Katha Ahura

ඔබ මට හිමි වේ නම් | 08 කොටස| නවකතාව

කතාව කොහොමද?

……………….08 වෙනි කොටස …………..

“පුතා… පුතා… දැන් ඔයාට කොහොමද..?”

මට එක සැරේම ඇහැරුනේ අම්මගෙ කටහඩට. ඇස් ඇරලා බලද්දි ජයන්තයි, ධමියයි, කුමාරයයි, අම්මයි, තාත්තයි ඔක්කොම මෙතන. මටම හිතාගන්න බෑ මට මොකද එකපාරටම වුනේ කියලා. එදා වලියෙන් පස්සෙ මොකද වුණේ කියලා මට මොකුත්ම මතකෙට ආවෙ නෑ. මම අම්මගෙ ඇස් දෙකටම එබිලා ඒ ඇස්දෙක දිහා හොදින් බැලුවා. අම්මගෙ ඇස් වල කඳුළු පිරිලා තිබුණා.

“දැ.. දැන් හොඳයි අම්මෙ.. මට එකපාරම මොකද වුණේ…?”

ම්හු.. කවුරුවත් උත්තර දෙන්නෙ නැති පාටයි. මම හැමෝගෙම මූණවල් වලට එබිලා බැලුවා. කුමාරයත් ගල් ගැහිලා වගේ බලන් ඉන්නවා. ධමියත් ඇග පුරාම ප්ලාටර් දාගෙන. හරියට මමියක් වගේ. ඌ සසර කළකිරිලා වගේ මගේ දිහා බලාගෙන හිටියා. පවු.. එදා වලිය දවසෙ ඌත් මැද්දට පැන්නද කොහෙද. ඌව බේරගන්නනේ මමත් ගේමට එන්ටර් වුණේ.

“කට්ටිය ගොලු වෙලා වගේ ඇයි.. කියන්නකො මොකද වුණේ කියලා..?”

“අපි ගොලු වෙලා නම් නෑ.. ඔයා කරපු වැඩේ ඔයාට අමතක වෙන්න විදියක් නෑනෙ.. හොදට මතක් කරලා බලන එකයි ඇත්තෙ.. අර සුරසිංහගෙ පුතන්ඩියත් එක්ක එදා ගහගත්තා මතක ඇතිනේ…”

තාත්තා නම් ටිකක් කේන්තියෙන් වගේ හිටියෙ. මම හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න තරම් දරුණුවට වලියක් ගියාද කියලා මට හිතාගන්න බෑ. ඒත් ඉතින් දැන් මම හොස්පිට්ල් එකේ ඉන්න නිසා මට හිතන්නම වෙනවා. ධමියගෙන් තමා අහන්න වෙන්නෙ අන්තිම පාරටත්.

“ඔව්…. ඔව්………….. මට මතකයි.. ඒත් මම හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න තරම් ලොකුවට රණ්ඩුවක් වුණේ නෑ.. මට මොකද වුණේ කියලා මට මතකත් නෑ.. මෙතන ඉන්න කාටවත් කියන්න බැරිද.. ජයන්ත, ධමියා, කුමාර.. උඹලා තුන්දෙනාගෙන් එකෙක්වත් කියපල්ලකො..”

“මේකයි බං වුණේ…… ම්…”

“තෙපරබාන්නෙ නැතුව කියපන් බං.. උඹලට මොකද මේ වෙලා තියෙන්නෙ..”

