Katha Ahura

මරණයේ දොරටුව|හත්වන දොරටුව|හොල්මන් කතා | කතා අහුර රචක

5/5 - (1 vote)

මරණයේ දොරටුව

හත්වන දොරටුව

මිස්සකට හොද වැඩක් වෙලානේ බං… අරලිය ගහ අස්සෙන් මතුවුණු රවිෂාන් කිව්වේ හිනාවෙවී .

ඇයි මොකක්ද බං වෙලා තියෙන්නේ ? මං ඇහුවේ එච්චරම උවමනාවකින් නෙවෙයි .

ඒකට හේතුව මිස්සක කියන්නේ දඩබ්බර චරිතයක් . අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් සර්ගේ පුතා . කරොත් ඇට්ටර වැඩක්. පංතියේ ගොඩක් අය මිස්සක එක්ක කතාවට නොගියේ එයාගේ දඩබ්බර ගති නිසාමයි. ඒත් මිස්සකට ගැලපෙන යාලුවො දෙන්නෙකුත් එයාට හිටියා මාදවයි සෙහානුයි..

මිස්සක තැන්නේකුඹුර ළිදේ නාන්න ගිහිං බාල්දියේ ලණුව ළිදේ පැටලිලා වැටෙන්න ගිහිං අනූනවයෙන් බං බේරිලා තියෙන්නේ … බෙල්ල ගන්න දෙයක් නෑ ලණුපටට තදවෙලා.. රතුවෙලා ඉදිමිලා බං… කියලා ශානක කිව්වේ හිනාව නවත්තගන්න බැරිව .

හිනාවෙන්න එපා යකෝ හතුරෙක්ට වුණත් කරදරයක් වුණාම… මං ටිකක් සැරෙන් කිව්ව නිසාද කොහෙද උන් ඔක්කොම හිනාව නවත්තගත්තා..

ඒත් යාලුවො සෙට් එක කිව්ව දේවල් නිසා මට මගේ හීනේ මතක් වුණා . ඒකට හේතුව තමා මට හීනෙන් පෙනුණෙත් කවුරු හරි බෙල්ලේ වැල දාගන්නවා … මේකෙ මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා මට හිතුණා .

ඕකට තමා බං දිට්ටධම්මවේදනීය කර්මය කියන්නේ . උගේ වැඩේ කාට හරි කරදරයක් කරලා සතුටු වෙන එකනේ.. දැක්කනේ ඒක කැරකිලා කොහෙන් හරී ඌ හොයාගෙන ඇවිත්… කියලා උදේනක කිව්වේ හිනාව නවත්තලා. උදේනක කියන දේත් ඇත්තක් තියෙනවා කියලා මට හිතුණා .

ඒක නෙවෙයි බං.. මටත් උඹලාට දෙයක් කියන්න තියෙනවා … කියලා මං උන් දෙනාටම කියද්දී ඕනිම දේකට මැදින් පැනලා කතා කරන ශානක ඇහුවේ

ඇයි මචං උඹ ආයෙත් හීනයක්වත් දැක්කද කියලා .

මං ඔව් කියන්න ඔලුව හෙල්ලුවා .. තව වැදගත් හෝඩුවාවක් හොයාගත්තා බං ඇක්සිඩන්ට් එක ගැන … කියලා මං කියද්දීම ඉස්කෝලේ පටන් ගන්න බෙල් කරා..

අරුං තුන්දෙනා කටත් ඇද කරගෙන පංතියට ගියේ කතාව අහන්න බැරි වුණාට අවුලෙන් .. කෝකටත් සදුන් ගැන විස්තරේ නොකියා ඉන්න මං තීරණය කරේ සදුන් ගැනම හිතලා .

ඉන්ටවල් එක එනකල්ම එකදිගටම අපිට උගන්නපු නිසා මීක් කියලා එක වචනයක් වත් අපට කතා කරන්න බැරි වුණා . යාලුවො තුන්දෙනා හරිම අපහසුවෙන් ඉන්නේ කියලා මට තේරුණා . කොහොම හරි රවිෂාන් අයි ටී සර්ගෙන් බැනුමුත් අහගත්තා..

