Katha Ahura

සඳලතා |11 වන කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)


13w
සඳලතා නිසා 11 කොටස

ගොලු උක්කුවා තවත් ටික වේලාවක් ගුරුන්නාන්සේත් එක්ක හස්ත බසින් මොනවද කියව කියව ඉදල යන්න ගියා. ගොලු උක්කුගේ හැසීරීමෙන් මම එක දෙයක්න්ම තේරුම් ගත්තා. ඒ ගුරුන්නාන්සේ කියපු දේවල් වලට ගොලු උක්කු හොදටම බය වුනු බව.

” ගුරුන්නාන්සේ මොකක්ද අද රෑ තියෙන වැඩේ…….”

ගොලු උක්කු ගිහින් ටිකාවෙලාවක් ගියාට පස්සේ මම ඒක ගුරුන්නාන්සේගෙන් ඇහුවා.

” මායි ගොලු උක්කුයි එක්ක ඒ වෙලාවට වරෙන් යන්ඩ ,එතකොට උබටත් බලා ගන්ඩ පුලුවන් මම කරන වැඩේ… හැබයි කොල්ලෝ ඒ දේ බලන්ඩ යනවනම් ,උබ උබේ හිත හොදටම ශක්තිමත් කර ගන්ඩ වෙනවා කිසි දේකට බය නැතිවෙන්ඩත් ඕනා….. මට එතකොට හිතාගන්ඩ පුලුවන් වෙයි උබ මගේ ආවතේවකාරයා විදිහට වැඩ කරන්න පුලුවන් එකෙක්ද කියලත්.”

” හරි මම ගුරුන්නාන්සේ මාම එක්ක ඔය ගමන යන්න එන්නම්කෝ……..”

මම ඒක කිව්වේ ස්තිර හඩින් කියද්දී ගුරුන්නාන්සේ ඇස් බැබලුනා. ගුරුන්නාන්සේ ගෙන් අර වශී ගුරුකම් මන්තරය ඉගෙන ගන්න ඔය වගේ දේවල් කරල ගුරුන්නාන්සේ ගේ හිතේ මම ගැන පැහදීමක් ඇතිකරන්නයි මට ඕනා වුනේ.
*****************************
ඉරත් කෙමෙන් කෙමෙන් බටහිර අහසේ හැංගෙන්න පටන් ගත්තේ අදුරට ආරාදනා කරමින්. ගුරුන්නාන්සේ අත් දෙක පිටිපස්සට බැදගෙන කලබලෙන් පාර දිහා බලාගෙන එහෙ මෙහෙ යනවා බලාගෙන

” ඇයි ගුරුන්නාන්සේ මාමේ ”

මම ඒ දේ ඇහුවේ තවත් බලන් ඉන්න බැරි තැන.

” ගොලු උක්කුවා…. මම අද කරන්න යන වැඩෙ කරන්න එන්නේ නෑ වගේ… ඌ බොරුවට එනව කියල තමා ගිහින් තියෙන්නේ…… බොරු කාරයා… ”

ගුරුන්නාන්සේ දත්මිටි කෑවේ තරහින්.

” තව ටිකක් බලමු ගුරුන්නාන්සේ මොකක් හරි කරදරයක්වත් වෙලාද දන්නේ නෑ…….”

” මොන කරදරද ,ඕක අර වගේ වැඩ වලට බයයි… මග ඇරින්ඩ ඇතී……මම බලාගන්නම් ඌ ගැන…”

” දැන් ගුරුන්නාන්සේ ඒ කෙනා ආවේ නැත්නම් අර රෑ කරන්න යන වැඩේ කරන්න බැරිවෙනවත් එක්ක නේ……”

” මේ වැඩේ කොහොමහරි කරන්න ඕන කොල්ලෝ ,ආයේ මේ වගේ අවස්තාවක් ලෙසියකට එන්නේ…නෑ….”

කියපු ගුරුන්නාන්සේ පුටුවක ඉදගෙන නිකට දකුනු අතින් පිරිමදිමින් දිගු කල්පනාවක වැටුනා. මම බැලුවා ආයෙම පාරක් ගොලු උක්කුගේ මේ පැත්‍තට එන චායාවක් වත් පේනවද කියලා. ඒත් නෑ.

” කොල්ලෝ…..”

ගුරුන්නාන්සේ ටිකවෙලාවකින් මට කතා කෙරුවා.

” කොච්චර බලන් උන්නත් ඔච්චරම තමයි, ගොලු උක්කුවා එන්නෙ.. නෑ… ඒත් මේ වැඩේ අද මට කොහොමහරි කරන්නත් වෙනවා… ඉතින් උබයවත් එන්න වෙනවා මාත් ඒක්ක ඒ වැඩේ කරන්න උදව් කාරයා විදිහට”

ගුරුන්නාන්සේ ඒක කියද්දී මගේ හිත ගැස්සුනේ නෑ කිව්වොත් ඒ බොරූ.

