Katha Ahura

?උන්මන්තකයා?| 06 කොටස | හොල්මන් කතා

4.7/5 - (3 votes)

?උන්මත්තකයා?

06 කොටස

මූලස්ථානය ඇමතූ ශෙරීෆ්වරයා තුවාල ලැබූ ජූලියානා හා වේඩ්ගේ තත්ත්වය යහපත් වූ සැණින් ඔවුන්ගෙන් කට උත්තර ගන්නා ලෙස අණ කල අතර ඔවුන්ගේ ආරක්ශාව තර කරන ලෙසත් පැවසුවේ කුරුමාණම වැරදුණු මිනිමරුවා නැවත ඔවුන්ට පහර දීමට ඉඩ ඇති බැවින්. නමුත් ඒ වන විටත් සැන් පීටර්ස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔවුන් දෙදෙනාටම පොලිසිය විසින් දැඩි ආරක්ශාවක් ලබා දී තිබුණා. සැනසුම් සුසුමක් හෙළූ ශෙරීෆ් ෆ්‍රෑන්ක් තම මෝටර් රථය නිවස වෙත පදවන්නට වූයේ එය ඉතාමත් වෙහෙසකර දිනයක් වූ නිසා මද විරාමයක් ගැනීමට සිතාය. තම නිළ පොලිස් තොප්පිය ගලවා දමා ලොකු හුස්මක් ගෙන පහළ දැමූ ශෙරීෆ් ෆ්‍රෑන්ක් මඳක් වේගයෙන් රථය පදවාගෙන ඉදිරියට ඇදෙන්නට වුනා. ප්‍රධාන මාවතෙන් අතුරු මාවතකට රථය හැරවූ ශෙරීෆ්වරයා එයිනුත් මඳ දුරක් ගොස් තවත් අතුරු මාවතකට රථය හැරෙව්වා. කිලෝමීටරයක් පමණ රථය ඉදිරියට ඇදුනේ විශාල පාලු ඉඩම් මැදින්. නමුත් එක්වරම රථයේ පිටුපස බලන කන්ණාසියෙන් දුටු දෙයින් ඔහුගේ පාදය බ්‍රේක් පැඩලය මත ලෑල්ලටම පෑගුණේ මෝටර් රථය මාර්ගයේ මඳ දුරක් ලිස්සා යමින් නවතමින්.

“කවුද උඹ…?”

තම රිවෝවරය දකුණතට ගනිමින් ඔහු කෑගැසුවේ පිටුපස අසුනේ සිටි රුව දැකීමෙන්. දිගු කළු කබායක් හැඳ, දෑස් පමණක් පෙනෙන ලෙස මුහුණ වසාගෙන සිටි අත්භූත පුද්ගලයා කබායේ හිස් ආවරණයෙන් නළල දක්වා වැසෙන සේ එයින් හිස ආවරණය කරගෙන සිටිය අතර ඔහුගේ අතක තිබුණේ තියුණු උල් කිණිස්සක්. ශෙරීෆ්වරයා වේගයෙන් රිවෝල්වරය ඔහුට එල්ල කලේ කබාකරුට කිසිම දෙයක් කිරීමට ඉඩක් නොතබමින්.

“කියපං කවුද උඹ…? මොකටද මගෙ වාහනේට රිංගුවෙ…? අතේ තියෙන ආයුධේ වහාම මගෙ අතට දියන්…!” ශෙරීෆ් ෆ්‍රෑන්ක් තර්ජනාත්මකව පැවසුවත් කළු කබාකරු එලෙසම සිටියා මීසක් සෙලවුනේවත් නෑ. “උඹට මං කියන දේ ඇහුණද..? වහාම ඔය ආයුදේ මගෙ අතට දීලා බැහැපං වාහනෙන් එලියට…”

