Katha Ahura

සිතිජයක නැවතුමක් | දොළොස්වන කොටස | නවකතා

5/5 - (1 vote)

“මට නම් මේ මිනිහා එක්ක එන්නේ පුදුම කේන්තියක් බං..මං උඹ වුණා නම් මෙච්චර ඉවසන්නේ නෑ..දෙනවා හොඳ කනේ පාරවල් දෙකක්..”

“එහෙම කරන්න තිබුණා බං දවසක් හරි ආදරේ නොකළා නම්..”

චතූගේ කේන්තිය සාදාරණයි..කවීන් මාත් එක්ක මේ කරන්නේ සුලුපටු සෙල්ලමක් නෙවෙයි..බස් එකත් නැති නිසා දෙන්නා පයින්ම මොන්ටිසෝරිය පැත්තට ඇවිදගෙන ආවේ..චතූ වචන දහයක් කතා කළොත් අටක් නවයක්ම කවීන්ට බනිනවා..ඒකිත් නොහිටිය නම් මට ලේසි වෙන එකක් නෑ මෙහෙම හරි ඉන්න..කතාවෙන් කතාව දෙන්නත් එක්ක මොන්ටිසෝරියේ ගේට් එක ළඟට ආවේ වෙලාව ගැනවත් ගානක් නැතුව..

“අයියෝ..අපි අද ගොඩක් වේලාසන ඇවිල්ලද..ලොකු මිස් ඇවිල්ලා නෑ වගේ..බලපන්කෝ ගේට් එකත් ලොක්..”

“හරි හරි..පොඩ්ඩක් ඉදපන් ඔහොම පොඩ්ඩක් හිටගෙන හිටියා කියලා චූටි ටීචර්ගේ කකුල් ගෙවෙන්නේ නෑනේ..”

චතූ දිහා රවලා බැලුවත් ඒකිට ගානක් නෑ පිස්සෙක් වගේ හිනාවෙනවා..පයින් ඇවිල්ලා කකුල් දෙකත් රිදෙනවා..ලොකු මිස් වෙනදට වඩා පරක්කුයි වගේ අද..චතූ කාත් එක්කදෝ හිනාවෙවී කෝල් එකක ඉද්දී කලු පාට කාර් එකක් ඇවිල්ලා නතර කලේ ගේට් එක ඉස්සරහමයි..ගේට් එකට මෙහා පැත්තෙන් හිටපු මට ඇතුළේ ඉන්න අයව පේන්නේ නෑ..කලු පාට වීදුරු වලින් වැහිලා…

“කවී ටීච..ගුම් මෝනින්..”

මොන්ටිසෝරියේ ඉන්න හුරතල්ම කෙල්ල..සෙනායා..කාර් එකේ ඉස්සරහ දොරත් ඇරන් බෑග් එකත් කාර් එකේම දාලා දුවන් ආවේ මාව දැකලද කොහෙද..කවදත් පොඩි ළමයි එක්ක එකතු මාත් එක්ක සෙනායා මෙහෙට ආපු දවසේ ඉදන්ම හරි එකතුයි..කෙල්ලව වෙනදට අරන් එන්නේ අම්මා..අද අම්මා නෑ වගේ..එහෙම හිත හිත සෙනායාව වඩාගද්දී කාර් එකෙන් බැස්සේ හරි කඩවසම් නලුවෙක් වගේ කොල්ලෙක්..නෑ..සෙනායගේ තාත්තා නෙවෙයි මේ..එයාව මං දන්නවනේ..ගානට ශේව් කරපු රැවුල,හීනියට හිනාවෙන ඇස්,වැක්ස් කරලා උඩට රදවන් ඉන්න කොණ්ඩේ…අයියෝ..පිස්සුද මන්දා මට..මේ මනුස්සයා දිහා බලන් ඉන්න..

“වේලාසන වැඩිද බබී අපි ආවා..”

මෙතන හෙන ගහන්න වගේ මං ඉද්දී මේකාගේ තියන ලොකුකම..මේ පොඩි කෙල්ල මොනවා දන්නවා කියලද..

“මේ ඉන්නේ මගේ කවී චීච..බාප්පි නන්න..මං චීච එක්ක ඉන්නං..”

“කමක් නැද්ද මිස්..”

ඇති යන්තම් මෙතන මං ඉන්නවා කියලා දැකලා..කාර් එකකින් බැස්සා කියලා අපි ගණන් ගන්නවද..විකාර..

“කමක් නෑ..මං සෙනායව බලාගන්නම්..”

“තැන්කියු මිස්..මං යන්නම් බබී..බායි..”

මං වඩාගෙන හිටිය සෙනායාගේ කම්මුලක් මිරිකපු එයා පහත් වෙලා කෙල්ලගේ නළලට කිස් එකක් දුන්නේ මගේ දිහා බලාගෙන..ඔව් එයා බලන් ඉන්නේ මගේ දිහා..ගැස්සිලා වගේ මං පස්සෙට වෙද්දි කලබලෙන් වගේ ගිහින් කාර් එකට නැගපු එයා යන්නේ නැතුව තාමත් කාර් එක නතර කරන් ඉන්නවා..මොනවා කරනවද කියලා පේනවා කියලද ඉතින්..දෙතුන් පාරක් හොරෙන් හොරෙන් ඒ පැත්ත බැලුවත් මුකුත්ම පේන්න නැති වෙද්දී සෙනායත් එක්ක කෝලන් කරන්න ගත්තේ චතූත් අපි ඉන්න පැත්තට එද්දී..

“මොකද්ද බං ඒ වුණේ..”