“ඒත් ගුරුන්නාන්සේ මාමේ මම ඔය කරන වැඩේ ගැනවත් කරන්නේ මොනවද ,ඒ වෙනුවෙන් මට කරන්න තියෙන්නේ ඒ කිසිම දෙයක් මම දන්නේ නෑ නේ……..”

” බයවෙන්ඩ එපා කොල්ලෝ ,එහෙම උබට කරන්න කියල මහ ලොකු දෙයක් නෑ….. නිකම් මගෙ තනියට යනවා වගේ එන්න විතරයි උබට තියේන්නේ… පොඩිම පොඩි දෙයක් උබට කරන්න තියෙන්නේ..”

” ඒත් ගුරුන්නාන්සෙ ඒ කරන්න කියන පොඩි දෙත් කියන්නකෝ….”

” හ්ම්ම්ම්ම් මම කියන්නම්… මේ වැඩේ උබ හරියට කෙරුවොත් මම හෙට උදේම ,උබ අර කෙල්ලගෙන් ඉල්ලගෙන ආපු වතුරට මතුරන්න අර වශී මන්තරය කියල දෙනවා… මම කලින් කියල දෙන්න හිතුව වශි මන්තරේ නෙමේ උබට් කියල දෙන්නේ…ඊටත් වඩා බලගතු වශී මන්තරයක්. මතුරල අරන් ගිහින් පොවවන්න ඕනෙත් නෑ ඒ කෙල්ලට.

ඒ මන්තරේ කොච්චර ප්‍රබලද කිව්වොත් උබ ඒ මන්තරේ අර වතුරට 108 පාරක් මතුරන්න කලින් ඒ වතුර දුන්න කෙල්ල එරොප්පේ හිටියත් උබව හොයාගෙන උබ ලගට ඒවී…ඒ තරම් ප්‍රබලයි…..”

” එරොප්පේ නෙමේ ගුරුන්නාන්සේ සදලතා දැන් ඉන්නේ මේ ගමේමයි ”

ගුරුන්නාන්සේ අර දේ කියද්දී මය එහෙම කියන්න හිතුනත් මම ඒක කිව්වෙ නෑ. ඒ හින්දාම මට හිතුනා මේ මන්තරේ වැඩ කරාවී කියලත්.

” ඉතින් ගුරුන්නාන්සේ මාමේ මට කියන්නකෝ අද රෑ මම ගුරුන්නාන්සේ මාම එක්ක ඇවිල්ලා මොනවද කරන්න ඕනේ කියල….”

” උබට කරන්න තියෙන්නේ අද රෑ මාත් එක්ක ගමේ මිනීපිටියට යන්න ”

ගුරුන්නාන්සේ ඒක කිව්වට මම එච්කරම පුදුම වුනේ නෑ. මොකද මම ඊයේ හවස ගුරුන්නාන්සේ පාල එක්ක මේ මිනීපිටියට යන එක ගැන කියපු කතාව් අහගෙන හිටපු නිසා.

” ඊට පස්සේ ගුරුන්නාන්සේ මාමේ…”

” අද වල්ලලු අර මැරුනු කෙල්ලගේ මිනිය ගොඩ ගන්ඩ ඕනා….”

” මිනිය ගොඩ අරන් කරන්නේ මොකක්ද ”

මගෙ හිතේ ඒ කතාව ඇහුනට පස්සේ බියක් දැනුනත් එය අගවන්නේ නැතුව් ගුරුන්නාන්සේ ගෙන් ඒ දේත් ආයෙම ඇහුවා.

” පිල්ලියක් යවන්ඩ…….”

” පිල්ලියක්……යවන්ඩ ,ඒත් පිල්ලියක් කියන්නේ මොකක්ද ”

” ම්ම්ම්ම් ම්ම්ම් උබට ඒවයින් වැඩක් නෑ… උබට ඒ ගැන හරියටම දැන ගන්ඩ පුලුවන් වෙයි අද රෑට. උබට කරන්න තියෙන්නේ මෙච්චරයි.”

දැන් ගුරුන්නාන්සේ ගේ කටහඩත් පොඩ්ඩක් පහත් වෙලා වටපිට බලපු ගුරුන්නාන්සේ ආයෙම මට කරන්න ඕන දේ කියන්න පටන් ගත්තා.

” මිනීපිටියට ගිහිල්ලා මිනිය ඉස්සරවෙලාම ගොඩට අරන් ගොඩ දාපු පස් උඩ තියනවා.. ඊට පස්සේ මම මිනීවලට බැහල උඩබැල්ලට දිගා වෙලා මන්තර වගයක් ජපකරනවා… මිනිපිටියට යනකොට බන්දන තටු තුනක් අරන්යනවා…

එකක තියෙනවා පලතුරු ,අනිත් එකේ බිත්තරයක්, තුන්වෙනි එකේ තියෙනවා කිතුල් බඩයක්. ඔන්න ඔවා

මම අර මිනීවලේ ඉදන් මන්තර මතුරල ටික වෙලාවක් යද්දී එකපාරම උබේ පැත්තට ඒවී කලු වදුරෙක් උබ එතකොට කරන්න තියෙන්නේ අර පලතුරු ටික උගෙ පැත්තට විසි කරන්න ඌ ඒකත් අරන් යයි. ඊට පස්සේ තව ටික වෙලාවකින් උබේ පැත්තට එයි, කලු මහත් පෙනේ පුප්පගෙන් කලු නයෙක් . ඌ ඉස්සරහට එද්දී උබ අර බිත්තරය ඌට අරන් යන විදිහට බිත්තරය බිමින් තියපන්. නයා ඒක අරන් වදුරා වගේම යයි.