ඉන්ටවල් එක දුන්නා විතරයි උදේනක කිව්වේ කන්න ඕනි නෑ බං .. යමන්කෝ එළියට .. කියලා ..

කැන්ටිමෙන් මොනා හරි අරංම යමං බං.. මට බඩගිනි කියලා ශානක කිව්වේ ඔලුව කසන ගමන් ..

මොනා වුණත් ශානකට බඩගින්නක් ඉවසන්න බෑ.. කැන්ටින් එකෙන් සීනි බනිස් අරං අපි ගියේ අරලිය ගස් යට හෙවණකට .

දැන්වත් කියපංකෝ බං හීනේ ගැනයි හෝඩුවාව ගැනයි … නොඉවසිල්ලෙන් හිටපු උදේනක මගෙන් ඉල්ලුව .

මං දැකපු හීනේ ගැන තුන්දෙනාට කියද්දි කන්නත් අමතක වෙලා මගේ දිහා බලාගෙන කතාව අහගෙන හිටියා ..

මචං මිස්සක වෙන්න බැරිද හීනෙන් දැක්කේ .. කියලා උදේනක ඇහුවේ මට හිතුණ දේමයි..

වෙන්න පුලුවන් බං .. මට තාම මූණ පැහැදිලිව පෙනුණේ නෑනේ .. කියලා මං කිව්වා .

එතකොට බං කෙල්ලෝ දෙන්න කවුද රවිෂාන් ඇහුවේ ඒත් එක්කම .

මටත් හිතාගන්න බෑ බං මූණ පෙනුණේ නැති නිසා .. මං කිව්වේ ඇත්තටම දුකින්.. මගේ හිතට බයක් දැනිලා තිබ්බේ කලින් වගේම මට මේපාරත් කට්ටිය බේරගන්න බැරිවෙයි කියලා ..

මචං හේමාලෝක හාමුදුරුවන්ට කියන්න වෙයි නේද කියලා රවිෂාන් ඇහුවේ මගෙන්…

ඔව් බං කියන්න ඕනි… කියලා මං කිව්වේ සීනී සම්බල් බනිස් එකෙන් කටක් ගන ගමන් .

ඇක්සිඩන්ට් එක ගැන හෝඩුවාව මොකක්ද බං… ශානක ඇහුවේ කන ගමන්..

මචං මේ වගෙම ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවලු මීට අවුරුදු 15කට කලිනුත් . මං කිව්වේ ටිකක් හෙමින් . මොකද මේක කාටහරි ඇහුණොත් ලැව්ගින්නක් වගේ ගම පුරා පැතිරෙයි ..
හෑ..උඹ කොහොමද එහෙම එකක් දන්නේ ? අපි ගොඩක් පොඩියිනේ බං එතකොට … උදේනක ඇහුවේ පුදුමයෙන් .

උදේනක විතරක් නෙවෙයි ශානක වගේම රවිෂානුත් පුදුම වෙලා බලාගෙන හිටියේ ඒක අහලා .

මට කොහොම හරි දැනගන්න ලැබුණා බං … අපි මේ ගැන කාටවත් දැනගන්න තියන්න හොද නෑ. අපි හෙමින් හොයාගෙන බලමු මේ ගැන විස්තර ටිකක්.. මං කිව්වේ යාලුවො කලබල වෙලා හිටිය නිසා.

දැන්ම උඹ ඕවා හාමුදුරුවන්ට කිව්වා නම් හරි මචං . වෙන්න තියෙන දෙයක් වළක්වගන්න පුලුවන් එතකොට .. උදේනක කිව්වේ මගේ පිටට තට්ටුවක් දාලා.

