Katha Ahura

මරණයේ දොරටුව | අටවන දොරටුව | හොල්මන් කතා| කතා අහුර රචක

5/5 - (1 vote)

මරණයේ දොරටුව

අටවන දොරටුව

රණසිංහ සර් ඒක කිව්වා විතරයි හාමුදුරුවෝ මගේ මූණ දිහා බලලා පොඩ්ඩක් කල්පනා කරා.. ඊට පස්සේ ආයෙමත් කතා කරන්න පටන් ගත්තා .

සර් අපි ආවේ නම් මීට අවුරුදු 15ට කලින් සිද්ධ වුණ දෙයක් දැන ගන්න. ඉස්කෝලෙන් ගිය බස් ඇක්සිඩන්ට් එකක් ගැන… කියලා හාමුදුරුවෝ කියද්දීම රණසිංහ සර්ගේ මූණ වෙනස් වෙනවා අපි හැමෝම දැක්කා..

ම්…මේ… මේ… ඇයි අපේ හාමුදුරුවෝ එකපාරටම ඒ වගේ දෙයක් ඇහුවේ? කියලා රණසිංහ සර් ඇහුවේ කලබලෙන්..

මේ ළගදිත් ඉස්කෝලෙන් ගිය බස් එකක් ඇක්සිඩන්ට් වුණා කියලා සර් දන්නවනෙ .. මීට අවුරුදු 15ට කලිනුත් ඒ වගේම දෙයක් වෙලා තියෙනවා කියලා අපි දන්නවා. ඒක ඇක්සිඩන්ට් එකෙන් විතරක් නවතින්නේ නෑ.. තව ඉස්සරහට යනවා කියලත් අපි දන්නවා . ඉතින් මොන ක්‍රමේකින් හරි අපි මේක නවත්තන්න ඕනි. අපි හිතනවා සර් අපට උදව් කරයි කියලා .. හාමුදුරුවෝ එහෙම කිව්වේ අපි හැමදෙයක්ම දැනගෙන කතා කරනවා කියලා අගවලා..

හාමුදුරුවනේ මං ඒ අතීතේ මතක් කරන්නවත් කැමති නෑ.. මට මගේ දරුවා නැති වුණෙත් ඔය ඇක්සිඩන්ට් එක නිසා. හාමුදුරුවෝ විශ්වාස කරලා මේ දේ කියනවා මිසක් නැත්නම් මං මැරෙනකොට මාත් එක්කම මේ රහස වැළලිලා යයි.. ඉතින් හාමුදුරුවනේ කාටවත් මේ ගැන දැනගන්න තියන්න එපා.. කියලා රණසිංහ සර් බැලුවේ මායි උදේනකයි දිහා ..

හාමුදුරුවන්ට ඒක තේරුණු නිසාද කොහෙද රණසිංහ සර් කිසිදේකට බය වෙන්න එපා . මට  මේ දරුවො දෙන්නා විශ්වාසයි.. කියලා කිව්වා .

ලොකු කතාවක් කියන්න යනවා කියලා තේරුණු නිසාම අපි හොදට හරිබරි ගැහිලා පුටුවේ වාඩි වුණා .

ඒක දිග කතාවක් … මං කෙටියෙන් කියන්නම්..මීට අවුරුදු 15කට කලින් මං ඉස්කෝලෙ ප්‍රින්සිපල් වෙලා ඉද්දී ළමයි කොළඹ ගිහින් ආවා සමස්ත ලංකා නාට්‍ය තරගයකට ඉදිරිපත් වෙලා… නාට්‍ය සර් තනියම යන නිසා ඉස්කෝලෙ පියන් වැඩේට හිටිය සුමනසිරි කියන කොල්ලව යැව්වේ බෑ කියද්දී මගේ කීමට.. ඒ දවස්වල ඉස්කෝලෙ ගුරුවරු ගොඩක් හිටියේ නෑ.  ඒ නිසා මං සුමනසිරිට යන්න කිව්වත් සුමනසිරි ඒකට කැමති වුණේ නෑ.. ඒකට හේතුව තමා සුමනසිරිගේ අම්මා නැති වෙලා තුන්මාසේ  දානේ තිබිලා .. ඒත් මං ඒක ගණන් නොගෙන රාජකාරි බලය පාවිච්චි කරලා සුමනසිරි බලෙන් යැව්වේ . බස් එකෙ ඩ්‍රයිවර්ට නින්ද ගිහින් බස් එක හැප්පිලා තිබුණේ ලොකු කලු ගල් තලාවක. ඒකෙන් සුමනසිරි ළමයත් මැරුණ..  කියලා රණසිංහ සර් ලොකු හුස්මක් ගත්තා ..