තවත් ටික වෙලාව්ක් යද්දී අලියෙක් කුංචනාද කරන් එයි. උබ ඌටත් කිතුල් බඩේ දීපන්. ඔය වදුරයි ,නයයි,අලියයි තුන්දෙනාම විදිහට වේසයන් මවාගෙන එන්නේ මහසෝන තමයි. ”

” ම…ම හසෝනා……”

ගුරුන්නාන්සේ ඒදේ කිව්වමනම් මට ඇතිවුනේ ගොඩක් බය්යි.

” උබ දැනටමත් බයවෙලානේ… බයවෙන්ඩ එපා කොල්ලෝ. අර බන්දන තටු තුන හරියට දුන්නම් මහසෝනගෙන් කරදරයක් නෑ. පොඩි ළමයිවගේ කීකරුවෙලාආපහු යන්න යයි. ඔය මහසෝනට බයවුනාට මහසෝනට සමහර අය මහසොහොන් දේවතාව කියල පහනුත් පත්තු කරනවා… එහම කරදර කරන්නේ නෑ……

හරි ඊට පස්සේ අර අලියත් කිතුල් බඩේ අරන් ගියාට පස්සේ මිනීපිටියට යනකොට අරන් යනව පැන් කොතලයක් ,ඒක උබ අරගෙන මිනිවල ඇතුලේ ඉන්න මට වක්කරන්න ඕනා…. ඔන්න ඔච්චරයි. පොඩිම පොඩි දෙයක් උබට කරන්න තියෙන්නේ….”

මට ඒක හෙන ලොකු බැරෑරුම් දෙයක් වුනාට ගුරුන්නාන්සේ නම් ඒක කිව්වේ ගානක්වත් නැතිව.

” ඒත් ගුරුන්නාන්සේ මොකක් හරි වැරෙද්දක් මගෙ අතින් වෙලා මහසෝනගේ බිල්ලක් වෙන්න වෙයිද”

” එහෙම දෙයක් වෙන්නේ නෑ කොල්ලො…අනික මේ මම කරන සාස්තරේ රජකාලේ ඉදන් පරම්පරා ගානක් තිස්සෙ ඇවිත් මට හම්බවුන සාත්තරයක්. අවුරුදු ගානක් කෙරුවා කෝ මේ මම හොදට ඉන්නේ.. මහසෝනගේ නෙමේ මොන යකෙකුගෙවත් බිල්ලක් වුනේ නෑ…..

උබ ඔච්චරම බයයිනම් හිටපන්කෝ ඒකටත් විසදුමක් මම කරනම්…..මම උබට දෙන්නම් මතුරල බලවත් කරපු වතුර වගයක්… උබට තියෙන්නේ ඒ වතුර බීල මාත් එක්ක මිනීපිටියට යන්ඩ. ඒ වතුර බිව්වට පස්සේ කිසිම හොල්මන් ,අවතාර යකෙක් උබට කරදර කරන්න ලගට එන්නේ නෑ…….”

ගුරුන්නාන්සේ එහෙම දෙයක් කිව්වට පස්සෙ මගෙ හිතෙ ඇතිවෙලා තිබ්බ බය දසමෙකින් වගේ අඩුවුනා.
*****************************************

එදා රෑ හත අට නමය විතර වෙද්දී ටිකෙන් ටික මගෙ හදගැස්ම එන්න එන්න වැඩිවුනෙ මේ රැයේ කරන්න යන අර බිහිසුණු දේ මතක් වෙලා. ගොලු උක්කුවාවත් ආවනම් පොඩ්ඩක් හරි සහනයක්. ඒත් කරන්න යන වැඩේ බිහිසුණු කම නිසාමද මන්දා ගොලු උක්කුවා අවේ නෑ.

රෑ නමය හමාරට විතර වෙද්දී ගුරුන්නාන්සේ මට වතුර බෝතලයල් ගෙනත් දුන්නා.

” කොල්ලො දැන් අපි අර වැඩෙව් කරන්න යන්න ඕනා. මෙන්න මේකෙන් වතුර ටිකක් බීපං ,බිව්වට පස්සෙ අර මම කිව්ව වගේ අමුනුශ්‍ය ආත්මවලින් උබට කරදරයක් වෙන්නේ නෑ.”

ගුරුන්නාන්සේ දුන්න වතුර බීල මම ගුරුන්නාන්සේ දිහා බැලුවා.

” ගුරුන්නාන්සේ මාමෙ මේ වතුර බෝතලේ මම මිනීපිටියට යද්දිත් අරන් යන්නද…..”

