Katha Ahura

ගුරු සේවයේ රසකතා |5 වන කොටස | රස කතා

2.2/5 - (4 votes)

නිකං ඉන්නව අයිසේ

ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලය පිහිටා ඇති පරිසරය අතිශයින් ම චමත්කාරය‍. එක් පසෙකින් ගමේ පන්සලත්, අනෙක් පස නිල්වන් ජලයෙන් සපිරුණු වැවත්, වැව පසුබිම් කරගත් ක්‍රීඩා පිටියත් විදුහලට අමුතුම සුන්දරත්වයක් ගෙන දුන්නේ ය. මෙම ආස්වාදජනක පරිසරයට අපි බෙහෙවින් ඇලුම් කෙළෙමු. අපි උසස් පෙළ අධ්‍යාපනය ලැබූ 60 ‍දශකයේ මෙම පාසල හැඳින්වූයේ ලුණුවිල මහා විද්‍යාලය නමිනි. ජවන පිටිය මලල ක්‍රීඩා අංශයෙන් අප විදුහල ‍ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ අවදි‍යකි.

විදුහල් වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා උලෙළ, විජය, ගැමුණු, තිස්ස නිවාස අතර ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය විය. නිවාස බාර ගුරුවරුන් පත්කිරීමේදී, ක්‍රීඩා නායකත්වය දැරූ ගැමුණු නිවාසය බාරවූයේ ඉංග්‍රීසි ගුරුවරයකු වූ වීරමන් සර්ට ය. එතුමා පිට පළාතකින් පැමිණියකු වූ අතර ගමේ ප්‍රභූ නිවෙසක නවාතැන් ගෙන සිටියේ ය. සෙසු ගුරුවරු ද තම නිවාස ජයග්‍රහණය සඳහා ඇප කැපවී ක්‍රීඩා පුහුණු කිරීම් කටයුතු නොකඩවා කරගෙන යන අතර දර්ශනීය ලෙස නිවාස ඉදිකිරීම් උදෙසා සිසුන් යොමු කරන්න වූහ.

නියමිත දිනය උදාවිය. විශේෂයෙන් ඉදිකළ මඩු කූඩාරම් මවුපිය ඇතුළු අමුත්තන්ගෙන් පිරී ඉතිරී තිබිණි. ජය ඝෝෂා මැද ක්‍රීඩකයෝ තරග බිමට අවතීර්ණ වූහ.

ක්‍රමයෙන් කාලය ඉක්ම යද්දී ගැමුණු නිවාසය මලල ක්‍රීඩා ඉසව්වලින් ප්‍රථම ස්ථානය ලබා ඇති බව ඔල්වරසන් හඬ මැද වරින්වර නිවේදනය විය. විශිෂ්ටතම නිවාස නිර්මාණයට විජය නිවාසය පළමු තැන ලබාගත්තේ ය.‍

එසැණින් විජය නිවැසියෝ ජය ඝෝෂා නගමින් තම නිවාස ධජය පෙරටු කොට අභියෝග කරමින් පිටිය වටා යමින් ගැමුණු නිවාසය ඉදිරිපිටදී ගැටුමක් ඇති කරගත් හ.

ගැමුණු නිවාසය බාර වීරමන් සර් ඉතා සංවේදී, සාමකාමී අහිංසක ගුරුවරයකු වූ අතර කිසි වි‍ෙටකත් ගැටුම් නොරිස්සූ එතුමා වහාම පිටියෙන් ඉවත්ව ගියේ ය. මලල ක්‍රීඩා විජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටි අපි, “අ‍ෙප් සර්ව උස්සගෙන පිට්ටනිය වටේ යමු… වරෙල්ලා…” යැයි කෑගසමින් සර් පිටවී ගිය ඉසව්ව දෙසට දුව ගියෙමු. ළමයි සර්ට පහරදීමට පන්නාගෙන එනවා යැයි වරදවා වටහාගත් අපේ ගුරුතුමා මහපාර දෙසට වේගයෙන් පියවර නැඟීය.

“සර් නවතින්ඩ! නවතින්ඩ! මම යටගිරියෙන් කෑගසමින් යහළුවන් සමඟ ‘සර්’ පසුපස ලුහුබැන්දත් එතුමා නොපෙනී ගියේ ය.