නමුත් කළු කබාකරු නිහඬය. ශෙර්‍රිෆ්වරයා එල්ල කරගත් රිවෝල්වරයද අතැතිව රියදුරු අසුන පැත්තේ දොර සෙමින් ඇරියා. නමුත් ඊලඟට ඇසිපිය ගහන වේගයෙන් ක්‍රියාත්මක වූ අත්භූත කළු කබාකරු තම අත තිබූ කිණිස්සෙන් ශෙරීෆ්වරයාගේ වමත කපා දැමුවේ ඔහු වේදනාවෙන් කෑගසද්දි. නමුත් ඒ ක්ශණිකවම ක්‍රියාත්මක වූ ඔහු රිවෝල්වරය කොකා ගැස්සුවා. එයින් පිටවූ පළවෙනි උණ්ඩය කළු කබාකරුව බේරමින් සීට් එකට වැදුණ අතර දෙවැනි උණ්ඩය ඔහුගේ දකුණු පාද‍යට වදිනවාත් සමඟම ඔහුගේ කිණිස්ස ශෙරීෆ්වරයාගේ රිවෝල්වරය අල්ලාගෙන සිටි දකුණත කපා දැමුවා. දෙදෙනාම තම අසුන් වෙත කඩා වැදුණ අතර ආයුධ දෙකම බිමට වැටී තිබුණා. තුවාල ලැබීමෙන් ශෙරීෆ් ෆ්‍රෑන්ක් වේදනාවෙන් කෙඳිරි ගෑවත් පුදුමෙකට මෙන් වෙඩි වැඩී සිටියත් කළු කබාකරු කිසිඳු හඬක් නැගුවේ නැත. ඔහුගේ දෑස් රතුවී තිබුණු අතර ඒ කෝපයටද වේදනාවටද කියා ශෙරිෆ්වරයාට සිතගන්නට නොහැකි වුනා.

“උඹ නේද ළමයි මරපු මිනිමරුවා එහෙනම්…? කියපං ඇයි උඹ එහෙම කලේ…?” උපායශීලී වූ ශෙරීෆ්වරයා තම දුරකථනය වෙත අතක් යවමින් එහි මූලස්ථානයේ අංකය ඩයල් කරන ගමන් ඇහුවා.

කළු කබාකරු එවරත් නිහඬව සිටියත් ඊලඟ තත්පරයේ ශෙරීෆ්වරයා සිටි ඉදිරි අසුනට වේගවත් පාපහරක් එල්ල කල අතර ශෙරිෆ්වරයා අතින් දුරකථනය බිම වැටී ඔහුවද ඩැශ් බෝඩය වෙත විසිවී වැදුණා. ඔහුට කිසිවක් කරගැනීමට ඉඩක් නොතැබූ කළු කබාකරු වැටී තිබුණු කිණිස්සත් රැගෙන ඉදිරියට පීනූ අතර එල්ල කල පහර මඟහැරී ගියා. එසැණින් ශෙරීෆ්වරයා හැර තිතූ දොරෙන් එලියට පැනගත්තා. උදව් ඉල්ලා ගැනීමට තරම් කාලයක්වත් මිනිස් පුලුටක්වත් නොතිබූ හෙයින් ඔහුම මේ සටන කිරීමට හිතාගත්තේ වේදනාව අමතක කරමින් දෙපයින් සිට ගනිමින්. නිර්භීත පොලිස් නිළධාරියෙක් වූ ශෙරීෆ් ෆ්‍රෑන්ක් කෙසේ හෝ මිනිමරුවා අඩපණ කර නීතිය ඉදිරියට ගෙනෙන්නට සිතා ගත්තා.

මේ අතර ඔහු ඉදිරියට ආවේ අත්භූත කළු කබාකරුය. උල් කිණිස්සත් දකුණතින් ගෙන ශෙරිෆ්වයා ඉදිරියට ගියේ වෙඩි වැදුණු පාදය ඇදගෙන වගේ. ශෙරීෆ්වරයාද සූදානමින් සිටි අතර දෙදෙනා අතර සටන පටන් ගත්තා. කිණිසි පහරවල් කිහිපයකින් අපහසුවකින් තොරව බේරුණු ශෙරිෆ් ෆ්‍රෑන්ක් කළු කබාකරුගේ තුවාල‍යට වේගවත් පාපහරක් එල්ල කලා. එයින් මඳ වෙලාවකට බිම වැටුනු කළු කබාකරු නැවත වේගයෙන් සිට ගත්තා.

“දැන්වත් මං කියන දේ අහලා යටත් වෙයන් මිනිහෝ… මේක හොඳින් විසඳෙන එකක් නෑ මෙහෙම ගියොත් උඹ දන්නවනෙ ඒක… ඔය කකුලෙන් ලේ ගොඩක් යනවා…” ශෙරීෆ්වරයා කීවේ කළු කබාකරුගේ ලේ ගලන තුවාලය පෙන්වමින්.