” ඒ මොකටද ඒ……..”

” නෑ මම කිව්වේ ආයේ ඕනෑවුනොත් එහෙම ,ටික වෙලාවක් යද්දී මේ වතුරවල බලය අඩුවුනොත් ආයෙම සැරයක් මට බොන්නත් පුලුවන්…”

” ආයෙ මේ වතුර දිවේ ගෑවුනත් ඇතී ආයේ සෑහෙන්න කාලයක් යනකනුත් අමුනුශ්‍ය ආත්මවලින් කරදරයක් නෑ…….ඒ තරම් බලවත්”

” ඒත් ගුරුන්නාන්සේ කෝකටත් කියල මම අරගෙන යන්නම්….”

” ඔය වතුර බෝතලේ අරන් ඒක ලග තියාග්න අර වැඩෙ කරන්ඩ බෑ…..ඕක මිනීපිටියට අරන් ගියොත් මිනීපිටියෙ ඉන්න යක්කු යක්සනියොත් මිනීපිටියෙන් යන්න යාවී…”

” ඒ කිව්වේ කොල්ලො ඔය මතුරල බලවත් කරපු වතුර බෝතලේ ලගට් අමුනුශ්‍ය ආත්ම වලට කැප නෑ… ඉතින් ඒ හින්දා උන් යයි. ඉතින් අර වැඩේ කරන්නෙත් අමුනුශ්‍යා ආත්මවල උදව අරන් ,ඕක ලග තිබ්බොත් මහසෝනවත් කිට්ටුවෙන්නේ නෑ….”

” ඒත් ගුරුන්නාන්සේ මම දැන් ඒ වතුර බිව්වනේ…ඉතින් ඒ හින්දා කරන්න යන වැඩෙ හරියන්නේ නැතිවෙයි නේ”

” නෑ එහෙම වෙන්නේ නෑ……උබට මේව එකින් එක තේරුම් කරල දෙන්න වෙලාවක් නෑ….මම උබට නිවීසැනසිල්ලේ හෙමීට මේවා තේරුම් කරල දෙන්නම්… දැන් වෙලාව කිට්ටු වෙනවා. ඔය අරන් යන්ඩ තියෙන අඩුම කුඩුමත් ලෑස්තිකරන් යන්ඩ ලෑස්තිවෙය්න්.

කියල ගුරුන්නාන්සේ ගෙට ගියා. මම අර ගුරුන්නාන්සේ දුන්න මතුරල බලවත් කරපු වතුර බෝතලේ දිහා බලන් දිගු කල්පනාවක වැටුනා………

** මගෙ හිත කිව්වෙම ඒක අරන් යමන් කියලා.

” ඔව් ගුරුන්නාන්සේ ට හොරෙන් මම මේක අරන් යන්වා…. මිනීපිටියට අරන් යන්නේ නෑ..මිනීපිටියට ලංවෙද්දිම මන කොහෙහරි මේක හංගල යනවා…එතකොට හරිනේ.. මිනීපිටියට අරන් ගියොත්නේ අවුල වෙන්නෙ..”

හිතපු මම මගෙ කමරේට ගිහින් කලු උරයක් හොයාගෙන ඒකට සරමකුයි කමිසෙකුයි ඔබා ගෙන ආපහු ආවා. ඊට පස්සේ ගුරුන්නාන්සේ ට සැක හිතෙන්නේ නැතිව් අර බෝතලේ ඒ උරේට දාගත්තා.

” මොකක්ද ඔය උරෙ”

ගුරුන්නාන්සේ ඇහුවේ මගෙ කලු උරේ දැකලා.

” ගුරුන්නාන්සේ මමෙ අද වහින්න වගේ ,බැරිවෙලාවත් වැස්සොත් කියල මම සරමකුයි කමිසෙකුයි මේ උරේට දාගත්තා….”

මම කිව්වේ බොරුවකුත් නෙමේ. ඒ වෙද්දී වැහි දේශගුණයක් පරිසරෙත් තිබ්බේ.

” හ්ම්ම්ම්ම්ම්ම් ”

ගුරුන්නාන්සේ ඒකට කිව්වේ එච්චරයි.මැදියම් රැයත් පොඩ්ඩ පොඩ්ඩ ආසන්න වෙමින් තිබ්බ හින්දා ගුරුන්නාන්සේ ඒ ගැන හාර හර අවුස්සන්න ගියේ නෑ………
*******************************

මිනීවල හාරන්න උදැල්ලක් ,නාරස්සනයක්(අලවංගුවක්) බන්දන තටු , විදුලි පන්දමක් තව ඕනකරම අඩුම කුඩුමත් අරන් මමයි ගුරුන්නාන්සේ යි ඒ රැයේ ගමේ මිනීපිටිය පැත්තට යන්න පටන් ගත්තා.

අහසේ හද තියෙන කාලයක් වුනත් ,වැහිවලාකුලුවලට හැංගිලා අහසේ හද පේන්න තිබ්බේ නෑ. තරුත් තිබ්බේ මට පෙන්න අහසේ දෙකක් විතරයි. වැස්සෙ නැතත් පරිසරෙ තිබ්බේ මර වැහි සීතලක්.