“උඹට මතකනේ අපි එදා තුෂාරලගෙ ගෙදර යන්න කලින් අසිතයා ගේම දැම්මා අපි නිම්මි එක්ක කතා කර කර හිටියා කියලා. ඒ වෙලාවෙදි උඹ ගිහින් උගේ හොම්බට ඇන්නා.. පස්සෙ අපි තුෂාරලගෙ ගෙදර ගිහින් එනකොට සෙට් එකකුත් එක්ක ඇවිත් ඌ අපිට කෙලියා මතකද..? අන්න ඒ වෙලාවෙ අසිතයා උඹගෙ ඔලුවට පොලු පාරක් ගැහුවා.. උඹ එතනම ඇදගෙන වැටුණා.. අසිතයා බයවෙච්චර පාර උගේ ගෝලයොත් දාලා වාහනේ නැගලා ගියා.. පස්සෙ අපි තුන්දෙනා උඹව හොස්පිට්ල් ඇඩ්මිට් කරලා.. උඹගෙ ගෙදරටත් කිව්වා.. බලපං මටත් ෆුල් ඩැමේජ්.. වාවන්නෑ යකෝ…”

එහෙම කියනකොට නම් මට හිනා ගියා.. ධමියා කොච්චර වුණත් හොද කොල්ලා. මාත් එක්ක මැරෙන්න වුණත් ඉන්නවා. මට ඌ ගැන පුදුම ආදරයක් ඇතිවුණා..

“යකෝ ඌව මරන්න එපැයි.. මචං මම කිසිම වැරැද්දක් ඌට කලේ නෑ.. ඌම තමා නිම්මිත් එක්ක කතා කලා කියලා මට ගේම දැම්මෙ.. මම ඒවෙලාවෙ ඌඨ ගැහුවෙ ඌ මට මුලින් ගහන්න ආපු නිසයි.. තුෂාරයලගෙ ගෙදර ගිහින් එනකොට ඌමනේ ආයෙම කොල්ලො සෙට් එකක් අරගෙන ඇවිත් මට ගැහුවෙ.. අනික අහක හිටපු උඹත් ගුටිකෑවා.. ඉදපංකො…… මම ඕකත් එක්ක බලාගන්නම්.. මට ඔය එකෙක්වත් ලොකු නෑ.. මම එකෙකුටවත් බයත් නෑ.. මෙච්චර කාලෙකට මම එකෙක්ගෙන්වත් ගුටියක් කාලා නෑ.. වැරැද්දක් කරලා ගුටි කෑවා නම් දුකකුත් නෑ.. මේ පාඩුවෙ ඉදපු මට නෙ ඕකා ගැහුවෙ.. ධමියා මාව නැගිට්ටවපං.. මම ඕකා ගැන බලාගන්නම්..”

මට ආපු කේන්තිය මට වාවගන්න බැරුව ගියා.. මගේ හිතට ආවෙ ඌට ගහන්නම කියලා.. පස්සෙ තමා මතක් වුණේ මෙතන අම්මයි තාත්තයිත් ඉන්නවා කියලා.. තාත්තා මගේ දිහා ඔරවගෙන බලන් ඉන්නවා..

“තොට පිස්සුද සුමී.. උඹත් එක්ක වැඩිය කතා කරන්නත් එපා කිව්වා අපිට.. උඹට තාම හොඳ නෑ.. ඔන්න ඔහේ රෙස්ට් කරපන් සතියක් විතර..”

“මට රෙස්ට් කරන්න ඕන නෑ.. මට යන්න දීපන්.. මම ඔය පර බල්ලව මරාගෙන කනවා.. ඕකට යහතින් ඉන්න තියන්නෙ නෑ..”

“සුමිත්………………………. කට වහනවා..”

තාත්තා එපාර මැද්දට පැණලා මගේ මූණ දිහා කන්න වගේ බැලුවා.. දේශනයක් දෙන්න වගේ හදන්නෙ.. මට තාත්තා හැරෙනකොට කියන්න පුළුවන් මොකාටද හැරෙන්නෙ කියලා.. මොකද මම තාත්තාගෙ එකම පුතානේ.. ඒත් මට දේශන අහන්න තරම් මානසිකත්වයක් තිබුණෙ නෑ.. ඔලුව පැලෙන්න වගේ.. ඇගටත් පණ කදක් තිබුණෙ නෑ.. අසියත් එක්ක තියෙන තරහට මගේ ඇඟ පත තවත් වෙව්ලන්න ගත්තා.

