Katha Ahura

ඔබ මට හිමි වේ නම් | 14 කොටස | නවකතාව

කතාව කොහොමද?

…………………..14 වෙනි කොටස ………….

මම ගෙදර ආවෙ යක්කු දෙතුන් දෙනෙක් කන්න පට්ට බඩගිනි වෙලා.. ත්‍රීවිල් අයියගෙ වැඩෙත් ශේප් වෙච්ච නිසා මම ගෙදර යනගමන් සංසලාට කෝල් එකක් ගත්තෙ ප්‍රශ්නෙ විසඳුනාට පස්සෙ එයාට මතක ඇතුව කෝල් එකක් දෙන්න කියපු නිසා.. ඒත් ඊට පස්සෙ මම සංසලා එක්ක කවදාවත් කතා කරන්නෙ නැද්ද.. සංසලා මට කවදාවත් කෝල් කරන එකක් නැද්ද.. අනේ මන්දා.. සංසලා මට ආදරය කරනවද නැද්ද..? මම එයාට ආදරේ කරනවා කියලා සංසලා දන්නවද..? මගේ මොලේ විකාර වෙන තරමටම ප්‍රශ්න ගොඩකින් පිරිලා.. සංසලා දැක්ක දවසෙ ඉඳලා මගේ හිතේ ප්‍රශ්න නැති දවසක් නෑ.. මේක මගේ වැරැද්දද.. නැත්නම් මම පරක්කු වැඩියිද.. සංසලාට මෙච්චර ඉක්මනට මම ආදරෙයි කියලා කිව්වොත් ඒක ප්‍රශ්නයක්.. තව ටිකක් ආශ්‍රය කරලම කියන්න ඕනි.. දැන් නම් මගේ ඔලුව යකාගෙ කම්මල වගේ වෙලයි තියෙන්නෙ..

“හෙලෝ….. මාව ඇහෙන්නෙ නැද්ද..?”

සංසලා ෆෝන් එක උස්සලත් ඉවරයි.. යකෝ මේ කෙල්ල මෙච්චර වෙලා මාත් එක්ක කතා කරලද.. මම හිටියෙ වෙනම ලෝකෙකනේ.. ෂිහ්…. ධමියා කියනවා වගේ මට පිස්සු තමයි..

“හලෝ සංසලා නංගි..”

“ඇයි අනේ ඔයා කෝල් එකක් දීලා කතා නොකර හිටියෙ.. මම හිතුවා ෆෝන් එක සාක්කුවෙ දාගෙන ඉන්නකොට වැරදිලා ඩයල් වෙලාවත්ද කියලා..”

“ආ.. නෑ නංගි මම ඔයාට කෝල් එකක් ගත්තා..”

“ඉතින් මම මෙච්චර වෙලා හෙලෝ හෙලෝ කියලත් ඔයා කතා කලේ නැහැනේ අනේ..”

දැන් දීපන්කො උත්තර.. මොකක්ද කියන්නෙ.. ඔයා ගැන කල්පනා කරලා පිස්සු හැදිලා කියලා කියන්නද..

“මමත් කතා කලානේ අනේ.. ඇහුනෙ නැද්ද..?”

සංසලාට මම කියපු මුල්ම බොරුව ඒක තමයි.. වෙලාවෙ හැටියට අකමැත්තෙන් උනත් මට ඒ දේ කරන්න වුණා..

“ආ… එහෙනම් සිග්නල් අවුලක් වෙන්න ඇති කියලා.. ඒත් මම හිතුවෙ අයියගෙ කනේ අවුලක්වත්ද කියලා..”

එහෙම කියලා සංසලා මහ හයියෙන් හිනාවෙන්න ගත්තා.. මටත් බකස් ගාලා හිනාවක් ගියේ සංසලා කියපු දේට.. ඇත්තටම සංසලා හරිම සැහැල්ලුවෙන් ජීවත්වෙන කෙනෙක් වගේ.. යකෝ මටනේ ඔය විදියට ආතල් කීතල් එකේ ඉන්න බැරි..

“ආහ්.. මම එච්චර වයසට ගිහිල්ලා නෑ හරිද.. මම මේ නංගිට කතා කලේ මොකද කියලා දන්නවද..?”

“දැනගන්න ඉතින් අයියා කියන්න එපැයි..”

