Katha Ahura

?උන්මන්තකයා?| 03 කොටස | හොල්මන් කතා

3.5/5 - (13 votes)

03 කොටස

රිචඩ්ගේ මරණින් පස්සෙ සතියක් විතර මුලු කොලේජයම තිබ්බෙ සොහොන් පිට්ටනියක් වගේ පාලුවෙන්. වෙනදා වගේ විනෝදයෙන් පිරිච්ච තැනක් උනේ නෑ කාටවත්. හැමෝම හිටියෙ භීතියෙන් නිසාම තනියම කොහෙවත් යන්න පවා බය උනා. රිචඩ් ඝාතනය උන වැසිකිලියට පවා කවුරුත් යන්න බය උනා. ඒ කොහොම උනත් ජේ.ඩී ඇතුලු මිතුරන් කීපදෙනා නම් ඒ අවට පුලුවන් හැම වෙලාවෙම කැරකුණේ හෝඩුවාවක් හොයාගන්න පුලුවන් වෙයිද කියන සැකෙන්.

“රිචී ගිය එකෙන් ගැන් එකම පාලුයි මයිකි… ආතල් දෙන්නම ඉපදුන එකෙක් ඌ… අද හිටියනම් කීපාරක් නම් අපිව හිනස්සලා ඇතිද…?” ජේ.ඩී එහෙම කියලා සුසුමක් හෙළුවා.

“ඒක ඇත්ත බ්‍රෝ… මේක කරපු එකා මොකා උනත් අපිත් එක්ක ලොකු හතුරුකමක් තියෙන එකෙක් වෙන්න ඕනෙ… රිචීව කෑලි කෑලි කරන්න තරම් එච්චරම තරහක්…? මතක් වෙද්දිත් ඇඟ හිරි වැටෙනවා…” මයිකි හෙවත් මයිකල් කිව්වෙ එදා සිද්ධිය මතක් කරලා.

“මං දන්න තරමින් රිචියට උනත් මහලොකු හතුරො හිටියෙ නෑ මයිකි… ඌ වාචාලයා තමා ඒත් අපි උඹලා වගේ නිතරම වලියට බර නෑනෙ… විහිලුවක් කරන් හිටියා විතරයි… එක්කො අපි සෙට් එකවම ඉලක්ක කරන් කරපු වැඩක්…”

“අපි මිනිමරන්න තරම් කාටවත් ලොකුවට වැරදි කරලා නෑනෙ මචං…” ජේ.ඩී කිව්වෙ පසුතැවිලි හඬකින්.

“වෙලාවකට හිතෙනවා බං මේක අර නපුංසකයා වේඩ්ගෙ වැඩක්වත්ද කියලා… බලපං උගෙ කෑල්ලව අපි ඈත් කලා, ඌට මැරෙන්න තරම් ගැහුවා, දුටු තැන ඌව චාටර් කරනවනෙ… අනික කොලේජ් එකේ ඌ හිටපු තත්ත්වෙන් අපි ඌව පහල දැම්මනෙ…” ක්‍රිස්ටියන් කියද්දි ජේ.ඩී ඔහු දිහා රවලා බැලුවා.

“ඌට එච්චර දෙයක් කරන්න පුලුවන් කියලද උඹ හිතන්නෙ…? එදා ගහපු විදිහට මං හිතන්නෑ ඕකට කාලයක් යනකල් අපේ පැත්තවත් හැරිලා නිදාගන්න පුලුවන් වෙයිද කියලා… බලපංකො දැනුත් අපිව මීටර් සීයක් ඈතින් දැක්කත් ඌ දුවනවා බයගුල්ලා… ඔය නපුංසකයට අපේ රිචියත් එක්ක හැප්පෙන්න බෑ බං… විකාර…” ජේ.ඩී කිව්වෙ හිටපු තැනිනුත් නැගිටලා තරහින්.

“ඔව් ඔව් ඒක ඇත්ත බ්‍රෝ… ඌ ආයෙ අපිට ඇටෑක් කරයි කියලා මං හිතන්නෑ… ඌ හීනෙන්වත් එහෙම කරන්නවත් හිතන්නෙ නැතුව ඇති… හහ් හහ්….” ශෝන් එහෙම කියලා හයියෙන් හිනාවෙද්දි අනිත් අයත් ඔහුගෙ හිනාවට එකතු උනා.