ඔව් මචං .. උඹ දැන්ම හාමුදුරුවන්ට කියලා වරෙං . අපි ඔක්කොම යන එකත් හරි නෑනේ… උඹ ඔය විස්තරේ කියලා බලලා හාමුදුරුවෝ මොකද කියන්නේ බලපංකෝ.. උදව්වක් ඕනි නම් කියපං … රවිෂානුත් කිව්වා .
අපි එහෙනම් පංතියට යන්නම් බං.. උඹ ඕක කියලා වරෙං .. කියලා ශානක උදේනකයි රවිෂානුයි එක්ක පංතිය පැත්තට ගියා.

ඉන්ටවල් එක ඉවර වෙලා ඊළඟ පීරියඩ් එකට බෙල් කරත් තිබුණේ සිංහල නිසා මං පංතියට නොයා හේමාලෝක හාමුදුරුවන්ගෙ කාමරය පැත්තට ගියා.

සදමාලී මැඩම් නැති වුණාට පස්සේ අපිට තාම සිංහල උගන්නන්න ගුරුවරයෙක් ආවේ නෑ.. ප්‍රින්සිපල් සර් කලාප කාර්‍යාලෙන් ඉල්ලීම් කරත් වැඩක් වුණේ නෑ.. මැඩම්ට තියෙන ආදරේ නිසාම ළමයි ඒ පීරියඩ් එකේ පුලුවන් විදියට සිංහල පාඩම් කරනවා..

මං හාමුදුරුවන්ගෙ රූම් එක ළගට ගිහිං තට්ටුවක් දැම්මා

ඇතුළට එන්න … කියලා හාමුදුරුවෝ කිව්ව නිසා මම දොර ඇරගෙන ඇතුළට ගියා.

ආ… මේ හිම්සර පුතානේ.. ඇයි පුතා? හාමුදුරුවෝ ඇහුවේ දානේ වළදන ගමන්..

අනේ සමාවෙන්න හාමුදුරුවනේ … මං පස්සේ එන්නම්.. හාමුදුරුවෝ දානේ වළදලා ඉන්නකෝ.. කියලා මං ආපහු හැරුණේ කෑම කන වෙලාවෙදී කරදර කරන එක නරක පුරුද්දක් නිසා .

නෑ. නෑ.. හිම්සර පුතා . මං දානේ වළදලා ඉවරයි … ආව කාරණේ කිව්වා නම්..කියලා හාමුදුරුවෝ කිව්වේ හාමුදුරුවන්ගෙ කාමරේම තිබුණු සින්ක් එකෙන් අත හෝදගන්න ගමන්.

හාමුදුරුවනේ මං ආයෙමත් අර වගේ හීනයක් දැක්ක .. කියලා මං කිව්වා විතරයි හාමුදුරුවන්ගේ නළල රැලි වුණා .

පුතා වාඩිවෙලා කතා කරමුකෝ … කියලා හාමුදුරුවොත් පුටුවෙන් වාඩි වුණා .

හ්ම්ම්… මේ පාර මොකක්ද දැක්කේ ? හාමුදුරුවෝ ඇහුවේ අත් දෙක මේසේ උඩින් තියාගෙන .

හාමුදුරුවනේ කවුරු හරි ගැහැණු ළමයි දෙන්නෙක්ට පිරිමි ළමයෙක් කරදර කරන්න හදනවා .. පස්සේ ඒ පිරිමි ළමයා එල්ලිලා මැරෙනවා … මං කිව්වේ කෙටියෙන් .

හ්ම්… කියලා දිග හුස්මක් ගත්තු හාමුදුරුවෝ ඊලඟට ඇහුවේ මූණ දැක්කද කියලා ..

නෑ හාමුදුරුවනේ .. මට මූණ පැහැදිලිව පෙනුණේ නෑ.. කියලා මං කිව්වේ කණගාටුවෙන් .

ඒකත් එහෙමද .. ආයෙ ආයෙත් කලින් වගේ ඒ හීනේ පෙනේවී මං හිතන්නේ… හිම්සර පුතා මූණ දැක්ක ගමන් මට කියන්න ඕනි.. අපි කොහොම හරි මේ වෙන දේ නතර කරන්න ඕනි.. කියලා හාමුදුරුවෝ කිව්වා.