“හ්ම්.. ඒකත් ඇත්ත තමා.. මම මේ කියන්න හැදුවෙ අද මම අර ත්‍රීවිල් පාක් එකේ අවුල විසඳගත්තා කියලා..”

“අනේ ඒක නම් කොච්චර දෙයක්ද අයියෙ..”

සංසලා ලොකු හුස්මක් අරගෙන පිට කරනවා මට හොඳටම දැනුණා..

“එයාලා අපි හිතපු තරම් නරක අය නෙමෙයි නංගා.. ගොඩක් හොඳ කොල්ලො වගයක්..”

“ඒත් මිනිස්සු මොන වගේද කියලා අපිට හරියටම කියන්න බැහැනේ අයියෙ.. ඔයාගෙ අතින් වරදක් උනා.. ඉතින් ඔයා ඒකට සමාව ගත්තු එක ගොඩක් හොඳයි නේද..”

“ඒක ඇත්ත නංගා..”

“අයියෙ මම මේ ඇඟ සෝදන ගමන් හිටියෙ.. එහෙනම් මම තියන්නම්.. බුදු සරණයි!”

“හරි නංගා.. ඔයාටත් බුදු සරණයි..!”

අනේ සංසලා ආයෙම මට කතා කරන එකක් නැද්ද දන්නෙ නෑ..

“සංසලා නංගි…….”

“ඇයි අයියෙ…?”

“නෑ නංගි.. ඔයා ගෙදර ඇවිත් ඇඟ සෝදනවත් එක්ක.. මම මේ තාම ගෙදර යනගමන්..”

“ආහ්.. එහෙනම් ඉක්මනට ගෙදර යන්න අයියා.. බායි..”

“බායි නංගි..”

මම අහන්න ගියේ වෙන දෙයක් උනත් මට ඒ දේ කියාගන්න බය හිතුණා.. අනේ ඇත්තටම සංසලා නංගි ආයෙම මට කතා කරන එකක් නැද්ද දන්නෙ නෑ.. කමක් නෑ එහෙම උනොත් මම එයාට කෝල් කරනවා.. ඒත් ඒක එයාට කරදරයක් උනොත්.. ඔන්න මගේ ප්‍රශ්න ගොඩට තවත් ප්‍රශ්නයක් එකතු උනා.. මේ ප්‍රශ්න වලින් කවදා මට ගැලවීමක් ලැබෙයිද දන්නෙ නෑ.. හ්ම්……….. ආදරේ කියන්නෙ ඇත්තටම වේදනාවක් විතරයි.. එක එකාට එක එක ප්‍රශ්න තියෙන්නෙ.. මට ආදරෙයි කියාගන්න බැරිවනේ දුක් විඳින්නෙ… ෂීහ්..

තව පොඩ්ඩෙන් කල්පනාවෙන් කල්පනාවෙන් මම ගෙදරත් පහු කරගෙන යනවා..

“අම්මේ.. මට බඩගිනියෝ…”

“ආ.. පුතා ආවද..?”

“ඔව් අම්මෙ.. මම මූණ කට සෝඳගෙන එන්නම්..”

එහෙම කියලා මම නාන කාමරය පැත්තට ගියේ මූණ කට පොඩ්ඩක් සෝඳගෙන බඩට මොනා හරි හලා ගන්න.. ඒ තරම් ලොකු බඩගින්නක මම හිටියෙ..

දවස් ගාණක් ගෙවිලා ගියේ ඇඟටත් නොදැනිම.. සංසලා ආයෙම මට කතා කරන එකක් නැහැයි කියලා හිතුවට ඒක එහෙම උනේ නෑ.. එයා හැමදාම රෑට මාත් එක්ක කතා කලා.. ඒ වගේම දවසෙ නිදහසක් තියෙන හැම වෙලාවකමත් එයා මට කතා කලා.. ඒත් මට කතා කරපු එක වෙලාවකවත් එයාට ආදරෙයි කියාගන්න බැරි උනා.. කෙල්ලෙක්ට ආදරේ ප්‍රකාශ කරගන්න තරම්වත් මට හයියක් නැති එක ගැන මම ඇත්තටම ගොඩක් කණගාටු උනා.. ඒත් මම ඉක්මන් උනොත් මට සංසලා නැතිවෙයි කියලා හැම වෙලාවෙම මගේ හිතට දැනුණා.. ඒත් මම පරක්කු උනත් සංසලා මට නැතිවෙනවා කියලා මම දන්නවා.. ෆෝන් එකෙන් ආදරෙයි කියන්න බෑ.. මට සංසලාව මුණ ගැහිලා එයාට ආදරෙයි කියලා කියන්න ඕන.. ඒ නිසාම මම පෙරේදා රෑ එයා කෝල් කරපු වෙලාවක එයාව මුණගැහෙන්න දවසක් දාගත්තා.. එයාට පුළුවන් කිව්වෙ අද.. ඒ නිසා මම උදේම නැගිටලා නාගෙන ඇඳ පැළද ගත්තෙ එයාව මුණගැහෙන්න යන්න..

