Katha Ahura

කුළී නිවස | පළමු කොටස | හොල්මන් කතා | කතා අහුර

4.2/5 - (26 votes)

කුළී නිවස

පළමු කොටස

මගේ දියණියන් තිදෙනාම ඉගෙනීමට දක්ෂයි.
එහෙත් ඔවුන්ට පාසල් යාමට දිනපතාම නිවසේ සිට කිලෝමීටර් තුනක් පමණ පයින් ගොස් පැය දෙක හමාරක කාලයක් බසයෙන් ද යන්නට වුණා. මේ නිසාම නගරයේ කුළී නිවසකට යාමට මම තීරණය කළා. දරුවන්ගේ පියා කොළඹ රැකියාවක් කළ නිසා නිවසක් සොයා ගෙන එහි පදිංචියට යාම මටම කරන්න වුණා. මාගේ වැඩිමහල් දියණියගේ පංතියේ සිටි ඇගේ යෙහෙළියකට අයත් නිවසක් කුළියට ලබා ගැනීමට අපට හැකි වූ නිසා අපි හැකි ඉක්මනින් එම නිවසේ පදිංචියට යාමට සූදානම් වුණා.

වැඩිමහල් දියණිය ඒ වන විට සාමාන්‍ය පෙළ පංතියේ ද, දෙවැනි දුව නවය වසරේ ද, බාලම දියණිය හතර වසරේ ද ඉගෙනුම ලැබුවා. පළමුව නිවස බැලීමට ගිය අපට දිස් වූයේ පයිනස් කැළෑවකින් වට වූ කන්දක් පාමුල පළමු තට්ටුව පමණක් නිමවා තිබූ කාමර තුනක්, සාලය හා මුලුතැන්ගෙයකින් යුතු නිවස දරුවන්ට පාඩම් කිරීමට සුදුසු නිස්කලංක පරිසරයක පිහිටා ඇති බවයි. පාසලේ සිට නිවසට කිලෝමීටරයක පමණ දුර වුවද දරුවන් පයින්ම එහි පැමිණීමට කැමති වූ නිසා එම නිවස කුළියට ගැනීමට මම කැමැත්ත ප්‍රකාශ කළා. ප්‍රධාන පාරේ ඉදන් අඩි පාරක් දිගේ මෙම නිවසට පැමිණිය යුතු අතර මෙම නිවසට යාබදව තිබුණේ එකම නිවසක් පමණි. එයද මීටර් තුන්සියයක් පමණ දුරින් වූ කටු මැටි පැල්පතකි.

අලුත් නිවසේ පදිංචියට අත්‍යවශ්‍යයම බඩු බාහිරාදිය පමණක් ගෙන එහි යාමට සූදානම්ව සිටි දිනට පෙරදා තවත් දෙදෙනෙකු එහි පදිංචියට යාමට අප හා එක් වූයේ අහම්බෙන් . ඒ මගේ මල්ලීගේ යහලුවකු සහ ඔහු විවාහ වූ මුස්ලිම් තරැණියක්. දෙපාර්සවයේම මා පිය විරෝධතාවය මැද විවාහ වූ නිසා ඔවුන් නිවසින් පලාවිත් ඇත්තේ මිතුරකු වූ මගේ මල්ලී සොයාගෙන. මල්ලී ඔවුන් දෙදෙනාට ටික කලකට අප හා නවතින්නට ලබා දෙන්නැයි කල ඉල්ලීම නිසාත්, ඔවුන්ට නගරයේ ඇගළුම් කම්හලේ රැකියාවට යාමට අවශ්‍ය වූ නිසාත් නගරයේ පදිංචිය පහසුවක් වු බැවින් ටික කලකට ඔවුන් නවත්වා ගැනීමටත් මම කැමති වුණා .

පසු දින සියලු දෙනාම අත්‍යවශ්‍යය බඩුබාහිරාදිය ගෙන නව නිවසේ පදිංචියට ගිය අතර අලුත විවාහ වූ දෙපළට මැද කාමරයත්, පළමු කාමරය දරුවන් තිදෙනාට හා මටත් මුළුතැන්ගෙයට යාබද කාමරය කිසිවෙකු ආවොත් ලබා දීමටත් පිළියෙළ කළා. නිවස දුටු ගමන්ම මගේ මල්ලීගේ යාලුවා වූ ගයාන් මල්ලී කීවේ

” අම්මෝ අක්කේ නිකන් රාස් (razz) ෆිල්ම් එක වගේනේ පයිනස් කැලේ… බයේ බෑ…” කියලා .

රාස් හින්දි චිත්‍රපටය මතක් වී ඒ පරිසරයම මෙම නිවස වටාද ඇති බව දැනී මටද බියක් දැනුණු නමුදු දරුවන් බිය වේ යැයි සිතා මා එය පිටතට පෙන්වූයේ නෑ.

” කොල්ලෙක් වෙලත් ඔයා බය වෙලානේ මල්ලී . පිස්සු කතා කියන්න එපා. නංගිත් බය වෙයි” මම ආයාසයෙන් හිනාවක් නගා කිව්වා .

නිවසේ එකම අඩු පාඩුවකට තිබුණේ වැසිකිළිය නිවසෙන් එළියේ තරමක් දුරින් පිහිටා තිබීමත් කාන්තාවන් වූ අපට රාත්‍රී කාලයේ එහි යෑමට තිබූ බියත්‍ ය. අප නිවසේ බඩු අසුරන විට මිදුලට ගොස් විපරම් කළ අපට නිවසට මීටර් 300ක් පමණ දුරකින් වූ පැල්පතේ වයස අවුරුදු 78ක පමණ සීයා කෙනෙකු සිටින බව දක්නට ලැබුණා. එදින රාත්‍රියේ පාන් කා අපි නින්දට ගියේ ඉතා වෙහෙසකර දිනක් නිමාකර පසු දින කාර්‍යයන් රැසක් ඉටු කිරීමට අවදි වීමේ බලාපොරොත්තුවෙන්..

නයෝමී නදීරා ධීරසිංහ

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.