Katha Ahura

ගන්දර කලපුව -2 | නවකතාව|| කතා අහුර||

කතාව කොහොමද?

ඇමරිකාවේ කැලිෙµdaනියා ප්‍රාන්තයේ ජීවත්වන ලාංකික සිංහල ලේඛකයකු වන භද්‍රජි මහින්ද ජයතිලක දිගු කලකට පසු පුවත්පතකට ලියන නවකතාව ගන්දර කලපුවය. මෙයට කලකට පෙර ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ සමුද්‍රdසන්න ප්‍රදේශයක සිදුවූ සත්‍ය සිද්ධි සමූහයක්‌ ඇසුරෙන් මේ නවකතාව ලියා ඇත. ZOMBI ලෙස බටහිර ලෝකයේ හඳුන්වන, මනුෂ්‍යයන් අවනත කර ගැනීමේ සහ හැසිරවීමේ ක්‍රම වේදයක්‌ තිබේ. ZOMBI නායකයාට එම හැසිරවීමේ බලය ඇත. ගන්දර කලපුවේ ප්‍රධාන චරිතය එවැනි ZOMBI නායකයෙකි.

පසුගිය සතියෙන්

උපසේන මාධ්‍යවේදියෙකි. හෙතෙම සිය ප්‍රධාන කර්තෘවරයා සමග යන්නට සිටි රාජකාරි ගමන අනපේක්‍ෂිත ලෙස වළක්‌වාලනු ලැබූවේ අද්භූත අමුත්තෙකි. ඔහුගේ මන්දිරයේ රාත්‍රි නවාතැන් ගන්නා උපසේනට මුහුණ දෙන්නට සිදුවන්නේ අමුතුම අත්දැකීම් රැසකටය.

අද එතැන් සිට…..

උපසේනට තමා පුතා නමට ලියූ ලිපිය පවා මොහොතකට අමතක විය.

කාලිංග දියවඩන එලවා ගෙන ආ රථය පරණ කළුපැහැ විසල් රථයකි. එය මොන වර්ගයේද කියාවත් උපසේන නොදත්තේය. වාහනවල ගමන් ගත්තද උපසේනට වාහන ගැන එතරම් දැනීමක්‌ නොතිබුණේය. බොහෝ විට ගමනාගමනය උදෙසා ඔහුට අනුන්ගේ පිහිට පතන්නට සිදු විය.

අද උදෑසන ඔහු කළුතරට ආවේ කළුතර බෝධිය වෙත වූ විශේෂ උත්සවයක්‌ පිළිබඳ ලිපියකට තොරතුරු එකතු කරගන්නටයි. ඔහුට පුවත් පත් කාර්යාලයේ වෑන් රථයක්‌ එතැනට එනතුරු ලැබිණි. එතැනින් ඔහුට තමා අඳුරන කෙනෙකු හා මේ තැනට එන්නට හැකි විය. කලින් කතා කරගත් පරිදි අතුකෝරල මහත්මයා තමාව මුණ ගැසෙන්නේ මේ ගඟ සිරි හෝටලය තුළදීය. එහෙත් අද එසේ නොවීය.

කොහෙන්දෝ කඩා වැටුණු කාලිංග දියවඩන නමැත්තෙක්‌ තමාව අයිති කරගෙන මෙනි. කාලිංග සුහදව කතා කළේය.

“මිස්‌ට අතුකෝරාල අපේ ගංදර කලපු ගෙදරට ඒවි. ” කාලිංග යළිත් මතක්‌ කිරීමක්‌ කළේය. “අපි ගිහිං ටිකක්‌ විවේක ගම්මුකො.”

වැහි පොදය මැදින් ගමන් ගනිද්දී කාලිංග දොඩමළු විය. ” ඔය කලපුව ගැනත්. ගංදර ගැනත් හොඳ ඉතිහාස කතා ටිකක්‌ තියෙනවා – මිස්‌ට උපසේන. ලිපි පෙළක්‌ම ලියන්න පුළුවන්.”

” ඇත්තට?”

” ඔව් ගිහාම තේරේවි. මේ පරිසරය හරි ආසා හිතෙන තැනක්‌. මෙතන සුද්දෙක්‌ පදිංචි වෙලා හිටියා. ඉස්‌සර අපේ දෙමාපියන් පොඩිකාලෙ සුද්දා තමයි ඔය මුල් ගේ හැදුවේ. ඊටත් කලින් කුරුඳු එකතු කරන්න ආපු ඕලන්දක්‌කාරයො නවාතැන් ගත් තැනක්‌ ගංදර කලපුව. එතකොට එතන උංගෙ නවාතැනක්‌ තිබිල තියෙනවා. හරි හරි දේවල් වෙලා තියෙනවා.” හිස මඳක්‌ හරවා කාලිංග ඇස්‌ කොනින් බැලුවේ.

