Katha Ahura

රස කතා අහුර | හත්වන කොටස

කතාව කොහොමද?

මාළු පොල්

සුමනාවතී දරුවන් සිවු දෙනෙකුගේ මවකි. සැමියා කුලී වැඩ කර උපයන මුදලට අමතරව ඇත්තේ සුමනාවතී ගමේ මඟුලකට පින්කමකට උදව් වී උපයන සොච්චම් මුදලක් පමණි. ඇය ඒවාට කැමැත්තෙන් සහභාගී වන්නේ එවැනි දෙයක් අවසානයේ දින දෙක තුනකට පමණ සෑහෙන්න ඉතිරි වූ කෑම බීම හා අඩුම්බ කුඩුම්බ ලැබෙන බැවිනි. ඇතැම් පින්කම් ගෙවල් වලදී ඇය බලාපොරොත්තු වූ වාසියක් නොලැබුණොත් ඒ වෙනුවට කුමක් හෝ අතට හසුවන යමක් යටිමඩි ගසාගෙන යෑමට ද ඇය පසුබට වන්නේ නැත. ඒ බැව් ගමේ කවුරුත් දනිති.

කඩපිළට ගියත්, කඩේ මුදලාලි පෙනෙන්නට, නැත්නම් මොනවා හෝ මිට මොළවාගෙන යාමට ඇය බිය වූයේ ද නැත. වාචාල කටක් ඇති බැවින් වැඩි දෙනෙක් ඇයගේ සොරකම් දුටුවත්, නොදුටුවා සේ ඉන්නට වගබලා ගත්හ.

දිනක් සුමනාවතී මිරිස් තුනපහ ගෙන ඒමට ගමේ කඩයට ගොඩ වැදුණාය. ඇය කඩයට එනවිට මුදලාලි සිටියේ ලොරියකින් පොල් තෝරමිනි. පොල් ගොඩ දුටු සැණින් සුමනාවතීට ආ කාරණයද අමතකව ගියේය. අලුත් මාළු පොල් කාලයේ හැටියට මහාර්ඝ වස්තුවකි.

“මුදලාලි! මට පොල්ගෙඩි දෙකක් දෙනවද?” පොල් තෝරමින් සිටි මුදලාලි ඇයට පොල් ගෙඩි දෙකක් දී මුදල් රැගෙන කැෂියර් මේසය අසලට යද්දී සුමනාවතී ඉක්මන් ගමනින් මඟට බැස්සාය. සුමනාවතීගේ වග දන්නා මුදලාලි ඇය නොකියා ම මඟට බැස්සේ ඇයි දැයි විපරම් කර බැලීය. මුදලාලිගේ සැකය නිවැරැදි විය.

“ඒයි සුමනාවතී! ඔහොම හිටපං උඹ සල්ලි දුන්නෙ පොල්ගෙඩි දෙකකට නේද?”

“ඔව් මුදලාලි….”

“එහෙනං ඔය ගෙඩි තුනක් අරගෙන යන්නෙ මොකද?”

“ඇයි හත්වලාමෙ, මේක මුදලාලි ගෙන් ගත්තු ගෙඩියක්යැ. මගදි අහුලගත්ත ‍පොල් වලටත් සල්ලි ගෙවන්න ඕනද?”

මුදලාලිට කට කොනකින් සිනා ගියේ ඇයගේ මෙම කතාවටය.

“ආ බං! උඹලගෙ පාරෙ ලෙලි ගහපු පොලුත් ගස්වලින් වැටෙනවද?”

සුමනාවතීට වැරදුණු බව දැනුණේ එවිටයි.

“ඒකෙං කාරි නෑ. ඔය අනිත් පොල් ගෙඩිය මෙහෙන් දාල පලයන්.”

“ආ….! මුදලාලිට ඇතිනං තියා ගන්න” යි කියමින් ඇය පොල් ගෙඩිය ගොඩට විසි කරමින් අඩියට දෙකට නොපෙනී ගියාය.

වල්ලාපට්ටා ගැලවීම

මේ සිද්ධිය මින් වසර පනහකට පමණ පෙර සිදුවූවකි. එකල අද මෙන් වල්ලාපට්ටා සඳහා විශාල ඉල්ලුමක් නොවූ අතර වල්ලාපට්ටා ගස්වලට ද එතරම් වැදගත්කමක් නොවීය. එදා පොල් රා පෙරූ අය වල්ලාපට්ටා පොතු ගලවා අව්වේ වියළා පොල් මල් වෙලීම සඳහා උපයෝගී කර ගත්හ.

මේ පවසන දෙදෙනා ‍අද ජීවතුන් අතර නැත. සේතං හා උක්කුං නම් වු අයියා මලෝ දෙදෙනා එකල පොල් රා පෙරීම ජීවිකාව සඳහා කළහ. මේ දෙදෙනා පොල් මල් වෙලීමට වල්ලාපට්ටා සොයා ගත්තේ අසල වනරොදෙනි.

දිනක් වල්ලාපට්ටා සෙවීමට වනරොදට රිංගූ මේ දෙදෙනා කැලයේ වූ හොඳ සරුවට වැඩුණු වල්ලාපට්ටා ගසක් ළඟ නැවතුණහ. දෙදෙනා එක්ව වල්ලාපට්ටා ගස වටේට පොත්ත කපා බිම සිට ඉහළට ගැලවීම කළහ. එහෙත් ඉහළින් වල්ලාපට්ටා වෙන් නොවීම නිසා පට්ටා ටික ගලවා ගැනීම ප්‍රශ්නයක් විය. මේ ගැන කල්පනා කළ උක්කුං,

“අයියේ, උඹ ගහ උඩට ගිහින් පොතු ටික කපලා බිමට දාපන්” යැයි පැවසීය.

“ඒකත් හරි තමා බං” යනුවෙන් පැවසූ සේතං ඉතා අපහසුවෙන් පොතු ටික ද අල්ලා ගනිමින් ගස උඩට නැග පොතු ටික ගහෙන් වෙන් කර බිමට හෙළීය.

අඩි දහයක් දොළහක් උස වල්ලාපට්ටා ගස පොතු ගැලවීමෙන් පසු ඉතාම සෙවල ගතියෙන් යුක්තය. මෙනිසා සේතංට ගසෙන් බිමට බැසීම ඉතා දුෂ්කර කාර්යක් විය. ගස උඩ සිටි සේතං බිම සිටි මලයාට කතා කර, “ඒයි, උක්කුං කොහොමද බං මං බිමට බහින්නේ” යැයි විමසීය. එවිට උක්කුං පැවසුවේ ගහ බදා ගෙන බිමට රූටන ලෙසය.

මලයාගේ උපදෙස් අනුව ගහෙන් බිමට රූටා ආ සේතං ගේ තුනටිය පොළොවේ ඇනුණේය. ඉන්පසු කාලයක් යනතුරුම සේතංට පොල් මල් මැදීමට නොහැකි වූයේ සෑහෙන කාලයක් තුනටියේ අමාරුවට වෙදකම් කිරීමට සිදුවීම නිසාය.

 

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.