අද නම් මගේ හිතේ තියෙන ආදරේ සංසලාට කියනවාමයි.. නැත්නම් මේක මගේ හිතට ලොකු වදයක්.. මම දන්නවා තව දුරටත් මේක හිතේ තියාගෙන දුක් වින්දොත් මට සංසලා නැති වෙනවා.. ඒ වගේම විභාගෙටත් කෙලවෙලා යනවා.. හැම දෙයක්ම හිතේ හිර කරගෙන මම පඩිපෙල බැස්සෙ අම්මටත් හීනියට බොරුවක් කියලා ගෙදරින් පැනගන්න.. වෙලාවට අද අපේ එවුන් එකෙක්වත් නෑ.. හිටියා නම් සංසලාව බලන්න යන්න වෙන්නෙ නෑ.. මුන් ටික එනවනේ පස්සෙන්..

“අයියෙ මේ කොහෙ යන්නද අනේ උදෙන්ම..”

අම්මට කලින් මූණට මුලිච්චි උනේ අපේ නංගියා.. දැන් යකෝ මේකිට මොනවද කියන්නෙ.. මෙයාට බොරු කියලා බෑ.. අද කාලෙ එවුන් ලේසියෙන් රවට්ටන්න බැරි බව මම දන්නවා.. මේකි මට වඩා අවුරුද්දක් දෙකක් බාල උනාට මට වඩා පැහිලා කියලත් මම දන්නවා.. ඒක නිසා මම ෂේප් එකේ කතාවට වැටුණා..

“මෙහෙ එනවකො කේස් එක කියන්න..”

“මොකද අනේ අද අයියා ලොකු සතුටකින්..”

“හ්ම්.. එහෙම තමයි.. ඔයා දන්නවනේ සංසලා..”

“ආ.. දන්නවා දන්නවා.. අර ඔයාගේ…………….”

එහෙම කියනකොට මම නංගිගෙ කට අතින් වහගත්තා.. ඒ අම්මට ඇහුනොත් වැඩේ අල වෙන නිසා..

“කට කට…. එයා තමයි.. ඉතින් මම අද එයාව මීට් වෙන්න යනවා.. ඔන්න ඔයාට විතරයි කිව්වෙ..”

“වෝව්…. ඔන්න අයියෙ එහෙනම් මගෙන් සුභපැතුම්..”

“එල එල.. මම කැපුණා..”

“අම්මේ……………………….”

මම අම්මට කතා කලේ නොකිය ගියොත් තවත් ලෙඩක් වැටෙන නිසා..

“ආ…… උදේම මේ කොහෙ යන්නද ලෑස්තිවෙලා ඉන්නෙ..?”

“අම්මෙ අද යාළුවෙක්ගෙ ගෙදරක පොඩි පාටියක් තියෙනවා.. ඒක නිසා මම පොඩ්ඩක් ඔලුව දාලා එන්නම්..”

“කොයි යාලුවෙක්ගෙද..?”

“අම්මා එයාව දන්නෙ නෑ කිව්වට.. මම පැය හතර පහකින් එනවා.. පරක්කුයි.. මම යනවා අම්මා..”

“බුදුසරණයි!!”

අම්මටත් බොරුවක් කියලා මම ඉක්මනට එළියට බැස්සෙ සංසලා බලනකන් මට ඉවසිල්ලක් නොවුන නිසා..