එහෙමයි හාමුදුරුවනේ කියලා මං හාමුදුරුවන්ට කිව්වේ අද රෑටවත් මට මූණු පෙනුණොත් හොදයි කියලා හිතුන නිසා..

හාමුදුරුවනේ මීට අවුරුදු 15ට කලිනුත් මේ වගේම දෙයක් වෙලා තියෙනවලු… කියලා මං කිව්වම හාමුදුරුවොත් මගෙ දිහා බැලුවේ පුතා .

හිම්සර පුතා කොහොමද දන්නේ? කවුද කිව්වේ ? කියලා හාමුදුරුවෝ අහපු නිසා මට බොරු කියන්න බැරිවුණා . මං සදුන් ඇවිත් කියපු දේවල් හාමුදුරුවන්ට කිව්වේ හාමුදුරුවෝ මේක කාටවත් කියන්නේ නෑ කියලා දන්න නිසා වගේම එහෙම දෙයක් වෙන්න පුලුවන් කියලා හාමුදුරුවෝ විශ්වාස කරන නිසා..

හ්ම්ම්.. අපි හිතුවට වඩා මේක බරපතලයි වගේ.. එහෙම ගන්ධබ්බ අවධියෙදි තමන් ළගින්ම ආශ්‍රය කරන අය ළගට යන්න පුලුවන් තමා .. මේ හැමදේම හිම්සරට කියන්නත් පේන්නත් ලොකු හේතුවක් ඇති.. මමත් මේ ඉස්කෝකෙට ඇවිත් අවුරුදු පහක් නිසා මමත් අවුරුදු 15ට කලින් වෙච්චි දෙයක් නම් දන්නේ නෑ. ඒත් ඊට කලින් හිටිය ප්‍රින්සිපල් සර් රණසිංහ සර් මං හිතන්නේ … සර් හම්බ වුණොත් අපිට මේ ගැන ටිකක් දැනගන්න පුලුවන් වෙයි… කියලා හාමුදුරුවෝ කිව්වා.

ඔව් හාමුදුරුවනේ . මං අපේ අම්මගෙන් අහද්දී අම්මට පොඩි මතකයක් තිබුණා ඒ ගැන . රණසිංහ සර් තමා එතකොට ප්‍රින්සිපල් සර්.. කියලා මං කිව්වේ හාමුදුරුවෝ කියපු දේ තහවුරු කරන්න .

හොදයි අපි එහෙනම් ඉස්කෝලේ ඇරිලා රණසිංහ සර් හම්බ වෙලා බලමු.. කියලා හාමුදුරුවෝ කිව්වම මම ඒකට එකග වෙලා පංතියට ගියා.

ඉස්කෝලේ ඇරුනට පස්සේ මං රවිෂාන් එක්ක ශානක යැව්වේ සදුන්ගේ අම්මා හම්බ වෙලා පොඩ්ඩක් කතා කරලා යන්න කියලා ..

උදේනක මාත් එක්ක යන්න තියාගත්තා . හාමුදුරුවෝ ගේට්ටුව ළගට වැඩම කරාට පස්සේ තුන්දෙනාම පයින්ම රණසිංහ සර්ලගෙ ගෙදර ගියේ ළගපාත තිබුණු නිසා .

ඈත තියාම අපි එනවා දැකලා රණසිංහ සර් සුදු රෙද්දක් අතුරලා පුටුවක් ලෑස්ති කරලා තිබුණේ හාමුදුරුවන්ට .

අපි හීන ගැන මුකුත් නොකියා පොඩ්ඩක් විස්තර අහගන්න බලමු .. කියලා හාමුදුරුවෝ කඩුල්ලෙන් ඇතුළට ගියා .

එහෙමයි හාමුදුරුවනේ කියලා උදේනක මාත් ඇදගෙන කඩුල්ල පැනලා ඇතුළට ගියා .