“සුමී.. දැන් තමුන් දැඟලුවා හොදටම ඇති.. අපි තමුන්ට බුරුල දුන්නා වැඩියි කියලයි මම හිතන්නෙ.. අරෙහෙ යනවා මෙහෙ යනවා කියලා කිව්වම අපිත් හා හා කියලා හැම එකටම අවසර දුන්නා.. ඕවට වගකියන්න ඕන වෙන කවුරුවත් නෙමෙයි තමුන්ගෙ අම්මා.. පන්ති යනවා කියලා තමුන් කරන්නෙ එක එකා එක්ක රණ්ඩු වෙන එකද..? ආ..”

“නෑ… තාත්තෙ මම මේ….. මේ…”

“ඇති… ඇති… ඇති.. හොදටම ඇති සුමී.. නෑ මේ නෙමෙයි තමුන් දන්නවද තමුන් ඔය රණ්ඩු වුනේ කවුරු එක්කද කියලා.. තමුන් දන්නවද..?”

“ඔව්..”

“කවුරු එක්කද..? කියනවා ඉතිං කන්න වගේ මගේ දිහා බලන් ඉන්නෙ නැතුව..”

“අසිතත් එක්ක..”

“අසිත කියන්නෙ කාගෙ කවුද කියලා තමුන් දන්නවද..? හ්ම්..?”

“නෑ..”

“තමුන් මොකුත් දන්නෑ.. තමුන් හිතන් ඉන්නෙ තමුන් චන්ඩියා කියලා.. ඕන කෙනෙක් තමුන්ට බයයි කියලා.. ඔය සුරසිංහ පරම්පරාව සල්ලි වලින්, මැර බලෙන් මේ ලෝකෙ ජීවත් වෙන එවුන්.. උන්ට සල්ලි විසි කරලා ඕනම දෙයක් කරන්න පුලුවන්.. තමුන් ඕවා කරන්න කලින් හිතුවද අපි ගැන.. මේ අම්මා ගැන.. මේ අහිංසක කෙල්ල ගැන.. නෑ.. තමුන් තමුන්ගෙ හිතට එන දේ ඒ වෙලාවෙ කලා..”

“තාත්තා කියන්නෙ මට එක එකාගෙන් ගුටි කන්න කියලද..? මම ඔය එකෙකුටවත් බය නෑ.. මාව මෙහෙම බය කරන්නත් බෑ.. ඌට පුලුවන් නම් මට ෆේස් ටු ෆේස් ඇවිල්ලා ගහන්න කියන්න.. ඌට ඒක කවදාවත් කරන්න බෑ.. ඌ එදා මට ගැහුවෙ පොලුපාර පිටිපස්සෙන් ඇවිත්.. ඌ කොන්ද පන නැති හිකනලෙක්.. මම ඕකගෙන් පලි ගන්න එක ගන්නවා..”

“කට වහපන් සුමි.. කට වහපන්.. උඹගෙ කට කඩනවා මම දැන්..”

“ජයේ……… පුතා ලෙඩ වෙලා ඉන්නෙ..”

“තමුසෙ කට වහගන්නවා.. තමුසෙ තමා මේ හැම දේකට වගකියන්න ඕන.. දහපදුරාවෙ ඇවිදලා එක එකා එක්ක රණ්ඩු වෙලා.. මෙතන අපිටත් ඉන්න නැති කරනවා.. මූට අපි බුරුල දෙනවා වැඩියි… දැන් වෙනදා වගේ නෙමෙයි මාත් එක්ක එකට එක කියවන්නත් එනවා.. උඹට මම අවුරුදු 19ක් කන්න අදින්න දීලා පණ වගේ හැදුවෙ වැඩුවෙ මෙහෙම එක එකාගෙන් ගුටි කන්නද..? කතා කරපන් සුමී කතා කරපන්..”

