Katha Ahura

දෝණී | 15 කොටස | හොල්මන් කතා |

4.7/5 - (66 votes)

#15 කොටස

**අහස්ගේ නිවස තුළ….

“ෆාදර්… ෆාදර්…..!” අහස්ගෙ තාත්තා, මොහාන් ගල්ගැහිලා වගේ හිටපු අයිවන් පියතුමාට කතා කලේ ඉවසීමක් නැතුව. ඒ සද්දෙට පියතුමා මොහාන් දිහා බැලුවා.

“මොහාන් මහත්තයා මේ යක්ශණීගෙ බලය එන්න එන්නම දරුණු වෙනවා මට ඒක දැනෙනවා… ඒ ආත්මෙ ශක්තිමත් වෙන්නෙ අර දරුවා ඒ යක්ශණී ලඟ ඉන්න නිසයි.. ඒකෙන් තමයි ඒ ආත්මෙ තවත් බලවත් වෙන්නෙ… දරුවා ඒ ආත්මෙන් ගලවගන්න ඕනෙ අපි ඉක්මණටම.. දරුවා නැතුව ඒ ආත්මෙට ලොකු බලයක් නෑ… අපිට තියෙන කාලය බොහෝම සීමිතයි… මේක මට තනියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි… ඒකයි මං මේ දේවල් වලට දක්ශ අපේ පියතුමෙක්ට කතා කලේ… එයා මග එනකල් අපි මේකට ඕන දේවල් ලෑස්ති කරමු…” අයිවන් පියතුමාගේ කතාවෙන් මොහාන්ගේ ඇඟ කිලිපොලා ගියා. තමන්ගෙ දරුවා වැටිලා ඉන්න තත්ත්වෙ ගැන ඔහුට ලොකු බයක් දැනුණා.

“අනේ ෆාදර් මොනාමහරි කරි කරලා මගෙ දරුවා බේරගමු… මගෙ ජීවිතේ ඒ යක්ශ්ණීට බිලි දීලා හරි අපි එයාව ගලවගමු…”

“මොහාන් මහත්තයා කිසිම ජීවිතේකට අනතුරක් වෙන්න අපි ඉඩ තියන්නෙ නෑ… දෙවියන් වහන්සේ අපිව ආරක්ශා කරාවි.. එන්න අපි ලෑස්ති වෙමු…” අයිවන් පියතුමා අහස්ගේ තාත්තා එක්ක යාගයට ඕන කරන දේවල් ලෑස්ති කරන්න පටන් ගත්තා. කොහොම උනත් දෙන්නගෙම හිත් වල තිබ්බෙ ලොකු නොසන්සුන්කමක්. අයිවන් පියතුමා දැනන් හිටියා අහස්ගේ ජීවිතේ බේරගන්න ගොඩක් අමාරු බව. ඒ වගේම ඒ දේ කරද්දි තමන්ගෙ ජීවිතේ උනත් නැති වෙන්න පුලුවන් කියලා.

“මං හිතන්නෙ ජෝන් පියතුමා ආවා වගේ…” අයිවන් පියතුමා කිව්වෙ ගේ ඉස්සරහා පැත්තෙන් බයික් එකක සද්දෙ ඇහුණු නිසා. ඒ ටිකකින් ඉස්සරහා දොර ඇරගෙන ඇතුළට ආවෙ මූණ පුරාම ලොකු රැවුලක් වවාගත්තු සුදුපාට ලෝගුවක් ඇඳගත්තු තරුණ පෙනුමක් තිබ්බ පියතුමෙක්. දොර වහලා ලොක් කරපු ඒ පියතුමා පොඩි මල්ලකුත් අතින් අරගෙන ඒ දෙන්නා ලඟට ආවෙ ඉතාමත්ම ඉක්මණින්.