නමුත් කළු කබාකරු ඒදෙස බැලුවේවත් නැත. අඩුමතරමේ ඔහු වේදනාවෙන් කියා පෙනුනේත් නැත. දෙදෙනාගේ සටන ඊලඟට උග්‍ර විය. ශෙරීෆ්වරයා එල්ල කල පහර කිහිපයක් නිසාම කළු කබාකරු අඩපණව වැනි වැනි සිටියා. අත තිබූ කිණිස්සද බිම වැටී තිබුණ අතර ඊලඟට එල්ල කල පාපහරින් විසිවී ගිය කළු කබාකරු බිම ඇද වැටුණා. එසැණින් ඉදිරියට පැන කළු කබාකරු අල්ලාගත් ශෙරිෆ්වරයා මුහුණු ආවරණය ඉවත් කරන්නට අත තැබුවා පමණි.

“ආ..ග්..හ්”

කළු කබාකරු එල්ල කල වේගවත් පාපහර වැදුනේ ඔහුගේ ඉල ඇට පෙදෙසටය. එදෙසින් ආවේ දැඩි වේදනාවකි. ඊලඟට ඔහුගේ දෑස් පුදුමයෙන් විසල් වූයේ මෙතෙක් වේලා අඩපණව සිටි කළු කබාකරු දුන්න ගසමින් නැඟිටින ආකාරය දැකීමෙනි. ගත්වූයේ තත්පරයකි. වේගයෙන් ඔහු ඉදිරියට පීනූ කළු කබාකරු වේගවත්, බරැති පාපහරවල් කීපයක් එල්ල කලේ සාමාන්‍ය මනුශ්‍යෙකුට දරාගත නොහැකි තරම් ශක්තියකිනි. බිම වැටුණු ශෙරීෆ්වරයා ඔසවාගත් කළු කබාකරු ඔහුව පොලවේ ගැසුවේ කුඩා දරුවෙකු සෙල්ලම් බඩුවක් පොලොවේ ගසන්නාක් මෙන් සැහැල්ලුවෙනි. ඊලඟට කොහෙන්දෝ ඇදගත් කිණිස්සක් බාගෙට මැරී සිටි ශෙරීෆ්වරයාගේ ගෙල හා හදවත සිදුරු කරමින් ඇදී ගියේ විදුලි වේගයෙනි. මොහොතකින් ශෙරීෆ් ෆ්‍රෑන්ක්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර පාලු මාවත මතට ‘දඩස්’ හඬින් ඇද වැටුණා.
************************************************************************

මුළු පළාතම විශාල භීතියකින් ඇලලී යන්න පටන් ගත්තෙ ශෙරීෆ් ෆ්‍රෑන්ක්ගෙ ඝාතනයත් සමඟයි. කොලේජය පවා තවත් සතියකට වසා දැමුවේ එහි සිසුන්ගේ ආරක්ශාව නිසාමයි. දෙමව්පියන්, භාරකරුවන් කැමති උනේ නෑ තමන්ගෙ දරුවන් කොලේජය වෙතට යවන්නට. ඒ නිසාම බලධාරීන්ට සිද්ධ උනේ සතියක කාලයකට එය වසා දමන්නට. නගරයේ කිසිම කෙනෙක් දවාලකවත් තනියම කොහේවත් ගමනක් බිමනක් ගියේ නැති තරම්. ඒ වගේම නගරයේ තැන් තැන් වල මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි වල පවා “අත්භූත කළු කබාකරු කවුරුන්ද?” කියා කතා වෙන්න වගේම පෝස්ටර් පවා බෙදා හැරුණා. කිසිම සාක්ශියක් නොමැතිව අඩුමතරමේ හොඳින් පුහුණු කර ඇති සුනඛයෙකුටවත් ඉවක් නොදැනෙන්නට තරම් ඝාතන සිදු කරන උමතු මිනීමරුවා සමහරෙක්ට වීරයෙක් වෙලා තිබුණා. කෙසේ නමුත් පොලිසියට හා රහස් පොලිසියට නම් මේ ‘අත්භූත කළු කබාකරු’ මහත් හිසරදයක් වෙලා තිබුණෙ.