යන්තම් අඳුර වැටෙමින් තිබිණ. පාපැදියක පිටුපස නැඟී යමෙකු යනවා දුටු අපි ඒ පසුපස හඹා ගියෙමු. වැව් කණ්ඩිය ඔස්සේ ගිය පාපැදිය සර් නවාතැන් ගත් නිවෙස පිහිටි ගුරුපාරට හැරෙනවාත් සමඟම අපි එය හරස් කර ‘සර්’ ඔසවා ගත්තෙමු.

“නිකා ඉන්නව අයිසේ! මට කරදර කරන්ඩ එපා! යන්ඩ දෙනව අයිසේ! ‘සර්’ කෑගසද්දී අපි එතුමා ඔසවාගෙන, ගැමුණු කොඩිය ලෙළවමින් ජයඝෝෂා කරමින් පිට්ටනිය වටා නටමින් ගමන් කරද්දී නරඹන්නෝ අත්පොළසන් දෙන්න පටන් ගත්හ.

ඒ මොහොතේ අපේ නිවාස බාර ගුරුතුමාගේ මුහුණේ ඇදී ගිය අහිංසක සිනහව මගේ මතකයේ තවමත් රැඳී ඇත.

ඉබි හබය

එය ප්‍රධාන නගරයෙන් තතරමක් ඈතින් පිහිටි මධ්‍ය මහා විද්‍යාල‍යකි. විදුහල්පතිතුමාගේ සහායට නියෝජ්‍ය විදුහල්පති දෙපළක් පත්කර සිටියත් දෙදෙනා එකිනෙකා නුරුස්සන්නෝ වූහ. දෙදෙනාම හැමවිටම උත්සාහ කළේ එකිනෙකා අබිබවා කටයුතු කිරීමයි. මේ නිසා මේ දෙදෙනා අතර නිතර ම බහින් බස්වීම් ඇති විය. මේ හබය විදුහල්පතිතුමාට ද ලොකු හිරිහැරයක් විය.

නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනාට රාජකාරි කිරීමට කාර්යාලය අසලම කාමරයක් වෙන් කර දුන් විදුහල්පතිතුමා වාද බේද නොවී සමගියෙන් වැඩ කටයුතු කරගෙන යන ලෙස දෙදෙනාටම අවවාද කළේ ය.

මේ දෙදෙනාගෙන් සිරිල් නම් ව‍ූ නියෝජ්‍ය විදුහල්පතිතුමා කාමරය ලැබුණු දිනයේම එය අස්පස් කර, මේස පුටු සපයාගෙන කාමරයේ දොරට තඩි ඉබ්බෙක් දමා ගෙදර ගියේ ය.

පසුදින වේලාසනින් පාසලට පැමිණි අබේතිලක නියෝජ්‍ය විදුහල්පතිතුමා, පොත අත්සන් කර කාමරයට යනවිට ඔහු දුටුවේ එය ඉබ්බෙකු දමා වසා ඇති ආකාරයයි. ඉන් කෝපයට පත් එතුමා වහාම කඩ මණ්ඩියට ගොස් අලුත් කුඩා ඉබ්බෙක් රැගෙන විත්, ලොකු ඉබ්බා අසලින් ම එල්ලා කැන්ටිමට ගියේ ය.

තරමක් ප්‍රමාද වී පැමිණි සිරිල් නියෝජ්‍ය විදුහල්පතිතුමා පොත අත්සන් කර, සිය කාමරයට යන විට දුටුවේ, කාමරයේ දොරට ඉබි දෙකක් දමා ඇති ආකාරයයි. අබේතිලක මහතාට මහ හඬින් බැණ වදිමින්, කාර්යාලය වෙත ගිය එතුමා විදුහල්පතිතුමාට මේ ගැන පැමිණිලි කළේ ය. විදුහල්පතිතුමා පැමිණ, කාමරයේ දොරට ඉබි දෙකක් දමා තිබෙනු දැක, ආයාසයෙන් සිනහව යටපත් කරගත්තේ ය. දොර අරින්නට නම් ඉබ්බන් දෙදෙනාම ඉවත් කළ යුතු විය.