“ෆාදර් අයිවන්.. මොහාන් මහත්තයා… නාස්ති කරන්න වෙලාවක් නෑ අපි පටන් ගමු.. දැන් මධ්‍යම රාත්‍රිය පටන් ගන්න වෙලාවත් ලඟයි.. මේ වෙලාවෙ ඒ ආත්මෙ හුඟක්ම බලවත්.. ඒත් අපි දැන්ම පටන් ගත්තොත් තමයි අපිට උදේ වෙන්න කලින් මේක ඉවර කරගන්න පුලුවන් වෙන්නෙ…”

“ෆාදර් ජෝන් එහෙනම් අපි පටන් ගමු… ඔබ ඉල්ලපු විදිහටම අපි ටිකක් ලොකු කණ්නාඩියක් අරගෙන ආවා… ඔබතුමාට මේක හොඳටම විශ්වාසද…?” අයිවන් පියතුමා ඇහුවෙ මේ කරන්න හදන වැඩේ ගොඩක් බරපතල එකක් නිසාත් මේකෙන් ජීවිතේ පවා නැතිවෙන්න පුලුවන් නිසාත්. ජෝන් පියතුමා ඒකට හිනාවුණා.

“අපි දෙවියන්වහන්සේ විසින් තෝරගත්තු මිනිස්සු ෆාදර් අයිවන්.. අපි ඇවිත් ඉන්නෙ උන්වහන්සේගේ ජනතාවට සේවය කරන්න.. ඒකට අපේ ජීවිත පූජා කරන්න උනත් අපි ලෑස්ති වෙන්න ඕනේ.. නපුරට දිනන්න ඉඩ දෙන්න බෑ…” එහෙම කියපු ජෝන් පියතුමා අනිත් දෙදෙනාටත් වාඩිවෙන්න කියලා එයාලා ලෑස්ති කරලා තිබ්බ ලොකු කණ්නාඩිය ඉස්සරහා ඉඳන් මන්තර මතුරනවා වගේ යාඥාවක් පටන් ගත්තා. මේ විදිහට පැයකටත් වඩා යාඥා කරගෙන යද්දි මොහානුයි අයිවන් පියතුමයි කට ඇරගෙන බලන් හිටියෙ කණ්නාඩියෙන් තමන් දකින දේ අදහාගන්න බැරුව.
************************************************************************

“මට දැන් මේක ඇතිවෙලා තියෙන්නෙ… ඔයා කොච්චර උනත් මං කියන දෙයක් අහන්නෙම නෑ.. ඇයි දෝණි ඔයාගෙ හොඳටම කියන දේවල් පිළිගන්නෙ නැත්තෙ..? මං වැරදි දෙයක්ද කියන්නෙ ඔයාට..?” ඔෆිස් එකේ එලියෙ ඉඳන් මං කෝල් එකේදි කෑගැහුවෙ දෝණිට. මේ ටිකේම අපි ආදරෙන් ඉන්නවට වඩා කලේ රණ්ඩු වෙන එක. හේතුව තමා එයා තාමත් එයාගෙ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් කියන එකාට අනුකම්පා කරන එක. එයාට මොන තරම් කරදර කලත් උට එක වචනයක්වත් කියන්න එයා මට ඉඩ දුන්නෙ නෑ. මේ වෙනකොටත් මගෙ හිතට ඒක ලොකු වදයක් වෙලා තිබ්බෙ.

“අනේ තාත්ති කියන දේ අහන්නකො… ඔයා කියන විදිහට කලොත් මට ගමේවත් ඉන්න බැරිවෙයි… අනි..ක..”

“ගමේ ඉන්න බැරිනම් වෙන ගමකට හරි යන්න පුලුවන්නෙ.. මං කිව්වනෙ මං ගෙයක් කුලියට හොයලා දීලා ඒකෙ කුලියත් ගෙවන්නම් කියලා… කෝ අහනවද මං කියන එකක් එතනම ලැගලා ඉන්නවා මිසක් අර තරම් කරදර තියාගෙනත්… එදා මගෙ යාලුවෙක්ගෙ ගෙයක් අඩුවට කතා කරලා දීලත් ඔයා ඌ ඉස්සරහම ඒක ඕන නෑ කිව්වා… මෙහෙමද මට සලකන්නෙ ඔයා…?” එයා කියන්න හදපු දේ නවත්තන්නෙ නැතුව මං කෑගැහුවා. එහා පැත්තෙන් අඬන සද්දෙ ඇහුණත් මං ඒක ගාණකට ගත්තෙ නෑ මට තරහා ගිහින් හිටපු නිසා.

“ඔහොම කෑගහන්නෙපා තාත්තී… අනේ… තේ..රුම් ගන්නකෝ…. ම..ට..”

