Katha Ahura

මරණයේ දොරටුව /තෙවැනි දොරටුව/හොල්මන් කතා

5/5 - (1 vote)

මරණයේ දොරටුව

තෙවැනි දොරටුව

කොහොම හරි ඉන්ටවල් එකත් ආවා.. කෑම එක කන්නවත් හිතුනෙ නැති නිසා මං පංතියෙන් එළියට එද්දී උදේනකත් මාත් එක්කම ආවා. ඒත් එක්කම ශානක එක්ක රවිෂානුත් ආවා..

මං නතර වුණේ ඉස්කෝලේ බුදු කුටිය ළග..

මචං .. අපි දෙන්නා උඹලා දෙන්නගෙන් අහන්නමයි හිටියේ .. මොකෝ අද උඹලාට වෙලා තියෙන්නේ .. මොකක්ද සීන් එක? රවිෂාන් අහද්දී ශානක කට ඇරගෙන බලාගෙන හිටියේ උදේනක හරි මං හරි උත්තර දෙයි කියලා .
උදේනක හැමදේම උන් දෙන්නට කිව්වට පස්සේ

යකෝ අපිත් හීන නම් කීයක් දකිනවද? කෝ බං ඇත්ත වෙලා නෑනේ… හැබැයි උඹට වගේ විකාර හීන නම් මට පේන්නේ නෑ… කියලා ශානක කිව්වේ මගේ පිටට තට්ටුවක් දාන ගමන්.

විහිලුවට ගන්න එපා බං… හීනේ පෙනුණ එකානේ දන්නේ ඒකේ අමාරුව… මේ නරකද බං අපි පිනාට මේ ගැන කිව්වොත්? රවිෂාන් ඇහුවා ..

කොහොම කියන්නද බං හීනෙන් දැක්ක දේ.. කියලා මං කියද්දීම තමා ඉන්ටවල් එක ඉවරයි කියලා බෙල් එක ගැහුවෙ ..

අපි හෙමීට පංතියට ගියා … ජෙනරල් ඉන්ග්ලිස් උගන්නන සුභාෂිණි මැඩම් ඒත් එක්කම පංතියට ආවා ..

ගුඩ් ආෆ්ටර්නූන් ගයිස්… ටුඩේ වී විල් ඩූ ඇන් අසයින්ග්මන්ට්… ඕකේ… ‍අයිල් රීඩින්ග් අ පැරග්‍රාෆ්… යූ හැව් ටු ලිස්න් ඉට් කෙයාපුලි ඇන්ඩ් ආන්සර් ද ක්වෙක්ෂන්ස්… කියලා සුභාෂිණි මැඩම් කියවන්න පටන් ගත්තා..

මං මෙලෝ සිහියක නෙවෙයි හිටියේ … උදේනක මට වැලමිටෙන් ඇන්නේ මැඩම් මගේ දිහා බලාගෙන හිටිය නිසා …

හිම්සර … වට් හැපන් ටු යූ? අයි තින්ක් යූ ආ අ ගුඩ් බෝයි… බට් දැට්ස් රෝන්ග්… වයි කාන්ට් යූ ලිස්න් කෙයාපුලි … මැඩම් කියාගෙන යද්දී

සොරි මැඩම් .. ටුඩේ අයි හෑව් අ ටෙරිබල් හෙඩේක්.. කියලා මං මැඩම්ගෙන් සමාව ගත්තේ ඇත්තටම මැඩම් ගැන දුක හිතලා .

සුභාෂිණි මැඩම් ළමයින්ට ඉංග්‍රීසි උගන්නන්න ගොඩක් මහන්සි වෙනවා.. ඒත් ළමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න එච්චරම උනන්දු වුණේ නෑ… මමයි තව කිහිප දෙනෙකුයි තමා හැමදාම වගේ ඉංග්‍රීසි පීරියඩ් එකේ හරියට වැඩක් කරේ..

ඕකේ… ලෙට්ස් ස්ටාට් අගේන්… කියලා මැඩම් ආයෙත් කියවද්දිම මං අපහසුවෙන් වුණත් හිත හදාගෙන අහගෙන හිටියේ ටික වෙලාවකට හීනේ අමතක කරලා..

අන්තිම පීරියඩ් එකට කලින් එක ලයිබ්‍රි යන්න තිබුණේ. වෙනදාට නම් අපි හැමෝම ලයිබ්‍රි යනවා .. ඒත් අද මට යන්න හිතුනේ නෑ .. උදේනක , ශානක වගේම රවිෂාන් මා එක්ක පංතියේ නතර වුණා ..

හිම්සර .. මචං ඕක ඔච්චරටම සීරියස් විදියට උඹට දැනෙනවා නම් අපි හේමාලෝක හාමුදුරුවන්ට ඔය කතාව කියලා බලමුද? රවිෂාන් ඇහුවේ මගේ ඩෙස් එකේ වාඩි වෙන ගමන් .