අබේතිලක මහතාට කාර්යාලයට පැමිණෙන ලෙස, විදුහල්පතිතුමා පණිවිඩ පිට පණිවිඩ යැව්ව ද, මගහැර සිටි අබේතිලක ‍මහතා උදේ දහයට පමණ කාර්යාලයට පැමිණියේ ය. ඉන්පසුව ඉබ්බන් දෙදෙනා විවෘත කර කාමරයේ දොර ඇර ගැනීමට හැකි විය. විදුහල්පතිතුමා එදිනම වෙනත් කාමරයක් අබේතිලක මහතාට ලබාදුන්නේ ය. ඉන්පසුව ‘ඉබි හබය’ නිමාවට පත් විය.

බිඳුණු බලාපොරොත්තුව

විජේසිංහ ගුරුමහතා සබරගමු පළාතේ ග්‍රාමීය පාසලක ඉතිහාස විෂය ඉගැන්වීම සඳහා පැමිණියේ දැනට දශක තුනකට පමණ ඉහතදීය. ඒ වන විටත් ඔහු තනිකඩයෙකි. ආචාර්ය මණ්ඩලයේ සිටි එකම අවිවාහකයා ඔහුය. මෙසේ කල් යද්දී නවක ගුරුවරියක් එම විදුහලට පත්ව ආවාය. ඇය පැහැපත් රූ සපුවකින් යුත් තැනැත්තියක් වූවාසේම විවාහක බවක් ද නොපෙනිණි.

විජේසිංහ මහතා ඈ පිළිබඳව කිසියම් පිළිබඳ සිතක් ඇතිකර ගත්තේය. පාසලේ වැඩ කරන අතර තුරේදී ද විවේක අවස්ථාවලදී ඈ ගැන සොයා බලා කතා බහකිරීමට පසුබට නොවීය. ගුරු මඬුල්ලේ අනෙක් අයද දෙදෙනා ගැන වඩාත් සෙවිල්ලෙන් පසුවූහ. එහෙත් මේ ගැන කිසිදු දෙයක් නවක ගුරුවරිය නොදැන සිටියාය.

දිනක් ගුරු විවේකාගාරයේදී දෙදෙනා ම සිටින අවස්ථාවක ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙක් තම තමාගේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳ කතා කළහ.

“අපේ පුතත් ලබන අවුරුද්දෙ ඉස්කෝලෙ. දුව මේ දවස්වල තාත්ත එක්ක පෙර පාසල් යනව.” හිටි හැටියේ නවක ගුරුවරිය නොපැකිළව ප්‍රකාශ කළාය. මෙය අසා සිටි විජේසිංහ මහතා අන්දුන් කුන්දුන් විය. මහත් කනගාටුවකින් මෙන් හුන් තැනින් නැගිට ඉවතට ගිය විජේසිංහ මහතා ආයෙත් නවක ගුරුවරිය දෙස හොරැහින්වත් නොබැලුවේය.

නාපු සිසුන්
රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි දුෂ්කර ප්‍රාථමික විද්‍යාලයක සිදු වූවකි. පාසලේ ශිෂ්‍ය පැමිණීම දිනපතාම වාගේ පන්ති බාර ගුරු මහත්ම මහත්මීන් විසින් සොයා බැලීම පුරුද්දක් ලෙස කරගෙන ගියේ ශිෂ්‍ය පැමිණීම ඉතාමත් දුර්වල හෙයිනි.

එක් දිනක් විදුහලේ හතර වැනි ශ්‍රේණියේ පන්ති භාර ගුරුතුමිය ශිෂ්‍ය නාම ලේඛනය පියවා පෙර දින පාසලට නොපැමිණි සිසුන් පිළිබඳ විපරම් කළාය.

“කෝ… බලන්න ඊයෙ නාපු අය කවුද කියල. අත් උස්සන්ඩ බලන්ඩ” ගුරුතුමිය කීවාය. සිසුහු දෙදෙනෙක් අත ඉස්සූහ. ගුරුතුමිය එක් අයෙකුගෙන් හේතු විමසුවාය.

“ටීචර් ඊයෙ ටිකක් වැස්ස තිබුණනෙ. මට හෙම්බිරිස්සාව කැස්ස ගතිය හැදෙයි කියල අම්ම කිව්ව නාන්ඩ එපා කියල.” සිසුවා පිළිතුරු දුන්නේය. මෙවිට ඊළඟ සිසුවා ද පිළිතුරු දෙමින්,

“මටත් එහෙමයි ටීචර්. අම්ම කිව්වනෙ නාන්න එපා කියලා” ඔහුගේ පිළිතුර විය.

