Katha Ahura

?ඒන්ජල්? | 51 කොටස | නවකතාව

5/5 - (1 vote)

79 කොටස

තවමත් දුවන්න පන නැතුව තියෙන කකුල් දෙක ගැහෙන්න පටන් ගනිද්දි අර අදුරු රූපය වේගෙන් මගේ පැත්තට එන්න පටන් ගත්තා.විකෘති හෙවනැල්ලක් තිබුනු ඒ රූපය හොල්මනක් කියල මට හිතෙද්දිත් මම එකතැනම නතරවෙලා තිබුනා.

ඒ වෙලාවෙ කියන්න ඕන ගාථාව මොකක්ද කියලවත් මට මතක්වුනේ නෑ.මතක්වුනු ගාථාව කියවපු මම වැදගෙන ගැහි ගැහි බලන් හිටියෙ වේගෙන් මගේ පැත්තට එන හොල්මන දිහා.

” ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධස්ස..
ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධස්ස..”

ඕන දෙයක් වුනදෙන් කියලා මම ඇස් පියාගත්තම මට දැනුනෙ මාව ඒ හොල්මන ඇදගෙන යනවා වගේ.මේ මොකක්ද මේ වෙන්නෙ දෙයියනේ..මෙච්චර කාලෙකට මම හිතුවෙ හොල්මන්වලට අපිව අල්ලන්න බෑ කියලනෙ.ඒත් මේ හොල්මන මාව ඇදගෙනත් දුවනවා.ඇස් දෙක පියගෙනම දුවන ගමන් හිතපු මම ඇස් දෙක අරින්න හැදුවෙ ඒ හොල්මන මාව බිත්තියකට හේත්තු කලාට පස්සෙ.

දැන්නම් කෑනොගහා බෑ..මම ඕන් නමෝ කියලා කෑගහන්න කට අරිද්දිම හොල්මන එයාගෙ අත තිබ්බෙ මගේ කටින්.

” ෂ්…දෙයියන්ගෙ නාමෙන් කෑගහන්න එපා ආශි…”

මාර වැඩක්නෙ..ඒ හොල්මනට තිබ්බෙ අවිරුගෙ කටහඩ..දෙයියනේ ඒ කියන්නෙ..ඒ කියන්නෙ මේ කටහඩ වෙනස් කරන්න පුලුවන් හොල්මනක්ද..අනේ මගේ අම්මේ..මාව බේරගන්න..

” හො..හොල්මන…පැ..පැත්තකට වෙනවා…”

මම ගොත ගහ ගහ කියද්දි මට ඇහුනෙ ලාවට හිනාවෙන සද්දයක්.

” යකෝ…මේ මම අවිරු හත්දෙයියනේ..”

ඒ හොල්මන එහෙම කියලා ඔලුවට දාගෙන හිටපු රෙද්ද අයින් කලා.මෙන්න බොලේ දැන් ඉන්නෙ අවිරු ..

” අ..අවිරු…ඔයා..! ”

” ඔව් ඔව්..මේ මම මැට්ටියෙ…”

” තමුසෙ..බූරුවා..මැටි ගහ..මොකද මේ භූත බංගලාවෙ හොල්මන් කරන්නෙ උලමෝ..? ”

” හොල්මන් කරන්න නෙවේ මං ආවෙ..ඔයාව හම්බෙන්න..”

” මේ ඔලුවට රෙද්දක් දාගෙන මොකද කරන්නෙ ? ”

” රෙද්දක් පෙරවගෙන ආවෙ හීතල හන්දා යෝදියේ.මාර සීතලක්නේ..”

” ඔයා කොහොමද හරියටම මම අවදිවෙයි කියල හිතුවෙ ? ”

” ඔයාගෙ ෆෝන් එකේ එලාම් එකක් වැදුනා එහෙම නේද ? ඊටපස්සෙ කැඩිච්ච දොර අස්සෙන් මාව දැක්කා..එහෙම නේද ? ”

” ඔව්..ඒත් ඔයා කොහොමද ඒක දන්නෙ ? ”

” මොකද මම තමයි ඔයාගෙ ෆෝන් එකේ එලාම් එක තිබ්බෙ..දොර හොදටම වහන්න බැරි විදිහට සරනේරු වලින් බුරුල් කලේ මම..”

” ඔයානම් අවිරූ….”

” ඔයා වොශ් දාන්න ගිහිපු වෙලාවෙ මම සෙනූට කියලා තමයි මේක කලේ.”

” සෙනූ…එහෙනම් ඒක තමයි මම එයාව කොච්චර අවදි කලත් නැගිට්ටෙ නැත්තෙ..අල්ලගන්නම්කො එයාව..”

” එහෙම අල්ලගන්නවනම් ඔයාට තව කෙනෙක් අල්ලගන්න තියෙනවා.”

” ඒ කවුද ? ”

” ඔයාගෙ අයියව.”

” මං ඇයි එයාව අල්ලගන්නෙ ? ”

” එයාගෙ තමයි මේ අයිඩියා එක .”