“නවත්තගන්නවා ඔය බොරු ඇඬියාව දෝණි… එකටම ඔයාගෙ කලින් පෙම්වතාව අයින්ම කරලා දාලා මට කතා කරනවා.. මට මේක දැන් මහ වදයක්.. එක්කො මං උගෙ අතක් පයක් කඩලා අබ්බගාතයෙක් කරලා මේ ප්‍රශ්නෙ ඉවරයක් කරනවා එහෙම නත්තම් ඔයාම මේක ඉවර කරගන්න.. මේකෙ දෙකෙන් එකක් වෙන්න ඕනෙ… ගිය උන් ගියා නම් ආයෙ මෙතන වෙන කතා ඕනෙ නෑනෙ… ඔයා තාමත් ඌව නලවන එකනෙ කරන්නෙ කොච්චර උනත්.. දැන් මාස ගාණක් වෙනවා හිතේ සැනසීමක් නෑ මේ විකාර නිසා..”

“අ..නේ… තා..ත්..ත්..තී…. ම..ට.. ඔ..හො..ම… ක..තා..ක..”

“එපා එපා මොකුත් කියන්නෙපා දෝණි… ඔයාට මේ සම්බන්දෙ දිගටම ගෙනියන්න ඕන නම් ඔය ප්‍රශ්නෙ ඉවර කරගන්න.. ඔයාට ඒකට මං උදවු කරන්න හදද්දි ඔයාට ඒකෙනුත් ගාණක් නෑනෙ… ඔයාට ඇත්තටම ඕනෙ මොනාද කියලවත් මට කියන්න.. මේ ප්‍රශ්න වලින් අපේ එෆෙයාර් එකටයි ඩැමේජ් වෙන්නෙ කියලත් මතක තියාගන්න.. මේ වෙන්නෙත් ඒක… මට මේ තිත්ත වෙලා තමයි කතා කරන්නෙ… ඔයා ඔය ප්‍රශ්නෙට හොඳ විසඳුමක් හොයන් මිසක් මට කතා කරන්න එපා.. මං තියනවා ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න…” එහෙම කියපු මං එයා මොකුත් කියන්නත් කලින්ම කෝල් එක කට් කලා. එයා ආයෙ ආයෙත් මට කෝල් ගත්තත් මං ආන්සර් කලේ නෑ. එවපු මැසේජ් වලට රිප්ලයි යැව්වෙත් නෑ. දුකයි තමයි ඇත්තටම ඒත් මේකෙ කෙලවරක් තියෙන්නත් ඕනෙ. මොකද එයාගෙ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් ආයෙත් එයාගෙ පස්සෙන් ආයෙත් එන්න පටන් අරන් තිබුණා. ඌ එක්ක කරපු චැට් පවා එයා මට පෙන්නුවට පස්සෙ මං ඒක නවත්තන්න කිව්වට එයා ඇහුවෙ නෑ. අනික මං එයාට ඒ ගේ අතෑරලා අපිට ලඟින්ම තැනක් හොයලා දුන්නත් එයා ඒකට කැමති උනෙත් නෑ. ඒ ඇයි කියලා අහපුවමත් එයාගෙන් හරිහමන් උත්තරයක් මට ලැබුණෙ නෑ. ටිකෙන් ටික සැකය කියන දේ මගෙ හිතට එන්න ගත්තෙත් ඔය නිසාමයි. ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මං අද ඔහොම එයාට බැන්නෙ.

දින සති ගෙවිලා ‍යද්දි මං ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා. එයාගෙන් එන කෝල්ස්, මැසේජ් පවා අඩු උනා. ඒ නිසාමද කොහෙද සැකය කියන දේ තවත් මගෙ හිත පාරන්න ගත්තා. පිස්සෙක් වගේ අරක්කු බොන්න, සිගරට් උරන්න ගත්තෙ හිතේ තිබ්බ පීඩනේ අඩුකරගන්න ඕන නිසයි. දුක,පාලුව,තනිකම වගේම තරහව හිතට දැනෙන හැම වෙලාවෙම මං කලේ සිගරට් බීපු එක. ඒත් මගෙ හිතේ තිබ්බ ආදරේ නිසාම මං එයා ගැන එයාටත් හොරෙන් හොයලා බැලුවා. ඒත් මට ඒ හැමදාම අහන්න ලැබුණෙ එයාගෙ කලින් කොල්ලා සඳුන් පිස්සෙක් වගේ එයාගෙ පස්සෙන්ම වැටීගෙන ඉන්න එක ගැන විතරයි. එයත් ඌත් එක්ක අකමැත්තෙන් වගේ උනත් කතා කරන වීඩියෝ පවා මට දකින්න හම්බුණේ මට විශ්වාසවන්තම යාලුවො මාර්ගෙන්. මේවා දකිද්දි තවත් මං කලේ දුමට ඇබ්බැහි වෙච්ච එක. ඒත් දවසක් එයාගෙන් ආපු කෝල් එකක් මං ආන්සර් කලේ හිතට දැනුණු අමුතු හැඟීමක් නිසා.

