Katha Ahura

? ගිනි කිරිල්ලී | හතළිස් දෙවන කොටස | නවකතා

කතාව කොහොමද?

හතළිස් දෙවෙනි පියාපත.
——————————————————————————————————————————

“නැන්දා….”

අනේ දෙයියනේ…!! ඇසිපිය හෙලන්නත් කලින් නැන්දා බිමට වැටුණා..

මොකද වුණේ..??? මුකුත්ම හිතා ගන්නවත් බෑ.. තාම මං ගල් ගැහිලා…

මං අඩියක් තියලා නැන්දා ගාවට ගියා…

අනේ නැන්දා…!!!

“දැං උඹේ අවසානය…”

තොල් රතු යක්ශණී මොනවා කිව්වද මංදා.. මං නැන්දා ගාව පහත් වුණා…

රතු පාට ලේ ධාරාවන් කුස්සිය බිම පුරාම ගලන් ගිහින්..

තොල් රතු යක්ශණීගේ ඊළඟ පාර මාව මරන්නමයි කියලා දැන දැනත් මං නොසෙල්වී ලේ දිහාම බලන් හිටියා..

ගැහෙන ඇඟිලිතුඩු වලින් මං නැන්දගේ ඇස් දෙක වැහුවා..

ඊළඟ තප්පරේ ඇහුනේ තොල් රතු යක්ශණී හයියෙන් කෑ ගහන හඬ…

මං ඔළුව උස්සලා බලද්දි දැක්කේ යක්ෂනී ඔලුව බදා ගෙන පහත් වෙනවා.. පිටි පස්සෙන් හිටියේ දීපක්..

“ගිනී.. ඔයා හොඳින් නේද..?”

මට වචනයක්වත් කතා කර ගන්න බෑ.. උගුර ගල් වෙලා.. අසිහියෙන් වගේ මම..

මං අතින් නැන්දා පෙන්නුවා..

එයා නැන්දා ගාවට දුවන් එද්දි පිටිපස්සෙන් ආපු එකෙක් දීපක්ටත් වෙඩි තිබ්බා…

දීපක්ගේ උරහිසට වෙඩි වැදුනේ..

ඌ මේ තොල් රතු යක්ෂනීගේ ගාඩ් කෙනෙක්.. ඔව් මට හොඳට මතකයි..

මොනවද දෙයියනේ මේ වෙන්නේ .??

දීපක් තුවක්කුව අරන් මගේ ලේ ගලන අතෙන්ම ඇඳලා මාව කුස්සිය දොරින් මිදුලට තල්ලු කරා..

“මෙහෙන් යනවා ගිනී.. තාප්පෙන් පැනලා යනවා.. මං මුන්ව නවත්වන්නම්.. මෙහෙන් යනවා..”

දීපක් මට කෑ ගහන ගමන් වෙඩි තියන්න ගත්තා..

මොනවද දෙයියනේ මං කරන්නේ..?? මට කිසිම දෙයක් හිතා ගන්න බෑ..

“ගිනී.. පලයන් මෙහෙන් පලයන්.. මුන් මරන්න කලින් පලයන්…”

අන්තිමේ මං දීපක්ගේ වචන වලට අවනත වෙන්න ඇති..

වෙඩි වරුසාවක් මගේ කං දෙකේ දෝංකාර දෙද්දී තාප්පේ කැඩිච්ච ගලකට අඩිය තියලා මං තාප්පෙන් පැන්නා..

ක්‍රිස්ස්ස්ස්ස්ස්ස්ස්ස් සද්දෙන් ගවුමේ කෑල්ලක් ඉරිලා ගියා..

තාමත් වෙඩි හඬ ඇහෙනවා..

දෙයියනේ…!!! මොනවද මේ වුණේ..??

මේ හැමදේම වෙනකම් කොහෙද ශේශ් ඔයා ඉන්නේ..??

මං පාර දෙපැත්ත බැලුවේ යන්න ඕන තැනක් හිතා ගන්න බැරි නිසා..

මීට අවුරුදු ගණකට කලිනුත් උන් අප්පච්චිව මරපු වෙලේ පාරක් මැද්දේ යන්න පැත්තක් හිතා ගන්න බැරුව මං අසරන වුණා..

