Katha Ahura

මරණයේ දොරටුව | අවසාන දොරටුව

3.8/5 - (11 votes)

මරණයේ දොරටුව

අවසාන දොරටුව

නින්ද යන්නේ නැති නිසා පාන්දර හය වෙනක්ල්ම ඇහැරගෙන ඉදලා මං ඉස්කෝලේ යන්න ලෑස්ති වුණා . නංගිටත් කෑ ගහලා ඉක්මනින් ලෑස්ති වෙන්න කිව්වේ මිනුලි ගැන මට බයක් දැනුණ නිසා..

අද අයියට මොන කඩි කුලප්පුවක් හැදිලද මන්දා.. ඇදේ වැරදි පැත්තෙන් නැගිටලද කොහෙද කියලා.. නංගි චරු චුරු ගෑවට මං ඇහෙන්නේ නෑ වගේ ඉස්කෝලේ ගියේ අඩිය ඉක්මන් කරලා . පාන්දර හය හමාර වෙද්දී ඉස්කෝලේට ආවාත් මගේ යාලුවො තාම ඇවිත් නෑ. ඒත් හේමාලෝක හාමුදුරුවෝ වැඩම කරලා කියලා උන්වහන්සේගේ කාමරේ දොර ඇරලා තියෙන නිසා මට තේරුණා ..

නංගිට පංතියට යන්න කියලා මං කෙලින්ම ගියේ හාමුදුරුවන්ගෙ කාමරේ දොර ළගට. මං යද්දිත් පාර දිහා බලාගෙන හිටිය හාමුදුරුවෝ හා හිම්සර පුතා . එන්න ඇවිත් වාඩිවෙන්න … කියලා කතා කරා.

හාමුදුරුවනේ මං… මං ආයෙත් අර හීන දැක්කා.. ඒ ඒ.. මිස්සක තමා එල්ලිලා මැරෙන්න ලෑස්ති වෙන්නේ.. අපේ.. අපේ පංතියේ මිනුලිට තමා මිස්සක කරදර කරන්න ලෑස්ති වෙන්නේ… මං එක හුස්මට කියාගෙන යද්දී ,

කලබල වෙන්න එපා හිම්සර … බය වෙන්න කාරී නෑ.. අපට ඒ දේ නවත්තගන්න පුලුවන් … කියලා හාමුදුරුවෝ කිව්වේ හරිම සැහැල්ලුවෙන් .

ඒත් .. ඒත් හාමුදුරුවනේ අද වුණත් ඒ දේ වෙන්න පුලුවන් නේද කියලා මං ඇහුවේ බයෙන්..

නෑ.. හිම්සර .. මං ඊයේ රණසිංහ සර් කිව්ව ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න ගියා.. උන්වහන්සේ කැමති වුණා අපට උදව් කරන්න. හෙටම අපි ඉස්කෝලේ ලොකු පිංකමක් පවත්වන්න ඕනි බණක් ලෑස්ති කරලා.. අද රාත්‍රියේ අංජනම් බලලා සුමනසිරිගේ ආත්මය හාමුදුරුවෝ අල්ලගනියි.. හෙට පිං අනුමෝදන් කරලා නිදහස් කරමු කියලයි හාමුදුරුවෝ කිව්වේ .. මං මේ ගැන දැන් ඉන්න ලොකු සර්ට පැහැදිලි කරලා මිස්සකගේ ආරක්ෂාවට නූලක් දැම්මා. දැන් සුමනසිරිගේ ආත්මයට බෑ මිස්සකට ලං වෙන්න. හාමුදුරුවෝ කිව්වම මට දැනුණේ සැනසීමක් ..

අනේ ගොඩක් පිං හාමුදුරුවනේ … මං කිව්වේ හදවතින්ම .

හිම්සරට පිං ලැබෙන්න ඕනි මේක හොයාගන්න උදව් කරාට.. ඒ වගේම මට හිම්සරට තවත් දෙයක් කියන්න තියෙනවා .. කියලා හාමුදුරුවෝ කිව්වා.

මො..මොකක්ද අපේ හාමුදුරුවනේ .. කියලා මං ඇහුවේ ටිකක් විතර බයෙන් ..