එවන් වතාවරනයක් තියෙද්දී මම ගුරුන්නාන්සේ ට පිටුපසින් කැලෑ පාරවල් වලින් මිනීපිටිය පැත්තට බයෙන් බයේ ගියා.

” නිකවැවගම සුසාන භූමියට යන පාර”

ඒ වෙද්දී බොරලු පාරක ආපු මම විදුලි පන්දම් එලියෙන් ඒ අකුරු දැක්කා.
අපි ඒ වෙද්දී ආපු පාරේ අතුරු පරකට වැටෙන තැනකයි ඒක තිබ්බෙ.

” ගුරුන්නාන්සේ මාමේ ,මෙතන ඉදලත් තව ගොඩක් දුර යන්ඩ් තියෙනවද මිනීපිටියට…”

මම ඇහුවේ අර සගවගෙන ආපු බෝතලේ හංගන්න තැනකුත් හොයාගන්න අදහසින්.

” නෑ මෙතන ඉදල ඕනනම් හූවක දුරක් ඇතී… මේ පාර කෙලින්ම ගිහිල්ලා වැටෙන්නෙ මිනීපිටියට තමා..”

ගුරුන්නාන්සේ ඒ දෙ කියද්දී මම අදුරේම අර බෝතලේ හංගන්න තැනක් හෙවුවා. අවසානෙ මම අතු අතර බෙදුන ගහක් බලල ඒ ගහේ පාතම අතු දෙබලක ගුරුන්නාන්සේ ට හොරෙන් ඒ බෝතලෙ දාපු උරේ එල්ලන්න මට හැකිවුනා.

******************************
නිකවැවගම මිනීපිටියට මම දැක්කෙ අර බෝතලේ හංගපු ගහ ලග ඉදලත් මීටර් හාරසීයක් විතර දුරක් ගියාට පස්සෙයි. මිනීපිටිය තිබ්බේ පාලුම පාලු ඉසව්වක. විපරම් කරල බලද්දියි මම දැක්කේ මිනීපිටිය තුන්පැත්තකින්ම මහ මූකලන් කැලයකින් වටවෙලා තියෙන හැටී.

යටට ගිලා බැහල තිබ්බ මිනීගොඩැලි. ජරාජීර්න වෙලා යන මල් වඩම් ,මිනීගොඩැලි වටා එල්ලපු මේ වෙද්දී කරවෙලා ගිය ගොක්සැරසිලි මේ රැයේ මම දකිද්දී ඇතිවෙන්නේ මට බියමුසුම හැගීම්. ඒ මදිවට මිනීපිටිය වටෙන් ඇහෙන නිශාචර සතුන්ගෙ නොනවත්වා කරන කෑගැසීම් නිසා ඒ බය දෙගුන තෙගුන කරවනවා.

මිනීපිටියේ කෙලවරක වෙන්නයි අද වලදාපූ සුජාතාගේ මිනී ගොඩැල්ල තිබ්බේ. අලුත දැමූ පස්, පරන නොවූ ඒ මිනී ගොඩැල්ල උඩ තිබ්බ සුදු මල්වඩම ,මිනී ගොඩැල්ල වටා එල්ලල තිබ්බ ගොක් සැරසිලී කියා පෑවේ ඒ සුජාතාගේ මිනී ගොඩැල්ල කියලයි.

මමයි ගුරුන්නාන්සේ යි ඉකමනටම එතනට ගියා.

” ඔන්න කොල්ලෝ දැන් තමා වැඩේ පටන් ගන්න වෙලාව…”

කියපු ගුරුන්නාන්සේ ගෙනාපු දේවල් මිනී ගොඩැල්ල ලගින් බිමින් තිබ්බා. ඊට පස්සේ ගුරුන්නාන්සේ මිනි ගොඩැල්ල වටේ යමින් මොනවඩ මන්ද ඉස්සේ මන්තර වගයකුත් ජප කරමින්.

” මිනී ගොඩැල්ල වටේට පොඩි ආරක්ශාවක් කෙරුවා.. දැන් බයවෙන්ඩ දෙයක් නෑ… දැක් ඉක්මන් කරල මේ මිනීපෙට්ටිය ගොඩට ගන්ඩ ඕනා….”

ගුරුන්නාන්සේ කියන වචනයක් වචනයක් පාසා මගේ බය වැඩිකරනවා. මේ දේ කරන්න අකමැති වුනත් දැන් මට කරන්න වෙන විකල්පයක් නෑ. නාරස්සනයයි, උදැල්ලයි අරගෙන ඒකේ උදව්වෙන් මමයි ගුරුන්නාන්සේ යි මිනීවල හාරන්න පටන් ගත්තා.

බය වැඩිකම නිසාද මන්දා දැන් මට මිනීපිටියේ තියෙන ගස් වැල් පවා පේන්නේ මව ගිලගන්න බලන් ඉන්න අවතාර වගේ.