මේ අතරෙ ඔවුන් හැමෝටම හොරෙන් තියුණු දෑසක් ඔවුන් වෙත යොමුවෙලා කියලා ඒ කිසිම කෙනෙක් දැනන් හිටියෙ නෑ. ඒ ඇස්වල තිබ්බෙ වෛරයද උමතුවද කියලා අඳුනගන්න බැරි තරම් ඒවලින් ගිනි පිටවුනා. කලු පැහැති මුහුණු ආවරණය ඇතුලෙන් අවලම් හිනාවක් ඇදුනෙ ඊලඟ ගොදුර දිහා ගිනි පිටවෙන ඇස් වලින් බලන් ගමන්.

********************************************************************

රිචඩ්ගෙ මරණෙන් දෙවෙනි සතිය වෙද්දි කොලේජ් එක ආයෙමත් යථා තත්ත්වෙට පත් උනත් හැමෝගෙම හිත් වල බය නැති කරන්න නම් ඒ ටික කාලෙට පුලුවන් උනේ නෑ. මේ අතරෙ කොලේජ් එකට වේඩ්ලගෙ බැජ් එකට අලුතින් තරුණයෙක් ඇතුල් උනා. ආපු දවසෙ ඉඳලම වැඩි කතා බහක් කිසිම කෙනෙක් එක්ක තියා නොගත්තු ඔහු නිහඬ චරිතයක් වගේම ටිකක් ගුප්තයි කියලා අනිත් සිසුන්ට තේරෙන්න වැඩි කල් ගියෙ නෑ. අඩි හයාමාරකට වැඩි උසකිනුත් උසට සරිලන මහතකිනුත් යුතු මේ තරුණයා කළු කොණ්ඩය ගෙල දක්වා වවාගෙන හිටිය ඉතාමත් කඩවසම් පෙනුමැති කෙනෙක් උන නිසා ගුප්තයි උනත් සමහර ගෑනු ළමයි ඔහු ගැන තිබ්බ උනන්දුව නම් අඩු උනේ නෑ. ඒත් කිසිම කෙනෙක්ව ගණන් නොගත්තු ඔහු හිටියෙ කිසිම මිතුරෙකුත් නැතිව තනියම. ඒ වගේම ඉගෙනීමටත් ඔහු ඉතාම දක්ශයෙක් උනේ කෙටි කාලෙකින්ම ගුරුවරුන්ගෙ පවා හිත දිනාගනිමින්.

“හේයි බ්‍රෝ… මං තමා ජේ.ඩී… කොලේජ් ෆුට්බෝල් ටීම් එකේ කැප්ටන්…” දවසක් තම ලොකරය තුල යමක් සොයමින් හිටපු අළුත් තරුණයා ලඟට ආපු ජේ.ඩී ඔහුට අත දිගු කලා. ඒත් ඔහු දිහාවත් හැරිලා නොබලපු තරුණයා තමන්ගෙ වැඩේ දිගටම කරන් හිටියෙ ජේ.ඩීව පුදුමයටත් තරහටත් පත් කරමින්. “හේයි උඹට මං කතා කරනවා ඇහුණෙ නැද්ද…?”

නමුත් තරුණයා නෙමෙයි ඔහු දිහාවත් හැරිලා බැලුවෙ. මේ නිසා ජේ.ඩී දැඩි කෝපයට පත් උන අතර ඔහු තරුණයාගේ උරහිසට අතක් තියලා මේ පැත්තට ඇද්දා. පුදුමෙකට වගේ තරුණයා ගලක් වගේ එහෙමම හිටිය අතර ජේ.ඩී තවත් පුදුමයට පත් කරමින් ඔහුගේ කාර්‍යය අවසන්ව ලොකරය වසා එතනින් එන්න ආවා. මෙයින් උනේ ජේ.ඩී ව තවත් කෝපයට පත් වෙච්ච එක. කොලේජයේ කිසිම කෙනෙක් තමන්ව ගණන් නොගෙන හිටියොත් ඔහු හැසිරුණේ හිත්පිත් නැති කෙනෙක් වගේ. ඒ නිසාම අලුතින් ආපු එකෙක්ට එහෙම නිකන් ඉන්න පුලුවන්ද සිතූ ඔහු තරුණයාගේ පස්සෙන් වේගෙන් ගියේ ඔහුට පා පහරක් දීමටයි.

“ඒයි ඔහොම නැවතියන්…!” ජේ.ඩී ගෝරණාඩු කලා. ඒ හඬට නම් තරුණයා නැවතුනා. ජේ.ඩී ඔහු අසලට යත්ම ඔහු හැරුණා.