නෑ.. නෑ.. බයවෙන්න දෙයක් නෙවෙයි .. හිම්සරට මේ දේවල් පේන්න හේතුව මොකක්ද කියලා මං ලොකු හාමුදුරුවන්ගෙන් අහලා බැලුවා .. හිම්සරගේ නැති වුණ සීයා කෙනෙක් කරපු කුසල් අනූව දෙව්ලොව උත්පත්තියක් ලබාගෙන තියෙනවා . එයාගේ පිං බලය පාවිච්චි කරලා හිම්සරට මේ දේවල් පෙන්නලා තියෙන්නේ මේක නවත්තගන්න වගේම හිම්සරට අනතුරු වෙන්න ගිය වෙලාවල්වල ඒ උපාසක ඇත්තා හිම්සර පුතාව බේරගෙනත් තියෙනවා කියලා තමා ලොකු හාමුදුරුවෝ කිව්වේ කියලා හේමාලෝක හාමුදුරුවෝ කිව්වම මට පුදුමයක් වගේම සතුටක් හිතුණා .

මගේ සීයා දිව්‍ය ලෝකයට යන්න තරම් යහපත් කෙනෙක් . කුරා කූබියෙක්ටවත් වරදක් නොකරපු මස් මාලු කටේ තියලා නැති පන්සිල් රැක්ක හරිම අහිංසක කෙනෙක්. පුදුම හිතුනේ සීයා මාව ආරක්ෂා කරලා තියෙන හැටි හිතලා.. අනූ නවයෙන් බේරිලා තියෙන ගණන වැඩියි. නයෙක් ගහන්න ගිහිං , වාහනේක හැප්පෙන්න ගිහිං .. ඒ වගේම ඉකෝන් කරලා අයෙත් ලෝජික්වලට මාරු වෙන්නත් සීයා හේතුවක් වෙලා ඇති කියලා මට හිතුණා .

මට සීයව හීනෙන් පෙනුණා හාමුදුරුවනේ .. කියලා මං කිව්වේ සතුටින් ..

හ්ම්.. ඒකනේ හොදට හිටියොත් දෙවියොත් උදව් කරනවා කියලා කියන්නේ කියලා හාමුදුරුවෝ කිව්වා.

හාමුදුරුවනේ … අද අංජනම් බලන එකට යන්න අපිත් එන්නද.. මං හාමුදුරුවන්ගෙන් ඇහුවේ යන්න තිබුණා නම් හොදයි කියලා හිතුන නිසා.

මට ඒක කර්න්න බෑ හිම්සර පුතා . දෙමව්පියන්ට මෙව්වා කියලා කලබල කරන්න බෑ. බොරු කියලා යන්නත් බෑ.. අනික මේක බැරෑරුම් කටයුත්තක්. රණසිංහ සර්, අපේ ලොකු සර් මා එක්ක යයි.. හෙට ඉස්කෝලේ බණට අවශ්‍ය වැඩකටයුතු පුතාලා බාරගෙන කර්න්න.. හාමුදුරුවෝ කිව්ව නිසා මං ආයේත් ඒ ගැන අහන්න ගියේ නෑ.

*********

කොහොම හරි පහුවදා ඉස්කෝලේ බණක් කියලා ලොකු දානයක් දුන්නේ ගමේ හැමෝගෙම සහභාගිත්වයෙන් … පිං අනුමෝදන් කරද්දී උඩ ආකාසේ සදුන් පාවෙලා හිනාවෙලා ඈතට යනවා දැක්කා.. හරියට ස්තූතියි කියලා යනවා වගේ..

හාමුදුරුවෝ කිව්වේ සුමනසිරිගේ ආත්මය පළිගැනීම අතඇරලා දැම්මා කිය්ලා..

ලොකූ දෙයකින් නිදහස් වුණා කියලා හිතට දැනුණ නිසා ගෙදර ගිහිං නිදාගත්තේ සතුටින්..

*********

මාස දෙක්ක විතර යනක්ල් ආයේත් මොකුත්ම දැක්කේ නෑ.. හැමදේම ඉවරයි කියලා මං හිටියේ හරිම සතුටින් ..

ආ….ව්… එකපාරටම මට දාඩිය දාලා ඇහැරුණේ මං විභාගය ලියන්න යද්දී වාහනේක හැප්පෙන්න යනවා දැක්ක නිසා..

සීයා මගේ ඇද ළග ඉදලා මගේ ඔලුව අතගාලා හිනාවුණේ කිසිම දේකට බය වෙන්න එපා කියන්න වගේ..