” මගෙන් අහන්න. මං දන්නවා” කියන්නාක්‌ මෙනි.

දැන් උපසේනට මේ කිසිවක්‌ දැන ගැනීමේ උවමනාවක්‌ නොවීය. ඔහුගේ කුතුහලය වූයේ මේ අද්භූත, අපූර්ව මිනිසා කාලිංග දියවඩන කවුදැයි දැන ගැනීමටයි.

වැස්‌ස කෙමෙන් දැඩි විය. වසා තිබූ කවුළු වීදුරු මත්තේ දුම් පටල බැඳුනි. ඒ අතරින් උපසේනට දැනුනේ කාලිංගගේ කබායෙන් නික්‌මි සියුම් පුස්‌ ගඳට මුසු කපුරු සුවඳයි.

” තව කොච්චර දුරයිද?” ඔහු ඇසුවේ කුඩා දරුවෙකුගේ නොඉවසිල්ලෙනි.

“තව ටිකා- යි තව ටි- කායි” කාලිංග රිය සුක්‌කානම පැත්තකට කැරකෙව්වේ ඉදිරියෙන් ආ ලොරියක මුණත මග හරිමිනි.

හදිසියේම රථය දකුණට හැරුණි. දැන් දෙපසම වූයේ පොල් රුප්පාවයි. පටු පාරෙහි වාහන දෙකකට මාරු විය හැක්‌කේ අපහසුවෙනි.

වැස්‌සේම අත් කරත්තයක්‌ තල්ලු කරගෙන ගිය මිනිසෙක්‌ අගලකට අයින් විය. දුඹුරු පැහැ සරම් කඩක්‌ හැඳ සිටි මිනිසාගේ තෙමුණු සිරුරු දුඹුරු පැහැයකි. ඔහුගේ හිස වසා අඩක්‌ පැළුE ගෝනි කඩකි. හරියට ගෝනි බිල්ලෙක්‌ මෙන්…

” මේ ගෝනි බිල්ලා කොහේ යනවද මන්දා ෘ” කාලිංග කීවේ උපසේනගේ සිතුවිල්ලක්‌ කියවන්නාක්‌ මෙනි.

මිනිසාගේ බැගෑබර තෙත් දෑස උපසේනට මොහොතකට පෙනුණි. ඔහුගේ අත් කරත්තය පුරවා තිබුණේ වේළුණු පොල් වගයකි.

“ඔව්වා කාටවත් අයිති ඉඩම් නෙමෙයි. ඕකා හොර පොල් කඩාගෙන යනවා වෙන්ටැති.” කාලිංග යන්තම් සිනාසුණේය. “උංගෙං මට කරදරයක්‌ නෑඃ”

සුළඟකට පොල් අතු සෙළැවෙයි. වැහිදියට පොල් අතු දිලිසෙයි. එහෙත් උපසේනට සියල්ල පෙනෙන්නේ දුමාරයක්‌ මැද්දෙනි. රථය සෙමින් සෙමින් ඉදිරියට ඇදුණේ අවමංගල රථයක්‌ මෙනි.

ඉදිරියේ විශාල ගේට්‌ටුවක්‌ දිස්‌විය. ගරාදි සහිත කළු යකඩ ගේට්‌ටු පලු දෙකක්‌.

එහි මුදුනත – SZ වැනි හැඩ දෙකක්‌ විය. එස්‌ අකුරක්‌ සහ ඉසැඩ් අකුරක්‌.

“Z අකුර – අපේ බාසාවෙ නැහැ නොවැ” කාලිංග ගේට්‌ටුව ඉදිරියේ රිය නතර කරමින් කීවේය. කවුළු පිස්‌න (වයිපර) තක්‌ – තක්‌ – තක්‌ හඬින් ඈත් මෑත් විය.

” එµa අකුරත් නැහැ” උපසේනට කියෑවිනි.

” ඔව් ඒඋනාට ලයනු දෙකයි නයනු දෙකයි

ශෂ දෙකයි. ” සේරම තියෙනවා අපිට” කාලිංග සිනාසුණේය.

” S-Z ඒ දෙකේ තේරුමක්‌ තියෙනවාද? ගේට්‌ටුව උඩින් තියෙන්න?”

