Katha Ahura

රන් තරු | 12 කොටස | නවකතා

5/5 - (2 votes)

12 කොටස

සද්දයක් නෑ .ඇස් ඇරලා බලන්නත් බෑනේ .ටිකකින් ඇහුණා බාත්රූම් එකේ වතුර මලෙන් වතුර වැටෙන සද්දේ .

මේකි පිස්සියෙක් වගේ තුවාලෙත් තෙමාගෙන නානවද දන්නෙත් නෑ .

පැය බාගයකට විතර පස්සේ බාත්රූම් එකේ දොර අරින සද්දේ ඇහුණා මට.විනාඩි පහකට විතර පස්සේ මෙන්න මේකි ගිරිය කඩාගෙන කෑ ගහන්න ගත්තා .

” අනේ…අංකල් ….ඔයා කෝ…අංකල් ….”

මේකි තාත්තා හොය හොය කෑ ගහනවා .කෑ ගහපු සද්දෙට මගෙ රෝස මල ගැස්සිලා ගියත් මම එයාගේ පිටට අත තියලා ලාවට තට්ටු කර නිසා ආපහු ගුලි වෙලා නිදාගත්තා.

මම ඇස් ඇරලා බැලුවේ මේකි කෑ ගහන්නේ මොකද කියලා .ටවල් එක පිටින්ම කාමරේට ඇවිත් .ළඟට යන්න විදියකුත් නෑ වුණේ මොකද කියලා බලන්න .

තුවාලෙ ගැන පොඩ්ඩක් බය හිතුණ නිසාම මම ඇඳ උඩ ඉඳගෙනම රනූට කතා කරේ.

” රනූ…මොකද නංගි කෑ ගහන්නේ ගිරිය කඩාගෙන ….

බලන්න මේ කෙල්ලත් බය වුණා ඔයාගේ කටේ සද්දෙට …”

” අනේ අයියේ …අංකල්ට එන්න කියන්නකෝ…අනේ මට ඉන්න බෑ මෙහෙම ….”

රනූ එහෙම කිව්වේ ඇස් වල කඳුළුත් පුරවගෙන නිසා ඊට වඩා දෙයක් කියලා මට බනින්න හිතුණේ නෑ ඇයට.

ඇය කියපු විදියට මමත් පොඩ්ඩක් බය වුණේ ඇගේ කුසේ තියෙන තුවාලෙ නිසා .

“රනූ….ඇයි නංගි ….”

” මේ තුවාලෙන් ලේ එනවනේ අයියේ …නතර වෙන්නේ නෑනේ ..අනේ මට බයයි වගේ…”

රනූ කියපු විදියට නම් මාත් බය වුණා .පරිස්සමට රෝස මලව ඇඳ උඩින් තියලා කොට්ට ටිකත් වටේටම තියලයි මම රනූ ළඟට ආවේ .

කිව්වත් වගේම ටවල් එකෙත් ලේ ගෑවෙන්න තරමටම තුවාලෙ පෑරිලා වගේ.තුවාලෙ තිබුණු හරියෙන් ටවල් එක ලේ වලින් පාට වෙලයි තිබුණේ .

” රනූ කොහොමද තුවාලෙ පෑරුණේ….මොකද වුණේ මෙහෙම ලේ එන්න තරම් …”

” දන්නේ නෑ අයියේ …බාත්රූම් එකේදී මගේ අතින් සබන් කෑල්ල බිම වැටුණා ….

ඒක ගන්න මං පහත් වුණ වෙලාවේ නම් පොඩ්ඩක් රිදෙන්න ගත්තා අයියා ….”

” ඔයා පහත් වුණ වෙලාවේ තුවාලෙ පෑරෙන්න ඇති….බඩ ළඟින් නැමෙනවනේ ඒකයි….

බලන්න ඉතින් ඔයාගේ කිසිම පරිස්සමක් නෑනේ නංගි….
ඔහොම සෙල්ලම් කරලා හරියන්නේ නෑ තුවාලෙ එක්ක …..”