මම සංසලාට එන්න කිව්වෙ සක්යා ගාඩ්න් එකට.. ඒක සක්යා හෝටලේට අයිති එකක්.. අපේ පැත්තෙ තියෙන ලස්සනම හෝටලේ ඒක තමයි.. මම එතනට යද්දි සංසලා ඇවිත් එතන තිබුණ බංකුවක් උඩින් වාඩි වෙලා හිටියා.. යකෝ ඒ කියන්නෙ මම පරක්කුයි කියලා නේද.. ෂිහ්.. මට එක වැඩක්වත් හරියට කරන්න බෑනේ..

මම සංසලා ළඟට කිට්ටු උනේ ටිකක් බයෙන් වගේ.. යකෝ සංසලා එක්ක කොච්චර කතා කලත් මේ හිතේ තියෙන බය යන්නෙම නෑනේ.. ෂිහ්..

“සංසලා නංගි…. සොරි පරක්කු උනාට..”

“හි.. හි.. ඔයා පරක්කු නැහැ අයියෙ.. මම ටිකක් කලින් ආවා..”

“මම හිතුවා මං පරක්කු වෙලා කියලා.. ඉතින් සංසලා නංගි කොහොමද..?”

“හොඳින් ඉන්නවා අයියා.. ඉතින් ඔයා මට එන්න කිව්වෙ..?”

දැන් දීපන්කො උත්තර..

“මෙ… මෙ.. මේකයි නංගි.. එන්නකො මුලින් අපි මොනා හරි බොන ගමන්ම කතා කරමු..”

ඇත්තටම මම ගොඩක් බය වෙලා හිටියෙ.. මම මේ ජීවිතේ මුල්ම දවස ගෑණු ළමයෙක්ට ආදරෙයි කියන.. මීට කලින් මම කවදාවත් කෙල්ලෙකුට ආදරේ කරලත් නෑ.. ආදරේ ප්‍රකාශ කරලත් නෑ.. ඒ හින්දම මගේ හිතට ලොකු බයක් දැනුණා.. අනේ මන්දා හැම කොල්ලටමත් එහෙමද කියලා.. මම සංසලාටත් කතා කරගෙන ටේබල් එකකට ගියේ මොනවා හරි බොන ගමන්ම කතාවට ෂේප් එකේ බහින්න.. ආපු ගමන්ම කියන්න ගියොත් වැඩේ අල වෙයිදෝ කියලා මට තවත් බයක් දැනුණා..

“සංසලා නංගි මොනවද කන්නෙ..? මොනවද බොන්නෙ..?”

“අනේ කන්න නම් බෑ අයියෙ.. මම ගෙදරින් එනකොට කාලා ආවෙ.. ඔයා කැමති දෙයක් බොමු..”

“හ්ම්.. එහෙනම් ඔරෙන්ජ් ජූස් දෙකක් බොමු..”

“හ්ම්.. අයියෙ මට ඉක්මනට යන්නත් ඕනි.. අම්මට කිව්වෙ යාළුවෙක්ගෙ ගෙදර යනවා කියලා නෝට් ටිකක් ඉල්ලගෙන එන්න..”

“ආහ්.. ඉතිං නංගි යනකොට දැන් කොහොමද නෝට් ඉල්ලගෙන යන්නෙ..”

“ආ.. මම එනකොට මේ බෑග් එකේ නෝට් ටික දාගෙන ආවා.. ඒක මම පෙරේදා යාළුවෙක්ගෙන් ඉල්ලගත්තු නෝට් වගයක්.. අම්මා ඒක දන්නෙ නෑ.. ඒ ගැන ඇහුවොත් පෙන්නනවා.. අම්මා මං ගැන දන්න නිසා එච්චර හොයන්නෙ නැහැ අයියෙ..”

යකෝ අන්න මොල.. අපිට හොර වැඩක් කරනකොට ඔය වගේ දේවල් මතක් වෙන්නෙ නෑනේ.. කොයි වෙලාවෙත් නැට්ටෙ ඉඳලා ගොම ගාගන්න එකනේ කරන්නෙ..

“හ්ම්.. නියම මොළයක්නේ තියෙන්නෙ නංගිට..”

“තෑන්ක්ස් අනේ.. ඉතින් අයියෙ.. මට එන්නෙ කිව්ව කාරණාව කිව්වෙ නැහැනේ තාම..”

“එන්න කිව්වෙද..?”

“හ්ම්ම්ම්ම්….”

“මට නංගිව නොදැක ඉන්න බැරි නිසා….”