ඒ කතාවට නම් මට ලොකු දුකක් දැනුණා.. තාත්තා කියන කතාව ඇත්ත. මට මෙච්චර කාලෙකට පුංචි දුකක්වත් දැනෙන්න දුන්නෙ නෑ. ඉල්ලපු හැම දෙයක්ම වගේ අරන් දුන්නා. ඇත්තම කිව්වොත් නංගිටත් වඩා තාත්තා මට ආදරේ කලා. මම නිකමට තාත්තගෙ මූණ දිහා බැලුවාම එයාගෙ ඇස් දෙකේ කඳුලු පිරිලා තිබුණා.. මටත් නොදැනිම මගේ ඇස් දෙකටත් කඳුළු උනන්න ගත්තෙ ඒ වෙලාවෙම තමයි..

“මම දන්නවා තාත්තෙ.. ඉතින් ඔයා කියන්නෙ මට උගෙන් ගුටි කාලා පැත්තකට වෙලා බයගුල්ලෙක් වගේ බලන් ඉන්න කියලද..? ඌ මට ගැහුවෙ මම කිසිම වැරැද්දක් කරන්නෙ නැතුව.. ඒක හරිම අසාධාරණයිනේ.”

“මම ඔය සාධාරණ අසාධාරණ ගැන කතා කෙරුවෙ නෑ.. අනික තමුන් එදා මොකද එක එකාගෙන් තොප්පිප ගලවගෙන හිඟමන් ගිහින් තියෙන්නෙ.. සිංදු කිය කිය පාර පුරාම.. තමුන් හිතුවද මට මේවා ආරංචි වෙන්නෙ නෑ කියලා.. තමුන් ඔය වගේ දේවල් කරනකොට මම කොහොමද ලෝකෙට මූණ දෙන්නෙ.. තමුන් අපි ගැන පොඩ්ඩක්වත් හිතුවද..?”

ඔය කරලා තියෙන්නෙ.. කවුද යකෝ ඒ ඩිංගට ඒ සීණ් එක අපේ තාත්තගෙ කනේ තිබ්බ හාල්පාරුවා.. ඕකව අහුවුනොත් මම ඕකගෙ කලිසම ඔලුවෙන් ගලවනවා..

“තාත්තා දන්නවනේ තුෂාර.. එයා මගේ හොඳ යාලුවෙක්.. එයා මේ ළඟදි ලෙඩවෙලා.. අපිත් දැනගත්තෙ බඩී කිව්වට පස්සෙ.. ඉතින් අපිට එයාව බලන්න යන්න ඕන වුණා.. ඒත් අපි ගාව සල්ලි තිබුණෙ නෑ.. එයාට මොකුත් ගෙනියන්නෙ නැතුව නිකන් යන එක හරි නැති නිසා තමයි අපි එහෙම කලේ.. නැතුව වෙන දේකට නෙමෙයි.. ඔය අස්සෙදි තමයි අසිත් ඇවිත් මාත් එක්ක වලියක් ඇදගත්තෙ..”

“ඇයි තමුන්ට ගෙදරින් මෙච්චර කාලෙකට ඉල්ලන ඉල්ලන පාරටම සල්ලි දීලා නැද්ද..? එක එකාගෙන් ගිහාකන්න තරම් මම හිගන්නෙක් වෙලා නෑ.. තමුන් කරපු තරමක් කලේ මට රෙද්දක් ඇදන් පාරෙ බැහැලා යන්න බැරිවෙන තරමෙ පහත් වැඩ.. තමුන් ඒක පිලිගන්නවද..?”

“ඔව්.. මම ඒක පිළිගන්නවා..”

“සුමිත්.. දැන් කොහොමද මචෝ..? දැන් අඩුයිද..?”

කාමරෙන් ඔලුව විතරක් දාලා එහෙම කියාගෙන ඇතුලට ආවෙ තුෂාරයයි බඩියයි.. මුන් දෙන්නත් සීන් එක දැනගෙනද කොහෙද.. බඩියා නම් මල පැනපු මූණක් දාගනෙ හිටියෙ..