හේමාලෝක හාමුදුරුවෝ තමා ඕලෙවල් කාලේ අපිට බුද්ධ ධර්මය ඉගැන්නුවෙ. හාමුදුරුවෝ කොසොල් රජතුමා දැක්ක හීන ගැන බුදු දහමට අනූව පැහැදිලි කිරීමක් කරද්දී කිව්වා සමහර වෙලාවට අපි දකින හීනවල වුණත් සැගවුණු තේරුම් තියෙන බව.. ඒක මතක් වෙද්දීම මං පුටුවෙන් නැගිට්ටා ..

ඔව් බං.. ඒක හොදයි තමා .. අපි කියමු කියලා හතර දෙනාම පංති කාමරයෙන් එළියට ගියේ ඔෆීස් එක පැත්තට .. හාමුදුරුවෝ හිටියේ ඔෆීස් එකට එහා කාමරේ …

අපි ඒ පැත්තට යද්දී සර්ලා මැඩම්ලා කිහිප දෙනෙක්ම එහා මෙහා කලබලෙන් යනවා දැක්කා. ඒ වගේම ඔෆීස් එකේ වැඩ කරන සරත් අයියා කලබලෙන් දුවගෙන ආවේ හාමුදුරුවෝ ඉන්න කාමරේ පැත්තට ..

ඇයි සරත් අයියේ මේ කඩි කාලා වගේ කට්ටියම දුවන්නේ? ශානක ඇහුවේ හිනාවෙවී ..

මේක විහිලු කර කර ඉන්න වෙලාවක් නෙවෙයි පුතා.. අරහේ සෙමිනා එකට ගිය බස් එක ඇක්සිඩන්ට් වෙලා කියලා කියන ගමන් සරත් අයියා හාමුදුරුවෝ ඉන්න කාමරේට ඇතුලු වුණා .
ඒත් එක්කම මොකක් කරන්නද කියලා හිතාගන්න බැරිව මං අසරණ වෙලා යාලුවො දිහා බලද්දී උන් ටිකත් හොදටම බය වෙලා කට ඇරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා ..

මචං මේක මට ම-ට… නතර කරන්න තිබුණා .. කියලා මං ඔලුව අල්ලගෙන බිම වාඩි වුණේ ඇස් වලින් කදුලු වැටෙද්දී ..

පිරිමි ළමයෙක් වුණත් අඩන්න පටන් ගත්තේ ඒ හීනේ මගේ ඇස් ඉස්සරහ මැවී මැවී පේන්න ගත්ත නිසා වගේම කලින් දැනගෙන වළක්වන්න බැරි වුණ නිසා .

උඹ කියලා මොනා කරන්න ද බං? අනික ඕක උඹ කිව්වා නම් උඹට පිස්සුද කියලා අහයි අනිත් අය… උදේනක කිව්වේ මගේ පිටට තට්ටුවක් දාලා .

අනික මචං උඹ දැක්ක හීනේ ඒ බස් එක ඇතුළේ උඹත් හිටියනේ.. ඒත් ඇත්තටම උඹ ඒ බස් එකේ ගියේ නෑ.. ඒ නිසා ගිය අනිත් අයට උඹ හීනෙන් දැක්ක තරම් අවුලක් නැතුව ඇති … ඒ නිසා ඕක අමතක කරපන්.. රවිෂාන් කිව්වේ මට අමතක වෙලා තිබුණු දෙයක් මතක් කරලා දීලා .

ඇත්තටම ඒ බස් එකේ මම හිටියා හීනේදී.. ඒත් ඒක වෙද්දී මං නෑ.. බරපතළ ඇක්සිඩන්ට් එකක් නෙවෙයි වෙන්න ඇති කියලා හිත හිතම මං නැගිට්ටා

බලමුකෝ බං අපි මොකද වෙලා තියෙන්නේ කියලා … ශානක කිව්වේ කරට අතදාගෙන.

ප්‍රින්සිපල් සර් තව සර්ලා කිහිපයක් එක්ක අජිත් සර්ගේ කාර් එකෙයි, මංජුල සර්ගේ බයික් එකෙයි නැගලා ඉස්කෝලෙන් එළියට ගියා .

සරත් අයියා හේමාලෝක හාමුදුරුවෝ එක්ක කාමරෙන් එළියට ආවේ මේ වෙලාවේ.

හාමුදුරුවන්ගෙන් මොකද වෙලා තියෙන්නේ කියලා අහන්න අපි තීරණයකරා.

– කට්ටිය මැරිලා ඇතිද? මොකෝ කට්ටිය හිතන්නේ? හීනේ ඇක්සිඩන්ට් එකේ හිම්සර බස් එකේ හිටියානෙ.. ඒත් ඇත්තටම හිටියේ නැත්තේ කොහොමද ? ඒ කොහොමද කියලා බලන්න කතාව දිගටම කියවන්න… ? ? ?-

– නයෝමී නදීරා ධීරසිංහ –

3 thoughts on “මරණයේ දොරටුව /තෙවැනි දොරටුව/හොල්මන් කතා”

  1. Thakshi Deepali Jayasuriya

    එයා කාලය හරහා ඉස්සරහට ගිහින් වත්ද…කතාව නියමයි අක්කි…හරි අපි බලන් බන්නම්කො අමාරුවෙන් හරි ඉවසගෙන….අපේ කුතුහලේ අවුස්සලා ඔයා සතුටින් ඉන්නකො හොඳේ

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.