” මොකක්..! ”

” ඔව්…”

” එයාවත් අල්ලගන්නම් ”

” ඒත් ඔයාට හෙට උදේ හරි මාත් එක්ක කතා කරන්න තිබ්බනෙ..ඇයි ඉතින් දැන් මාව එක්කන්…”

මට ඉතිරි ටික කියාගන්න නොදී අවිරු එයාගෙ තොල් මගේ තොල් උඩ තද කලා..එහෙනම් මේ නිසා තමයි මෙයා ආවෙ..හොර ගෙඩියා..

මම එහෙම හිතද්දි අවිරු මගේ තොල් එයාගෙ තොල් ඇතුලට ඇදලා ගත්තෙ මාව ඒ ඇගට හිරකරගෙන.මම එයාගෙ බෙල්ල වටේට අත් යවලා එයාගෙ උනුහුමට ගුලිවෙද්දි එයා තවත් මගේ තොල් එයාගෙ තොල් අතරෙ පටලවා ගත්තා.

සෑහෙන්න වෙලාවක් මම එයාගෙයි එයා මගෙයි ලෝකවල ඉන්න ඇති.කාන්දමකට ඇලිලා තිබුනු ඇණයක් ගැලෙව්වා වගේ එයා මගේ තොල්වලින් අමාරුවෙන් ඈත්වෙද්දි එයා මම ඇදගෙන හිටපු ජර්සි එකේ උඩ බොත්තම් ටික ගැලෙව්වා.

ජර්සියට යටින් මම ඇදගෙන හිටපු ටී ෂර්ට් එක බෙල්ල ලගින් පහත් කරපු එයා එදා දාපු මාලය අතට අරගෙන ඒකටත් එක්ක මගේ බෙල්ලට කිස් එකක් දුන්නා.

” තාම මේක දාගෙන ඉන්නවා නේද ? ”

එයා රහසින් වගේ අහද්දි මම හෙමින් ඔලුව හෙලෙව්වා.

” හැමදාම දාගෙන ඉන්න..ගලවන්න එපා..”

එයා එහෙම කියලා ආයෙ මට ජර්සිය ඇන්දුවා.ඊටපස්සෙ එයා එදා දාපු මුද්ද තිබුනු අතටත් කිස් එකක් දුන්නා.

” දැන් නිදියන්න යන්න පැටියෝ..”

එයා මගේ ඔලුව අතගගා කියද්දි ඒ තුරුලෙන් ඈත්වෙන්න මට සෑහෙන්න ලෝබ වෙලයි තිබුනෙ.

” දැන්ම…? ”

මම අහද්දි අවිරු හිනාවෙවී මාව තුරුල් කරගත්තා.

” හැමෝම දැන් නිදි තමයි..ඒත් කවුරුහරි ආවොත් තමයි..සෙනූයි අයියයි නම් ලොවෙත් දැන් මෙතෙන්ට එන්නෙ නෑ..”

” රාජා අංකල් දැන් කාන්ති ඇන්ටිව බදාගෙන නිදි ඇති අනේ..”

” මේ…”

” ම්ම්ම්…? ”

” අපිත් එහෙම ඉදීවි නේද ? මං කිව්වෙ වයසට ගියාම..? ”

” ඔව් ඔව් අනේ…”

” එතකොටත් ඔයා මට මේ විදිහට වද දේවි හැරමිටි ගගහා ඇවිත්..”

” ආ..හරි වැඩේ..එතකොට ඔයා හිතන්නෙ ඔයා හැරමිටි ගහන එකක් නෑ කියලද ? ”

” ඔව්..මම එතකොටත් ඉන්නවා මේ වගේ..”

” හපෝ…අපි බලමුකො..මට කියයි වෙව්ල වෙව්ල..අනේ..ඒන්ජල්..මගේ මේ කොන්දෙ බාම් ටිකක් ගාන්නකෝ..”

මම කොන්ද නමාගෙන කියද්දි අවිරු පැනලා මාව බදාගත්තා.

” මේකිගෙ කට වැඩී දැන් ..”

” ඇයි මට මොනා කරන්නද ? ”

” ඔයාගෙ කට වහන්නෙ මෙන්න මෙහෙම..”

අවිරු එහෙම කියලා ආයෙත් මගේ තොල් එයාගෙ කරගනිද්දි මමත් ඇස් පියාගෙන එයාව තදින් අල්ලගත්තා.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

රෑ හරියට නිදියන්න බැරිවුනු නිසා ඊලඟ දවසෙ උදේ ඉදලා මමයි අවිරුයි හිටියෙ තරගෙට කට ඇර ඇර.අර එදා හෙම්බිරිස්සාවක් හැදිලා තරගෙට හච්චින් යැව්වා වගේ තමයි.

සීන් එක දන්න සෙනූයි අයියයි අතින් කට වහගෙන හිනාවෙද්දි මමයි අවිරුයි අනිත් අය ඉස්සරහා අසරණ වෙලා හිටියා.