“හ්ම්.. දැන් ටිකක් අඩුයි බං.. ඒත් ඔලුව පැලෙන්න වගේ රිදෙනවා..”

“මාත් මේ ඊයෙ රෑ දැනගත්තෙ.. ගෙදරින් යන්න දුන්නෙ නෑ ගොඩක් රෑ වෙලා නිසා.. ඒකයි මම උදේ ආවේ.. බඩියා මහ රෑ අපේ ගෙදර ඇවිත් මට කිව්වෙ.. මම බයවුණේ උඹට ගොඩක් ඩැමේජ් ඇති කියලා.. දෙයියන්ගෙ පිහිටෙන් එහෙම කරදරයක් නෑ..”

තුෂාරයා ලොකු හුස්මක් අරගෙන පිට කරනගමන් මගේ මූණ දිහා එබිලා බැලුවා.. කොහොම වුණත් කොල්ලො ටික මට ආදරෙයි.. මට ඒ ගැන ලොකු සතුටක් දැනුනා.. ඒත් අර අසිත් බල්ලත් එක්ක තියෙන තරහා නම් වැඩි වෙනවා මිසක් අවුඩුණේ නම් නැහැ.. බඩියා මගේ ළගට ඇවිත් අතින් අල්ලගත්තා..

“මම ඊයෙ රී ලෝඩ් එකක් දාන්න කඩේට ගිය වෙලෙයි සීන් එක ආරංචි වුණේ.. ධමියයි උඹයි අරූගෙන් ගුටි කාලා කියලා.. මම උඹලගෙ ගෙදරට යනකොට මුන් ටික සීන් එක උඹලගෙ අම්මටයි තාත්තටයි කියලා.. පස්සෙ මම තුෂාරයලගෙ ගෙදරට ගිහින් ඌටත් සීන් එක කිව්වා.. පයින්ම ගිය නිසා ගොඩක් රෑ වුණා බං.. බයික් එක කැඩිලා.. ඒකයි සීන් කෝන් එක..”

“මචං උඹ තුෂාරයලහට අපේ ගෙදර ඉදන් පයින්ම ගියාද..?”

“ඔව් බං.. මට උඹව බලන්න යන්න ඕන වුණා.. ඒත් කවුරුවත් හිටියෙ නෑ.. ඒකයි මම මුන්ගෙ ගෙදරට ගියේ.. ඒත් උගේ ගෙදරින් උඹව බලන්න යන්න දුන්නෙ නෑ ගොඩක් රෑ වෙලා නිසා..”

මට බඩියා ගැන ලොකු ආදරයක් දැනුණා.. මම උගේ අත තදින් අල්ලගත්තා.. ඇත්තටම මුන් මට කොච්චර ආදරේද.. බඩී මාත් එක්ක මේ තරම් ෆිට් කියලා මට තේරුණේ මේ සීන් එක නිසයි..

“තෑන්ක්ස් බඩියා.. දැන් මට අවුලක් නෑ.. මට දැන් ඕන අරූව මරාගෙන කන්න තමා..”

මට අමතක වුණා තාත්තා තාම මගේ ළඟ ඉන්නවා කියලා.. තාත්තාට ගොඩක් තරහා යන්න ඇති මම එයා කියන දේ අහන්නෙ නැති නිසා.. මටත් නොදැනිම තමයි මගේ කටින් ඒක පිට වුණේ.. මොකද මම අසිතයත් එක්ක ඒ තරම් තරහකින් හිටියෙ.. අනේ මූ ළඟ හිටියා නම් මම ඕකව මරාගෙන කනවා..

“අනේ අයියෙ ඔයාට කොච්චර කිව්වත් තේරෙන්නෙ නැද්ද.. දැන් තාත්තා කී පාරක් කිව්වද ඔයාට ඔය ගැන කතා කරන්න එපා කියලා.. ඇයි ඔයා කියන දේ අහන්නෙ නැත්තෙ.. ඔයා ඉස්සර මේ තරම් නපුරු නෑ.. මේ තරම් මුරණ්ඩු නෑ.. අනේ මොකක්ද මේ වෙලා තියෙන්නෙ ඔයාට..”