එහෙම කිව්වාම සංසලා මගේ දිහා බලලා අහිංසක විදියට හිනා උනා.. ඒත් මම කල්පනා කලේ සංසලා නංගිට මේක කියන්නෙ කොහොමද. කතාව පටන් ගන්නෙ කොහොමද කියලා..

“නංගි……”

“ඇයි අයියා….”

“මට නංගිට දෙයක් කියන්න තියෙනවා.. ඒත් ඔයා ඒකට සමහර විට අකමැති වෙන්නත් පුළුවන්.. හැබැයි මට නංගි පොරොන්දුවක් වෙනවද ඔයා ඒ දේට අකමැති උනත් මාත් එක්ක තරහා වෙන්නෙ නෑ කියලා..”

“ඉතින් කියන්නකො අයියෙ බලන්න..”

සංසලා මගේ දිහා බල බල හිනාවෙන ගමන් එහෙම කියනකොට ඇත්තටම මට ලොකු ලැජ්ජාවක් ඇති උනා.. ඇයි එයා මගේ දිහා බල බල හිනාවෙන්නෙ.. මම බීම විදුරුවෙන් මගේ දිහා ෂේප් එකේ බැලුවෙ මූණෙ මොකක් හරි අවුලක්වත් වෙලාද කියලා.. මොක උනත් කමක් නෑ කියලා මම කෙලින්ම බිම බලාගෙන කතාවට බැස්සා.. මොකද මට සංසලා නංගිගෙ මූණ දිහා බලාගෙන කතා කරන්න ලැජ්ජාවක් දැනුණ නිසා.. ඒත් ඒක ලැජ්ජ වෙන්න කාරණයක් නෙමෙයි කියලා මම දන්නවා.. ඒත් මම කෙනෙක්ට ආදරේ ප්‍රකාශ කරන මුල්ම වතාව නිසා එහෙම වෙන්න ඇති කියලා මට හිතුණා..

“නංගි… මම මේක කියන්නෙ කොහොමද කියලා තේරෙන්නෙ නෑ.. ඒත් මට මේක ඔයාට නොකිය තවත් හිතේ හිර කරගෙන ඉඳලා දුක් විඳින්න බෑ..”

මම ටික වෙලාවකට කතාව නවත්තලා සංසලාගෙ මූණට එබිලා බැලුවා.. ඒ ඇස් දෙක මගේ දිහාටම යොමු වෙලා තිබුණා.. ඒත් මම ආයෙම බිම බලාගෙන කතාව පටන් ගත්තෙ එයාගෙ මූණ බලාගෙන මට ඒ දේ කියාගන්න බැරි නිසා..

“න… නංගි ම.. මම ඔයාට ආදරෙයි…”

මම සංසලා නංගිට මුල ඉඳන්ම කතාව කියන්න හිටියත් මටත් නොදැනිම ආදරෙයි කියන වචනය මගේ කටින් පිට උනා.. ගහෙන් ගෙඩි එන්න වගේ ආදරේ ප්‍රකාශ කරලා මම කලේ වැරැද්දක්දෝ කියලා මගේ හිතට ලොකු බයක් දැනුණා.. මම මගේ ආදරේ ප්‍රකාශ කාලට මම හිටියෙ සංසලා නංගිගෙ මූණ බලාගෙන නෙමෙයි.. මම හෙමින් එයාගෙ මූණට එබෙන්න ගත්තෙ එයාගෙ මූණෙ මොන වගේ ඉරියව්වක් ඇඳිලා තියෙද බලන්න ඕන නිසායි.. ඒත් එයා හරිම සැහැල්ලුවෙන් මගේ දිහා බලාගෙන හිටියෙ ලස්සන හිනාවකුත් මූණෙ ඇඳගෙන.. ඉතින් නංගි.. මේ ඔයාගෙ වාරය.. මට ආදරේද නැද්ද කියලා කියන්න ඔයාට පුළුවන්.. එහෙම හිතින් හිතාගෙන මම සංසලා නංගි දිහා බැලුවා..