සෑහෙන්න වෙලාවක් වල හාරපු අපිට මිනීපෙට්ටියේ පියන උදැල්ල කරස් කරස් හඩක් නගමින් උදැල්ලේ වැදෙන්න පටන් ගත්ත. ඊට මොහොතකට පස්සේ සම්පූර්ණයෙන් මිනීපෙට්ටිය පාද ගන්න මට හැකිවුනා. මේ දේව්ල් කරද්දී මට හැගුනේ මිනීපිටියට අරක්ගත්ත හොල්මන් අවතාර ඔක්කොම අපි දිහා බලාගෙන් ඉන්නව වගේ හැගීමක්.

මතුවුන පෙට්ටිය මත ඉදගත්තු ගුරුන්නාන්සේ මිනීවල ඇතුලේ පහනක් පත්තුකෙරුවා. ඒ පහන් එලිය මිනීවල ඇතුලේ විහිදුවේ මලානික ආලෝකයක්.

” ඔන්න දැන් තමා කොල්ලෝ උබට් තියෙන වැඩෙත් පටන් ගන්නේ… දැන් මේ මිනීපෙට්ටිය උස්සල ගොඩින් තියල මම ඒ මිනීවලේ වැතිරිලා මන්තර ජපකරන්න පටන්ගනවා…

එහෙම කරද්දී අර මම කිව්ව විදිහටම වදුරු වේසෙනුයි ,නාග වේසෙනුයි, අලි වේසෙනුයි මහසෝන මෙතනට එයි. උබ අර මම කිව්ව විදිහටම අර බන්දන තටුවල තියෙන පලතුරු වදුරටයි, බිත්තරෙ නාගයටයි, කිතුල් බඩේ අලියටයි දෙන්ඩ ඕනා. පලතුරුයි ,කිතුල් බඩෙයි පටලවගන්නේ නැතුද වදුරටයි,අලියටයි විසිකරපන්.

නයා එද්දී ,ඌ එන්නේ දෙවනියට ,ඌ එන ඉස්සරහට බිත්තරේ තියපන් ,හැබයි බිත්තරෙ බිද ගන්ඩ නම් එපා… හරිද කොල්ලෝ. උන් තුන්දෙනම ගියාට පස්සෙ අර තියෙන පැන් කොතලෙන් මාව නාවපන්. හරිද කොල්ලෝ…..තේරුනාද…”

” තේ…තේරුනා ගු..ගුරුන්නාන්සේ මාමේ…”

මම කිව්වේ ගොත ගසමින් බයෙන් වගේ.

” කිසිදේකට බයවෙන්ඩ එපා. වදුරයි,නාගයයි,අලියයි ,උන්ට අරව දුන්නම උබට කිසිම කරදරයක් කරන්නේ නැතුව ඒවත් අරන් ය්නවා….ඒක ස්තිරයි.හැබයි උන්ව තරහ ගස්සන්නේ නැතුව මම කියපු විදිහටම දීපං”

” හා ගුරුන්නාන්සේ මාමේ ,මම එහෙම කරන්නම්….”

” හ්ම්ම්ම්ම්ම් එහෙනම් වරෙන් මේ මිනීපෙට්ටිය උස්සල ගොඩින් තියන්ඩ ,උබ ඔය පැත්තෙන් අල්ලපන්.”

ගුරුන්නාන්සේ කිව්වම මම ගුරුන්නාන්සේ ත් එක්ක එකතුවෙලා මිනීපෙට්ටිය මිනීවලෙන් ඉවත දැමූ පස් ගොඩ උඩින් තිබ්බා. ඊට පස්සෙ ගුරුන්නාන්සේ මිනීපෙට්ටියේ පියන ඇරියේ මගේ හද ගැස්මත් වැඩි කරමින්.

පියන ඇරුනු මීනීපෙට්ටියෙන් මම ආයේ පාරක් උදේ දැකපු සුජාතා කුමරිගෙ මිනිය දැක්කා. ඒත් ඒ මිනිය මම අද උදේ දැක්කට වඩා ටිකක් වෙනස්වෙල තිබ්බා. මූන ඉදිමිලා තිබ්බ සුජාතාගේ මිනියෙ කටින් මේ වෙද්දී සුදු දතුන් පෙන විදිහට වෙනසෙලා තිබ්බා. මද දුර්ගන්දයකුත් මිනිය ලගින් එන්න පටන් අරන් තිබ්බා.

” මම අමාරුවේ වැටෙයිද ”

බියෙන් ඒ දිහා බලගෙන මම මුමුනද්දී ගුරුන්නාන්සේ මන්තර ජපකරන එක පටන් ගත්තා. ගුරුන්නාන්සේ මන්තර ජපකරන්නේ වලේ උඩුබැල්ලට නිදාගෙන. ගුරුන්නාන්සේ දකිද්දී මට හැගුනේ ම්ම ලග තියෙන බයෙන් දසමයක්වත් ගුරුන්නාන්සේ ලග නෑ කියලා.

මම සිත දැඩිකරගත්තා අයෙනම් සුජාතාගේ මිනිය බලන්නෙ නෑ කියලා.