අපි කුතුහලයෙන් කතාව අහගෙන හිටියේ ..

හාමුදුරුවනේ ගිලන්පසක් හදාගෙන එන්නම්… කතාවෙන් කතාව ඒකත් බැරි වුණා .. කියලා රණසිංහ සර් නැගිටින්න හැදුවා .

නෑ.  නෑ.  එපා සර්..  දැන් ඕනි නෑ.. අපි කතාව අහලා ඉවරයක්ම කරගමු… එතකොට ලේසි අපට… කියලා හාමුදුරුවෝ කිව්වේ අපිටත් අහන්න ඕනි වෙලා තිබුණු කතාව දැනගන්න අවස්ථාව දීලා ..

හ්ම්ම්… කියලා ලොකු හුස්මක් අරං රණසිංහ සර් ආයෙමත් කතාව කියන්න පටන් ගත්තා .

සුමනසිරි මැරිලා තියෙන්නේ මාත් එක්ක ලොකු තරහකින්… මොකද මමනේ ඒ ළමයට යන්න බල කරේ.. ඉතින් ඒකට අවසානයේ මගේ දරුවා බිලි වුණා … කියලා රණසිංහ සර් අඩන්න පටන් ගත්තා ..

ඕනෑම තාත්තෙක්ට තමන්ගේ දරුවා නැති වුණා කියන්නේ මේ ලෝකයේ ලොකුම වේදනාව..  ඉතින් අඩන්න එපා කියලා හිත හදන්න අපට බෑ..

රණසිංහ සර්.. මේක ලොකු දුකක් කියලා අපි දන්නවා … සසර බැදීම් කියන්නේ දුකක් … වේදනාවක්…  නමුත් අපට මේ කතාව දැනගන්න ඕනි… මීට අවුරුදු 15කට කලින් වුණ දේ ආයෙමත් නොවී වළක්වගන්න… කියලා හාමුදුරුවෝ කියද්දී රණසිංහ සර් පුදුමෙන් බැලුවේ හාමුදුරුවෝ දිහා .

ඒ… ඒ… කිව්වේ අපේ හාමුදුරුවනේ .. ආ… ආයෙමත් වෙනවා කිව්වේ කියලා රණසිංහ සර් ඇහුවේ බයෙන් ..

රණසිංහ සර් බය වෙන්න කාරී නෑ. අපි හැමෝම එකතු වෙලා මේක නතර කරමු… මං ඒ ගැන විස්තර කියන්නම් සර්ගේ කතාව අහලා ඉවරයක්ම කරලා … කියලා හාමුදුරුවෝ කිව්ව නිසා රණසිංහ සර් ආයෙමත් කතාව කියන්න ලෑස්ති වුණා .

හොඳමයි හාමුදුරුවනේ … සුමනසිරි නපුරු අමනුෂ්‍ය ආත්මයක් ලබලා වයිරෙන් මැරුණ නිසා … ඌට ඕනි වෙලා තියෙන්නේ මගෙන් පළිගන්න . මීට අවුරුදු 15කට කලින් ඇක්සිඩන්ට් එක වෙලා හරියටම මාස හතරකින් ඌ මගෙ පුතාගේ ඇගට විටින් විට ඇතුළු වෙලා තිබුණා .. පුතා සමහරවෙලාවට හැසිරෙන විදිය අමුතු වුණාට මං ඒක ගණන් ගත්තේ නෑ… කියලා රණසිංහ සර් කියද්දී හාමුදුරුවෝ කතාවට බාධා කරා..