අනේ මගේ කරුම දෛවය..

ලොකූ වටයක් ගිහිල්ලා හිටපු තැනටම ඇවිල්ලා මං..

අන්තිමේ පාරේ දකුණු පැත්තට හැරිලා මං දිව්වා.. දිගටම දිව්වා..

අත කැපිච්ච තැනින් තවමත් ලේ ගලනවා.. මං ඒ දිහාවත් බැලුවේ නෑ..

මට සිහිය නැති වුණොත්…??

මං ලේ ගලන තැන අතින් තද කරගෙන දිගටම දිව්වා..

ශේශ්…!!!

පාරක හරි ඉඳගෙන මාව දැකලා හොයන් ඇවිත් මාව බේරගනී කියලා මගේ හිත කියන හින්දා මං වට පිට බල බල දිව්වා..

මේ පාරවල්, මිනිස්සු කිසිම කෙනෙක් අඳුරන්නේ නෑ මං… මිනිස්සු මං දිහා බලන්නේ පිස්සියෙක් දිහා බලනවා වගේ..

ඔව්.. ඔව්.. මට පිස්සු තමයි..

අන්තිමේ දරා ගන්න බැරි පපුවෙ හතියකුත් එක්ක මාව බිම ඇඳගෙන වැටුණා..

එහෙමම බිම දණ ගහගෙන හුස්මක් අරන් ආයේ නැඟිට්ටා..

මට බෑ.. මට බෑ දෛවයට දිනන්න දෙන්න මේ පාරත්.. හිතේ හයියට මං තව දුර දිව්වා..

තොල් රතු යක්ෂනී ඇයි මාව මරන්න හැදුවේ…??

මාව මරන්න ඕන කමක් එයාට තිබ්බ නම් ඇයි කලින් ඒකට උත්සහ නොකරේ…??

එයාට මාව මරන්න ඕන වුනේ ශේශ් හින්දද…??

අනේ ශේශ් කොහේ හරි ඉඳන් ඇවිත් මට මේවට උත්තර දෙන්න..

අඩුම ගාණේ ශේශුයි තොල් රතු යක්ශණීයි අතර තිබ්බේ කොහොම සම්බන්දයක්ද කියන්නවත් මං දන්නේ නෑ..

අපරාදේ..! මේ කාලකන්නි ජීවීතේ නිසා නැන්දට මැරෙන්න සිද්ද වුණා.. කොහොම අමතක කරන්නද..?

මගේ අම්මට පස්සේ මේ පිස්සු කෙල්ලට කරුණාවන්ත වුණේ නැන්දා විතරයි..

ඒත් මං එයාවත් මරා ගත්තා.. දීපක්ට මොනවා වුණාද දන්නේ නෑ..

අනේ මං කොහොමද මේවා දරා ගන්නේ..?? පපුව හිර වෙන්න වගේ…

ඈතින් දේවාලයක් පෙනුනා.. අමාරුවෙන් අමාරුවෙන් මං දේවාලෙට ගියා..

එළියේ ටැප් එකක් තිබ්බා.. අත් දෙකම ටැප් එකට අල්ලලා බඩ පිරෙනකම් හිතේ ගින්න නිවෙනකම් මං වතුර බිව්වා..

වතුර බිංදුවක් පවා මගේ ගින්නට ගෙනාවේ සිසිලසක්..

තව දුරටත් ඉවස ගන්න බැරි තරම් වේදනාවක් අතින් දැනෙන්න ගත්තා..

ඊටත් වඩා හැම තප්පරේකම ශේශ්ව මතක් වෙලා වැටෙන කඳුලු බිංදු නවත්වගන්න මට බැරි වුණා..

අමාරුවෙන් හිත තද කර ගෙන අතර වතුර ටිකක් අරන් ලේ ගලන තුවාලේ පිරිසිදු කරා..

ගොඩක් කැපිලා නෑ.. ටිකක් කැපිලා.. එතනින් ලේ ගොඩක් ඇවිත්.. මං එහෙමම පහත් වෙලා ගවුමේ වාටියෙන් රෙදි කෑල්ලක් ඉරලා අරන් තුවාලේ බැඳ ගත්තා..