ගුරුන්නාන්සේ නොනවත්වාම අර මන්තර ජපකිරිල්ල කරන් ගියා. දැන් දැන් අර මීනිපිටිය වටෙ තිබ්බ මූකලන් කැලෙන් එක එක හදවත බියෙන් ගස්සන බියමුසු හඩවල් ඇහෙනවා.

අහසේ හදත් නැතිව නරින්හේ එක දිගට ඇහෙන හූ හඩ. ඒ මදිවට් ඇහෙන නිශාචර කුරුල්ලන්ගේ බය හිතෙන හඩවල් ,වවුලන් මිනීපිටියට උඩින් කැ ගසම්න් ඉගිලී යෑම් හරියට කියාපාන්නේ උන්ට මොකක් හරි අසාමාන්‍ය දෙයක් වෙනවා කියල දැනිලා වගේ.

ඒ මදිවට එකපාරම මට කැලේ අස්සෙන් ඇහුනේ ගැහනු කෙනෙක් මරහඩ දෙනවා වගෙ සතෙක්ගේ හඩක්. ඒ සමගම විශාල වවුලෙක් මහේ ඇගේ වැදී නොවැදී පියාඹගෙන යද්දී සුජාතාගේ මිනීපෙට්ටිය ලගින් මට සද්දයක් ඇහුනා.

මිනිය දිහා බලන්නේ නෑ කියල හිතන් හිටියත් ඒ හඩට මගේ ඇස ඒ මිනීපෙට්ටිය ලගට ගියා.

දෙයිහාමුදුරුවනේ විදුලි පන්දම් එලියෙන් මම දැක්ක ඒ බිහිසුනු දසුන. හතුරෙකුටවත් ඒ වගෙ දසුන්ක් පේන්න එපා කියලයි මම පතන්නේ.

කලින් හොදට තිබ්බ සුජාතාගේ මිනියේ ඇස් ඇරිල ගිනියම් වෙලා තිබ්බේ මම මරල දාන්ඩ වගේ බැල්මකින් වගේ. ඒ මදිවට මහා බය හිතෙන් විදිහට මිනියේ කට විවර වෙල දත් උල් කූරු වගේ අපිලිවෙලට ඉස්සරහට ඇවිල්ලා තිබ්බා. මිනිය පිපිරෙන්න තරම් දැන් එන්න එන්න ඉදිමෙනවා.

ඊට්ත් වඩා බයහිතෙන දේ වුනේ මිනියේ දිවයි…. ඒ දිව විවර වුන කටින් එලියට පැනල ටිකෙන් ටික දික්වෙමින් මිනියේ පපුව පැත්තට ඇදෙමින් තිබ්බා.

මේ දේවල් ඔක්කොම මිනියට වෙද්දී ගුරුන්නාන්සේ මන්තර මතුරගෙන ගියේ නොනවත්වාමයි.

දැන් දැන් කැලේ ඇතුලෙන් ඇහෙන හඩව්ලුත් තවත් බය හිතෙන විදිහට පරිවර්තනය වෙලා… එකපාරම මම බයෙන් මරන්ඩ් තරම් හඩක් ඇති කරලා මොකෙක් හරි එකෙක් ගහකින් බිමට පැන්නා.

විදිලි පන්දම් එලිය ඒ දිහාට එල්ල කරද්දියි මම දැක්කේ කිසිම දවසක දැකල නැති කලුම කලු පාට ඇස් දෙක ගිනියම් වුන වදුරෙක්. ඌ මගෙ දිහාට කටින් හඩවල් නගමින් එන්න පටන් ගත්තා.

” මේ වදුර වෙන්න ඇති වදුරු වේසෙ මවාගෙන එන මහසෝනා……..”

බයෙන් හිතුව මම කලබලෙන් ගුරුන්නාන්සේ කියපු අර ඉදුනු පලතුරු තිබ්බ බන්දන තටුව ගත්තා . කලු වදුරා තවත් ලගට එන්ඩ නොදී මම ඒ පලතුරු තටුව ඌ දිහාට විසිකරලා දැම්මා.

කටින් හඩක් නගපු වදුරා ඒ පලතුරුත් ඇහිදන් මිනීපිටියෙන් අතුරුදහන් වුනේ හීයක වේගෙන්.

” හම්මෝ ඇතී ,එකක් ඉවරයි…”

දිගු සුසුමක් හෙලපු මම ඊලගට එන්නෙ නාගයා කියල හිතල ඉක්මනින් ම බිත්තරය තිබ්බ බන්දන තටුව අතට ගත්තා..

සුජාතාගේ මිනීපෙට්ටිය දෙසිනුත් දැන් එක එක බියමුසු හඩවල් ඇහෙන්න පටන් අරන්. කොච්චර ඒ දිහා බලන්නෙ නෑ කියල හිත දැඩිකරගෙන උන්නත් මට එකපාරටම ඒ පැත්‍තට ඇස ගියේ ගිනියම් කන එලියක් විහුදුවමින් විශාල විදිලි එලියක් නිසා.