” ඉතින් මං හිතලා තුවාලෙ රිද්ද ගත්තේ නෑනේ …ඔයත් බනිනො මටම….

අංකල්ට කියනො මං ඔයා බැන්නා කියලා …”

” එයාම ඔක්කොම කරගෙන අංකල්ට කේලම් කියන්න ද හිතන් ඉන්නේ ආ….

ඔයාගේ අංකල් වුණාට ඒ මගේ තාත්තා කියලා අමතක වුණාද මේ මැටි කෙල්ලට …”

” ඔයාගේ තාත්තා වුණාට අංකල් ඔයාට වඩා මට ආදරෙයිනේ…හූ…ඔයා නපුරු වලහෙක් නේ…”

” රනූ….මං කිව්වා කියලා හිතා ගන්නකෝ නංගි….මගේ කට ඇරුණොත් ඔයාගේ මූණ අටපට්ටම් වෙයි හොඳේ ….”

” ඉතින් හොඳයි නේ…වෙසක් එකට එතකොට අමුතුවෙන් කූඩූ හදන්න ඕන නැහැනේ ….

අනික අංකල් කිව්වා ඔයා කූඩු හදන්න දන්නේ නෑ කියලා…ලැජ්ජයි ….”

” අනේ මේ….ලැජ්ජ මට නෙමේ….බලනවා කොල්ලෙක් ඉන්න කාමරේක ඔහොම ඉන්නවද ටවල් එක පිටින් ආ….

හැදිච්ච කමට හැදුණු ගෑණු ළමයෙක් ද ඔයා…”

ඒ කියපු කතාවට නම් රනූගේ මූණෙ ඉරියවු ඇත්තටම වෙනස් වුණා කියලා මට තේරුම් ගියා.ඒක මම කිව්වේ එයාගේ හිත රිද්දන්න හිතල නෙමෙයි .

නතර වෙන්නේ නැතුව එක දිගට කියවන එයාගේ කට වහන්න ඕන නිසා.

” අනේ මං හිතලා නෙමෙයි අයියේ මෙහෙම එළියට ආවේ ….මං හිතුවේ ඔයා නිදි කියලනේ…”

ඇස් වලින් කඳුළු ගිලිහුණේ රනූට දුක හිතුණු නිසා කියලා මං දන්නවා .තවත් අඬන්න ඕන උනේ නෑ මට රනූව.

” පිස්සු කෙල්ල ….ඒ ඩිංගට ඒක සීරියස් ගත්තද….කට නම් තියෙනවා බෙංගාල බොක්කටත් හපන් වෙන්න …

ඒ උනාට එක වචනයක් ඇති ටැප් එක ඇරගන්න ….

ඔයාගේ ඔය බෙලෙක් කට වහගන්න ඕන නිසයි මං එහෙම කිව්වේ ….නැතුව අඬවන්න නෙමෙයි මැට්ටියේ …”

දැනුයි රනූගේ මූණට හිනාවක් ආවේ ..පණ්ඩිත කම නම් තියෙනවා අඩුවක් නැතුවම .

හොස්පිට්ල් එකේදී දැකපු අහිංසක කෙල්ල නෙමෙයි මේ ඉන්නේ .අපේ තාත්තා නිසාමද කොහෙද රනූ ආපහු එයාගේ පරණ චරිතෙටම ඇවිත් .

ඒකත් හොඳයි .කෙල්ලෙක් උනාම කොයි වෙලාවෙත් අඬලා මූණ දෙක කරන් ඉන්නවට වඩා මේ විදියට පොඩ්ඩක් විහිළුවක් කරලා හිනා වෙලා ඉන්න එක.

” රනූ උඩට ඇඳුමක් දාගෙන ඉන්න …ඊට පස්සේ තුවාලෙ බලමු….