වාඩිවෙන්න අපේ හාමුදුරුවනේ කියලා රණසිංහ සර් හාමුදුරුවන්ට වැදලා අපටත් වාඩිවෙන්න කියලා සරුත් වාඩි වුණා .

කොහොමද ඉතින් ලොකු සර් කියලා හාමුදුරුවෝ කතාව පටන් ගත්තා .

දැන් ඉතින් අපි වයසක උදවියනේ හාමුදුරුවනේ .. මං තනියම ඉන්න එකේ තියෙන දෙයක් කාලා බණක් භාවනාවක් කරගෙන ඉන්නවා .. කියලා ලොකු සර් හිනා වුණා ..

එතකොට නෝනා මහත්තයා? කියලා හාමුදුරුවෝ ඇහුවේ ලොකු සර්ගේ වයිෆ් ගැන.

දැන් අවුරුදු දෙකකට කලින් උන්දෑ නැති වුණා හාමුදුරුවනේ .. කියලා ලොකු සර් උත්තර දුන්නා .

හ්ම්… ඕක තමා ලෝක සොබාවේ ලොකු සර්.. එතකොට දරු මල්ලෝ එහෙම ? කියලා හාමුදුරුවෝ ආයෙත් ප්‍රශ්නයක් ඇහුවා .

එක පුතෙක් හිටියා හාමුදුරුවනේ .. මීට අවුරුදු 15ට කලින් පුතා එල්ලිලා මැරුණානේ… කියලා රණසිංහ සර් කියද්දී මායි උදේනකයි මූණෙන් මූණ බලාගත්තා ..

-දිග කොටසක් දැම්මා ඔන්න.. චතූ ඇතුලු කතාව කියවන හැමෝම වගේ ඉල්ලීම් කරලා තිබුණු නිසා… –

කතාව කියවන හැමෝටම ස්තූතියි ❤?

නයෝමී නදීරා ධීරසිංහ

6 thoughts on “මරණයේ දොරටුව|හත්වන දොරටුව|හොල්මන් කතා | කතා අහුර රචක”

  1. Chathu indeewaree

    තෑන්ක්ස් සුදු නෝනා දිගගගගගගගගග එපිසොඩ් එකක් දැම්මට. වෙනද වගේම අදත් ගොඩාක් ලස්සනයි කතාව. රණසිංහ සර්ගෙ ඒ මැරුණු පුතා වෙන්න ඇති එහෙනම් මේ හැමදේම කරන්නේ නේද වස්තුවේ… ? අනේ ආයෙත්නම් කාටවත් මැරෙන්න දෙන්න එපා හොඳේ….

    සතියකට එපිසොඩ් දෙකක්වත් දාන්න බැරිද දන්නෑ නේද සුද්දී ඔයාට. මොකද ගොඩාක් ආසාවෙන් කියවන්නේ ඔයාගේ මේ කතාව. ඉතින් සතියක් ආයේ බලාගෙන ඉන්න වෙනවා කියලා මතක් වෙද්දී හඳුන්පොත කී ගානවා මගේ කැකුළියේ… ඒකයී…

    සුපර්බ් ඉටිම් කතාවනම්. හොඳේ…
    ඒකේ දෙකක් නෑ ආයේ… ලබන සතියෙත් හමුවෙමු අපි ලස්සනම ලස්සන දිගගගගගගගගගම දිගගගගගගගගග එපිසොඩ් එකක් සමඟින්.. නේද? බුදු සරණයි ! මැණික.. සුන්දර රාත්‍රියක් වේව!!!

  2. Vibushani madu

    Ane kathawa lassanai akkiyooo godaaaaaaaaaaaaaaaaaariyak mn harima asa kathawak meka. Mokdda wenne kiylnm hithgnna ba mt kathawe kuthuhalaya wadi nisa kiywanna asa hithenawa. Next week eket digaa kotasak danna akki bs oyta

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.