“තාත්තී…” සෑහෙන දවසකින් එයාගෙ කටහඬ ඇහෙද්දි මගෙ හිත වෙවුලලා ගියා දැනුණා.

“හ්ම්..”

“ඇයි දෙයියො ඔහොම නාස්ති වෙන්නෙ…? අනේ මාව මේ කරුමයක් නිසා හිරවෙලා හැම පැත්තෙන්ම… දෙයියනේ මාව මැරිලවත් යන්නෙ නෑනෙ…” එයා අඬන්න ගත්තා. “මට තවත් ඉවසන්න බෑ තාත්ති මේවා.. අනේ මාව ඇවිත් අරන් යන්නකෝ… ප්ලීස් තාත්ති නැත්තම් මේ දේවල් දරාගන්න බැරුව මං මැරෙයි…”

“ඇයි ඉන්නෙ එකෙක් උටම අරන් යන්න කිව්වනම් වඩාගෙන යයිනෙ.. මේ මං මොකටද ඉතින් ඒකට..?”

“ඔහොම කතා කරන්න එපා මගෙ තාත්තී… ඔයා දන්නෙ නෑ මං ඉන්න තත්ත්වෙ… සඳුන් මාව දාලා ගියාට ආයෙත් හොයන් එන්නෙ බොරුවට තාත්තී… ඌට ගොඩාක් ඊර්ශ්‍යයි මං ඌත් එක්ක හිටියට වඩා ලොකු සතුටකින් ඔයා එක්ක ඉන්නවා දැක්කම.. ඒකයි මෙහෙම දේවල් ඌ කරන්නෙ.. අනේ ප්ලීස් තාත්ති මාව තේරුම්ගන්නකෝ… ඌ හදන්නෙ මාව උගෙ වල්කම් වලට විතරක් පාවිච්චි කරන්න.. ඌ හැමදාම මගෙ පස්සෙන් ඇවිත් ආදරෙයි කිය කිය ඉල්ලන්නෙ ඒ දේවල්.. අ..අ..නේ… තා..ත්..තී… ප්ලී…ස්… මා..ව… බේ..ර..ග..න්..න..කෝ…..” දෝණි ඉකි ගගහා අඬන සද්දෙ ෆෝන් එකෙන් ඇහෙද්දි හිත ඇතුලෙ ලොකු වේදනාවක් ඇති උනත් මගෙ උඩු හිත ඒක යටපත් කලා.

“අනේ මේ දැන් බොරුවට රඟන්නෙපා හලෝ… තමුසෙ නටන නාඩගම් මං හොඳට දැක්කනෙ මගෙ ඇස් දෙකටම.. හිතුවද මං හොයන්නෙ බලන්නෙ නෑ කියලා..?? නෑ දෝණි ඔයාට වැරදිලා.. මං දන්නවා ඔයා නටන නාඩගම මොකක්ද කියලා.. දැන්වත් මට මගේ පාඩුවෙ ඉන්න දෙනවා… දීලා තමුසෙ ඕන මඟුලක් නටාගන්නවා…” මං කෑගහන ගමන් අතේ තිබ්බ අරක්කු බෝතලෙන් උගුරු දෙකක් බිව්වා. එයා කෝල් කරද්දිත් මං බෝතලේ අතේ තියන් හිටියෙ. එහා පැත්තෙන් හූල්ලන සද්දෙ ඇහෙද්දි පපුවත් එක්කම මොනාද වෙලා ගියා.