“මම දන්නවා අයියෙ ඔයා මට ආදරේ කරනවා කියලා.. ඒක කියන්න ඕන නෑ.. මමත් ඔයාට ආදරේ කළා.. ඒත් මෑතක ඉඳන්.. මම ඔයා ගැන කලින් හිතාගෙන හිටියෙ වැරදි විදියට.. ඔයා වළිවලට යන කෙනෙක්.. ඒ වගේම නරක කෙනෙක් කියලා.. ඒත් ඔයා කවුද කියලා මම දැනගත්තෙ හුඟක් පරක්කු වෙලා.. මම බයෙන් හිටියෙ අයියව මට නැතිවෙයි කියලා.. ඒකයි මම හැමදාම රෑට ඔයාට කෝල් කලේ.. ඔයා පෙරේදා මාව මුණගැහෙන්න ඕන කියනකොට මම දැනගෙන උන්නා ඔයා මට අද ආදරෙයි කියයි කියලා.. පෙරේදා ඉඳන් මම හුඟක්ම සතුටින් හිටියෙ ඒකයි.. ඇත්තටම මමත් ඔයාට ගොඩක් ආදරෙයි අයියෙ.. මීට කලින් මම කාටවත් ආදරේ කරලා නෑ.. ඔයයි මගේ මුල්ම ආදරේ..”

මට මාවම අදහාගන්න බැරිව ගියා.. මගේ මේ ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවස අද තමා.. ඇත්තටම සංසලාට ආදරේ කරන්න පටන්ගත්තු දවසෙ ඉඳලා මගේ හිත ප්‍රශ්න වැලක පැටලිලා තිබුණේ.. ඒත් අද…. ඒත් අද ඔයාව මට ලැබුණා.. දැන් ඔයා මගේ පැටියො.. මම ඔයාව මගේ පණටත් වැඩියෙන් රැක ගන්නවා.. සතුට වැඩි කමටදෝ මටත් නොදැනිම මගේ ඇස් දෙකෙන් කඳුළු බිංදු දෙකක් පහළට ගලාගනෙ ගියා..

“අනේ ඇයි අයියෙ මේ අඩන්නෙ..? මගේ අතින් වැරදි දෙයක්වත් කියවුණාද..?”

“මිනිස්සු අඩන්නෙ දුකට විතරද පැටියො..? ඇයි සතුටට අඬන අය දැකලා නැද්ද..”

“එතකොට ඔයා ඔය අඩන්නෙ සතුටටද..?”

“ඔව් බබෝ.. සතුටට.. ඇත්තටම ඔයාට ගොඩක් පින්.. මේ පිස්සු කොල්ලට ආදරේ කරනවට.. මම ගොඩක් බයෙන් හිටියෙ ඔයා මට අකමැති වෙයිදෝ කියලා.. නංගි කලින් කිව්වා වගේම මගෙත් මුල්ම ආදරේ ඔයා තමයි.. මේ ජීවිත කාලෙදි ඔයාට ඇරෙන්න මම වෙන කාටවත් ආදරේ කරලා නැහැ.. ආදරේ කරන්නෙත් නැහැ.. ඒක මම ඔයාට වෙන පොරොන්දුවක්..”

“මට පින් ඕන නෑ අයියෙ.. අනිත් එක ඇයි ඔයා බයෙන් හිටියෙ මම අකමැති වෙයි කියලා..?”

“සමහර විට ඔයා වෙන කෙනෙකුට ආදරේ කලා නම්.. ඔයා මට නැති වෙනවනේ..”

“අනේ ඉතින් එදා මං ඔයාට කිව්වනේ.. මට එහෙම කෙනෙක් නෑ කියලා..”

“හ්ම්.. ඒ වෙලාවෙ තමයි මගේ හිතේ තිබුණ බය නැති උනේ ටිකක් හරි.. දැන් නම් බය වෙන්න ඕනි නෑ.. දැන් ඔයා මගේනේ..”

“ඔව්.. ඔයාගෙම විතරයි..”

කතාවෙන් කතාව අපිටත් නොදැනිම කාලය ගෙවිලා ගියා.. ඔරලෝසුව දිහා බැලුවාමයි දැක්කෙ ඇපි ඇවිත් පැය තුනකටත් ලං වෙන්න ඇවිත් කියලා.. සංසලා නංගිට ගෙදර යන්න ඕන වෙච්ච නිසා අපි දෙන්නට අකමැත්තෙන් උනත් වෙන් වෙන්න සිද්ධ උනා.. ඒ ආයෙම දවසක මේ විදියට හමුවෙන්න බලාපොරොත්තුවෙන්.. සංසලා නංගිව පාර පැත්තට මුලින්ම යවලා මම එයාගෙ පස්සෙන් ගියේ අපි දෙන්නා එකට යනවා එයාගෙ යාළුවෙක් හරි දැක්කොත් එයාට හොඳ නැති නිසා..