“ඇයි..මොකද්ද..”

“මේකි ඒක අහන ලස්සන..අම්මපා මේ පොඩි එකී නොහිටින්න මං උඹට කියලා දෙනවා..”

මාරුවෙන් මාරුවට මගේ දිහාත් කාර් එක දිහාත් බලන චතූ නෝන්ඩියට වගේ හිනාවෙලා ආයේ මොකක් හරි කියන්න හදනකොටම තමයි එයා කාර් එක අරන් ඉගිලිලා යන්න ගියේ..

“උඹේ වෙලාව පොඩ්ඩක් බලව ගත්ත නම් හරි..කොල්ලෙක් සෙට් නොවී මොකද මේ බැදපු එවුන්ම වටේ කැරකෙන්නේ කියලා..”

“ඒ සෙනායගේ තාත්තා නෙවෙයි බං..”

“ඒ ටිකට උඹ ඒකත් හොයාගත්තද..හරි හරී නංගී..ඔහොම යන්කෝ..මේ වෙච්ච සීන් එක කවීන් දැක්ක නම් ඉරිසියාවේ මැරෙනවා ඕකා..”

චතූ හිනාවෙවී එහෙම කිව්වත් කවීන් ව මතක් වෙන වාරයක් ගානේ තාමත් මං හිතෙන් අඬනව..ලේසියෙන් අමතක කරන්න තිබුණා දවසක දෙකක ආදරයක් නම්..අවුරුදු ගාණක් මං කොච්චර ආසාවෙන් පරිස්සම් කරපු ආදරයක්ද..පේන මානෙක හිටියත් අයිතියක් නෑ කියලා දැනෙද්දී දුක්වෙවී බලන් ඉන්නවා ඇරෙන්න මොනවා කරන්නද..තවත් අහිංසක කෙල්ලෙක්ගේ,දරුවෙක්ගේ අනාගතේම නැති කරලා මගේ සතුට හොයාගෙන මොකටද..උඩ ඉන්න දෙයියොත් මට ශාප කරයි..

නොපෙනෙන සේ රැඳී
එක මොහොතක් හරී
ඔබ දැකගන්න ලැබුණොත් යළී..
නෙතු කඳුළෙන් පෙඟී
ඇති හිස්තැන් මැකී
ජීවත් වෙන්න මට ඒ ඇතී..
අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක්
අමතක වෙන්නේ නෑ කිසිම දා..
මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා..

වාවගන්නා..වාරු හොයනා
ගිලන් හදවතකට
ආස කරනා ප්‍රේමේ පෙරදා දුන්නේ යළි ගන්නද..

පාරෙන් එහා පැත්තේ කඩේකින් ශශිකා නිසංසලාගේ සිංදුවක් ඇහෙද්දී නොදැනිම වගේ ඇස් වලට කඳුලු පිරුණේ හරියට ඒ සිංදුව මටම ලියලා වගේ දැණුන නිසා..පපුවට ඔලුව තියන් ඉන්න සෙනායව තවත් තුරුලු කරගත්තේ මහ තනිකමක් වේදනාවක් දැනෙද්දී..

“අනේ ඇයි බං මේ..”

පාලනයක් නැති කඳුළු ඔහේ ගලාගෙන යද්දී අනිත් අතෙන් සාරි පොට අරන් ඇස් පිහදගත්තේ සෙනායත් පුදුම වෙලා වගේ මගේ මූණ දිහාම බලන් ඉද්දී..වේගෙන් ආපු වාහනයක් ගේට් එක ඉස්සරහම බ්‍රේක් කලේ අපි තුන්දෙනාම ගැස්සිලා යද්දී..සෙනායගේ බාප්පා..එයා ඇයි ආයෙම..සාරි පොටෙන් මූණ පිහදගත්ත මං චතූ දිහා බලද්දී ඒකිත් බයවෙලා වගේ මගේ දිහා බලන් ඉන්නවා..

“සෙනායගේ ලන්ච් බොක්ස් එක..ඒක අමතක වෙලා..”

රෝස පාට චූටි බෑග් එකක් මගේ අතට දීලා එයා මගේ මූණ දිහා හොඳට බලනව මං දැක්කා..ඒ බැල්ම දරාගන්න බැරි තැන මං බිම බලාගත්තේ මේ මනුස්සයා දැන්වත් යයි කියලා හිතලා..

“ඔයාගේ ඔය චූටි මිස්ට කියන්න සෙනායා පාරවල් ගානේ අඬන්න එපා කියලා..කෙල්ලොන්ගේ කඳුලු පිහදාන්න ආසාවෙන් මේ වටේම ඉන්න උන් බලන් ඉන්නවා කියලත් කියන්න..”

“අයියෝ.බාප්පි..චූචි චීච නෙමේ අනේ..කවී චීච..”

සෙනායගේ හුරතල් වචන වලට මූණට හිනාවක් එද්දී එයා නම් යන්න ගියේ මට රවාගෙනමයි..

“ඈහ්..බං..හොල්මන් වෙලා යන සීන් අද උදේ ඉදන්ම වෙන්නේ..මොනවා වුණත් මේ මිස්ටර් ඩෙවිල් එක්ක ලේසි වෙන එකක් නෑ..”

චතූගේ අතට එකක් ගහලා මං ඇස් වලින් සෙනායව පෙන්නුවේ මේ කෙල්ල ඕකත් එයාගේ බාප්පට කියන්න ඉඩ තියනවා කියල දන්න නිසා..

6 thoughts on “සිතිජයක නැවතුමක් | දොළොස්වන කොටස | නවකතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.