“කිසිම සාක්ශියක් නෑ කිසිම දෙයක්… දක්ශයො කියාගෙන ආපු එකෙක්ටවත් බැරුව ගියා ඒ කාලකන්නි මිනීමරුවගෙ එක හෝඩුවාවක්, සාක්ශියක් හොයාගන්න… මිනිස්සු තව ටික දවසකින් අපිට හිනාවෙන්න පුලුවන්… අපිට විරුද්ධව උද්ඝෝශණ කරන්න පුලුවන්… ඒත් තමුසෙලා තාම එතනමයි… එහෙන් අපේ දක්ශ නිළධාරියෙක්ව අමු අමුවෙම පාරෙ මරලා දාලා තිබ්බා… හැබැයි එතනත් කිසිම සාක්ශියක් නෑ… මොනාද තමුසෙලා කරන්නෙ ඇත්තටම…?” නගරාධිපති ජෝන් හෙන්ඩර්සන් කෑගැසුවේ රැස්ව සිටි ආරක්ශක අංශ ප්‍රධානීන්ට. සිදුවන දේවල් අනුව ජනතාව තමන්ට විරුද්ධව උද්ඝෝශණ වලට පවා ලක ලෑස්ති වෙමින් පවතින බවට ඔහුට ආරංචි වී තිබුණි. එමෙන්ම ඉහළින් බොහෝ දෙනාගේ දෝශාරෝපණයට ඔහු ලක්ව තිබුණා.

“සර් ඒ මිනීමැරුමෙදි ශෙරිෆ් ෆ්‍රෑන්ක්ගෙ රිවෝල්වර් එකෙන් උණ්ඩ දෙකක් පිටවෙලා තියෙනවා… එකක් කාර් එකේ පිටිපස්සෙ සීට් එකට වැදිලා. හැබැයි අනිත් එකෙන් කාර් එකට ඩැමේජ් නෑ… ඒක මිනීමරුවට වැදිලා ඇතියි කියලා අපි හිතනවා… මොකද රිවෝල්වර් එක තිබිලා තියෙන්නෙත් කාර් එක ඇතුලෙමෙයි… ඒක පිටට යන්න විදිහක් නෑ… අනික ඒකෙ තියෙන්නෙත් ශෙරීෆ්ගෙ ඇඟිලි සලකුණු… ඒ වගේම….”

“එතකොට මිනීමරුවා ගැන සාක්ශියක් නෑ කියලද කියන්නෙ…?” ඉහළ පොලිස් නිලධාරියෙක් කරගෙන ගිය කතාවට බාධා කරමින් නගරාධිපතිවරයා ඇහුවා.

“අර කියපු බුලට් එක වැදුණා නම්, මිනීමරුවට තුවාල උනා නම් එතන කොහෙහරි ලේ තියෙන්න ඕනෙ… හැබැයි ලේ තියා දාඩියවත් නෑ සර්… තියෙන්නෙ ශෙරිෆ් ෆ්‍රෑන්ක්ගෙ ලේ විතරයි…” පොලිස් නිළධාරියා තවදුරටත් කියාගෙන ගියා.

“ඉතින් මනුස්සයෝ එහෙනම් කොහොමද කියන්නෙ එක උණ්ඩයක් ඒ යකාට වැදුණා කියලා…? මට නිගමන නම් වැඩක් නෑ ඒ යකාව අල්ලගන්නයි ඕනෙ… තවත් එක මිනීමැරුමක් වෙන්න කලින් මට ඌව අල්ලලා ඕනෙ… තේරුණාද…?” නගරාධිපතිවරයා මේසයට ගසමින් කෑගැසුවා.