ඔව්.. මං වැරැද්දක් කරලා නැත්තම් කිසිම දේකට බය වෙන්න ඕනි නෑ. සීයා හැමදාම කිව්වා වෙගේ ධර්මයට අනූව ජීවත් වෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනවා කියලා මං දැන් දන්න නිසා මං පන්සිල් අරං නිදාගත්තා ..

—- නිමි—

– නයෝමී නදීරා ධීරසිංහ –

කතාව අවසාන කරපු විදියට කැමති නැද්ද මන්දා.. කතාව කියවපු හැමෝටම ස්තූතියි .. කමෙන්ට් කරපුහැමෝටම ස්තූතියි ❤.. අනේ චතූ ඔයා දුක් වෙන්න එපා. අප්පච්චි ඔයා ගැන සතුටු වෙනවා ඇති. අප්පච්චි ඔයාගෙන් බලාපොරොත්තු වුණ දේ ඔයා එයා වෙනුවෙන් ඉෂ්ට කරන්න. එතකොට අප්පච්චි සතුටින් ඔයා ළග ඉදී හැමදාම .. මොන දේ වුණත් අපේ අම්මා අප්පච්චි තරන් අපට ආදරේ කවුරුත් නෑ..

ඒ වගේම කතා අහුර කියවන නංගිලා මල්ලිලගෙන් අයියලා අක්කලගෙන් දෙයක් ඉල්ලන්න තියෙනවා .. දැන් රටේ තියෙන තත්ත්වය එක්ක අපේ දරුවා ලොකු වෙද්දී එයාලට ඉන්න රටක් නැතිවෙයි .. මං ඉන්නේ කටානේ. පහුගිය කාලේ පිපුරුමක් වුණ පල්ලිය කිට්ටුයි අපට.. ඒ වගේ දෙයක් දකින්නත් අමාරුයි .. ඉතින් අපි මොන ආගමේ වුණත් අපේ ආගම අපට උගන්නලා තියෙන්නේ කාටවත් කරදරයක් හිරිහැරයක් නොකර ජීවත් වෙන්න කියලා . අපි වගෙම අනිත් අයත් කැමති නිදහසේ ඉන්න… ඒක නිතරම හිතන්න..

ඒ වගේම අපි චන්දේ දෙනකොට මින පක්ෂය වුණත් රට ගැන හිතන කෙනෙකුට දෙන්න. තමන්ගේ පවුල ගැන ඕනි කෙනෙක් හිතනවා. මං ජනාධිපති වුණොත් මං මගේ පවුලේ අයට සළකයි.. හැබැයි රට ගැනත් බලනවා.. ? කවුරු බලයට ගියත් තමන්ගේ පවුලට නෑදෑයන්ට මුල් තැන දෙනවා.. ඒත් රට ගැන හිතන්නේ ටික දෙනයි.. රට ගැන හිතන කෙනෙක්ට චන්දේ දීලා ආකල්ප වලින් අපේ රට යහපත් විදියට වෙනස් කරමු ❤

ස්තූතියි ..

6 thoughts on “මරණයේ දොරටුව | අවසාන දොරටුව”

  1. Thakshi Deepali Jayasuriya

    කතාව ගොඩක් ආසාවෙන් කියෙව්වේ අක්කියො..වැඩ අස්සෙ උනත් අපිට කතාවක් ගෙනාවට ඔයාට ගොඩාක් ස්තුතියි…තව ලස්සන කතාවක් අරන් ආයෙත් එන්න…තෙරුවන්සරණයි

    2
  2. Chathu indeewaree

    කතාව ගොඩාක් ලස්සනයි මැණික. හැම සතියෙම බදාදා වෙනකල් බලාගෙන හිටියේ මේ කතාව කියවන්න. ඒ තරම්ම බැඳිලා හිටියේ මේ කතාවට. කතාව ඉවර වුණ එකටනම් දුකයි ගොඩාක්. ඒත් ඉක්මණින්ම අලුත් කතාවක් අරන් එයි කියලා හිතෙනවා අපිව බලන්න. හැමදාමත් මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබේවා කියලා හදවතින්ම පතනවා මැණික…