“ඇයි…?” ඔහු ඇසුවේ එපමණයි ජේ.ඩීගේ මිට මොලවාගත් දකුණත් වේගයෙන් ඔහුගේ මුහුණ සොයා ආවා. නමුත් පුදුමයකට මෙන් ජේ.ඩීගෙ පහර වැළකූ තරුණයා ජේ.ඩීව තම දකුණතින් තල්ලු කලා. වේගයෙන් පිටුපසට තල්ලු වීගෙන ගිය ජේ.ඩී බිම ඇද වැටුණා.

“උ..උඹ…? උඹ මේ ජේ.ඩීට අත තිබ්බා එහෙනම්…? හො..හොඳයි අපි බලාගමු එහෙනම්…” පුදුමයටත් තවත් කෝපයටත් පත්වූ ජේ.ඩී පාරම් බෑවා. නමුත් ඔහුගේ දෑස් ඉදිරියේ තරුණයා දකින්නට හිටියේ නෑ. තත්පර ගාණකදි ඔහු අතුරුදන් වී සිටියා.

“ජේ.ඩී… ජේ.ඩී වට් ද…? කවුද බං උඹව බිමට දැම්මෙ…? කවුද කියපං…” එසැණින් එතනට දුවගෙන ආවෙ ජේ.ඩිගෙ සහචරයො ටික.

ඔවුන් අවට සොයා බැලුවත් කොරිඩෝවේ තමා පන්ති කාමරයක් තුලවත් තරුණයා හිටියෙ නෑ. ජේ.ඩී හිටියෙ හොඳටම කෝපයට පත් වෙලා.

“කවුද බං ඌ ඇත්තටම…? ඌ මාව පුලුවන් තරම් හයියෙන් තල්ලු කරලා දිව්වා… පරයා ආයෙ අහුවෙයිනෙ…” ජේ.ඩී මිතුරන්ට කීවේ බොරුවක්. තරුණයා ඔහුව තල්ලු කලේ තනි අතින් බව කීවොත් තමාගේ තැන නැතිවෙයි කියලා බියක් ඔහුට දැනුනා.

“මේක හරියන්නෑ ජේ.ඩී… රිචියා ගියත් හරි කොලේජ් එකේ උන්ට අපිව සාමාන්‍ය උන් වෙලා… අපි ආයෙම මුන්ව භය කරගන්න ඕනෙ නැත්තම් අපිව කවුරුත් ගණන් ගන්නැති වෙයි…” ශෝන් කීවේ තරහිනි.

“ඔව් මේක හරියන්නෑ තමා… අරූව තමා මට එකටම ඕනෙ… උගෙන් පටන් ගමු අපි ආයෙම අපේ වැඩ ටික… හ්ම්ම්… උඹලා ජූලිව දැක්කද බං…? අද දවසටම ඒකිව දැක්කෙ නෑ මං…” ජේ.ඩී ඇහුවෙ අද දවසටම ජූලියානාට වද දීමට නොහැකි උන නිසා. ඇයට වද දීම, හිරිහැර කිරීම ඔහුගේ දින චාර්‍යවේ ඔහු ආසම කල දෙයකි.

“ඒකි අද කොලේජ් ආවෙ නෑ බං ජේ.ඩී… මං හිතුවෙ උඹ දන්නවා ඇති කියලනෙ… උඹේ කෑල්ල උඹට කිව්වෙ නැද්ද බං…?” ක්‍රිස්ටියන් ඇහුවෙ පුදුමෙන් වගේ.

“බැල්ලි… මට මැසේජ් එකක්වත් දැම්මෙ නෑ එහෙනම් මේකි… හොඳයි මං බලාගන්නම්කො ඕකි ගැන හෙට…” ජේ.ඩී දත්මිටි කෑවා. කිසිම කෙල්ලෙක් තමන්ට එහෙම කරලා නෑ. දැන් දැන් මිතුරන් කීවාක් මෙන් තමන්ගේ තත්ත්වය කොලේජය තුල පහල වැටෙමින්ැත. මෙයට කුමක් හෝ කල යුතුය ඔහු හිතුවා.

“ට්‍රී…න්” කොලේජය අවසන් වීමට සීනුව නාද උනා.

“යමල්ලා එහෙනම් ගෙදර… ඒයි ක්‍රිස් මට අර අළුත් එකා ගැන විස්තරයක් හොයලා දියන් අදම… උගෙ පවුල ගැනයි ගෙවල් තියෙන ලොකේශන් එකයි උන්ගෙ තත්ත්වෙයි ඕනෙ…”

“ඕකේ බ්‍රෝ මං හොයාගන්නම්…” එහෙම කියපු ක්‍රිස් කෙලින්ම ගියේ ඔෆිස් එක පැත්තට. අනිත් අය ඔහුගෙන් වෙන්වී තම වාහන ගැනීමට පාක් එක දෙසට යන්නට හැරුණා.