“මිස්‌ට උපසේනගේ ප්‍රශ්නය බොහොම හොඳයි. බොහොම හොඳයි” කී කාලිංග රිය තුළ වූ කුඩා කළු පෙට්‌ටියක වූ බොත්තම් කීපයෙන් දෙක තුනක්‌ එබුවේය. ගේට්‌ටුපලු දෙක සෙමින් ඇරෙන්නට විය. එහි ගර – ගර හඬ මැද්දෙන් කාලිංග කථා කළේය.

“S-Z කියන්නෙ මගේ අම්මයි පප්පයි = මගේ මම්මා – සේරා පප්පා GZ කරායා” කාලිංග Z අකුර හඬ බර කොට කීවේය. “පප්පා තමයි මේ ඉඩම සුද්දගෙන් ගත්තෙ. මතකද එක කාලයක්‌ සුද්දන්ගේ ලේ තියෙන හැමෝම වාගෙ මේ රට දාලා ඔස්‌ටේ්‍රලියාවට ගියා?”

“ඔව්. ඔව්”

” එතකොට මේ සුද්දෝත් ගියා”

” හරි – හරි”

විවර වූ ගේට්‌ටු කටින් රථය තවත් මාර්ගයකට අවතීර්ණ විය. මනාව තාර දැමූ පාරක්‌. දිලිසෙන තද කළු පැහැ පාරක්‌. එසේ දිලිසුනේ වැස්‌ස නිසාවෙනි.

“ඔස්‌ට්‍රො කියන්නෙ මොකද්ද දන්නවාද?”

කාලිංග විමසුවේ. පුවත්පත් කලාවේදියෙකු වූ උපසේනගේ දැනුම විභාග කරන්නට මෙනි.

දන්නෙ නෑ කියනවා වෙනුවට ” කියන්න බලන්න” යෑයි උපසේන කීවේය.

” ඔස්‌ට්‍රො කියන්නෙ දකුණ කියන එකයි.

දකුණට තියෙන රටට ඔස්‌ටේ්‍රලියාව කිව්වා.” මහා දෙයක්‌ වටහාගත්තෙකු මෙන් කාලිංග දෑස්‌ ලොකු කර බලා සිනාවක්‌ පෑවේය. ඔහු තව දුරටත් කතා කළේ තමා දන්නා දෙය උළුප්පා පෙන්වන්නට මෙනි.

“ඔය ඔස්‌ටේ්‍රලියාව බොහොම ඉස්‌සර ලෙමූරියාවෙ කෑල්ලක්‌ – ලෙමූරියාව ගැන අහල තියෙනවාද?” කාලිංග දැන් කතා කළේ ඉදිරිය බලාගෙනය.

“ඔව් ඉස්‌සර මහාද්වීපයක්‌නෙ?”

“හරි – හරියට හරි. ඕක කෑලි තුනකට කැඩුණා. එක කෑල්ලක්‌ ඔස්‌ටේ්‍රලියාව වුණා. අනෙක්‌ කෑල්ල මැඩගස්‌කරය වුණා. අනෙක්‌ කෑල්ල තමා අපේ මේ ලංකාව – ලංකාව ගිහින් ඉන්දියාව යට මුක්‌කුවක්‌ ගැහුවා” කාලිංග සිනාසුණේය. “මැඩගස්‌කරේ කියන එකේ තේරුම දන්නවාද?” ඔහු ඒ හා සමගම ඇසුවේය.

“නැඃ” උපසේන කීවේ ලැ-ජාවකින් මෙනි. පුවත් පත් කලාවේදියෙකු වූ තමා දන්නේ මොනවාද?

“හොඳයි මං කියා දෙන්නං – මැඩගස්‌කරය කියන්නෙ මැද – ගස්‌ – කරය කියන එකයි. කරය කියන්නෙ දූපත. මැඩ කියන්නේ මැද – ගස්‌ කියන්නෙ ගස්‌ – දැන් තේරුණාද? මැද ගස්‌ තියෙන දූපතක්‌.”

වැස්‌ස මැදින් සෙමෙන් ගමන් ගත් රථය ඈත වූ පැරණි ගොඩනැඟිල්ලකට ලංවිය. එය ගලින් හා බදාමයෙන් බැඳි මාලිගාවක්‌ වැනි ගොඩනැඟිල්ලකි. මීදුම් වැස්‌ස නිසා උපසේනට පෙනුනේ උල් කොත් වහල් සහිත දෙමහල් ගොඩනැඟිල්ලක්‌ මෙනි.

” අපි – ආ- වා” කී කාලිංග, උස්‌වහලකින් යුතු පෝටිකෝවක රථය නතර කළේය.

විසල්, කළු පැහැ දොරක්‌ විවරව, කවුදෝ රථය වෙතට දුව අවුත් රියෑදුරු අසුන පැත්තට වූ රිය දොර හැරියේය. ඒ ආවේ මෙහෙකරුවෙකු විය යුතුයි.