    ස්තූතියි ගොඩාක්ම මැණික මගෙ අප්පච්චියි , මමයි වෙනුවෙන් පුංචි වචනයක් කීවට. මම මගෙ අම්මා අප්පච්චිගෙ හීන හැබෑ කළා සුද්දී. ඒ අය ඒ දේවල් එ ඇස් වලින්ම දැක්කා. මගෙ ළඟ නැතිවුණත් අම්මයි අප්පච්චියි දෙන්නම අද හොඳ තැනක ඉඳන් මට ආශිර්වාද කරනවා කියලා මට විශ්වාසයි කෙල්ලේ..මාව අද මේ තැනට ගෙනාව මගෙ අම්මයි අප්පච්චියි තමයි මගෙ ජීවිතේ වීරවරු. මගෙ අම්මයි අප්පච්චිටයි මම අමා මහ නිවන්සුව ප්‍රාර්ථනා කරනවා…

    කතාවේ පහළ කොටසේ තියෙන අදහසත් එක්ක මම 200%ක් එකඟයි ඔයා එක්ක නදී.. ඔය දේ අපෙ මිනිස්සුන්ට තේරෙන්නැති එක, එක අතකට ජාතියේ අවාසනාව වෙන ඇති කෙල්ලේ.. රට, ජාතිය, ආගම ගැන කැක්කුමක් තියෙන , කොන්ද පණ තියෙන සිංහයෙක් වගේ නිර්භීත කෙනෙක් මේ රටේ නායකයා වෙලා හිටියානම් හිවල්ලු මේ විදියට රංගන්නේ නෑ. ඒත් රටේ ජාතියේ අවාසනාවට අපේ දැන් ඉන්න පාලකයොත් මඬේ හිටවපු ඉණි වගේ කිසිම ස්ථීර ප්‍රතිපත්තියක් නැති , රට ජාතිය ආගම ගැන හිතලා කෙලින් තීරණයක් ගන්න බැරි පිරිසක් බවට පත් වෙලා.. පක්ෂය , පාට මොකක් වුණත් රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් බලයට පත් කරන්න තරම් වුවමණාවක් අපේ මිනිස්සුන්ට නෑ. රටට හෙණ ගැහුවත් පක්ෂේ දිනනවානම් ඇති. ගමේ ගොඩේ මිනිස්සු කැපුවත් නිල්, කැපුවත් කොළ කියලා කියගෙන අල්ලපු ගෙදර මනුස්සයා එක්කත් මරාගන්න් යනවා දේශපාලනේ නිසා. ඒත් ඒ මිනිස්සුන්ගෙ චන්ද වලින් බලයට පත්වෙන මිනිස්සු පාර්ලිමේන්තුව ඇතුලේ, දේශපාලන වේදිකාවේ ජන්මාන්තර හතුරෝ වගේ කතා කළත් ඒකෙන් එළියට ආව ගමන් ආපහු ඒ ඒ අය එකට කාගෙන බීගෙන ඉන්නවා. අපේ මිනිස්සු උන් වෙනුවෙන් මෙහෙ මරාගන්නවා..මේ යතාර්ථය අපේ මිනිස්සුන්ට තේරුම් කරන්න හරි අමාරුයි නදී..

  3. Ashka Rashmi

    කතාව හරිම ලස්සනයි….ආයෙත් එන්න ලස්සන කතාවක් අරන්….ඔයාගෙ හොල්මන් කතා වලට වගේම කෙටි කතා වලටත් මං ඉස්සර ඉදන්ම ගොඩාක් ආස කලා…දැන් දැන් අක්කිගෙ කෙටි කතා නං කියවන්න ලැබෙන්නෑනෙ…ඒකට නං දුකයි..ඉඩ ලැබෙන වෙලාවක අපි වෙනුවෙන් මේ වගේ ලස්සන කතා අරන් එන්න…ඔයාට සුභ පතනවා..හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා .දළදා සමිදු පිහිටයි.
    ❤️ ආශ්කා❤️

  4. Ranmali subasinghe

    කතාව හුගක්ම ලස්සනයි? නයෝමි… හැමදාම කියෙව්වා මම.. ඔයා ලස්සනට ලියලා තිබුණා…

    ඉක්මනින්ම තවත් කතාවක් අරන් එන්න…

    ඔයා ඉන්නේ කටානෙද?? මම ඉන්නේ දාගොන්නේ… එහෙනම් අපි ලගම මිතුරො නේද ???

    පල්ලියේ උන දේට අපිත් හුගක්ම දුක් වෙනවා අදටත්.. හැමදාම ඒ දේ මතක් වෙනවා තාමත්… ??

    ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම සුභ පතනවා !!!

  5. Sujith Wasantha

    ?කතාව නරකම නෑ අන්තිම ටික ඔයිට වඩා තව ලස්සන උණා නම් හොඳයි ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.