මට ඕනි වුණේ හොඳටම අඬන්න.. ඔව් කෑ ගහලා අඬන්න..

දේවාලේ පඩියකින් මං වාඩි වුණේ මගේ හිතේ තියෙන දුක දෙවියන්ටවත් කියන්න ඕන නිසා..

මෙතනින් එහාට ගිනීගේ ජීවීතේ කොහොම වෙයිද අම්මේ…?? මාවත් ඔයා ළඟට ගන්න අම්මේ..

ශේශ් හොයන් ගිහින් ශේශ්ගේ පපුවට ඔළුව තියන් අඬන්න තරම් හැඟිමක් හිතට ආවා..

ඒත් දෙයියනේ ශේශ්… ඔයා කොහෙද..???

ඔයා ළඟ පාතක හිටියා නම් තොල් රතු යක්ශණී කවදාවත් මෙහෙම දෙයක් කරන්නේ නෑ..

එහෙම නැත්තම්…??

ශේශ්ට කරදරයක්ද…??

මගේ පපුව අලුතින් පිච්චෙන්න ගත්තා..

අනේ දෙයියනේ.. හදවතින් මෙහෙම පිච්චෙනවට වඩා හොඳයි මාවත් අම්ම ගාවට යැව්ව නම්…

ඔයා හොඳින් නේද ශේශ්…??

නැන්දා.. දීපක්… හැමෝම මාව තනි කරලා යන්න ගිහින්…

ශේශ්… ඔයාවත් මං ළඟට එන්නකෝ..

ලොකූ කෙඳිරියක් එක්ක ලොකු ඉකියක් මගේ මුවින් පිට වුණා..

එතකොටම මට දැනුණා මගේ ඉස්සරහ කවුරු හරි හිටගෙන ඉන්නවා වගේ..

මං ඇස් ඇරලා බැලුවත් එකපාරට පෙනුනේ නෑ.. වටේම කලුවරත් වෙලා..

දෙපාරක් තුන් පාරක් ඇස් පිහාටු ගසලා ඇස් අරිද්දි මං දැක්කේ…..

————————————————————————————-

මෙතනින් එහා ගිනීගේ ජීවීතේ මොනවා වෙයිද…?? මගේ හිතේ මැවුන ගිනීගේ කතාව ඒ විදියටම මං ඉවර කරනවා වස්තුලා…

අපේ ජීවීත වල දුක, සතුට හැමදේම පිරිලා තියෙනවා.. ඒ හින්දා මගේ කතාවල සතුට විතරක් නැතිවෙයි..

ෆන්ටසියේ ඉදන් ලිව්වට කිසිම දවසක මගේ කතාවක් බොලඳ ෆැන්ටසියක් වෙලා නෑ.. ජීවීතේ සමහර තැන් ගලපන්නයි හැමදාම මගේ වචන උත්සහ කරේ.. අදටත් එහෙමයි..

ඇත්ත මං කතා ලියන්නේ ලයික්ස් බලා ගෙන නෙවෙයි.. ඒත් රචකයට තමන්ගේ මහන්සිය, සිතුවිලි කියවන පටකයො ඉන්නවා දකින එක ලොකූ සතුටක්.. එච්චරයි රචකයෝ වෙච්ච අපේ එකම වත්කම.

ඉතින් අදත් මට එදා තරම්ම ආදරේ පෙන්වන්න..

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්න..

කතාව ලස්සනට ගලන් යාවී.. ඔයාලගේ මතකයේ අලුත් තැනක් අරන්..

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු…
බුදු සරණයි…!!

14 thoughts on “? ගිනි කිරිල්ලී | හතළිස් දෙවන කොටස | නවකතා”

  1. නිෂා සශී ?

    අම්මෝ අක්කි දුකයි අනේ ??? කව්ද ඒ හිටියේ අනේ ඉවසන්න බෑ මට ඔහොම වුනාන් ශුවර් කලන්තෙ දාලා එතනම වැටෙනෝ. කතාව ගොඩක් ලස්සනයි අක්කී…. ❤️??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.