මම එතකොටයි දැක්කෙ නංගිව.. මෙච්චර වෙලා එයා කොහෙද යකෝ හිටියෙ.. පුංචි නිසා කට්ටියගෙ පිටි පස්සට වෙලා ඉඳපු නිසා පේන්නෙ නැතුව ඇති.. එයාගෙ ඇස් දෙකත් ජම්බු ගෙඩි දෙක වගේ රතුම රතු වෙලා.. මූණත් රතු වෙලා.. පවු..

“සොරි නංගි.. සොරි.. මට ඒක ඉබේටමයි කියවුණේ.. මම ආයෙ ඒ ගැන කතා නොකර ඉන්නම්..”

“කතාවෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙනුත් එහෙමම වෙන්න ඕන..”

තාත්තා මැද්දට පැනලා කිව්වා..

“හරි තාත්තා.. ඒ තුෂාරයා.. උඹට දැන් හොඳයිද බං.. දැන් ක්ලාස් යන්න පුළුවන් නේද..?”

“ඔව් මට නම් හොදයි බං.. ඒත් උඹට නම් සතියකටවත් ක්ලාස් යන්න බැරිවෙයි..”

“ඔව් පුතා මෙයාට සතියක් යනකන් ගෙදරට වෙලා ඉන්න කිව්වා.. මේ කතා කලාට මෙයාට කතා කරන්න හොද නෑ.. කෝ කියන දෙයක් අහන එකක්යෑ..”

අම්මා මගේ ඔලුවත් අතගාන ගමන් තුෂාරයට කිව්වා.. මගේ හිතට වගේම ගතටත් ලොකු සනීපයක් දැනුනා ඒ ආදරබර අතැගිලි මගේ ඔලුව පුරා යනකොට..

“අම්මෙ මගේ ඔලුව තව ටිකක් අතගාන්නකො..”

“අතගාන්න තමා.. ඔය හුරතලේ නිසයි මෙයාට මෙහෙම වුණේ..”

තාත්තත් හිනාවෙන ගමන් එහෙම කියලා එලියට යන්න සූදානම් වුණා..

“පුතා මම දැන් යන්න ඕන.. වැඩට යන්නත් පරක්කු වෙනවා.. මම හවසට එන්නම්කො ඔයාව බලන්න.. ළමයිනේ මම ගිහින් එන්නම්.. දුව.. මම ගිහින් එන්නම් හොදෙ..”

“හොදයි තාත්තා..”

“හරි.. අන්කල් ගිහින් එන්න..”

තාත්තා යන්න ගියා.. කොල්ලො සෙට් එකත් යන්න වගේ හදන්නෙ..

“නංගි අද පංති නැද්ද ඔයාට..?”

“හවස පංති තියෙනවා අයියෙ.. මට පංති යන්න තරම් මූඩ් එකක් නෑ.. අනිද්දම යනවා.. නෝට් ටික යාලුවෙක්ගෙන් ඉල්ලගන්න බැරියෑ.. අයියා ඉක්මනට හොදවෙන්නකො..”

නංගි මගේ ළගට දුවගෙන ඇවිත් ගොඩක් ආදරෙන් එහෙම කිව්වා.. මම එයාගෙ ඔලුව අතගාලා මගේ ළඟට ගත්තා..

“චික්.. අපිට නංගි කෙනෙක් නෑනෙ ඔහොම ආදරෙන් ළඟින් ඉන්න..”

“කරුමෙ බං.. කරුමෙ..”

“පල පල ඩෝ ඉරිසියා කරන්නෙ නැතුව..”

කොල්ලො සෙට් එක හිනාවෙන ගමන් එහෙම කිව්වා.. නංගිත් හිනාවෙලා මගේ පපුවට ඔලුව තියාගත්තා..