අනතුරුව ඒ තැනැත්තා මේ පැත්තෙන් විත් උපසේනගේ දොර හැරියේය.

පිටත සීතලයක්‌ විය.

රිය දොර හැරිය මෙහෙකරුවා දණක්‌ දිගට මෙන් කළු කබායක්‌ හැඳ සිටියේය. ඉඟ රතු පැහැ පටියක්‌ විය. ඔහු මුහුණ ඔසවා බැලුවේ නැත. මැදිවියට ලං වූ මිනිසෙකි. කබායෙහි කරපටිය මහත එකකි. එහි රිදියෙන් දිලිසුණ ගෑස්‌පරයක්‌ විය.

” මේ මහත්තයගෙ බෑගෙ ගනිං” කාලිංග විධානයක්‌ දුන් විට මෙහෙකරුවා උපසේනගේ බෑගය අරගත්තේ දෑතෙන්ම උදුරන ආකාරයෙනි. උපසේන ඉඩ දුන්නේය.

“යමු මිස්‌ට” කාලිංග දොර වෙතට ගමන් ගනිද්දී මෙහෙකරුවා පසු බෑවේය. ඔහු අනතුරුව ගමන් ගත්තේ උපසේනටත් පසු පසිනි.

පඩි තුනක්‌ නැංග කාලිංග යන්තමට ඇරී තිබුණ කළු දොර පළුවක්‌ තවත් විවර කරද්දී එයින් කිරි – කිරි – කිරි හඬක්‌ නැඟුණි. එසේ කෙඳිරි ගෑ දොර අඩි අටක්‌ තරම උස්‌ විය. එක්‌ පළුවක්‌ අඩි හතරක්‌ තරම් පුළුල් විය. ඇරුණේ අඩක්‌ම පමණි. දොරෙහි අඩි දෙකක්‌ පමණ උසින්ද අඩි හතරක්‌ පමණ උසින්ද හරස්‌ව ඇදෙන පිත්තල පටි විය. දෙඅඟලක්‌ තරම් පළල් වූ මේ පටි හැරෙන්නට කළු දොරෙහි ඇණ වෙනුවට වූයේ පිත්තල බොත්තම්ය. මෙය කාගේ ආකෘතියක්‌ දැයි උපසේන තුළ විමසිල්ලක්‌ විය. ඕලන්ද – බලකොටු දොරටුවක්‌? උපසේන ප්‍රශ්න නොකළේ උවමනාවට වඩා දිගු පිළිතුරක්‌ ලැබේය යන අනුමානයෙනි.

දෙදෙනා දොරෙන් ඇතුළු වූයේ අඩ අඳුරු ශාලාවකටයි. ඉදිරියෙන් වූ උස්‌ බිත්තිය මැද ලොකු වීදුරු වැස්‌මෙන් යුතු, මන්දාලෝකය විහිද වූ විදුලි බුබුලක්‌ විය. මේ වීදුරු වැස්‌ම පවා කළු යකඩෙන් රාමු වූ පැතිකඩ සතරකින් යුතු විය.

මෙහෙකරුවා උපසේනගේ බෑගය අතකින් තුරුළු කරගෙන අතකින් දොර වැසුවේය.

කාලිංග දකුණතට හැරී සංක්‍රමණ මගක්‌ දිගේ ගොස්‌ තවත් පඩි හතරක්‌ බසිමින්. තවත් ශාලාවකට අවතීර්ණ වුණේය. මේ ශාලාව මැද දිග කෑම මේසයක්‌ විය. එතැන පහසුවෙන් දහ දෙනෙකුට හිඳගත හැකි විය. ඔප දැමූ තද දුඹුරු පැහැ ලී මේසය වටා වූ පුටුවල හේත්තු විය හැකි පසු කොටස්‌ තනි ලෑලිවලින් කපන ලද ඒවාය. ඒ පසු කොටස්‌වල තුන් හුලස්‌ මුදුන දෙකෙළවර ඔප දමන ලද කුඩා ලී බෝලය බැගින් සවිකර තිබුණි. උපසේනට සිහිපත් වූයේ බිලියඩ් මේසයක්‌ මැද වූ බෝලයි. තමා මෙවන් ශාලාවක්‌ ඇතැම් බටහිර චිත්‍රපටයක දැක තිබුණා නොවේද?

උපසේන ප්‍රශ්න නොකළේය. විමතිය – අරුමය – කුතුහලය – භීතිය. මේ සියල්ලම කැටි කොට ගත් හැඟුමකින් ඔහු සෙමින් පා තැබුවේ කාලිංග අනුව යමිනි.