“තා..ත්..ත්..තී…..” එයා කෑගැහුවා. ” අ..නේ.. දෙ..යි..ය..නේ… මේ… ඔ..යා..ම..ද…. හ්..ග්.. මගෙ තාත්ති..ම..ද… මෙ..හෙ…ම.. ක..තා… කරන්..නෙ…? අ..අ..අ..නේ….” ඉකි ගගහා අඬන ගමන් එයා ඇහුවා.

“ඔව් මම තමයි කතා කරන්නෙ… දෝණි අපේ සම්බන්ධෙ අදින් ඉවරයි.. තේරුනා…..” මං කියලා ඉවර වෙන්න කලින් එයා කෑගැහුවා.

“තා…ත්…තී…!!!”

“ඔව් ඔව් මං ඌ තමයි.. උඹට ඕනාවට වඩා ආදරේ දුන්නු ඒ මෝඩයා තමයි.. උඹ ගැන ඕනාවට වඩා හොයලා බලපු, උඹට ඕනාවට වඩා හැමදේටම උදවු කරපු, උඹටම හොඳක් කරන්න හදපු මටම මේ කරන දේවල් වලින් ආදරේ එපාම වෙලා තමයි මං මේ තීරණේ ගත්තෙ… අදින් පස්සෙ තාත්ති කියලා කෙනෙක් නෑ… ඌ මැරිලා… තේරුණාද… අර උඹේ ප්‍රේමවන්තයා එක්කම හැමදාම සතුටින් ඉඳපන්… මං යනවා… මට ආයෙ වදයක් වෙන්නත් එපා… බායි..!” හිතේ දුක උපරිමේටම ඇවිත් ඇස් වලින් කඳුලු උතුරලා යද්දි මං කෑගගහා කිව්වා. එයා ඉකි ගගහා අඬන සද්දෙ ඇහෙද්දිත් මං කෝල් එක කට් කරලා ෆෝන් එක පොලවෙ ගැහුවා. අතේ තිබ්බ අරක්කු බෝතලේ කටේ ගහගෙන බීගෙන බීගෙන ගිය මම ඒකත් පොලවෙ ගැහුවෙ ඒක බිඳුණු කටු වලින් කකුල කැපිලා ලේ යද්දි. එතනම වාඩි උනු මං දණිස් දෙකේ ඔලුව ගහගෙන පිස්සෙක් වගේ අඬන්න ගත්තෙ හිතේ තිබ්බෙ හැම වේදනාවක්ම, දුකක්ම හේදිලා යන්න කියලා හිතාගෙන. අද ඉඳන් මාස එකොළහක් තිස්සෙම කරපු ආදරේ ඉවරයි නේද කියලා හිතෙද්දි මට තවත් ඇඬුණා. මේ හැමදේම අමතක කරලා දාලා එයාව හොයන් යන්න හිතුණත් මං ඒ අදහස අතෑරලා දැම්මෙ හැමදේකම කෙලවරක් තියෙන්න ඕන නිසා. ආයෙනම් හැඟීම් වලට වහල් වෙලා ආදරේ හොයන්නෙ නෑ කියලා මං තදින්ම හිතාගත්තා.
********************************************************************

මං ආයෙම ඇස් අරිද්දිම දැක්කෙ දෝණි මගෙ ලඟට වෙලා මගෙ මූණ දිහාම බලන් ඉන්නවා. ගැස්සිලා නැගිටපු මං අහකට පැන්නා.

“දෝණි…!”

යාන්තමට වගේ එලිය තිබුණ අඳුරු කාමරේක මැදට වෙලා හිටපු එයා මගෙ දිහා බලලා දුක පිරුණු බැල්මක් හෙලුවා.

“මං විඳපු දුක දැක්කද තාත්තී…? ඒ තමයි ඔයාගෙ දෝණි ඔයාගෙන් ඒ කාලෙ ටිකක් හරි ඈත් වෙලා හිටපු හේතුව… මීටත් වඩා මං දුක් වින්දා තාත්තියෝ… ඒ හැමදේම ඔයාට පෙන්නන්න මට කාලයක් නෑ…” එයා හෙමීට මිමිණුවා.