“ඒ සුමියා.. අපිත් ගිහින් හවසට එන්නම් එහෙනම්.. උඹ පරිස්සමින් ඉඳපන්.. ඉතුරුවා හවසට ඇවිත් කතා කරමුකො.. කියන්න දේවලුත් තියෙනවා.. මෙතන කියන්න බෑ බං..”

“ආ… ඒ මොනවද ඒ..?”

කුමාරයගෙ කට නම් හෙනම චාටර් කියලා මම කලින් ඉදන් දන්නවා.. ඒත් මේ තරම් නස්පූනි කටක් කියලා අද තමා දන්නෙ.. අම්මා ඉද්දිම එහෙම කිව්වම අම්මා සැක කරන එක අහන්නත් දෙයක්ද..?

“ආ.. ඒවා ඇන්ටිට කියන්න බෑ ඇන්ටි.. ඒක සුමියගෙයි එයා පස්සෙන් යන කෙල්ලගෙයි කේස් එකක්..”

“මොකක්..?”

“කුමාරයා.. මොනවද බූරුවො කියවන්නෙ..”

“ඉතින් ඇත්තනේ.. උඹ සංසලාගෙ පස්සෙන් යන්නෙ නැද්ද..? අනේ බං ඕවා ගෙවල් වලට හංගන්න ඕන නෑ.. කෙලින්ම කියපන්.. උඹ ඔය කෙල්ල ගෙනාවත් ගේන්නෙ උඹලගෙ ගෙදරටනේ..”

මම කිව්වෙ කුමාරයට තියෙන්නෙ ටොයිලට් කටක් කියලා.. ඕකා හොද නරක කිසි දෙයක් බලන්නෙ නෑ හිතට එන හැම මගුලම කියනවා.. අනේ ඇත්තට ඕකා මගේ ළගට ඇදලා ගන්න පුළුවන් නම් දෙනවා බොක්ක කූල් වෙන්න දෙක තුනක්.. මූ ගම කෑවා නේ..

“අනේ මේ.. මගෙන් අහගන්නෙ නැතුව ඉඳපං.. අනේ අම්මෙ ඔය බොරු.. මුගේ කටේ හැටි දන්නවනේ..”

“අනේ මම නම් ඕවා දන්නෙ නෑ.. කරන දෙයක් පරිස්සමින්.. මම දන්නවා ගොඩක් රණ්ඩු යන්නෙත් ඔය ගෑණු ළමයි නිසා කියලා.. ඒක නිසා අනිත් පාර ඔයා ගුටිකන්න නම් එපා කෙල්ලෙක් නිසා..”

“පිස්සුද අම්මෙ.. ඔය මුගේ බොරු.. මට එහෙම කෙනෙක් නෑ..”

“හ්ම්..”

නංගි නම් වචනයක් කිව්වෙ නෑ.. මනමාල හිනාවක් දාලා එයත් මගේ ඔලුව අතගාන්න ගත්තා..

“සුමියො.. අපි යනවා එහෙනම්.. හැමෝටම බායි කිව්වා..”

“එල මචංලා.. හවසට සෙට් වෙමු..”

“අනිවා…”

එහෙම කියාගෙන කොල්ලො සෙට් එක කාමරෙන් නොපෙනිම යන්න ගියා..

“මේ සුමිත්ගෙ අම්මා නේද..?”

“ඔව්.. ඇයි නර්ස්..?”

“අම්මෙ මෙයත් එක්ක වැඩිය කතා කරන්න එපා.. ඔයාලා දැන් යනවා නම් හොදයි.. මෙයාට දැන් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා නින්ද යන්න.. තාම මෙයාට ඒ හැට සනීපයක් නෑනෙ..”

“හොඳයි නර්ස් අපි එහෙනම් දැන්යනවා.. පුතේ.. එහෙනම් මායි නංගියි ගිහින් හවසට එන්නම්කො ඔයාව බලන්න..”