මං අකිලට කෝල් එකක් දීලා අහන්නම් කරන්න ඕන දෙයක්…”

මම එයාට ඇඳුමක් මාරු කරගන්න ඉඩ දීලා කාමරෙන් එළියට ආවා.අකිලට ඇමතුමක් දීලා විස්තරේ කියලා කරන්න ඕන දේවල් අහ ගත්තා .

මම ආයෙත් කාමරේට ගියේ ඇය මට කතා කරාට පස්සේ .

” ඇඳෙන් හාන්සි වෙන්න ….මං තුවාලෙ බලන්න …”

මගේ අත් වාරුවෙන්ම ඇය ඇඳේ හාන්සි වුණා .තුවාලෙ බලන්න ඕන නිසාමයි බ්ලවුස් එක පොඩ්ඩක් උඩට කරේ.මං දන්නවා රනූ මං ගැන වැරදියට හිතන්නේ නෑ කියලා .

කුස වටේ ඔතලා තිබුණු බැන්ඩේජ් එක ලේ නිසා සම්පූර්ණයෙන්ම රත් පැහැයට හැරිලා .අකිල බැන්ඩේජ් එක මාරු කරන්න කියපු නිසාමයි මං ඒක ගලවන්න හිතුවේ .

අපිට නම් ඉතින් මීටත් වඩා තුවාල දැකලා පුරුදුයි .ඒවට කොල්ලොන්ට සාත්තු කරලත් පුරුදුයි .

දොස්තර ලා නොවුණත් මහ කැළෑවල් ඇතුලේ ඉද්දි අපේ එකෙක්ට තුවාලයක් වුණත් අපි අපිටම පිහිට වුණා

අපේ ගෙදර ඉතින් ප්‍රථමාධාර වලට අවශ්‍ය හැම දෙයක්ම වගේ කොයි වෙලාවෙත් ගෙදර තියෙන නිසා බය වෙන්න දෙයක් නෑ .

” රනූ….”

” ඇයි අයියේ ….”

” මේ බැන්ඩේජ් එක ගලවලා අපි අළුත් එකක් බඳිමු…මේකේ ලේ ගෑවිලනේ….”

මම පරිස්සමට ඇයට නොරිදෙන විදියට බැන්ඩේජ් එක ගලවලා ඉවත් කරා.තුවාලෙ නොපෙනෙන තරමටම ලේ ඇවිත් .

පුළුන් වලින් කුස වටේ තිබුණු ලේ පිරිසිඳු කරලා අළුතින් බැන්ඩේජ් එකක් බැන්දා මම.

පුදුමයි .සද්ද දාපු කට වැහිලා කෙල්ලගේ .ඇස් දෙකත් පියාගෙන ඉන්නවා .

” ඇස් අරින්න දැන්….මොකද දැන් ඇස් වහගෙන ඉන්නේ ….”

” ඔයා බෙහෙත් දාලා ඉවරද…මට බලන්න බය හිතුණා අයියේ ….”

” මැට්ටියේ …මහ ලොකුවට කල්පනාව ආර්මි හොස්පිට්ල් එකකට යන්න නේද….

ඒවයේ මේ නෝර්මල් හොස්පිට්ල් වල වගේ උණ හෙම්බිරිස්සා කාරයෝ නෙමෙයි ඉන්නේ …..

බලන බලන හැම තැනම ඉන්නේ තුවාල කාරයෝ ….ඔහොම බය වෙලා කොහොමද ඒ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නේ ….”

” අනේ මට තුවාලෙ දිහා බලන්න පොඩ්ඩක් බය හිතුණා අයියේ ….

එහේ හැමෝම ඉන්නේ තුවාල වුණු අය විතරද අයියේ ….”

” මේ වගේ පොඩි තුවාල නෙමෙයි නංගි …ගොඩක් කොල්ලො අරන් එන්නේ වෙඩි වැදිලා ….

තවත් සමහරු බට්ටො පෑගිලා කකුල් වල කෑලි නෑ …සමහරුන්ගේ අත පය නෑ ….