ක්‍රිස්ටියන්ගේ මාමා රැකියාව කලේ ඔවුන්ගේ කොලේජයේය. ඔහු ආචාර්‍යවරයෙක් වගේම කොලේජයේ ලේඛනාගාරය බාරව සිටියෙත් ඔහුය. විදුහල්පතිගෙන් පසු ලේඛනාගාරයේ යතුරු තිබුණේ ඔහු ලඟ විතරය. කිසියම් සිසුවෙකුට හිරිහැර කිරීමට ප්‍රථම ජේ.ඩීලා එම සිසුවා ගැන තොරතුරු රැස් කරගන්නේ සිසුවාගේ තත්තවය දැනගැනීමටය. ශාරීරිකව මෙන්ම මානසිකවද සිසුන් පීඩනයට පත් කිරීම ඔවුන්ගේ විනෝදාංශයක් වී තිබුණා. ක්‍රිස්ටියන්ට මේ කටයුත්ත පහසුවෙන්ම කිරීමට ඔහුගේ මාමාගෙන් උදව් නිතරම ලැබුණා. ක්‍රිස්ටියන් ඔහුව සොයා ගියා ඒ නිසා.

“හේයි අංකල් මට අදත් උදව්වක් ඕනෙ…” තම මාමාව මුණ්ගැසුණු ක්‍රිස්ටියන් කිව්වෙ දුෂ්ට හිනාවකුත් මූණෙ තියන්.

“කවුද මේ සැරේ විඳවන්න යන්නෙ උඹලා නිසා…?” උපැස් යුවල යටින් ක්‍රිස්ටියන් දිහා බලමින් මාමා ඇහුවා.

“අර මේ ලඟදි කොලේජ් එකට ආවෙ කොල්ලෙක්… අර උස එකා කලු කොණ්ඩයක් තියෙන්නෙ බෙල්ල ගාවට වවපු… අන්න ඌ ගැන විස්තර ඕනෙ…” ක්‍රිස්ටියන් අලුත් තරුණයා ගැන විස්තර කලා.

“හෝව් හෝව් කොල්ලො… උඹ කියන්නෙ ඒඩ්න් ඩ්‍රින්ක්වෝටර් ගැන… අර අමුතු හාදයා කිසිම කතා බහක් නැතුව ගොලුවෙක් බීරෙක් වගේ ඉන්න… මං හිතන්නෙ හැම්ප්ශයර් වල ඉඳලා මෙහෙට ඇවිත් තියෙන්නෙ මාසෙකට කලින් වගේ… මිනිහා ඉගෙනීමට දක්ශයා නිසා මේ කොලේජ් එකට තේරුණේ… ඉතුරු විස්තර නම් රෙකෝඩ් වල ඇති…”

“හරි මාමෙ මට උගෙ ෆ‍යිල් එක අරන් දෙන්නකො… ඒ කතාවක් ක්ලෝස් කරලා දාන්නයි ජේ.ඩීට ඕනෙ…” ක්‍රිස්ටියන් කිව්වෙ වියරු හිනාවක් එක්ක. ඒ හිනාවට මාමත් එකතු උනේ කාටහරි හිරිහැරයක් කරනවට මාමත් කැමති නිසා. ඔහුත් පාසල් යන කාලෙ එහෙම කෙනෙක්.

“මට අද නම් ෆයිල් හොයන්න වෙලාවක් නෑ කොල්ලො… මං උඹට ‍යතුර දීලා යන්නම් උඹ වැඩේ කරලා හෙට උදේම මට දියන් මතක් කරලා… මං අද කලින් ගෙදර යන්න ඕනෙ…”

“හරි මාමෙ මං වැඩේ කරන්නම් ගාණට…” එහෙම කියපු ක්‍රිස්ටියන් මාමාගෙ අතින් යතුර ගත්තා.