තූ විතරක්.. මොකීද යකෝ ඒ පහත්වෙච්ච ඒකි.. මම හොරාට වගේ නර්ස් නෝනගෙ මූණ දිහා බැලුවා.. අම්මටසිරි වෙනවා.. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා පුතා.. මාර ෆිගර් එකක්නේ.. මම හිතුවෙ ඇන්ටි කෙනෙක් කියලා.. ෆිගර් එක දිගේ ඇහැ දාගෙන ගිහින් ෆේස් එක පැත්තට ඇහැ දැම්මම තමා දැක්කෙ අවුරුදු විසි දෙකක් විසි තුනක් විතර වෙන ලාමක කෙලි පොඩ්ඩක් කියලා..

“පුතා.. එහෙනම් අපි ගිහින් එන්නම්..”

“අයියෙ.. මාත් යනවා.. බුදු සරණයි..”

“හොදයි අම්මෙ.. හරි නංගියො.. බුදුසරණයි ඔයාටත්.. පරිස්සමින් යන්න දෙන්නම..”

ඒ දෙන්නත් යන්න ගියා.. ඒත් මටත් නොදැනිම මගේ ඇස් දෙක නතර වෙලා තිබුණෙ අර මිසීගෙ ෆේස් එකේ..

“ඇයි මල්ලි..?”

“ආ.. නෑ නෑ අක්කෙ.. නිකන්.. මට ඔයාව දැකලා පුරුදු පාටයි.. ඒකයි බැලුවෙ..”

මල කෙලියයි.. ඒකි දැකලා නේද මම ඒකිගෙ මූණ දිහා බලන් ඉන්නවා කියලා.. තියෙන වලත්ත කමනේ ඉතිං.. පිස්සුද යකෝ.. මොන වලත්තද..? අපි මේ ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො.. හිතාන ඇති එහෙම.. ලස්සන දෙයක් දැක්කම කවුද ඒ දිහා නොබල ඉන්නෙ.. හා නැද්ද..?

“ආ.. ඒක මිසක්..”

“අක්කා වැරදි විදියට හිතුවද මංදා..”

මම මනමාල හිනාවක් දාලා ඇහුවා.. සිරාවටම ඉතිං මේකි වැරදි විදියට හිතුවොත්..

“අනේ නෑ මල්ලි.. මේ මම ඔයාට ඉන්ජෙක්ෂන් එකක් දෙනවා.. ඊට පස්සෙ ඔයාට නින්ද යයි.. ටිකක් රෙස්ට් කරන්න ඕන.. වැඩිය කතා කරන්න එපා කිව්වට ඇහුවෙ නෑනේ..”

අම්මටසිරි වෙනවා ඉන්ජෙක්ෂන් එක දෙනකොට නම්.. ඇස් දෙකෙන් කදුළුත් පැන්නා.. අක්කත් දොයි ගන්න කියලා ලාවට හිනාවක් දාලා කාමරෙන් ගියා.. මම විතරක් මේ ලෝකෙ ජීවත් වෙනවා වගේ හැගීමක් මට දැනෙද්දී එක සැරේම මගේ හිතේ සංසලාගෙ රූපෙ මැවෙන්න ගත්තා.. අනේ එයා මේ ගැන දන්නවද දන්නෙ නෑ.. දන්නවා නම් එයා මාව බලන්න එයි.. නෑ.. එහෙම එන එකක් නෑ.. එයා මාව වැඩිය දන්නෙ නෑනෙ.. කමක් නෑ.. ඒත් මට දුක මට එයාව බලන්න බැරි නිසා.. සතියක් කොහොමද මම එයාව නොබල ඉන්නෙ.. මට නම් පිස්සු වගේ.. ආදරේ කරනකොට කොයි තරම් බාධා එනවද.. ඒ ගැන හිත හිත ඉන්නකොට මටත් නොදැනිම මගේ ඇස් දෙක පියවුණා..
…………………මතු සම්බන්දයි ……………

2 thoughts on “ඔබ මට හිමි වේ නම් | 08 කොටස| නවකතාව”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.