කොල්ලොන්ගේ ඇඟ ඇතුලට ගියපු උණ්ඩ පවා ඔයාට අයින් කරන්න වෙනවා නංගි ….

ඔයා හිතනවටත් වඩා ලොකු ලොකු තුවාල කාරයෝ තමයි ගොඩක් ඉන්නේ …”

” අනේ මට පුළුවන් වෙයිද අයියේ ….”

ඩොක්ට කෙනෙක් වෙන එක කෙසේ වෙතත් කෙල්ල දැන් හොඳටම බය වෙලා ඉන්නේ කියලා නම් මට තේරුණා .

හමුදා රෝහලක සේවය කරනවා කියන එකත් අපි කවුරුත් හිතන තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි .

නිතරම වගේ ඉන්නේ ලේ හලා ගත්තු ආමි කොල්ලො .

” බය නැතුව ඉන්නකෝ…ෆැකල්ටි එකේදී ටික ටික හුරු වේවි ඔයාට…

මං අපේ මල්ලිව එක්කන් යන්න හිටියේ අපේ හොස්පිට්ල් එකකට…දැන් ඉතින් ඔයත් ඉන්නවනේ….

දෙන්නවම එක්කන් යන්නම් බලන්න ….”

” කවදද අයියේ …”

” ඔයාට සනීප වුණාම එක්කන් යන්නම්….දැන් කුලප්පු වෙච්ච හරකෙක් වගේ එහෙට මෙහෙට දඟලන්නේ නැතුව ටිකක් නිදා ගන්න …..

රෑත් හරියකට නින්දක් නෑනේ ඔයාට….මේ වගේ තුවාල වලට ඇඟට විවේකයයි ඕන නංගි ….

බෙහෙත් වලින්ම සනීප වෙන්නේ නෑ ….”

ඇඳ උඩ තිබුණු මගේ ශීට් එක අරගෙන මම ඇගේ සිරුර වැහෙන විදියට දැම්මා .

” අයියේ …..”

මේ කෙල්ලට නම් කට පියාගෙන නිදා ගන්නම බෑ වගේ.කියන දෙයක් අහන්නෙම නැති තරම් .

” නිදා ගන්නේ නැද්ද ආ….”

” මට මේ රෝස බෝලේ ටිකක් අරන් දෙන්නකෝ….මන් වොශ් දාලනේ ඉන්නේ අයියේ …..

අංකල් කිව්වා වොශ් දාන්නේ නැතුව එයාව අල්ලන්න එපා කියලා …”

” තුවාලෙ ආයිමත් පාර ගන්නද ඕන ….අනික මේ බලන්නකෝ මෙයා දැන් නිදිනේ නංගි …”

” අනේ චුට්ටක් අරන් දෙන්න අයියේ ….අත ගාන්න හරි දෙන්න මට එයාව ටිකක් ….”

රනූගෙන් බේරෙන්නම බැරි තැන නිදාගෙන ඉන්න මගේ රෝස මලව මම දෝතටම අරගෙන රනූ ගාවට ළන් කරා.

ඇය ආසාවෙන් මගේ පැටියගේ මූණ අතගෑවේ .චූටි අත් දෙකෙන්ම අල්ලාගෙන බලාගෙන හිටියේ මගේ දෝණි දිහාම .

” අයියේ ….අනේ එයාව එක්කන් එන්න මගෙ මූණ ළඟට ….අනේ මට එයාට උම්මා එකක් දෙන්න ඕන ….”

” හරි හරි එයා දැන් නිදිනේ..නැගිට්ටම දෙන්න ඕන තරම් …”

” අනේ අයියේ දැන් දෙන්න ඕනනේ ….මේ බෝනික්කි නැගිටින කම් මට ඉවසන් ඉන්න බෑ …”

රනුත් හරියට පොඩි එකෙක් වගේ.මම රෝස මලව පරිස්සමට එක්කන් ආවේ රනූගේ මූණ ළඟට .