“පැටියෝ……………”

“ඇයි අයියෙ..?”

“අපි ආයෙම කවදද මීට් වෙන්නෙ..?”

“පුළුවන් ඉක්මනට…… මම ඉතින් ඔයාට හැම වෙලාවෙම කෝල් කරනවනේ.. මීට් වෙන්න චාන්ස් එකක් ලැබුන ගමන් මම ඔයාට කියන්නම්..”

“හ්ම්.. එහෙනම් පරිස්සමින් ගෙදර යන්න.. ඔයා ගෙදර ගියපු ගමන්ම මට කෝල් එකක් දෙන්න.. බුදු සරණයි!”

“ඔයාටත් බුදු සරණයි අයියා.. මම ගෙදර ගිහින් කෝල් කරන්නම්කො..”

“බායි..”

සංසලත් මට අත වනලා බස් හෝල්ට් එකට ඉක්මන් ගමනින් ගියා.. බස් හෝල්ට් එක තිබුණෙ හෝටලේට වැඩි ඈතක නෙමෙයි.. ඒ නිසා මම හෝටලේ ගේට්ටුව ගාවම ඉඳගෙන සංසලා නංගි බස් එකක නැගිලා නොපෙන ඈතටම යනකන් බලාගෙන හිටියා..

මමත් ආපස්සට හැරිලා ගෙදර යන්න සූදානම් උනේ හිතේ ලොකු සතුටක් තියාගෙන.. මෙච්චර කල් මගේ හිතේ තිබුණ හැම හීනයක්ම සැබෑ උනේ අද තමයි.. ඇත්තටම මම කොච්චර වේදනාවෙන්ද හිටියෙ සංසලාට මේ දේ කියාගන්න බැරිව.. මේ ජීවිතේ වැඩිපුරම සතුටු වෙච්ච දවසත් අද තමයි.. ඒ සතුට මට කියලා නිම කරන්න බෑ.. දැන් ඔයා මගේම විතරයි.. වෙන කාටවත් අයිති වෙන්නෙ නෑ.. මම ඉක්මන් ගමනින් ගෙදර යන්න පිටත් උනේ නංගිටත් මේ දේ ගැන කියන්න.. ඒත් මගේ යාලුවො ටිකට නම් මේ දේ කියනවද නැද්ද කියලා දෙපාරක් හිතන්න වෙනවා..

මතුසම්බන්ධයි෴

5 thoughts on “ඔබ මට හිමි වේ නම් | 14 කොටස | නවකතාව”

  1. Chathu indeewaree

    අනේ සෝයි අයියා… සංසලා ඔයාට හා කියලා. ගොඩාක් සතුටුයි අනේ.. මම දැන් තමා කතාව කියෙව්වේ… හරිම ලස්සනයි. ආසාවෙන් කියවන්න පුළුවන් අයියා.. අපි වෙනුවෙන් හැමදාමත් ලස්සනම ලස්සන කතා ලියන්න කියලා ආදරයෙන් ඉල්ලනවා අයියා ඔයාගෙන්.ආ මට කියන්න බැරි වුණා අයියා. මගෙ අප්පච්චිට දැන් ටිකක් හොඳයි.ස්තූතියි මගෙ අප්පච්චි වෙනුවෙන් ප්‍රේ කළාට අයියේ…

    1. Hoda ayage demapiyata kicma karadarayak wenne na nangiya aniwa ekmanata hoda wenawa mukinma comments ekak dala sakathiyak unath thank you so much nangiya budusaranyi hetath avilla balanna hode budusaranyi

      1
  2. issellama kynna oni chathu akkge thaththta sneepa wechcja ekta sathutui kyla.kthawa nm ithin ela.dan love eka nageegena enwa neda.sathutui sathutui ohoma ynko

    1. Chathu indeewaree

      ඔයාට ගොඩාක්ම ස්තූතියි සුදු මැණික මගෙ අප්පච්චි වෙනුවෙන් ප්‍රාර්ථනා කළාට. සතුටින් පරිස්සමින් ඉන්න්ක වස්තුවේ. බුදු සරණයි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.