ගුරුතුමිය කාරණය තේරුම් ගත්තාය. ඇසූ ප්‍රශ්නයෙහි අර්ථය තේරුම් කර දුන් ගුරුතුමිය පාඩම දෙසට අවධානය යොමු කළාය.

මියුලැසියා

ලොකු ඉස්කෝලේ මහත්තයාගේ ගෙදර කවදත් ගැමියන් අතර ඇසුරට පත් තැනකි. දිනපතා ‘දිනමිණ’ සතිපතා ‘සිළුමිණ’ සහ අනෙක් ඉරිදා පත්තර ද සත තුනේ මුද්දරයක් අලවන ලද ‘සිංහල බෞද්ධයා’ පත්තරේද තැපෑලෙන් එයි. මාසිකව ‘රසවාහිනි’, ‘නවයුගය’ සඟරා ද එහි ඇත. මේ නිසා ඒ ගෙදරට යන කාටත් පත්තරයක් සඟරාවක් බලන්නට හැකිය. පුස්තකාල නොමැති ඒ දිනවල මේ ගෙදරත් පන්සලත් හා ශාස්ත්‍රීය නිකේතනයක් බඳු විය.

පනස් හයේ බුද්ධ ජයන්තියට ලොකු ඉස්කෝලෙ මහතා රේඩියෝවක් ද ගෙනාවේ. රේඩියෝව ගුරු ගෙදර අවට වාසීන් අතර ද ජනප්‍රිය විය.

ලොකු මහත්තයා සෙත් පිරිත්වලින් පටන්ගෙන රාත්‍රී ශාස්ත්‍රීය ගී, භජන් ගී, නෘත්‍ය ගී දක්වාම සුදුසු වැඩ සටහන් අවට වාසින් සමඟ සවන් දෙයි. විශේෂයෙන් රේඩියෝවේ බණ කියන වෙලාවට ගැමියෝ පැදුරුවල වාඩි වී බණ අසති. ගුරුතුමා ඒවා දිනය, වෙලාව, මාතෘකාව, දේශක ස්වාමින් වහන්සේගේ නම යනුවෙන් ලියා සාරාංශයක් සකස් කරයි.

ලොකු මහත්තයා ක්‍රිකට් මැච්, මාසික රැඟුම, වාසනාව උදාව, රේඩියෝ රඟමඬල ග්‍රාමීය සන්ධ්‍යාව, කුරුලු බැද්ද වරදින්නේ නැතුවම අසයි. ඔහු සමඟ ගැමියෝ ද එක් වෙති. පද්‍යාවලිය ප්‍රචාරය වන හැමදාම චිත්‍රානන්ද අබේසේකර ඔහු අත පොත් තැබූ මූලික අධ්‍යාපනය ගමේ පාසලෙන් ලත් අයකු බව ද කියනවාමය.

එතුමා සංගීතය ද ප්‍රිය කරන බැවින් සමහර ගීත අසමින් පිටපත් කරයි.

ගෙදරට කවුරුහරි ආවොත් රේඩියෝ අසන්නේ නම් හාන්සි පුටුව ඉදිරියෙන් සාලයේ වාඩි වීමට කියයි. තේ බොන වෙලාවක නම් තේ එකක් දී බුලත් විටක් ද දෙයි. රේඩියෝවේ වැඩසටහනට අදාළ වැඩිමනත් දෙයක් වූවොත් එතැන සිටින අයට පහදා දෙමින් ප්‍රශ්න කරමින් පාඩම් උගන්වන අයුරින් කියා දෙයි.

එක් දිනක් ලොකු මහත්තයාලෙගේ ගෙදරට එස්. එස්. සී. පන්තියේ ඉගෙනුම ලබන ළමයෙක් පැමිණියේය. ලොකු මහත්තයා සරල ගී වැඩ සටහනක් අසයි. ඔහුට ද වාඩිවෙන්නට කියා තොරතුරු අසයි.

“මොකද ඔය ළමයා ආවේ”

“නැන්දා හම්බ වෙන්න” නැන්දා යනු ගුරුතුමාගේ බිරියයි.

“හම්බ වුණා ද?”

“ටිකක් ඉන්න කිව්වා, ඒවා හොයා දෙනකන්”

“දැන් මොන පන්තියේද ඉගෙන ගන්නෙ”

“ජ්‍යෙෂ්ඨ පන්තියේ”

ඔය අතරතුර ගීතයක් වාදනය විය.