අත් දෙකෙන්ම මගෙ පැටියව අල්ලාගෙන ඇය ලාවට ඉස්සිලා මගෙ දෝණිගේ රෝස කම්මුල් දෙකම සිප ගත්තා .

” පිස්සු කෙල්ල …උම්මා දීලා නිදාගෙන ඉන්න මගෙ පැටියව නැගිට්ටවන්න එපා හොඳේ …. .”

ඇය මුහුණ සිප ගනිද්දී මගෙ රෝස මල චුට්ටක් විතර එහෙට මෙහෙට වුණේ කිති කැවිලා වගේ.ඒත් ආයෙත් හිටියා වගේම ඇය සනීපෙට නිදි.

” අයියේ මේ…..රෝස පාටයි එයාව…මට මිරිකන්න හිතෙනවා මේ චූටි කම්මුල් …..”

” ඒයි මැට්ටී …රිද්දන්නද හිතන් ඉන්නේ මගෙ කෙල්ලට ….”

” නෑ …නෑ ..අනේ ආදරේට ….”

මම හිනා වෙලාම රෝස මල මගෙ පපුවට තුරුල් කර ගත්තේ .මට නිදිමතයි හොඳටම .

රනුදි කාමරේ නිසා මගේ ඇඳේම ආපහු නිදාගන්නත් මට බැහැ .

රෝස මලත් අරගෙන මම යන්න හැදුවේ මල්ලිගෙ කාමරේට .

” අයියේ …කොහෙද යන්න හදන්නේ ….”

” නිදිමතයි නංගා මට හොඳටම …මල්ලිගෙ කාමරේට යන්න හැදුවේ ….”

” අනේ එපා….ඔයත් මේ ඇඳේම නිදාගන්න ….”

” පිස්සුද මෝඩියේ …ඔයා තාම පොඩි කෙල්ලෙක් .මම එහෙම ඉද්දි ඒක ඔයාට හොඳ නෑ ….”

” අනේ ඔයා මහ ලොකු පණ්ඩිත කොල්ලා ….

අංකල්ට පුළුවන් නම් හිතන්න ඔයා මගේ අයියා කියලා ඔයාට මොකද බැරි මාව නංගි විදියට හිතලා මේ ඇඳේ නිදාගන්න ….

අංකල්ට ඔයා ගැන තියෙන විශ්වාසෙ වත් ඔයාට ඔයා ගැන නෑනේ අයියේ ….”

රනුදි කියපු විදියට ඇත්තටම මට ඇයට ඊට විරුද්ධව දෙන්න කිසිම උත්තරයක් ඒ වෙලාවේ කටට ආවේ නෑ .

තාත්තා හිතන්නෙත් අපි දෙන්නා අයියයි නංගියි විදියට .එත් ඇයි මට විතරක් ඇය ගැන එහෙම හිතන්න බැරි .

අනේ මන්දා මේ කෙල්ල එක දවසකින් මට පිස්සු හදවලද කොහෙද .

3 thoughts on “රන් තරු | 12 කොටස | නවකතා”

  1. කෝ බලන්න ” කතා අහුර ” ඇප් එකට ආදරේ කරන අය like එකක් දාමු

    1
    1. Nirosha Lakmali

      කතා අහුර ඇප් එකට හරිම ආදරෙයි. ඒ වගේම කතා ලියන හැමෝටම ආදරෙයි. හදවතින්ම සුභ පතනවා. Wish your all the best… ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  2. Admin Laara

    ගැටළුවක් වුනේ මේ පොස්ට් එකේනේ. ඒ නිසා ඔක්කොම කමෙන්ට් අයි කරා. කතාව කියවලා රේට් කරන්න පුළුවන් හැමෝටම.
    තව කෙනෙක්ට මුකුත් චෝදනා කරන්න එපා. අපි හැමෝම සහයෝගයෙන් ඉන්න අයනේ. කතා අහුර රැකගන්න හැමෝගෙම උදව් ඔනේ.
    ස්තුතිය…

Comments are closed.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.