කොලේජයේදී වූ සිද්ධියෙන් පසුව සුව වී නිවසට පැමිණ සිටි වේඩ් කල්ගත කලේ පසුතැවීමකින්. එදා ඒ සිද්ධිය වූයේ තමන් නිසා බව සිහි වීමෙන්. සති තුනක් පුරාවටම ජූලියානාගෙන් ඈත්ව සිටි වේඩ් සිටියේ මානසික පීඩනයකින්. ඒ නිසාම ඇයව කාටත් හොර රහසේ හමුවී කතා කිරීමට ඔහුට විශාල ආසාවක් තිබුණු නමුත් ජේ.ඩී ඇතුලු සහචරයන් සිටි නිසා ඔහුට එය ඉටුකරගැනීමට හැකිවූයේ නෑ. එදා ඔවුන් සියළු දෙනාම කොලේජයට පැමිණ නැති බව දැනගත් ඔහු ප්‍රීතියෙන් පිනා ගියේ කෙසේ හෝ මෙතෙක් කාලයක් තමා විසින්ම මඟ හැරි ජූලියානා සමඟ මොහොතක් එකට ගත කිරීමට හැකියි කියා සිතාය. නමුත් ඇයව දුටු වෙලාවේ තමාගේ සිතට පැමිණි ඒ ආසාව නිසා ඔවුන් දෙදෙනාටම මාරකයකට මුහුණ දීමට සිදු විය. ඇය තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ තුවාල වල දරුණුකම හේතුවෙනි. එයට තමා වගකිය යුතුයැයි නිතරම ඔහුගේ සිත ඔහුට වද දෙන්නට උනා. ඒ නිසාම නිවසටම වී කල්ගත කල ඔහු කිසිවෙකු හා කතා කිරීම පවා ප්‍රතික්ශේප කලා. ඔහුගේ පවුලේ අය නම් සිතුවේ අනතුර නිසා ඔහු තවමත් කම්පනයෙන් ඇත කියාය. ඒ නිසාම නිතරම කාමරයටම වී කල්ගත කල ඔහුට කිසිවෙකු කරදර කලේ නැත.

“වේඩ්… මෙන්න ඔයාව හම්බවෙන්න කවුද ඇවිල්ලා…”

දිනක් කාමරයට වී වීඩියෝ ගේම් එකක් සෙල්ලම් කරමින් සිටි වේඩ් අමතමින් පහල තට්ටුවේ සිටි ඔහුගේ අම්මා කතා කරන හඬ ඔහුට ඇසුණා. ගේම් එක මඳකට නැවැත්වූ වේඩ් තම කාමරයේ ජනේලයක් අයිනට ගොස් පිටත මිදුල බැලුවේ තමා හඳුනන කවුරුහරිද කියායි. නමුත් කිසිවෙකු තියා වාහනයක්වත් පෙනෙන්නට නොවීය.

“කවුද අම්මා…??” වේඩ් කාමරයේ සිටම කෑගසමින් ඇහුවා.

“ඔයාගෙ කොලේජ් එකේ යාලුවෙක්ලු… ඇවිත් බලන්නකො…”

“හරි එනවා අම්මා…” යි පිළිතුරු දුන් වේඩ් ටී ශර්ටයක්ද ඇඳගනිමින් පහලට බැස්සා.

පහළට යන විට ඔහුගේ මව කිසිවෙකු සමඟ කතා කරමින් සිටිය අතර දිගු සෝෆාවේ වාඩිවී සිටි පුද්ගලයා ඔහුට පිටුපස හැරී සිටි හෙයින් වේඩ්ට ඔහුව හඳුනාගත නොහැකි වුණා. ඔහු එතනට යනවිට ඔහුගේ මව ඔහු දෙස දෑස පමණක් ඔසවා බැලුවා. ඒත් සමඟම පැමිණ සිටි අමුත්තාද හැරී බැලුවා.

“හායි වේඩ්…”

වේඩ් දෙසට හිස හරවා බැලූ අමුත්තා ඔහුගේ දත් විලිස්සා සිණාසුනේය.

**********************************************************************
ඊලඟ කොටසට…

වේඩ් මුණගැසීමට පැමිණියේ කවුද…? මිනීමරුවා අල්ලාගන්නට හැකිවෙයිද…? අත්භූත කළු කබාකරුගේ ඊලඟ ගොදුර කවුරුන් විය හැකිද…?

?Lone Wolf?

3 thoughts on “?උන්මන්තකයා?| 06 කොටස | හොල්මන් කතා”

  1. Vibushani madu

    Kathawanm godaaak lassanai aneeee hithagnna ba mara widihata kuthuhalaya thiyenawa me kathawa kiyawaddin. Bayath hithenawa ilagata monain mona weida kiyla. Mn digatam oyage kathawa kiyawanawa hode. Puluwannm sathiyt dawsa dekakwath kathawa dnnko ane bs hode

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.