෑස් අපහසුවෙන් විවෘත කල ශෝන් නම් තරුණයා වේදනාවෙන් පුපුරු ගසන හිස අමාරුවෙන් එසෙව්වේය. ඔහු ඉදිරියේ තිබුණේ ඝන අන්ධකාරයකි. බෙල්ල හැරවීමට අමාරු වුවත් ඔහු වටේම දෑස් කරකවා බැලුවද ඔහු වටා සියල්ල අඳුරුය. ඔහුගේ අතපය සෙලවීමටවත් නොහැකි වන සේ පුටුවකට තබා බැඳ තිබුණි. සෙලවෙන්නට හැදුවද ඔහුට එය කල නොහැකි විය.

“ඇහැරුණාද…?” ඔහුගේ ඉදිරියෙන් ඇසුණේ ගොරහැඬි කටහඬකි. බර අඩි තබමින් කවුරුන් හෝ ඔහු ලඟට ආවේය.

“ක්..වු..ද උඹ…?” ශෝන් අපහසුවෙන් කතා කලේය.

“මාරයා…!” කෙටි පිළිතුරකි.

ඊලඟට ශෝන් ඉදිරියෙන් යම්කිසි ආලෝකයක් දැල්විණි. ඒ ඉටිපන්දමක් බව ඔහු දුටුවේය. එයට උඩින් සුදු රෙද්දකින් වසා යමක් බිත්තියක එල්ලා තිබුණි. කුමක් හෝ පින්තූරයක් විය හැකි බව ශෝන්ට සිතුණු අතර කළු පැහැති රුවක් ඒ පින්තූරය අසළ සිටගත්තේය. දෙවියනේ…! තමාව හඹා ආ මාරයා… අත්භූත කළු කබාකරු ඔහු ඉදිරියේ සිටගෙන සිටියේ තියුණු අත් පොරොවක්ද අතැතිවයි.

“උඹ…? උඹ ඇයි අපිට මෙහෙම කරන්නෙ…? අපි මොකක්ද උඹට කරපු වරද…? ඇයි මගෙ යාලුවන්ව මැරුවෙ උඹ…? මොකක්ද අපිත් එක්ක උඹට තියෙන හතුරුකම…? කියපං… උත්තර දීලම මාව මරලා දාපං කාලකන්නි පව්කාරයා..!!!” ශෝන් තම සිරුරේ තිබූ සියලුම ශක්තිය යොදාගෙන දඟලමින් උමතුවෙන් මෙන් කෑගැසුවේය. මරණය තමාට අනිවාර්‍යෙන් ලඟාවෙන බව මේ වන විට හොඳින්ම දැන සිටියේය. නමුත් කළු කබාකරු නිහඬවම ඔහු ඉදිරියේ වූ පින්තූරය වසා ඇති රෙද්ද ඉවත් කලේය.

“මො… මො..ක..ක්….??? මේ… මේ ඉන්නේ…. එතකොට උඹ…..” එම පින්තූරයේ සිටි රුව දැකීමෙන් ශෝන්ගේ දෑස් පුදුමයෙන් මෙන්ම භීතියෙන් විසල් විණි. අතීතය තමා හමුවට මාරයාගේ වෙස් වලාගෙන පැමිණ ඇත. දැන් තමාට ගැලවීමක් කොහෙත්ම නැති බව ඔහුට තේරී ගොස් ඉවරය. මේ ඉන්නේ මීට මාස කීපයකට පෙර….

“මැරියන්…!!!”

නැත… ශෝන් ඉතිරිය සිතීමට තරම් වාසනාවන්තයෙකු නොවීය. වේගයෙන් ඇදී ආ තියුණු අත් පොරොවක් ඔහුගේ හිස දෙබෑ වන ලෙස වැදුණු අතර තත්පර දෙක තුනකදී ඔහුගේ ප්‍රාණය නිරුද්ධ හිස පහතට කඩා වැටුණි.

පින්තූරයේ සිටි පුද්ගලයාගේ මුවේ ඇඳී තිබුණේ අවිහිංසක සිණහවකි.

**********************************************************************

ඊලඟ කොටසට…

පින්තූරයේ සිටියේ කවුරුන්ද…? ඇත්තටම කළු කබාකරුගේ පලිගැනීම කුමක්ද…? මීලඟ ගොදුර කවුරුන් විය හැකිද…?

තව කොටස් දෙකකින් විතර මේක ඉවර වෙයි යාලුවෙ. මහ ගොඩක් දිගට කතාව අරන් යන්න හිතක් නෑ. දිගටම රැඳෙන්න මාත් එක්ක. කතාවට ප්‍රතිචාර නම් අඩුයි. කියවලා ලයික් එකක් දාගෙන යමල්ලා කොල්ලගෙ හිත හැදෙන්නවත්. ?

? Lone Wolf ?

3 thoughts on “?උන්මන්තකයා?| 07 කොටස | හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.