සමාවෙන්න රණසිංහ සර් … හැසිරීම අමුතුයි කිව්වේ මොන වගේද ? කියලා හාමුදුරුවෝ ඇහුවා.

මස් මාලු කෑවේ නැති දරුවා සමහරවෙලාවට මස් මාලු ඉල්ලගෙනම කෑවා.. තවත් වෙලාවක සැරෙන් කතා කරනවා.. එහෙමත් නැත්නම් කාමරේට වෙලා තනියම කියවනවා.. එදාට ගෙදර බුදු පහන පත්තු කරන්න දෙන්නේ නෑ නෝනට.. දවසක් නෝනා පහන තියන්න යද්දී පුතා එපා කියලා නෝනට ගලකින් ගහලා තුවාල කරලා තිබුණා .. මගේ දරුවා පිරිමි ළමයෙක් වුණාට හරි අහිංසක හිතුවක්කාර නැත්නම් දරුවෙක්..එහෙම කරාම අපට පුදුම හිතුණා .  ආදරේ නිසා අපි මුකුත් කියන්න කරන්න ගියේ නෑ… කියලා රණසිංහ සර් කිව්වම අපට දැනුණ් බයක්..

මොකද උදේනක මගේ කනට ලං වෙලා කිව්වේ අපේ ඇගටත් ඌට ඇතුළු වෙන්න බැරි කමක් නෑනේ කියලා ..

හ්ම්… ඊට පස්සේ … කියලා හාමුදුරුවෝ ආයෙමත් කතාව අහන්න ලෑස්ති වුණා .

දවසක් මගේ පුතා එයාගෙ පංතියේ ගෑනු ළමයෙක්ට බලහත්කාරකමක් කරන්න හදලා.. මට විශ්වාස කරන්න බැරි වුණා .. මොකද මගේ පුතා කවදාවත් එහෙම කරන කෙනෙක් නෙවෙයි .. හැබැයි ඒ ගැහැනු දරුවගේ  යාලුවෙක් ඇහින් දැක්කා කිව්වා මගේ පුතා ඒ ගෑනු ළමයට කරදරයක් කරන්න හදනවා.. ඊට පහුවදා ඒ ගැහැනු දරුවගේ තාත්තා ඇවිත් අපේ ගෙදරදීම මගේ පුතාට කෑ ගැහුවා පුතා නොහොබිනා දෙයක් කරා කියලා . මට කාගෙවත් පැත්තක් ගන්න බෑ.. මගේ පුතා එහෙම කරන දරුවෙක් නෙවෙයි වගේම ඒ ගැහැනු ලමයත් බොරු කියන කෙනෙක් නෙවෙයි … මගේ පුතා අඩ අඩම කිව්වා එයා ඒ වගේ දෙයක් කරෙ නෑ කියලා . ඒත් කෙල්ලගේ තාත්තා මටත්  කැ ගහලා ගියේ මාත් මේවට වගකියන්නට ඕනි කියලා .. එයා පොලීසියට යනවා කියලා … ඊට පහුවදා මගේ පුතා එල්ලිලා මැරුණ ලැජ්ජාව නිසා … කියලා රණසිංහ සර් ඔලුවට අත තියාගත්තා …

අද පොඩ්ඩක් දැම්මේ.. තරහ වෙන්න එපා .. තව කොටස් දෙකකින් වගේ කතාව ඉවර කරනවා .

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..

නයෝමී නදීරා ධීරසිංහ

2 thoughts on “මරණයේ දොරටුව | අටවන දොරටුව | හොල්මන් කතා| කතා අහුර රචක”

  1. Thakshi Deepali Jayasuriya

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කිටයි කතා අහුරේ හැමෝටමයි…කතාව නම් හරිම ලස්සනයි අක්කි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.