“මේ.. මේ… දේවල් ඇයි මට ඒ දවස් වල නොකීවෙ දෝණි..? ඇයි එහෙම කලේ..?? ඇයි මට එදා අර වගේ තීරණයක් ගන්න තැනටම ඔයා මාව පත් කලේ..? බලන්න මගෙ තීරණේ නිසා වෙච්ච විනාසෙ… මං වගේ පවුකාරයෙක් දෝණි… ඇයි මේ දේවල් මෙහෙම උනේ….” බිම දණගහගත්තු මං කෑගහලා ඇහුවා එයාගෙන්. ඒ දැකපු දේවල් නිසා මට මං ගැන හුඟාක් කලකිරිලා හිටියෙ. ඒ තරම් මේ කෙල්ල දුක් වින්දා කියලා එදා දැනන් හිටියනම් මං එයාව මගෙ ලඟට අරන් පණටත් වඩා ආදරෙන් බලාගන්නවා නේද. ඒත් එයා ඒ දේවල් මගෙන් හංගපු එකෙන් උනේ එයාගෙම ජීවිතේ විනාශ කරගත්තු එක.

“ඔයාගෙ වරදක් නෑ තාත්ති.. වරද මගෙයි.. ඒ දේවල් මං ඔයාට නොකියපු එකයි වරද… ඔයා ඒ දේවල් නිසා ලොකු කලබලයක් ඇති කරයි කියලා මට ලොකු බයක් දැනුනා. එහෙම උනොත් මං ගමේ ඉන්න නරක කෙල්ලෙක් ගාණට වැටෙනවා.. අර තිරිසනා මට දුන්නු වද මං ඉවසන් හිටියෙ ඔයා ගැන හිතලා.. මං දන්නවා මං එදා ඒ දේවල් ඔයාට කිව්වනම් ඔයා ඌව මරලා දායි.. ඒත් මගෙ තාත්ති මේ ලෝකෙ මං වැඩිපුරම ආදරේ කරන මගෙ දෙවියො වෙලා හිටපු ඔයාව ඒ දේවල් වලට පටලවන්න මං කැමති උනේ නෑ… ඌ බණින හැම බැණුමක් ගානෙම. මට ගහන හැම පාරක් ගානෙම ඒ වේදනාව මං දරාගත්තෙ ඔයා ගැන හිතලා.. ඔයාට හිතාගන්න බෑ තාත්ති මේ කෙල්ල ඔයාගෙ ආදරේ ගැන හිතලා කොච්චර නම් වේදනා ඉවසන් හිටියද කියලා… ඌ මට දුන්නු සමහර වද වේදනා ගැන මට ඔයාට කියන්නත් බෑ… එච්චරම අමු තිරිසනෙක් කාම පිසාචයෙක් ඌ… ඒ හැමදේම මං ඔයා වෙනුවෙන් හිතලා ඉවසුවෙ දවසක මගෙ අන්තිම හුස්ම ටික ඔයා ලඟදි හරි යවන්න පුලුවන් වෙයිනෙ කියලා හිතාගෙන… අනේ මගෙ තාත්ති එදා මං ඔයා කියන දේවල් ඇහුවනම් මෙහෙම වෙන්නෙ නෑ මට.. ඒත්.. ඒත්… ඌ මාව බය කලා තාත්තී.. මං උගෙන් ඈතට ගියොත් ඌ මගෙ ආච්චිව මට දීපු වද වේදනා දීලම මරාඅ දානවා කිව්වා වයසක කෙනෙක් කියලවත් බලන්නෙ නැතුව… ඉතින් මං බය උනේ ඒකයි තාත්තී… මාව එදා අසරණ කෙරුවෙ ඒ හේතුව.. එහෙම උනේ නැත්තම් මං අදටත් ඔයා ලඟ සතුටින් ඉන්නවා මගෙ තාත්තියෝ…” දෝණිගෙ ආත්මෙ අඬ අඬා කියපු දේවල් මගෙ හිතට ලොකු බලපෑමක් කලා. හිතට ආපු එකම හැඟීම එයාට මේ දේවල් කරපු එවුන් හැම එකෙක්ගෙන්ම පලි ගන්න ඕන කියන එකයි. මටම දරාගන්න බැරි තරහක් හිතට එද්දි මං අත් දෙක මිට මොලවගෙන දත්මිටි කෑවා.