උදේ කෑම වේලත් තිබුනේ තනිකරම නිර්මාංශව.මේකනම් මට මේ වෙද්දි ප්‍රශ්නයක් වෙලයි තිබුනෙ.හිතට ආපු සැකය දුරු කරගන්න කියල හිතාගෙන මම හැමෝම ඉස්සරහා මගේ ප්‍රශ්නෙ ඉදිරිපත් කලේ මාධ්‍යවේදියෙක් වගේ..

” අංකල් , ආන්ටි , ඔය දෙන්නා වෙජිටේරියන්ද ? ”

” ඇයි නෝනා එහෙම ඇහුවේ ? ”

කාන්ති ඇන්ටි ඇහුවෙ සෝයාමීට් කරි එක මේසෙට තියන ගමන්.

” නෑ..මේ කෑම ඔක්කොම නිර්මාංශ නිසා..”

මම එහෙම කියද්දි ඒ දෙන්නගෙ මූනු වෙනස් වුනේ බලන් ඉදිද්දි.

” නෑ පොඩි නෝනා..මෙහෙට පිලී ජාති ගේන්න හොද නෑ..”

අංකල් කියද්දි කාන්ති ඇන්ටි එයාගෙ මූන දිහා බැලුවා.

” ඇයි අංකල් ? ”

” අපි මෙහේ පූජාවක් කරනවා..ඉතින් ඒකට හොද නෑ..”

එයා එහෙම කියද්දි මම ඊටවඩා ප්‍රශ්න අහන්න ගියේ නෑ..මට ඕන උත්තරේ හම්බුනානෙ.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

උදේ කෑම ඉවරවුනු ගමන්ම අම්මලා කිව්වෙ අපේ රෙදි බෑග් ටික ලෑස්ති කරගන්න කියලා.අපි ඉක්මන්ට යන්න ලේස්ති වෙද්දි රාජා අංකල්ටයි කාන්ති ඇන්ටිටයි ඒක ප්‍රශ්නයක් වුනා.

තාම බලන්න තියෙන තැන්වලට යන්න බැරිවුන නිසා ඒවා බලන්න යන්න ඕන නිසා මෙහෙන් යනවා කියලා මංගලා ඇන්ටි කියද්දි එයාලගෙ සැකය දුරුවුනා කියලා මූනෙන් පෙනුනා.

අපි ඉක්මන්ට බෑග් ලෑස්ති කරගෙන පඩිපෙල බහිද්දි මම හැමතැනම බැලුවෙ ඩෙවිල් කොහේද කියලා .මම වටපිට බල බල ඉන්නවා දැකපු අවිරු මං ලගට ආවෙ මොකද කියල බලන්න .

” ඇයි ආශි ? ”

” ඩෙවිල් නෑනෙ අවිරු ”

” එයා උඩ ඇත්තෙ..යමු බලන්න..”

” අවිරූ..ඇයි ආපහු යන්නෙ ? ”

” මේ ඩෙවිල් උඩද කොහෙද ආන්ටි..අපි එයාව හොයාගෙන එන්නම්.ඔයාලා වෑන් එකට යන්න ”

අවිරු එහෙම කියලා මගේ පස්සෙන් පඩිපෙළ නැග්ගා.

” ඩෙවිල්…ඉන්න තැනකින් එන්නකො..”

මම කෑගහද්දි එයාගෙ බව් සද්දෙ එකපාරටම මට ඇහුනා.

” අවිරු…එයාගෙ සද්දෙ මට ඇහුනා..මේ ලගම ඇති.”

” ආයෙ කතා කරල බලන්නකො ආශි..”

” ඩෙවීල්…ඩෙවිල්..ඔයා කෝ ? ”

මම ආයෙත් කතා කරද්දි වොශ්රූම් එකට එහාපැත්තෙ තිබුනු කාමරයකින් ඩෙවිල්ගෙ සද්දෙ ඇහුනා.මමයි අවිරුයි ඒ පැත්තට යද්දි මම දැක්කෙ වොශ්රූම් එකට මෙහාපැත්තෙන් තිබුනු කාමරයක ඇදක් යට ඉදලා මකුළු දැල් නාගෙන අපේ පැත්තට එන ඩෙවිල්ව.

මම එයාව වඩාගෙන ඇගේ තිබුනු මකුලු දැල් ටික පිහදාලා අතේ තිබුනු ලීෂ් එක එයාට දැම්මා.එතකොට අවිරු ඩෙවිල්ගෙ කටේ තිබුනු කොල ගුලියක් ඇදලා ගත්තා.එයා ඒක හෙමින් දිග අරින්න ගත්තම මාත් ඒකට එබුනෙ ඒ මොකක්ද කියලා දැනගන්න..

——–

5 thoughts on “?ඒන්ජල්? | 51 කොටස | නවකතාව”

  1. Nirosha Lakmali

    මොකක්ද මේ කොල ගුලිය. මොකක් හරි කරදරයක් ද. එහෙම නම් කරන්න එපා. හරිම ලස්සනයි. හදවතින්ම සුභ පතනවා.

  2. Hari lassana asawen kiyawana kathawak meka. Hemadamath me widiyata adaraniyawa liyanna. Hemadamath oyalage katha api hari asawen kiyawanne. All the best.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.