ඒ එලියෙන් මම ලාවට වගෙ දැක්කා මියගිය සුජාතාගේ මිනියට පන ඇව්ල්ලා වගේ මිනීපෙට්ටියේ ඉදගෙන ගිනියම් දෑසින් මම දිහා බලන් ඉන්න විදිහ.

අම්මෝ ඒ දසුනනම් මට කොහොමවත් දරාගෙන ඉන්ඩ බෑ… දිව විශාල සර්පයෙක් වගේ පහලට එල්ලිලා තිබ්බා. මිනියේ ඇස් තිබ්බේ මම උබව කාල දානවා වගේ පෙනුමකින් මම දිහාට හැරිලා.

මේ බියමුසු දසුන මර බලාගෙන ඉන්න බැරි නිසාම මගේ අත පය වෙවලන්න පටන් ගත්තා. ඒත් එක්කම අඩි විස්සක් විතර දුරකින් තිබ්බ ගහක අත්තක් ජරබරාස් හඩින් කඩන් වැටෙද්දී විශාල වවුලෙක් මගේ ඇගේ හැප්පිලා පියබගෙන ගියේ මම තව තවත් බය කරමින්.

ඒත් එක්කම ආයෙම වතාවක් අර කලින් වගේම විදිලි එලියක් කොටද්දී ඒ එලියෙන් මම දැක්කා මම කවදාවත් දැකල තිබ්බේ නැතී විශාල කලු නාගයෙක් මගෙ පැත්‍තට වේගෙන් බඩගාගෙන එන හැටී.

ඒ නයාගේ පෙනේ කෙහෙල් කොලයක් තරම් විශාලයි. උගේ කද විශාල මාර ගහක කදක් වගේ. ඌ විදිලි වේගෙන් මගෙ පැත්තට බදගාගෙන එද්දී මේ වෙන දේවල් තවත් මට බලන් ඉන්න බැරි වුනා.

” ඔය් නාගයාගේ වේසෙන් එන්නේ මහසෝනා…….”

ගුරුන්නාන්සේ කලින් කියපු දේවල් මට නිකම් රැව් දෙනවා වගේ. මගේ අතපය බයට ජලසන්නිය හැදිලා වගෙ වෙවලද්දී ඒකේ ප්‍රතිපලය වුනේ ඉතාම නපුරු අවාසනාවන්ත සිදුවීමක්.

බන්දන තටුවේ තිබ්බ නයාට දෙන්න කියල තිබ්බ බිත්තරය අතේ තිබ්බ බන්දන තටුවෙන් මිදී බිමට වැටුනා. ඒ බිත්තරය කෙලින්ම ගිහිල්ලා වැටුනේ මිනීවල ලග තිබ්බ ගඩොල් කැටයක් උඩට. හරියට මායාවකින් වගේ ඇවිල්ලා තිබ්බ ඒ ගඩොල් කැටේ උඩට අර බිත්තරය වැටී බිත්තර සාරු විහුදුවමින් බිදිලා යද්දී මට දෙයියන් බුදුන් සිහිවුනා.

” දෙයියනේ දැන් මොකද කරන්නේ…. නායා ආපුහාම දෙන්ඩ තිබ්බ බිත්තරේ බිදුනා… ගුරුන්නාන්සේ කිව්වේ බිදෙන්නේ නැතිව නයාට බිත්තරේ දෙන්ඩ කියලා…….දැන් මොකද කරන්නේ……”

භීතියෙන් කිසි දෙයක් හිතාගන්න බැරි මොහොතක විශාල කාල වර්න නාග වේසෙන් එන මහසෝනා මම ඉන්න පැත්තට බඩගාගෙන එමින් හිටියේ විදිලි වේගෙන්……………….. අවසන් කොටසට සඳලතා නිසා

සුනිමල්ට මොනවගේ දෙයක් වෙයිද, සදලතා නිසා සුනිමල්ට ජීවිතෙනුත් වන්දි ගෙවන්න වෙයිද කියල බලමු ඊලග කොටසින්. බිත්තරේ නොලැබුණු නිසා නාග වේසෙන් ඉන්න මහසෝන මොනව කරයිද,,,ඒ දේවල් ඔක්කොම හැංගිලා තියෙන්නේ අවසාන කොටසේ……..

අවසන් කොටස දාන කම් අනුමාන කරන අය අනුමාන කරන්නකෝ.

ඔන්න ඉතින් අද මම දාල තියෙනවා සෑහෙන්න කට්ටක් කාල අති දැවන්තම කොටසක් ඔයාල වෙනුවෙන්. ඒ හින්දා ඒ ගැන හිතල වෙනද වගේ කතාව කියවල පිටපාරෙන් යන්නෙනැතුව ලයික් එකක් කමෙන්ට්ස් එකක් එහෙම කොටාගෙන යමු නේ…

තව එකක්… හෙට මට මේ කතාවේ අවසන් කොටස දානවා…

කතාව කියවල ලයික් කමෙන්ට්ස් දාන ඔක්කොටම ගොඩක් ස්තූතී.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.