මේසය මත, මේසය මැද පලතුරු පිරවූ බඳුනකි. එහා බිත්තිය වසාගත් යෝධ පින්තූර දෙකකි. උපසේන ප්‍රශ්න නොකළේය. මේ රූපවල සිටියේ කාලිංගගේ දෙමාපියන් වන ඨZ කරයා හා සේරා දියවඩන විය යුතුයි. කාලිංගගේ පප්පා සහ මම්මා” ෘ ඔවුන් ඇඳ සිටියේ පෙර යුගයක බටහිර පන්නයේ ඇඳුම්ය. ඔවුන්ගේ ඒ දෑස්‌ තමා අනුව යන්නාක්‌ මෙනි. උපසේන ඉවත බලා ගත්තේය.

මෙහෙකරුවා දැන් පෙනෙන අසලක නොවීය.

“මගෙ බෑග් – එක?” උපසේනට කියෑවිණි

” ආ ඒක ඒ මිනිහා කාමරේ තියාවි” කාලිංග කීවේ මේසයට එහායින් වූ සෝපාවකට බර දෙමිනි.

“කාමරේ?”

” එන්න වාඩිවෙන්න.” කාලිංග උපසේනගේ ප්‍රශ්නය මග හරිමින් සෝපා අසුනට තට්‌ටු කළේය.

උපසේන ඒ අසල වූ වඩාත් කුඩා සුව අසුනක හිඳ ගත්තේය.

කාලිංග තමාගේ දකුණතට ඉහළින් වූ රන් කඹයක්‌ පහතට ඇද්දේය.

මඳ වේලාවකින් මෙහෙකරුවෙකු එතැනට ඇවිත් සිටියේය.

“අපිට උණුවට තේ දෙකක්‌ ගෙනෙං” කාලිංග විධානයක්‌ දුන්නේය.

” හොඳමයි”

මේ මෙහෙකරුවාගේ ඇඳුමද කලින් දොර විවර කළ මෙහෙකරුවාගේ ආකාරයමය. ඔහුද හිස ඔසවා බැලුවේ නැත.

” මේ මිනිස්‌සුන්ට මොනව වෙලාද? හරිම බයාදු මිනිස්‌සු නෙවැ” උපසේනට සිතුණි ” මේ යකාට මේ මිනිස්‌සු මෙච්චර බය මොකද? මේකා කවුද?” උපසේන සිතුවා පමණි.

“මිස්‌ට උපසේනට කාමරේ ලේස්‌ති කරල තියෙන්නෙ. ගිහිං පොඩ්ඩක්‌ රෙස්‌ට්‌ කරතෑකි – බොස්‌ එනකං”

” නෑ මෙහෙම හොඳයි”

උපසේන එසේ කී විට කාලිංග තම අසුන්වතට ඇල වී ගෙන මෙන් දකුණු වැලමිට වත මත රඳවා තම දකුණු දබරැඟිල්ල තම යටි තොල මත ඈත මෑත ගෙන ගියේ දැඩි කල්පනාවකින් මෙනි. එහෙත් ඔහුගේ දෑසේ වූයේ හිස්‌ බැල්මකි.

“තේක බීලා කාමරේට යමු” කාලිංග අනතුරුව කීවේ උපසේන කලින් කී දෙය මග හරිමිනි.

දැන් නම් කාලිංග හා දොඩන්නට උපසේනට අනවශ්‍ය විය.

තමා මෙතනින් පිට වී යා යුතුය යන හැඟêම පමණි ඔහු තුළ දැන් මතු වූයේ.

එහෙත් ” මාව ගිහින් පාරට බස්‌සන්න” කියා කියන්නට තරම්වත් ශක්‌තියක්‌ ඔහු තුළ නොවීය.

අද්භූත ගුඨත්වයක්‌ උපසේනව වසා ගෙනය. ඒ අද්භූත ගුඨත්වය මේ පරිසරයෙන් උපන් කුතුහලයේම කොටසකි.

ඊළගට මොකද්ද වෙන්න යන්නෙ? යන විමසුම් සහගත කුතුහලයකි එය.

උපසේනගේ පපුව ගිඩි ගිඩි ගා ගැහෙද්දී මෙහෙකරුවා දුම් දමන උණු උණු තේ කෝප්ප දෙකක්‌ රිදී බන්දේසියක තබා ගෙන අවේය.

මතු සම්බන්ධයි….!

භද්‍රජි මහින්ද ජයතිලක
ඉරිදා දිවයින පුවත්පතේ පළවූ සතිපතා කතාවකී

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.