“රටක් වටින කොමල හිනාවෙන් මා හා හිනා වුණා

කාගෙ කවුරුදෝ නොදනිමි ඒ මියුලැසියා”

“හොඳයි, තමුන්ට ඇහුණද ඒ සිංදුව”

“ඔව්”

“මියුලැසියයි කියන්නේ කාට ද?”

“අපේ පුංචි අම්මාට”

“මොනවා”

“ඇයි… අපේ පුංචි අම්මගෙ නම මියුලැසින්, ඒ වුණාට හැමෝම කියන්නේ මියුලැසියා” කියලයි.

මහත් ලොකු හිනාවක් ගිය ලොකු මහත්තයා සිසුවාට එහි තේරුම කියා දී දැනුම වැඩි කරගන්නට ඉඳහිට ඇවිත් පත්තර සඟරා කියවන්නට යැයි උපදෙස් දුන්නේය. නමුත් සිසුවා ඉන්පසු හතර මායිමටවත් ආවේ නැත්තේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි නිසාය.

අපේ මහත්තයගෙ ලෙඩේ

ගුරු විවේකාගාරය තුළ දී විවිධ රසකතා අනන්තවත් අපට ඒ කාලයේ ඇසුණි. එදා ගුරුවරුන්ට විවේකය සඳහා නිදහස් කාලඡේද තිබුණේ ඉතා අඩු වශයෙනි.

ගුරු විවේකාගාරයේ දී විවිධ විහිළු තහළු කිරීම, තොරතුරු කතා කිරීම, පාසලේ විවිධ ගැටලු ගැන විසඳුම් සෙවීම, අනියම් පරිදි ගුරු අත්දැකීම් ලබමින් ගුරු අධ්‍යාපනය ලැබීමට ද අවස්ථාව ඇත.

සමහර දාට යම් යම් කාලීන ප්‍රශ්න ද සාකච්ඡා කරති. එක් දිනක් ගුරුවරියක් කීවේ තම මෝටර් රථය ගරාජයේ නිසා මහත්තයට අද විවේකී බවයි.

‘අනේ… ඔව් අපේ මහත්තයටත් ඔය වදේ තමයි තියෙන්නෙ, එකක් හදනකොට තව එකක් කැඩෙනවා.

මේ කියන ගුරුතුමියට කවුරු මොනවා කීවත් ඊට සාපේක්ෂව සිද්ධියක් ඇත.

‘අපේ බබාට තරමක් උණ අද ඉස්කෝලෙ ඇරිල ගිය ගමන් ඩොක්ටර් ළඟට යන්න ඕනේ’

‘ඔව් අනේ අපේ පුතාටත් උණ. ඇයි, කියන දේ අහන්නෙ නෑනෙ. වතුරෙම දඟලනවා. මමත් අද හවස ඩොක්ට ළඟට යන්න ඕනෙ.’

‘හරි වැඩේ වුණේ… ඊයෙ අපේ ගෙදරට ‘පිරමිඩ්’කාරයෙක් ආවනෙ.’

‘කවුද අනේ පිරමිඩ්කාරයයි කියන්නෙ’

‘දන්නෙ නැද්ද අර බොරු ජාවාරම්කාරයෝ, මහ බැංකුවෙන් මේ අයට රැවටෙන්න එපා කියා කියල තියෙනවා.’

‘හා… හා… හරි හරි අපේ මහත්තයටත් එක්කෙනෙක් ඔහොම කියල තියෙනවා. මං කිව්ව ඔය පිරමීඩ පාරාවෝ ළඟ තියාගන්න අපි පාඩුවේ ඉඳිමු කියල’

කවුරුත් සිනාසුණේ ඒ කතාවටය.

දිනක් එක් ගුරුවරියක් තම බල්ලාගේ ලෙඩක් කීවාය. හොඳ පශු වෛද්‍යවරයකු හමු වී බෙහෙත් ගෙන සනීප වූ බව ද කීවාය.

අර ගුරුවරිය පැමිණෙන විට මේ කතා කළේ කුමක්දැයි නොදනී. ඇය අනෙක් ගුරුවරියට මෙහෙම කීවාය.

“කවුද අනේ ඔය හොඳ දොස්තර… මටත් අපේ මහත්තයට බේත් ගන්න ඕනේ සෙමට.” ගුරුවරිය කීවාය.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.