මාමා ගියාට පස්සෙ ක්‍රිස්ටියන් ලේඛනාගාරයේ දොර වහලා දැම්මා. ඊටපස්සෙ රාක්ක අතරින් එහාට මෙහාට ගියේ අලුතින් ඇතුල් කරපු ෆයිල් කොහෙද තියෙන්නෙ බලන්න. ඒ අතරෙයි ඔහුට මතක් උනේ හැම දත්තයක්ම කම්පියුටර් එකට ඇතුල් කරනවා නේද කියලා. ‘සිස්ටම් එකට ලොග් උනා නම් ඔක්කොම විස්තර ඒකෙ ඇති…’ එහෙම හිතපු ක්‍රිස්ටියන් ලේඛනාගාරයේ තිබුණ පරිගණකය ක්‍රියාත්මක කලා. මාමාගේ පිහිටෙන් එහි මුරපදය ඔහු දැන සිටිය අතර ලේසියෙන්ම සිසුන්ගේ විස්තර ඇතුලත් කරන සිස්ටම් එකට ලොග් වීමට ඔහුට හැකි උනා. නමුත් විස්තර සෙවීම පහසු නොවුනේ සිසුවාගේ නමින් සොයාබලන්නට නොහැකි නිසා. එම නිසා ඔහු කොලේජයට ඇතුල් උන දිනය සොයමින් ඔහු පරිගණකය මෙහෙයවන්න උනා.

“ක්‍රී…..ක්”

පරිගණකය වෙත දෑස් යොමාගෙන සිටියද ඔහුට ලේඛනාගාරයේ දොර විවෘත වෙනු අහුණ අතර සිතට බියක් එක් කලේ තමා මෙහි සිටිනවා කවුරුන් හෝ දුටුවහොත් මාමාට ප්‍රශ්නයක් ඇති වෙන නිසාය. මාමා කෝපයට පත් උනොත් සියල්ල ඉවරය. ඒ නිසාම පරිගණකයේ තිරය ඕෆ් කල ක්‍රිස්ටියන් රාක්කයකට මුවා වෙමින් දොර දිහා බැලුවා. ඒත් කිසිම අඩි ශබ්දයක් ඔහුට ඇහුණෙ නැති නිසාවෙන් හෙමින් හෙමින් දොර දෙසට ඇවිද්ද ඔහු දැක්කෙ දොර අඩවල් කර ඇති අයුරු. තමා දොර අගුළු දැමුවා කියා ඔහුට හොඳටම මතකය. සමහරවිට හදිසියට අගුලු නොදමා ආවාදැයි ඔහුට හිතුනේ කලින් දිනයකත් එහෙම දෙයක් උන නිසා. දොර වෙත ගිය ඔහු ඒ අසල සැඟවී පිටත බැලුවේ කවුරුන් හෝ අවට ගැවසෙනවාද කියාය. නමුත් කොලේජය අවසන් වී තිබුනු නිසා කිසිම සිසුවෙක් එහි සිටියේ නෑ. ගුරුවරුන් සිටි‍යත් ඔවුන් එක්කෝ තම කාර්‍යාල වල හෝ පංති කාමරවලට වෙලා ඇති කියා ඔහු සිතුවා. ලේඛනාගාරය තිබුණෙත් කාර්‍යාලයට මදක් දුරින්. සිතින් බිය ඉවත් කල ක්‍රිස්ටියන් සුසුමක් හෙලා දොර නැවත අගුළු දැම්මේ තම කාර්‍ය ඉක්මණින් ඉවර කර මෙතනින් පිවෙන්නට ඕනෑ යැයි හිතමින්. රාක්ක අතරින් පරිගණකය දෙසට ගිය ඔහුගේ ඇස් උඩ ගියේ පරිගණක මේසය අසළ පුටුවේ වාඩිවී සිටි රුව දැකීමෙනි. එතැන සිටියේ…….

*******************************************************************
ඊලඟ කොටසින් එතන හිටියෙ කවුද කියලා කියන්නම්. මිනිමරුවද…? ප්‍රින්සිපල්ද…? වෙන කෙන්ක්ද…?

කියෙව්වනම් ලයික් කරලා කමෙන්ට් එකක් දාමු නේ කැත නැතුව ?

?Lone Wolf?

5 thoughts on “?උන්මන්තකයා?| 03 කොටස | හොල්මන් කතා”

  1. Chathu indeewaree

    සුපිරි කතාවක් අනේ.මට හිතෙන්නේ අළුත් ළමයා ඉන්න ඇත්තේ.එයාද මේ මිනීමැරුම් කරන්නේ.අනේ මේක ඩේලි දාන්නකො. ගොඩක් ආස හිතෙනවා මේ කතාවට ඒකයි.

    2
  2. Ranmali subasinghe

    Aluth lamaya thama mineamaruwa.. eya thama ethana inne… Niyamai ane kathawa.. ?????? hemadama dannakoooo…. plzzz plzzz….. good luck!!! ???????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.