“මං ඕකව මරණවා…!!! ඇයි මට එදා මේ දේවල් කිව්වෙ නැත්තෙ දෝණි… ඇයි ඒ..?? මං ඌව කෑලි කෑලි වලට ඉරලා දානවා… මාව ආපහු ගෙදරට ගෙනියන්න දෝණි ඉක්මණටම… මං මේ දැන්ම යනවා උන්ව ඉවරයක් කරන්න…” මට කිය උනා. දෝණි මං දිහා බලලා මහ හයියෙන් වියරු විදිහට හිනාවුණා.

“හහ් හා හා හා…. ඔවු තාත්ති අපි උන්ගෙන් පලිගන්න ඕනෙ.. ඒ හැම එකාගෙන්ම පලිගන්න ඕනේ… හහ් හහ් හහ් හා හා….” වියරු විදිහට හිණාවුණු එයා එකපාරටම වේදනාවෙන් වගේ කෑගැහුවා. “එපා…… ඕක නවත්තපා….න්…. එ…පා……..!!!!”

“දෝණී….!”

“අ…නේ…. තාත්තී….. එපා……. මාව පිච්චෙනවා…. ඕක නවත්තපා….න්…..” එයා කෑගහද්දි මං එයාගෙ ලඟට දිව්වත් මට එයාව අල්ලන්න බැරි උනා. ඒ වෙනුවට හිස් අවකාශය විතරයි තිබුණෙ. ඒත් එක්කම මං දැක්කෙ කොහෙන්දෝ මන්දා එකපාරටම මතුවෙච්ච, නිකන් පල්ලියක ෆාදර් කෙනෙක් වගේ මූණ පුරාම රැවුල වවාගත්තු මනුස්සයෙක් දෝණිව හයියෙන් තද කරලා අල්ලගන්නවා. මං ඒ මනුස්සයව අල්ලන්න පැන්නට මට අල්ලගන්න තියා ලඟටවත් යන්න ලැබුණෙ නෑ.

“දුවන්න අහස් අර පේන දොරින් පැනලා දුවන්න…!!! ආයෙ පිටිපස්ස බලන්නෙපා… මේක තමයි ඔයාට මේ ආත්මෙන් ගැලවෙන්න තියෙන අන්තිම අවස්තාව… දුවන්න අහස්….!!!” ඒ මිනිහා මං දිහා බලලා කෑගැහුවා. ඒත් එක්කම ඊට පිටිපස්සෙන් ලොකු සුදුපාට ආලෝකයක් විහිදුවන දොරක් වගේ එකක් මං දැක්කා.

“එපා….. මාව දාලා යන්න එපා තාත්තී…… අනේ……. මාව අතෑරපන්…. මගෙ තා…ත්….ති…ව.. මගෙන් වෙන් කරන්න එපා….. අතෑරපන් මට යන්න දියා…න්….!!!” දෝණි කෑගහද්දි මට එයාව දාලා යන්න හිත දුන්නෙ නෑ. ඒත් හිතට ආපු මොකක්දෝ අමුතු ධනාත්මක හැඟීමක් නිසා මට එතනින් යන්න හිතුණා.

“තව වැඩි වෙලාවක් නෑ අහස් මෙතනින් පැනගන්න… එහා පැත්තෙ ඉන්නෙ ඔයාගෙ තාත්තා… දෙවියන් වහන්සේ ඔයාව ආරක්ශා කරනවා අහස් ඒ නිසා මෙතනින් ඉක්මණට පැනගන්න… යන්න…..!!!” අර මනුස්සයා ආයෙමත් මට කෑගැහුවා. අන්තිම වතාවට දෝණිගෙ මූණ දිහා බලපු මම ඒ මූණ මහා යක්ශ මූණක් බවට හැරෙන්න ගන්නවා දැක්කා. ඒත් එක්කම වගේ මං අර ආලෝකය ආපු දොර දිහාවට දිව්වෙ ආයෙ පිටිපස්සවත් නොබලා. ඒ දොරෙන් එලියට පනිනවත් එක්කම මාව කොහෙටදෝ ඇදිලා යනවා වගේ දැනෙද්දි මං කෑගැහුවා.

“තා…ත්…තී…..!!!” දෝණිගෙ කටහඬ ඈතින් වගේ මට ඇහුණා.
************************************************************************

ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.